පිනට පත් වූ ජනාධිපති ඡන්ද නොතියා බලයේ ඉන්න විවිධ උප්පරවැට්ටි දානවා

479

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළුතර ජනපවුරේදී කියයි
පොහොට්ටුවේ මන්ත්‍රී එල්ලාවල සජබ වේදිකාවට

වත්මන් ජනාධිපතිවරයා මුළු රටටම විහිලු‍ සපයන බවත් පිනට පත් වූ මේ ජනාධිපතිවරයා මැතිවරණය නොතියා බලයේ ඉන්න විවිධ උප්පරවැට්ටි දමමින් සිටින බවත් වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලබාදී පක්ෂ නායකයෝ අල්ලා ගැනීමට කටයුතු කරන බවත් මේ නිර්ලජ්ජිත පහත් දේශපාලන සංස්කෘතිය මැතිඇමැතිවරුන් මන්ත්‍රීවරුන් දේශපාලනඥයන් වරප්‍රසාද මත තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන යුගය බඩගොස්තරවාදී දේශපාලනයට නැවතීමේ තිත තැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැතිවරණවලට බය වී ඇති බවත් සමගි ජන බලවේගය නිසා එක්සත් ජාතික පක්ෂය 0 ට වැටී පිනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබුණත් එය බාරගැනීමට පවා මාස ගණනාවක් ගිය බවත් උපක්‍රමශීලීව ක්‍රමෝපායිකව රට ගොඩනගන්න නොව තමන්ගේ තැන රැකගන්න ඔවුන් කටයුතු කළ බවත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය එවැනි ආත්මාර්තකාමී රාජ්‍ය පාලනයක් නොව ජනතාවාදී ජන හිතකාමී පොදුජනවාදී රාජ්‍ය පාලනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කළුතර පැවැති ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.

එම නිසා මිරිඟුව බොරුව වංචාව ගජමිතුරු දේශපාලනය පසුපස නොගොස් ගම රට නගරය දියුණු කර පොදු ජනතාව ශක්තිමත් කිරීමේ වරම තමාට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා මැතිවරණවලට බය නම් කොළඹ 7 මන්දිරයට වෙලා බැඑකෙසං එකේ චිත්‍රපට බලන ලෙස කියා සිටින බවත් සමගි ජන බලවේගය ඕනෑ ම මැතිවරණයකට මෙන්ම ඕනෑම අභියෝගයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ව්‍යවස්ථා කුමන්ත්‍රණ හරහා විවිධ අධිකරණ ක්‍රියාමාර්ග හරහා අතකොලු‍වන් යොදා තැන රැකගන්න කටයුතු කරන විට අලු‍ත් මාදිලියේ විහිලු‍ සපයන අපරාධකාරයෙක් සිටින බවත් මේ අපරාධකාරයා වෙස් මුහුණු දාගෙන ඇවිත් සුරංගනා කතා ඉදිරිපත් කරන බවත් රට හදන්න වැඩපිළිවෙළක් නොමැති ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති ආර්ථික කණ්ඩායමක් නොමැති මේ අය ලෝකේ සිටින ධනවතුන්ට මඩ ගසා ආයෝජකයන් බිය කර කප්පම් ගෙන ඔවුන් ශක්තිමත් වීම පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අය බලයේ සිටියේ නෑ කියමින් ගියත් කෘෂිකර්ම, සංස්කෘතික, ධීවර, ආදී ඇමැතිකම් රාශියක් දැරූ බවත් රට කාපු රට විනාශ කළ

ත්‍රස්තවාදීන් බවත් 71, 88, 89 කාලයේ මේ රට විනාශ කරන්නට පාසල් පුච්චා දමන්නට චිට් එකෙන් මුළු රටම රජ කලේ මොවුන් බවත් මේ අයගේ අලු‍ත් ව්‍යාපෘතිය වී ඇත්තේ ගමට අධිකරණ බලයදීම බවත් 88 සහ 89 කාලයෙත් අධිකරණ බලය ගමේ අයට දීපු නිසා ජීවිත රාශියක් නැති වූ බවත් මේ මිනිමරු ත්‍රස්තවාදය නැවතත් රටට අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

රාජපක්ෂලා ගේන්න පවා ඩීල් දමා ගෙන් ගෙට ගොස් පෝස්ටර් ගැහුවේ මේ අය බවත් මේ අය මෙන් තමාට නම් හොරු එක්ක ඩීල් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

මේ අවස්ථාවේදී ශ්‍රී ල.පො.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල, බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අනිල් කුමාර විජේසිංහ සමගි ජන බලවේගය හා එක් වූහ.


advertistmentadvertistment