පිරිපහදුව දවස් 4ක් දිව්වොත් ගෑස් නැවක් ගේන්න පුළුවන්

548

දකුණු ආසියාවේ හොඳම ගුවන් යානා ඉන්ධන නිපදවූයේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන්
රටේ භූමිතෙල් අවශ්‍යතාවයෙන් 100% ක්ම දෙන්න පුළුවන්

● මාසික පාඩුව ඩොලර් මිලියන 30 ක්

අපේ රටේ ජාතික සම්පතක් වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ වන විට වසා දමා ඇත. එයට එක් හේතුවක් වන්නේ අපේ රට දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ පෑමයි. සරලව කිව්වොත් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් ගෙන්වීමට අපේ රටේ මහා භාණ්ඩාගාරය තුළ ඩොලර් නැත. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ නැවත ආරම්භ කිරීමට දින නියමයක්ද නොමැතිවය. එනිසාම දැනටමත් අද අපේ රටට අති විශාල ධනස්කන්දයක් අහිමිව තිබේ. අපේ රටේ ඉන්ධන අවශ්‍යතාවයට සැලකිය යුතු දායකත්වයක් මෙම තෙල් පිරිපහදුවෙන් ලැබුණි. දැන් පිරිපහදුවත් නැත. තෙලුත් නැත. මේ ඒ කතාවය.

● මොකක්ද මේ පිරිපහදුව

ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද තෙල් පිරිපහදුව 1969 වර්ෂයේ අගෝස්තු මස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධීක්‍ෂණය යටතේ ඉදිවිය. ඉරානයෙන් හා අරාබි රටවලින් ආනයනය කරන ලද සැහැල්ලු බොරතෙල් විශේෂයන් මුලින්ම මෙහි පිරිපහදු කටයුතු සඳහා යොදා ගැනිණි. භූමි අක්කර 165 ක පමණ වපසරියකින් යුක්ත මෙම පිරිපහදුවේ බොරතෙල් ගබඩා කළ හැකි ටැංකි 65 කින් සමන්විත අතර ඉන් පහක පමණක් බොරතෙල් මෙටි්‍රක් ටොන් 40,000 ක් පමණ ගබඩා කළ හැක. 1971 දී සපුගස්කන්ද පිරිපහදුව තුළ ගෑස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කළ අතර එම කාලයේ පිරිපහදු කළ හැකි බොරතෙල් බැරල් සංඛ්‍යාව 35,000 කි. පසුව 70 දශකයේ මුල් භාගයේදී බොරතෙල් බැරල් 50,000 දක්වා පුළුල් කිරීම සිදුවිය. මෙම පිරිපහදුව තුළින් භූමිතෙල් සිට ගුවන් යානා ඉන්ධන, පෙට්‍රල් සහ ඩීසල් වැනි විවිධ වර්ගයේ ඉන්ධන ලබා ගැනුණි. මෙහි නවීකරණ කටයුත්තක් සඳහා 2018 වසරේ මෙම පිරිපහදුව දින 35 ක කාලයක් වසා තැබුන අතර ඒ සඳහා ඉංජිනේරුවරුන් හා කාර්මික ශිල්පීන් 1,200 කට වැඩි පිරිසක් සහභාගි විය.

අපේ රටේ සම්පූර්ණ ජාතික අවශ්‍යතාවය සපුරාලීමට මෙම තෙල් පිරිපහදුවට නොහැකි වූවත් මෙම තෙල් පිරිපහදුව වසා දැමූ දිනය දක්වාම රටේ ඉන්ධන අවශ්‍යතාවයට සැලකිය යුතු දායකත්වයක් ලබාදීමට සපුගස්කන්ද තෙල් පිරිපහදුව සමත්විය. අප කළ ගවේෂණයකදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම පිරිපහදුව උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරවීමට නම් බොරතෙල් මෙටි්‍රක් ටොන් 5,500 ක් පමණ අවශ්‍යවේ. එසේ පිරිපහදු කිරීමෙන් අපේ රටට අවශ්‍ය ඩීසල් මෙටි්‍රක් ටොන් 1,800-1,850 අතර ප්‍රමාණයකුත් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 600-650 ක් අතර ප්‍රමාණයක් හා භූමිතෙල් මෙටි්‍රක් ටොන් 1,000 කට ආසන්න ප්‍රමාණයක් ද, රටේ විදුලි උත්පාදනය සඳහා අත්‍යවශ්‍ය දැවිතෙල් මෙටි්‍රක් ටොන් 2,000 කට ආසන්න ප්‍රමාණයක් ද, ගෑස් ටොන් 70 ක් පමණ දෛනිකව නිෂ්පාදනය කළ හැකි වේ. බොරතෙල් ආනයනය සීමා කිරීම තුළින් 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ ජුනි මස 25 දක්වා අවස්ථා ගණනාවකදීම මෙම තෙල් පිරිපහදුව වැසීමට ක්‍රියාකළේය. දැන් පිරිපහදුව ක්‍රියාත්මක නොවේ. අප ඒ ඇත්ත තත්ත්වය දැනගතයුතුය.

එහි සේවයේ නියුතු යාන්ත්‍රික ඉංජිනේරුවරයකු සමඟ අප ඒ පිළිබඳව කතා බස් කළෙමු. ඔහු අවුරුදු නවයක සිට මෙහි සේවයේ නිරත ඔහු උද්ගතවී ඇති වර්තමාන තත්ත්වය අප සමඟ මෙසේ පැවැසීය.

“ඇත්තටම සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ වනවිට වැසී දින 21 ක් පමණ වෙනවා. මෙම පිරිපහදුව පසුගිය අවුරුද්දේ නොවැම්බර් 14 වැනිදා සිට අවස්ථා කිහිපයකදීම වසා දැමීමට සිදුවුණා. මෙයට ප්‍රධානම හේතුව වුණේ අපේ රටේ ආනයනික බොරතෙල් සීමාකිරීම හේතුවෙන් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් මෙරට තුළ නැතිවී යෑම නිසයි. අවසාන වශයෙන් පසුගිය 25 වැනිදා එනම් ජුනි 25 දා මෙම තෙල් පිරිපහදුව වසා දැමීමට අපට සිදුවුණා.” ඔහු කියන්නේය.

● ඩොලර් 20 ක ලාභය අහිමිවන හැටි

“මේ පිරිපහදුව හරහා ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් පමණක් නොවෙයි අපේ රටේ විදුලි බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් 30% ක් සැපයුවේ මෙමගින්. මෙම පිරිපහදුව මුලින්ම වසා දමන විටත් අප ළඟ දැවිතෙල් මෙටි්‍රක් ටොන් 8700 ක් පමණ තිබුණා. අපේ තෙල් පිරිපහදුව සතු යන්ත්‍ර ඉරානියන් ලයිට් (Eranion Light) කියන බොරතෙල් විශේෂයට තමා ඩිසයින් කරලා තියෙන්නේ. පසුව අප Murbah, Arab Light, Miri, Das, Saharan නමැති බොරතෙල් විශේෂ පිරිපහදුව සඳහා යොදා ගත්තා.”

“මෙම පිරිපහදුවෙන් සාමාන්‍යයෙන් බොරතෙල් බැරල් 1 පිරිපහදු කළොත් ඩොලර් 20 ක ලාභයක් අපේ රටට තිබෙනවා. අපි දිනකට බොරතෙල් බැරල් 50,000 ක් පමණ ප්‍රමාණයක් පිරිපහදු ක්‍රියාවලියේ යොදවනවා. එවිට මෙම පිරිපහදුවෙන් දිනකට ඩොලර් මිලියන ලක්‍ෂයක ලාභයක් ලැබෙනවා. ඒ නිසා මසකට, අවුරුද්දකට කොපමණ ලාභයක් අපේ රටට ලැබෙනවාද? මේ ලාභය අපේ රටට සම්පූර්ණ ඉතිරියක්. අපිට දිනකට බොරතෙල් බැරල් 5,500 ක් දුවන්න ඕන. ඒ කියන්නේ උපරිම ධාරිතාවයෙන්. දවසින් දවස මේ ප්‍රමාණ වෙනස් වෙන්නත් පුළුවන්. මේ පිරිපහදුව දවස් 4 ක් දිව්වොත් ගෑස් නැවක් අපට ගේන්න පුළුවන්. ඒ තරම් මුදලක් අපේ රටට මෙමගින් ඉතුරු කරල දෙනවා. රටේ භූමිතෙල් අවශ්‍යතාවයෙන් 100% ක්ම දෙන්න පුළුවන්.” ඔහු කියන්නේ පවතින තත්ත්වය ගැන කම්පාවෙනි.

● පිරිපහදුව වැසීමෙන් සිදුවන අවාසි

“මෙම තෙල් පිරිපහදුව වසා දැමීම අපේ රටට, ආර්ථිකයට ගොඩක් බලපානවා. මෙම තෙල් පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට බොරතෙල් මෙටි්‍රක් ටොන් 5,500 ක් අවශ්‍ය වුණත් අද අපේ රටේ පවතින ඩොලර් හිඟය නිසා මෙම පිරිපහදුව සඳහා බොරතෙල් මෙටි්‍රක් ටොන් 3,400 ක පමණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවුණා. එහි ප්‍රතිඵලය වන්නේ නිෂ්පාදනය වන ඉන්ධන හා ගෑස් වර්ග සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමයි. ඉන් දිනකට නිෂ්පාදනය වන්නේ ඩීසල් මෙටි්‍රක් ටොන් 800-820 ක්, පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 300-325 ක් හා භූමිතෙල් මෙටි්‍රක් ටොන් 600-620 ක්, දැවිතෙල් මෙටි්‍රක් ටොන් 1,000 ක් ගෑස් මෙටි්‍රක් ටොන් 35-40 ක් විතර. අද දැවිතෙල් නිෂ්පාදනය වන ප්‍රමාණය අඩුවීම නිසා රටේ විදුලිය උත්පාදනයට දැවිතෙල් වෙනුවට ඉතා ඉහළ මිලක් ගෙවා ඩීසල් ආනයනයට මේ ආණ්ඩුවට සිදුවී තිබෙනවා. මේ නිසා අපේ රටේ තියෙන ඩොලර් ටිකත් නිකරුණේ වියදම් වෙනවා. ඇත්තෙන්ම මේක රටේ ධනය විනාශ වීමක්.” දිගින් දිගටම මේ විනාශය ගැන කතා කරන ඔහුට අප බාධා කළේ නැත.

“මෙම පිරිපහදුව වසා දැමීමෙන් අපේ රටට ලැබෙන මාසික පාඩුව ඩොලර් මිලියන 30 ක් විතර ඇති. ඒ කියන්නේ තව ඩීසල් නැවක ප්‍රමාණයක්. ඒ මුදලෙන් ඩීසල් නැවක් ගන්න පුළුවන්. අද ඩීසල් නැවෙන් භාගයකටත් වඩා විදුලි උත්පාදනයට වැය වෙනවා.”

● පිරිපහදුව නතර කිරීමට හේතු

“ඇත්තටම සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ වන විට වැසී දින 21 ක් පමණ වනවා. මෙම පිරිපහදුව පසුගිය අවුරුද්දේ නොවැම්බර් 14 වැනිදා සිට අවස්ථා කිහිපයකදීම වසා දැමීමට සිදුවුණා. මෙයට ප්‍රධානම හේතුව වුණේ අපේ රටේ ආනයනික බොරතෙල් සීමාකිරීම හේතුවෙන් බොරතෙල් අප රට තුළ නැතිවී යෑමයි. අවසාන වශයෙන් පසුගිය 25 වැනිදා එනම් ජුනි 25 වැනිදා මෙම තෙල් පිරිපහදුව වසා දැමීමට අපට සිදුවුණා. අපේ විවිධ සමාගම් හරහා රටට පිරිපහදු කළ ඉන්ධන ගෙන්වා සිදුකරන ගසා කෑම්, දූෂණය, නාස්තිය මේවාට ගොඩක් බලපෑවා.

● නාස්තිය, දූෂණ වාංචා හා අක්‍රමිකතා

“බොරතෙල් ආනයනය නැවැත්වීමත් සමඟ නිමි ඉන්ධන (පිරිපහදු කළ ඉන්ධන) ගෙන්වීමට මේ රජය ක්‍රියාකළා. ඉන්පසු අප සතුව තිබූ දැවිතෙල්වලින් කොටසක් පිටරට සමාගම්වලට විකුණා දමන්නට මේ පාලකයන් ක්‍රියාකළා. මේ සියල්ල සිදුවුණේ හිටපු බලශක්ති ඇමැතිතුමාගේ කාලය තුළයි. අන්තිමට විදුලි බලාගාරවල විදුලිය උත්පාදනය කරන්න ඩීසල් අපිට පිට රටින් ගේන්න වුණා. ඒවා ගෙනාවේ ඉහළ මිල ගණන් යටතේ. රටේ ඩොලර් හිඟ වෙලාවේ අධික මිලට තෙල් ගෙනල්ලා මේ රජය ඉතුරු වුණ ඩොලර් ටිකත් විනාශ කළා. මේක තමයි නාස්තිය, දූෂණය කියන්නෙ. අපෙන් අන්තිමට ක්‍ෑඊ එක (විදුලිබල මණ්ඩලය) දෙසැම්බර් අන්තිම වගේ දැවිතෙල් ඉල්ලුවා. ඒ වෙනකොට දෙන්න තරම් දැවිතෙල් අපි ළඟ ඉතුරුවෙලා තිබුණේ නෑ. ඒ ඔක්කොම විකුණලා. ඉන්පසු දිගටම විදුලි බලාගාර වලට අවශ්‍ය ඩීසල් ටික පිටරටින්ම ගේන්න වුණා.”

“බොරතෙල් ආනයනයේදී ගොඩක් අක්‍රමිකතා සිදුවෙනවා. ඇත්තටම අපේ රටේ තිබෙන ඩොලර් වලින් බොරතෙල් ගෙන්වීමට මේ රජය ප්‍රමුඛතාවයක් දිය යුතුයි. ඇත්ත වශයෙන්ම එසේ කිරීමක් සිදුවුණේ නෑ. වැඩි මිලට පිරිපහදු කළ ඉන්ධන ගෙන්වීමෙන් අපේ රටේ ඇති ඉතිරි වූ ඩොලර් සංචිත ටිකත් මේ රජය විසින් නිරපරාදේ විනාශ කර දැමුවා. මෙසේ ගෙන්වන ලද ඩීසල් වලින් භාගයකටත් වඩා වැඩිය ගියේ විදුලිබලාගාරවලට. මේ හේතුවෙන් අපේ රටේ ඉන්ධන අර්බුදය තව තවත් උග්‍රවීම සිදුවුණා. අද ප්‍රවාහන ක්‍ෂේත්‍රය කඩාවැටිලා. රටේ ජන ජීවිත අඩාල වෙලා. මෙසේ නිමි ඉන්ධන ආනයනයෙන් රටේ ජනතාවට සෙතක් වෙන්නේ නෑ. ජනතාවට අද රැකියාවට යන්න ඉන්ධන ටිකක් නෑ. ගෑස් නෑ. මේ නිසා භූමිතෙල් ටිකක්වත් අපේ මිනිස්සුන්ට ඉතිරිවෙන්නේ නෑ. මේ ප්‍රශ්න වලින් ජනතාව මුදවා ගැනීමට ඇත්ත වශයෙන්ම බොරතෙල් ආනයනයට ප්‍රමුඛතාවයක් දිය යුතුමයි. මේ හරහා ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. බලධාරීන් මෙසේ නොකරන්නේ පිරිපහදුකළ තෙල් ගෙන්වීමෙන් ලැබෙන කොමිස් මුදල් ගසා කෑම් නිසයි.”

“අපේ රටේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 30% ක් දෙන්න අපට පුළුවන්. මෙම පිරිපහදුව මගින් ගුවන් යානා ඉන්ධන පවා අපි ලබා දුන්නා. ඒ මගින් විශාල විදේශ විනිමයක් අපේ රටට ලැබුණා. දකුණු ආසියාවේ හොඳම ගුවන් යානා ඉන්ධන නිපදවූයේ සපුගස්කන්ද මෙම තෙල් පිරිපහදුවෙන්. වෙනත් රටවලට පවා ගමන් කරන ගුවන් යානා පවා ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගත්තේ අපෙන්. මේ පිරිපහදුව අකර්මන්‍ය වීම තුළින් ඒ සියලු වාසි ප්‍රයෝජන අද අපේ රටට අහිමි වුණා. අපි සැපයූ ගුවන්යානා ඉන්ධන සැපයුම දීමට අද විදේශීය සමාගම් හා තවත් පුද්ගලික සමාගම් මාන බලමින් ඉන්නේ. අද ඒ සියල්ලම අපට අහිමිවෙනුයි තියෙන්නේ. ගුවන් යානා සඳහා දිනකට ඉන්ධන ලීටර් ලක්‍ෂ 12 ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ හරහා අපේ රටට විශාල මුදල් ප්‍රමාණයක් නැතිවුණා. මෙම පිරිපහදුවෙන් විදුලි නිෂ්පාදනයට වගේම වෙනත් කර්මාන්ත ශාලාවලට අවශ්‍ය දැවිතෙල් පවා ලබාදුන්නා. මෙම පිරිපහදුවට අමතරව ඉන් ලැබෙන අතුරුඵල වලින් නයිලෝන් නිෂ්පාදනය, පොහොර නිෂ්පාදනය, ඉටිපන්දම් නිෂ්පාදනය පවා ඒකාලයේ සිදුවුණා. පසුව ඒවා සියල්ලම පෞද්ගලීකරණය වීම නිසා අද වසා දැමුන කර්මාන්ත බවට ඒවා පත්ව තිබෙනවා. එදා පොහොර සංස්ථාව සතුව තිබූ මැෂින් යකඩවලට විකිණීමට එවකට සිටි බලධාරීන් ක්‍රියා කළා. ඒ 1986-1987 කාලය තුළ. ඇත්තෙන්ම මෙම අදූරදර්ශී ක්‍රියා අද පවතින රසායනික පොහොර හිඟයටත් බලපානවා. ඒ දවස්වල ඒ යන්ත්‍ර සූත්‍ර අපේ රටෙන් රැගෙන ගියේ ඩුබායිවලට. ඒවා විකුණුවේ යකඩ බරට. ඒ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා අද ඔවුන් යූරියා වැනි පොහොර හදනවා. ඒවා අද ලංකාවේ තිබුණනම් ලංකාවට පිටරටින් අධික මිලක් ගෙවා පොහොර ගෙන්වන්න ඕනෙ නැහැ. ඒ මැෂින් මාස තුනක් දිව්වා නම් අවුරුද්දකට අවශ්‍ය පොහොර දෙන්න පුළුවන්කමක් තිබුණා.”

ඉන්දීය ණය ආධාර මුදල් හරහා බොරතෙල් ආනයනය කළාද? අප ඔහුගෙන් ප්‍රශ්න කළෙමු.

“නැහැ. අපේ රටට ඒ ණය මුදල්වලින් ගෙනාවේ නිමි ඉන්ධන විතරයි. අපිට අන්තිමට බොරතෙල් ලැබුණේ 25.05.2022 දින. ඒ ගෙනාවේ සයිබීරියන් නැවකින්. ඒ නැව ආවේ 28.04.2022 දින. ඒකටත් මුදල් ගෙවාගන්න බැරිව ඒ නැව මාසයකට වැඩි කාලයක් මුහුදේ තබාගෙන හිටියා. මේවාට අපේ රටේ ඉතිරි ඩොලර් ටිකත් නිකරුණේ වැයවුණා.

● දැනට සිදුවන නඩත්තුව හා අධික වැටුප් සේවකයන්ට ගෙවීම

“මේ පිරිපහදුව වසා දැමුවා කියා එය අතහැර දමන්න පුළුවන් කමක් අපට නෑ. මෙහි පැවැත්ම සඳහා එහි නඩත්තු සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුමයි. මෙහි ඇති උඳුන් හා නළ මාර්ග කාලයක් තිස්සේ එකම උෂ්ණත්වයක පැවැතීම නිසා එම ක්‍රියාවලිය නැවතුණු පසු පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වය සමඟ එහි අභ්‍යන්තර විකාදනයකට ලක්වීම සිදුවෙනවා. විශේෂයෙන්ම එහි උත්ප්‍රේරක පද්ධතියට දැඩි හානි සිදුවෙනවා. මේවායේ ඇති නළ මාර්ග තුළ විවිධ ප්‍රතික්‍රියා ඇතිවී ඔක්සයිඩ් වර්ග තැන්පත් වෙනවා. එම නිසා මේවා නිතර අලුත්වැඩියාවට ලක්විය යුතුයි. අපේ මේ දිනවල එහි නඩත්තු කටයුතු සිදුකරමින් පවතිනවා. මේ පිරිපහදුව කඩින් කඩ පවත්වාගෙන යෑම තුළින් මෙහි ඇති උත්ප්‍රේරක පද්ධති දිනෙන් දින විනාශ වෙනවා. මේ යන්ත්‍ර සූත්‍ර විනාශ වී ගියහොත් අලුත්වැඩියා සඳහා ඩොලර් මිලියන ගණනක් වැය වෙනවා. එතරම් විශාල මුදලක් අපේ රජයට දැන් කොහොමත්ම දරන්න බැහැ. නැවත බොරතෙල් අපට ලැබෙන තුරු මෙම පිරිපහදුව නඩත්තු කළ යුතුයි. අද මිලියන 4 ක් ගෙවා ගන්න බැරිව සති ගණන් මුහුදේ තෙල් නැව් තියෙනවා. මේ රටේ ඇත්තටම තියෙන්නේ තෙල් මාෆියාවක්. අද දවසින් දවස මේ තෙල් පිරිපහදුව ස්වභාවික මරණයකට පත්ව තිබෙනවා. ඒ ගැන සොයා බලන්න බලධාරීන්ට වුවමනාවක් නෑ.”

තම නම හෝ තනතුර හෙළිදරව් කිරීමට අකමැති ඔහු ඉතා දීර්ඝ වශයෙන් අපට පැහැදිළි කළේය.

සපුගස්කන්ද ජාතික සම්පතකි. රටට ඩොලර් ඉතිරි කරන තැනකි. එය වැසී යෑම දැරිය නොහැකි පාඩුවකි. මීළඟ බොරතෙල් තොගය අපේ රටට ලැබෙන්නේ කවදාද? එයට සහතික වශයෙන් පිළිතුරක් දීමට අපේ රටේ බලධාරීන් අසමත් වී ඇත. මෙතෙක් පැවැති ආණ්ඩු හා රාජ්‍ය දේපළ විකිණීමට උපන්ගෙයිම හපන්කම් දක්වන, කොමිස් මුදලට, වංචාවට යටවූ හොර තක්කඩි, අදූරදර්ශී දේශපාලකයන් මෙම විනාශයට සෘජුව වගකිවයුත්තෝය. මෙම පිරිපහදුව නැවත පටන් ගෙන රටේ තෙල් ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතු අතර මේ ආශ්‍රිත අනෙකුත් කර්මාන්ත නැවත රටේ ස්ථාපිත කළ යුතුය. එමගින් රටේ ඩොලර් ප්‍රශ්නයට හා පොහොර ප්‍රශ්නයට පිළිතුරු සෙවීම වර්තමාන ආණ්ඩුවේ වගකීම හා කාර්යභාරය වේ.

ශ්‍රී ලංකාව තවමත් තෙල් ප්‍රශ්නයේ ගිලී හිරවී ඇත. එයට පිළිතුරු සෙවීමට දේශපාලනඥයන්ට වුවමනාවක් නැති ගාණය. තෙල් පෝලිම්වල මිනිස්සු සිය අවසන් සුසුම් හෙළද්දීත් සිය දේශපාලන බලය රැකගැනීමට වෙර දරන දේශපාලකයන් මෙරට සිටීම අප ජාතියේම අවාසනාවකි. එදා සිටම අපේ රටේ තෙල් සැපයුම අඛණ්ඩව සිදුකළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද විනාශමුඛයේය. අපි මීළඟට අරගල කළ යුත්තේ මේ සම්පත් රැකගැනීමට නොවේද?

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment