පියපුතු ගිය යතුරුපැදිය බසයක ගැටී පසුපස රෝදයට යටවූ පියා එතැනමයි පුතාටත් තුවාල

1003

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දඩැල්ල ප්‍රදේශයේ දී පිය පුතු දෙපළක් ගමන් කරමින් සිටි යතුරුපැදියක් පුද්ගලික බස් රථයක ගැටීමෙන් වූ අනතුරකින් යතුරුපැදියේ පසුපස ගමන් කරමින් සිටි පියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පුතා සුළු තුවාල ලබා ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ගාල්ල, දඩැල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කොත්තිගොඩ කංකානම්ගේ සුදත් නිහාල් නමැති අයෙකි. පුද්ගලික බස් රථය ගාල්ල කොළඹ බලා ධාවනය වන බස් රථයක් වන අතර මෙම බස් රථය ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇත. යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි පිය පුතු දෙපළ ගාල්ල දෙස සිට ගිංතොට දෙසට ගමන් කරමින් සිට ඇත. යතුරුපැදිය පුද්ගලික බස් රථයේ ගැටීමෙන් පසු යතුරුපැදියේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයා බස් රථයේ දකුණුපස පිටුපස රෝදයට යටවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත.

අනතුරෙන් පසු පුද්ගලික බස් රථයේ රියදුරු ගාල්ල පොලිසියට පැමිණ භාරවීමෙන් පසු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල


advertistmentadvertistment