පිපිරුම් දෙකක්

1816

විදුලිබල මණ්ඩලය මගින් සැලසුම් කර තිබූ පූර්ණකාලීන වර්ජනය අවලංගු වීම ගැන අප තුළ ඇත්තේ පහන් හැඟීමකි. මේ පිළිබඳව ජනතාව කෙතරම් කෝපයෙන් සිටියේද යත් දවස් දෙකක් පමණ ලයිට් නැතිව සිටීමට ඔවුන්ට සිදුවූයේ නම් විදුලි බල මණ්ඩලය තිබුණු තැන විශාල ගිනිගොඩක් තිබීමට පවා ඉඩ තිබිණි. විදුලිය යනු අත්‍යවශ්‍ය දෙයකි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනාවාසවලින් 90% කටම විදුලිබලය ලැබී අවසන් ය. ඒ තත්ත්වය ඇතිවීම සම්බන්ධයෙන් නම් ජේ. ආර්. ජයවර්ධනට පින් අනුමෝදන් විය යුතුය. කොතරම් නිරර්ථක පරිශ්‍රමයක් වුවද ශ්‍රී ලංකාව නවීන රාජ්‍යයක් බවට පත්කිරීමේ නියමුවා වූයේ ජේ. ආර්. ය. කෙසේ වුවද මේ වන විට ශ්‍රී ලංකාව සමාන වන්නේ රෝද හතර නැති නවීන බෙන්ස් කාර් එකකටය. කාර්එක කොපමණ නවීන වුවත් රෝද හතර නැත්නම් වැඩක් නැත. ශ්‍රී ලංකාව තමන් සතු ගැමි රාජ්‍ය තත්ත්වයෙන් ඉවත් වී නවීන රාජ්‍ය සංකල්පය කරා ගමන් කරන්නට පටන් ගන්නේ 1977 න් පසුවය. එතැන් සිට මේ වන තෙක් 45 අවුරුද්දක් ගත වී තිබේ. ඒ කාලය තුළ අප විසින් සාදන ලද අති නවීන බෙන්ස් රියට රෝද නැත. ඩීසලුත් නැත. හැබැයි ඒවා ගමන් කිරීමට සුදුසු පාරවල් ඇත. එහෙත් මේ පාරවල්වල යෑමට ප්‍රමාණවත් තරම් වාහන නැත. ලංකාව හයිවේ අවශ්‍ය රටක් නොවේ. රාජපක්‍ෂ ආණ්ඩුව විසින් කරනු ලැබිය යුතුව තිබුණේ හයිවේ හැදීම පැත්තක තබා රටේ තිබෙන පාරවල් ටික පළල් කොට කාපට් කර සංවර්ධනය කිරීමය. එහෙත් එවිට හොරකම් කිරීමට බැරිය. හයිවේ මගින් අප්‍රමාණ සල්ලියක් හොරකම් කළ හැකිය. ඒ නිසා හයිවේ සෑදීම ආරම්භ විය. අද වන විට ලෝකයේ වෙනත් රටවල හයිවේවල ඇති වාහන ප්‍රමාණයෙන් 1% ක් වත් මේ රටේ හයිවේවල නැත. දැන් ඉතින් කරන්නට දෙයක් නැහැ. හදපු හයිවේ ආපහු කඩන්නටත් බැහැ. එබැවින් කළ යුත්තේ හයිවේවල මට්ටමට රට දියුණු කිරීමය. සාමාන්‍යයෙන් සිදුවන්නේ රට දියුණුකර ඒ මට්ටමට හයිවේ සෑදීමයි. අපට සිදුවූයේ එහි ඇනිත්පැත්ත කිරීමටයි.

මේ වෙලාවේදී මේ රටේ ඇති ජනප්‍රියම මාතෘකාව උද්ධමනයයි. මීට මසකට පෙර මේ රටේ තිබූ ජනප්‍රියම මාතෘකාව ගෝඨා ගෝ, මයිනා ගෝ, සංකල්පයයි. එසේම මීට මසකට පෙර මේ රටේ තිබූ ජනප්‍රියම තැන ගෝල්ෆේස් අරගල පිට්ටනියයි. අද වන විට මේ සියල්ල දිය වී ගොස් ඉතාම පරාජිත හා ඉච්ඡාභංගත්ව ස්වරූපයක් රට තුළ හට ගෙන ඇත. මේ ඉච්ඡාභංගත්වය තුළ මිනිසුන්ට සිදුවී ඇත්තේ තෙල් පෝලිමේ වරුවක් සිට ගෑස් පෝලිමේ ඉතිරි වරුව ගතකර ආණ්ඩුවට හෙණ ඉල්ලමින් හිස් අතින් ගෙදර යෑමය. ඉතාම පුදුමය නම් මිනිසුන් කොපමණ කන්න නෑ කීවත් කොපමණ අතේ සතේ නෑ කීවත් හැම දෙනකු අතම ස්මාර්ට් ෆෝන් තිබීමය. එසේම හැම දෙනකුම පැයෙන් පැයට ස්වකීය ටෙලිෆෝන් තුළට ඩේටා ලෝඩ් කිරීමය. මෙය තරුණ පරපුර සතු ප්‍රවණතාවකැයි ඇතැම් විට අර්ථකථනය කෙරේ. එහෙත් තරුණ පරපුර අත පමණක් නොව ඇතැම් යාචකයන් අත ද අද ස්මාර්ට් ෆෝන් ඇත. සිඟාකෑමෙන් දෛනිකව ඔවුන් උපයන ආදායමෙන් සෑහෙන කොටසක් ඩේටා ලෝඩ් කිරීම සඳහා වැය කරනු ලැබේ. මේ රටේ ආර්ථිකය විටෙක ඉතාම ගැටලු සහගතය. අද වන විට කිරිපිටි කිලෝවක් රුපියල් 2800 කි. එහෙත් කඩවලට කිරි ලෝඩ් එකක් පැමිණි විට ඒවා අතුරුදන් වන්නේ එහෙ බලා මෙහෙ බලන වේගයෙනි. හාල් කිලෝවක අවම මිල රුපියල් 250 කි. හාල් ද විදුලි වේගයෙන් විකිණේ. මීට දින කිහිපයකට පෙර ඔස්ටේ්‍රලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැති ක්‍රිකට් තරගයේ සියලු ප්‍රවේශපත්‍ර ඉතා වේගයෙන් අලෙවි විය. මේ දිනවල තරු පහේ හෝටල්වලට ප්‍රධාන බිස්නස් එක දෙන්නේ ‘ලෝකල්ස්ලා’ විසිනි. සෙනසුරාදා සහ ඉරිදා දිනවල තරුපහේ හෝටල්වල බුෆේ එක සහ හයි ටී එක සම්පූර්ණයෙන් ම පාහේ ලෝකල්ස්ලාගෙන් හෙවත් ස්වදේශික ජනයාගෙන් පිරී පවතී. සමහර විට මේ සේවාවන් මිලට ගන්නේ ලංකාවේ සිටින ධනවත් ම පවුල් 600 න් කොටසක් වීමට පුළුවන. කහටගස්දිගිලියේ සිටින මර්තේලිස් අප්පු සහ පවුලේ උදවිය හෝ, කැබිතිගොල්ලෑවේ සිටින ජිනදාස සහ පවුලේ උදවිය හෝ කොළඹ තරුපහේ හෝටල්වල බුෆේ එකට හෝ හයි ටී එකට එන්නේ නැත. මෙයින් හැඟෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින ආදායම් බෙදීයෑමේ විෂමතාවයි. 1948 න් පසු බලයට පත් වූ කිසිම ආණ්ඩුවකට මේ විෂමතාව නැති කිරීමට හැකි වී නැත. අලුත් ආණ්ඩුවක් බලයට ආ විට එහි සිටින අය කල්පනා කරන්නේ පෙර කී ධනවත් පවුල් 600යේ සමාජයට තමනුත් එන්නේ කොහොමද යන කාරණය ය.

මේ මොහොතේදී ලෝකයේ ඉහළම උද්ධමනය පවතින රට වන්නේ ලතින් ඇමරිකාවේ වැනිසියුලාවයි. 2017 – 2018 අතර කාලය තුළ මේ රටේ පාරිභෝගික මිල දර්ශකයේ මිල ඉහළ යෑම 65000% කි. මේ රටේ උද්ධමනය 1198% කි. උද්ධමනය 50% ඉක්මවා ඇති ශ්‍රී ලංකාවේ ජනතාවට ජීවත් වීම මෙතරම් අපහසු නම් වැනිසියුලාවේ ජනතාව කෙසේ ජීවත් වනවා ඇත්ද? ලෝකයේ අඩුම උද්ධමනය තිබෙන රට කටාර් රාජ්‍යය වේ. එහි උද්ධමනය 2.72% කි.ශ්‍රී ලංකාව සහ වැනිසියුලාව අතර සමානකම් තිබේ. මේ රටවල් දෙකම සින්දු කියාගෙන, නැටුම් නටාගෙන, පාටි දමාගෙන, ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරගෙන සිටින ෆන් රටවල් ය. මේ දෙකම කරන්නේ අහල පහල රටවලින් බඩු ගෙන්නාගෙන කෑමය. එහෙත් ලංකාව එක් කලකදී කෘෂිකර්මයෙන් යම් තරමකට ස්වයං පෝෂණය විය. දේශපාලනඥයන් විසින් මේ ස්වයං පෝෂණය කා දමන ලදී. ෆන් ජීවන විලාසිතාවක් පවතින විට කිසියම් අවස්ථාවකදී ආර්ථික පිපිරීමක් හටගනී. වැනිසියුලාවට හා ශ්‍රී ලංකාවට සිදුවුණේ ද එයම ය. රටවල් දෙකම පුපුරා ගොස් ඇති අතර, වැනිසියුලාවේ පිපිරීම ඉතා දරුණු ය. එහෙත් ඒ රටේ මිනිස්සු කෙසේ හෝ එය දරාගෙන සිටිති. කවුරු කොපමණ කෑ ගැහුවත් ශ්‍රී ලංකාවට සිදුවනු ඇත්තේත් එයමයි. හැබැයි අපේ ජනතාවට දරා ගැනීමේ හැකියාව අඩුය. ඉතා ඉක්මනින් අරගල හට ගන්නේත් ඊළඟ මොහොතේදී ඒවා දිය වී යන්නේත් මේ දරාගැනීමේ හැකියාව අඩු වීම නිසා ය.

advertistmentadvertistment
advertistmentadvertistment