පියාගේ ”මත්පෙති” පානය කළ පාසල් මිතුරන් සිව්දෙනා මත්වී රෝහලේ

235

පියාගේ “මත්පෙති” සොරාගෙන පාසලට රැගෙනවිත් පන්තියේ මිතුරන් සමග විවේක කාලයේදී පානය කළ සිසුන් සිව් දෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ පුවතක් කුරුණෑගල පොලිස් කලාපයට අයත් මඳුරාගොඩ පොලිසියෙන් වාර්තාවේ.

රිදීගම අධ්‍යාපන කොට්ඨාසසේ ප්‍රාථමික පාසලක පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් සිව් දෙනකු පාසල් කාලය තුළදී මත්පෙති වර්ගයක් පානය කර ඇතිවූ අසාත්මික තත්ත්වය මත සිසුන් සිව් දෙනාම කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මඳුරාගෙඩ පොලිසිය පැවැසීය.

ඉකුත් සිකුරාදා (16) පාසල් කාලය තුළදී සිසු මිතුරන් සිව්දෙනා විවේක කාලයේ දී මත්පෙති පානය කර පන්ති කාමරයට පැමිණ මත්වී වමනය කරනු දුටු පන්ති භාර ගුරුවරිය ඒ පිළිබඳව විමසීමෙන් පසුව ඔවුන් යම්කිසි පෙති වර්ගයක් පානය කර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.

සිසුන් සිව්දෙනා ප්‍රථමයෙන් ප්‍රතිකාර සඳහා රිදීගම මූලික රෝහලට ඇතුළත් කළත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා එදිනම කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

සිසුන් සිව් දෙනාගෙන් එක් සිසුවකුගේ පියා මත්ද්‍රව්‍ය පානයට කලක සිට ඇබ්බැහිවූ අයකු බවත්, ඔහු භාවිතයට ගෙනා මත්පෙති වර්ගයක් මෙසේ සොරකම් කළ පාසල් සිසුවකු වන ඔහුගේ පුතා ඒවා පාසලට ගෙනැවිත් තම මිතුරන් සමග පානය කර මත්වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. සිසුවාගේ පියාට මෙම මත්පෙති ලැබී ඇති ආකාරය පිළිබඳව මඳුරාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් මඳුරාගොඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment