තම මියගිය පියාගේ අවසන් කටයුතු සඳහා මරණ සහතිකයක් ලබාගැනීමට දහවල් කාලයේ මතුගම හොරණ 285 මාර්ගයේ බුලත්සිංහල ප්රදේශයේ සිට හොරණ දෙසට යතුරු පැදියක පසුපස නැඟී ගමන් කළ විසිඑක් හැවිරිදි පුතු පහළ නාරගල ප්රදේශයේදී යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බුලත්සිංහල, උඩුගලකන්ද, දෙල්මෑල්ල ප්රදේශයේ පදිංචි රන්දික පියුමාල් ගමගේ නැමැති (21) හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයාගේ පියා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති අතර පියාගේ මරණ සහතිකය ලබාගැනීම සඳහා වෙනත් තරුණයකු පැදවූ යතුරු පැදියක පසුපස නැඟී ගමන් කරමින් සිටියදී පහළ නාරගල ප්රදේශයේ වංගුවකදී පැදිකරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව හොරණ රෝහලට ඇතුළත් කරන අතරතුර ඔහු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සිද්ධයෙන් පැදිකරු ද බරපතළ තුවාල ලබා හොරණ දිස්ත්රික් රෝහලට ඇතුළත් කර තිබේ.
බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.
හොරණ – නයනදුල සෙන්දනායක සහ මතුගම – විශේෂ අනුර ජයසේකර