‘පිරිනිවන් කඳුපාමුලින්’ සාහිත ලොවට මවුකිරි උල්පතක්

405

රන්දික කඩවතආරච්චි මුහුණුපොතේ ඇඳි නවකතා සිත්තම ”පිරිනිවන් කඳුපාමුලින්’’ මේවනවිට මුද්‍රිත ග‍්‍රන්ථයක් වශයෙන් සමාජගතව තිබේ. පරිච්ෙඡ්ද 46 කින් සහ සමාප්ති ලේඛනයකින් සමන්විත මෙම නවකතාව 70 දශකයේ අවසාන භාගයෙන් ආරම්භ ව ඉදිරියට ගලායයි. රචකයාගේ වචනවලින් කිවහොත් සතුට, සැනසුම, දුක්, දෝමනස්සයන් සියල්ල අතරින් මේ ගලා යන්නේ පිරිනිවන් කඳු පාමුල ආදරයේ කතාවයි.

මේ නවකතාවේ ආරම්භය සලකුණු කරමින් පළමුව පාඨකයා අභිමුඛයට එන්නේ ගුණවතී නම් කාන්තා චරිතයයි. සිය සැමියාට ගැඹුරින් ආදරය කරන ඇය පෙරළා ඔහුගෙන් ආදරයක්නම් නොලබයි. දරුවන් නොලදමුත් ඇය දරු සුවඳ හා බැඳුණු කිරිසුවඳ හඳුනයි. චරිත නිරූපණයෙහිලා වන රචකයාගේ ලේඛන ශක්‍යතාවට සාක්ෂි දරමින් ගුණවතියගේ චරිතය ඉදිරිපත් කෙරෙයි.

”හැම සුවඳකටම වඩා අම්මා කෙනෙකුට කිරිසුවඳ වටිනා බව ගුණවතී සිහිපත් කළා ය.’’

ගුණවතියට ආදරය නොකරන සෝමපාලගේ චරිතය ද හුදු කලූ චරිතයක් බවට පත් නොකරන රන්දික කර්තෘ ප‍්‍රකාශ හෝ චරිතවල ක‍්‍රියාකාරිත්වයන් ඇසුරින් පාඨකයනටම ඔවුන් හඳුනා ගැනීමට ඉඩ සලසයි. මේ එවන් තැනකි.

”ලීලා කෙරෙහි මේ මතු වන්නේ යෞවනයේ තමන් කෙරෙන් ගිලිහී ගිය, ජුවානිස් මුදලාලිගේ පොරොන්දු මත වැළලී ගිය පේ‍්‍රමයේ සොඳුරු හැ`ගීම්දෝයි විටෙක ඔහුට සිතුණි.’’

මේ අනුව රන්දිකගේ ලේඛන විලාසයෙහි අපදකින පළමු විශේෂතාව වන්නේ චරිත නිරූපණ කෞශල්‍යයයි.

රන්දික සංකේතාත්මක භාෂා භාවිතයෙහි ලා වන බුහුටිකම් ඇත්තෙකි. මේ එයට එක් නිදසුනකි.

”රබර් ගස් පෙබරවාරියේ දී කොළ හැලී ඉපල් වී යන්නට බලා සිටින්නේ ජීවිතයේ අසීරු කාලයකට මුල පුරන්නට මෙන් ය.’’

මේ තවත් එබඳු තැනකි.

'පිරිනිවන් කඳුපාමුලින්' සාහිත ලොවට මවුකිරි උල්පතක්

”..නැන්සි කුස්සියේ දොර වසා කාමරයට ගියා ය. පිරිනිවන්කන්ද පැත්තෙන් පායා තිබූ සඳේ එළිය ජනෙල් පළුවට වැටී තිබුණි. හඳ එළියට ඉඩ නොතබමින් ජැස්ටින් අඳුර කාමරය තුළට ගත්තේ ය.’’

මෙබඳු තැන් රැසකි. එතැන් පමණක් නොව මෙම නවකතාවේ නම ද රචකයාගේ සංකේතාත්මක භාෂාවක් භාවිත කිරීමෙහි ලා වන හැකියාවට සාක්ෂි දරයි.

‘පිරිනිවන්’ යනු බෞද්ධයන් විසින් ඉමහත් හැගීමකින් ප‍්‍රාර්ථනා කරනු ලබන අවසාන විමුක්තියයි. ‘කන්දෙන්’ සංකේතවත් වන්නේ ආධ්‍යාත්මික ජීවිතයේ උත්තුංගභාවයයි. මනුෂ්‍යයා යනු ඒ පිරිනිවන්කන්ද වෙත යාමේ වාසනා ගුණය ඇති බුද්ධිමත් සත්ත්වයා ය. එහෙත් මනුෂ්‍යයා ඒ කන්ද තරණය කිරීම වෙනුවට කඳුපාමුල ඇති සොම්නස හා දොම්නස සමග බැඳුණු අනේකවිධ කාරණා සිය ජීවිතයේ කොටසක් බවට පත්කොට ගනිමින් තම කායික මරණය සිදුවනතෙක් ඇලෙමින් හා ගැටෙමින් ජීවත්වෙයි. ලේඛකයා සංකේතනීය පිරිනිවන්කන්ද අප අබිමුව මවන්නේ නිවෙන මග ද දුර ඈත නොව අත්‍යාසන්නයේ පවතී ය යන හැගීම ද ජනිත කරවමිනි.

මේ අනුව රන්දිකගේ ලේඛන විලාසයෙහි අප දකින දෙවන විශේෂතාව වන්නේ සංකේතාත්මක භාෂා භාවිතයයි.

ඖචිත්‍යපූර්වක අලංකාර භාවිත කරමින් සිය නවකතාව සුන්දර සේම අර්ථසම්පන්න කොට ගැන්මට රන්දික සමත්වෙයි. මෙහිලා ඔහුට උපමා අලංකාරය විශේෂයෙන් ප‍්‍රිය වූ බව පෙනේ. මේ එබඳු තැන් දෙකකි.

”හිරුපිරිනිවන්කන්ද මුදුනේ සැඟව ඇත. කඳුපන්තිය උඩින් ළා රතු පැහැ එළි තාම විහිදෙයි. කණාමැදිරියන් බුරුතු පිටින් දෙණියේ නුගේ වසා ඇත. එය අපූරු පොසොන් තොරණක් වගේනේදැයි සෝමපාලට සිතුණි.’’

”එදා සෝමපාලගේ හිතේ ගිනිඅවුළුවා ගුණවතී ගෙට ආවේ රටක් රාජ්‍යයක් දිනූ එකියක ලෙසිනි. ලිපිය ගත් විට සෝමපාලගේ මුවේ තිබුණු සිනහව ලිපිය කියවීමත් සමඟ ගින්නට අසුවූ කඩදාසියක් මෙන් ගිනිගෙන දැවී ගිය අයුරු ඇය නැවත නැවත සිහි කළා ය. තමාගේ ගොදුරක් වෙන එකෙකු කඩාගත් මොහොතක මරණීය චේතනාවෙන් එය නැවත ඩැහැගත් කොටිදෙනක මෙන් ඇය ලැබුවේ කුරිරු සතුටකි.’’

මේ අනුව රන්දිකගේ ලේඛන විලාසයෙහි අපදකින තෙවන විශේෂතාව වන්නේ ඖචිත්‍යපූර්වක උපමා අලංකාර භාවිතයයි.

”පිරිනිවන්කන්ද’’ නවකතාව සම්පූර්ණයෙන්ම අමතකකොට විඳිය හැකි වියුක්ත ප‍්‍රකාශ රැුසක් ඉන් මතු කොට ගත හැකිවෙයි. නවකතාවට ද එළියක් දෙන එවන් වියුක්ත ප‍්‍රකාශ දෙකක් පමණක් මෙහි ලා උපුටා දක්වනු ලැබේ.

”ගැමියෝ වෙනදා මෙන්ම නැඟ එන හිරුටත් බැසයන හිරුටත් නෑකම් කියමින් ජීවන ගීතය සරලව ගයමින් උන්නෝ ය.’’

”නිහඬබව උන්වහන්සේ උපතින්ම රැගෙන ආවකි. නිහඬබව තුළ ඇති ගැඹුරුබව දන්නෝ උන්වහන්සේට හිරිහැරයක් වන පරිදි අඩිශබ්දවත් නොකරන්නෝ ය. උන්වහන්සේ නිවීයන අයුරු ගින්නෙන් දැවෙමින් අනෙක් උන් බලා උන්නෝ ය. නිවෙන මග නිරන්තර දෙසුව ද, එය අසමින් ගින්නෙන් දැවෙනවා මිස නිවෙන්නට කිසිවෙකුට හෝ සිතක් නොවන්නේ ය. සංසාරය තව බොහෝ දුර බව ඉඳින් නිතැතින්ම පසක් වන්නේ ය.”

මේ අනුව රන්දිකගේ ලේඛන විලාසයෙහි අප දකින සිව්වන විශේෂතාව වන්නේ අර්ථපූර්ණ වියුක්ත ප‍්‍රකාශ භාවිතයයි.

ලේඛන භාෂාව මෙන්ම ව්‍යවහාර භාෂාව ද සුදුසු පරිදි භාවිතයට ගැන්මට රන්දික සමත්වෙයි. මෙහි ලා පහත සඳහන් නිදසුන පමණක් වුව ඒ සම්බන්ධයෙන් ප‍්‍රමාණ වෙයි.

”පුංචම්මේ, ඇයි දානේබත් විතරක් මෙච්චර සුවඳ?

කෙල්ල පහත් හඬින් ඇසුවා ය.

”බුදුහාමුදුරුවො සුවඳයිනෙ. ඉතිං උන්නාන්සෙට පූජාකරන දේවලූත් ඒ වගේම තමයි. පිං සුවඳයි….’’

ගුණවතී දුන් පිළිතුරට කෙල්ලගේ ඇස් දිලිසුණේ ය.

මේ අනුව රන්දිකගේ ලේඛන විලාසයෙහි අප දකින පස්වන විශේෂතාව වන්නේ සදර්ථපූර්වක ව්‍යවහාර භාෂා භාවිතයයි.

සිය නවකතාවේ ගලායාමට හානියක් නොවන සේ සුදුසු පරිදි ධර්මය ගළපා ගැනීමටද ලේඛකයා සමත්වෙයි. මෙහි එබඳු තැන් රැසකි. ඉන් එක් තැනක් පමණක් මෙහි ලා නිදසුන් කෙරේ.

”මම ය, මගේ ය කියා අල්වා ගැනීම තුළ ඇත්තේ දුකම ය….. අහසේ පාවෙන සරුංගලයක් ගැන සිතන්න….. එය ඇස්දෙකට ගෙනෙන්නේ කොයි තරම් අසිරියක් ද? ඒ අප දකින සුවය රඳාපවතින්නේ අප එය තදින් අල්ලා සිටිනාතාක් පමණි. අප අතින් එය අත හැරුණු විටෙක එහි ඇති චමත්කාරයක් නැත. එය අයාලේ පාවී අපට අයිති නැති වස්තුවක් වී සිතට දොම්නසක් ගෙනෙයි. සරුංගලයක් සෑදීම තුළ ඇත්තේ දුක ය. එයට තදින් බැඳී ඇති නූල තුළ ඇත්තේ ඊටත් වඩා දුකක් ය.
නූල අතහැරී ගියවිට අතට දැනෙන්නේ සැහැල්ලූවකි. රකින්නට සරුංගලයක් නොවන තැන සොම්නසක් හෝ දොම්නසක් නැත. ඒ තුළ ඇත්තේ සැහැල්ලූවයි. බැඳෙන්නේ අප ය. බැඳීම තුළින් ගැලවීමට ගොස් තැවෙන්නේ ද අපම ය. බැඳීමක් නැති තැන තැවීමක් හෝ සැනසීමක් හෝ නැත. ඒ තුළ ඇත්තේ නිවීමයි.’’

මේ අනුව රන්දිකගේ ලේඛන විලාසයෙහි අපදකින සයවන විශේෂතාව වන්නේ සුදුසු පරිදි සිය නවකතාව සමග ධර්මය ගළපා ගැනීමයි.

නවකතාව, කෙටිකතාව, කවිය, ගීතය මේ කවරක් හෝ වේවා වැදගත් වන්නේ ඒවායේ ඔබ අප කාගේත් ජීවිත දැනට පවතිනවාට වඩා සුන්දරසේම අර්ථවත් කරවන ජීවන දර්ශනයක් ගැබ්වුවහොත් පමණි. රන්දික මේ පිළිබඳව විශේෂයෙන් සතිමත් වූ බව පෙනේ. මෙකරුණ පැහැදිලි කිරීම උදෙසා ”පිරිනිවන් කඳු පාමුලින්’’ එක් උද්ධෘතයක් පමණක් ගෙනහැර දක්වනු කැමැත්තෙමි.

”වැරැද්දක් වුණානම් ඒක නිවැරදි කර ගන්න ඕනි. ඒත් සමහර වැරදි තියෙනවා කොහොමවත් නිවැරදිකර ගන්න බැරි. එකපැත්තකට නිවැරදි කරන්න හදන කොට අනෙක් පැත්තට විශාල වරදක් වෙන. සෝමපාලට වෙලා තියෙන්නෙත් එහෙම දෙයක්. මේ වෙලාවේ ජීවිතේ නැතිකර ගන්න හදලා ජීවිත ගොඩක් විනාශ වෙනවාට වඩා බුද්ධිමත්ව තීරණයක් ගන්න ඕනි. ඒ හින්දා ඉදිරි කටයුතුවලට හිත හදාගන්න.’’

මේ අනුව රන්දිකගේ ලේඛන විලාසයෙහි අපදකින සත්වන විශේෂතාව වන්නේ හුදු පාඨක රසවින්දනයට පමණක් සීමා නොවී මුළු මහත් නවකතාව ඔස්සේ ප‍්‍රකාශයට පත්වන ජීවන දර්ශනය යි.

මෑතකදී කියවන්නට ලැබුණු අඳුර දුරලන සොඳුරු නවකතාවකි. ආදරණීය රන්දික, ඔබ අපේ ඇස ළඟ, ඔබ අපේ හිත ළඟ මැවූ ”පිරිනිවන්කන්ද’’ ලෝකයට ජීවිතය දැකීම උදෙසා වන කමටහනක්ම වේවායි පතමි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

'පිරිනිවන් කඳුපාමුලින්' සාහිත ලොවට මවුකිරි උල්පතක්
advertistmentadvertistment
advertistmentadvertistment