පිරිමි ගති ලක්ෂණ වර්ධනය නොවීම

410

පිරිමි ළමයෙක් වුනාම පිරිමි ළමයෙක් වගේ ඉන්න ඕනේ. ගෑනු ළමයෙක් වගේ වෙලා බැහැ. මුහුණේ රැවුල වැවීම, පපු පෙදෙසේ රෝම වර්ධනය, පළල් උරහිස, ගොරෝසු කටහඬ ආදිය පිරිමි ළමයකුට උරුම ලති ලක්ෂණ ලෙස අප සමාජය තුළ සම්මත වී ඇත.

එනිසා මෙම ලක්ෂණ නොමැති වූ විට එවැනි පිරිමි ළමුනට සමාජයේ නොයෙකුත් උසුළු විසුළුවලට මුහුණදීමට සිදුවේ. මෙසේ වීමට හේතු වී ඇත්තේ ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන්ගේ ලිංගික හෝමෝනවල පවතින වෙනස්කම්ය. ගැහැනු දරුවකුගේ ලිංගික අවයව වර්ධනය සඳහා උපකාරී වන්නේ ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනය. පිරිමි දරුවන්ගේ ලිංගික අවයව වර්ධනය සඳහා උපකාරීවන්නේ ටෙස්ටොස්ටෙරොන් (Testosterone) හෝමෝනයයි.

එබැවින් මෙම හෝමෝනවල අසමතුලිතතාවයක් ඇති වූ විට පිරිමි ළමුන් කෙරෙහි ඔවුනට ආවේණික ගති ලක්ෂණ යටපත් වේ.

පිරිමි දරුවකුගේ වර්ධනය

පිරිමි දරුවකුගේ කුඩා කාලයේදී වෘෂණ කෝෂ සහ ශිෂ්ණය සිරුරින් බාහිරට පැමිණ තිබේ. එය ගැහැණු දරුවකුට වඩා වෙනස් වූ ලිංගික ගති ලක්ෂණයකි. නමුත් කටහඬ, සිරුරේ ස්වරූපය කුඩා කාලයේදී ගැහැනු සහ පිරිමි දරුවන්ගේ වැඩි වෙනසක් දැකිය නොහැකිය.

නමුත් ඔවුන් වර්ධනය වනවිට පිරමි සහ ගැහැනු ළමුන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ කැපී පෙනෙන ලෙස වර්ධනය වීමට පටන්ගනී. එහිදී පිරිමි දරුවන්ගේ උරහිස පළල් වේ. ඉණ ප්‍රදේශය සිහින් වේ. පපුව ප්‍රදේශයේ රෝම වර්ධනය වීමට පටන් ගනී. කටහඬ ගොරෝසු වේ.

මෙම ද්විතීක ලිංගික ලක්ෂණ වර්ධනයවීම දුර්වල වේ නම් ඒ ගැන අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා ඔවුන්ගේ ලිංගික හෝමෝනවල දුර්වලතාවයක් මතුවී තිබිය හැකිය. එහිදී පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂ සහ ශිෂ්ණය නිසි ලෙස වර්ධනය වී නැත්නම් ඒ ගැන වහාම අවධානය යොමු කළ යුතුය. එසේම පිරිමි දරුවන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක් දක්නට ලැබේ නම් ඒ ගැන ද අවධානය යොමු කළ යුතුය. එය හෝමෝන අසමතුලිතතා රෝගයක් (Gynecomastia) විය හැකිය. ඇතැම් විට එය සිරුරේ අසාමාන්‍ය වර්ධනය නිසා සිදුවූවක් ද විය හැකිය. එය හඳුනාගත හැක්කේ වෛද්‍ය පරීක්ෂාවකිනි.

පිරිමි දරුවන් නව යොවුන් වියට පත්වන විට ශිෂ්ණය සහ වෘෂණ කෝෂ වැඩි වර්ධනයක් සිදුවේ. එය සිදුනොවේ නම් ඒ ගැන පරීක්ෂාවකට ලක්කළ යුතුය. එය හෝමෝන ඌනතාවයක් ද, පිටියුටරි ග්‍රන්ථියේ හෝ හයිපොතැලමසයේ ක්‍රියාකාරීත්වයේ දුර්වතලාවයක් දැයි කියා නිවැරදිව හඳුනාගත යුතුය.

එය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් යථා තත්ත්වයට පත්කළ හැකිය. එසේ නොමැතිව ප්‍රමාද වූ විට පිරිමි දරුවාගේ සිරුරේ උරහිස පළල් නොවීම, උස නොයෑම ආදී ශරීර ලක්ෂණ සහිතව කාන්තා සිරුරක ලක්ෂණ මතුවිය හැකිය.

එසේම මෙම හෝමෝන අසමතුලිතතාවය නිසා මඳසරුභාවයට පත්විය හැකිය. ලිංගික ක්‍රියාවන්හි දුර්වලතාවයන් ඇතිවිය හැකිය.

මේ සියලු දුර්වලතා සඳහා වර්තමානයේ අප රට තුළ නවින තාක්ෂණයෙන් යුත් හෝමෝන ප්‍රතිකාර ක්‍රම සහ වෛද්‍ය පහසුකම් පවතී. එනිසා පමාවීමකින් තොරව මුල් අවස්ථාවේදීම මෙම දුර්වලතා හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීමෙන් හෝමෝන අසමතුලිතතා නිසා යටපත්ව ඇති පිරිමි දරුවන්ගේ පිරිමි ගති ලක්ෂණ යළි මතුකර ගත හැකිය.

පිරිමි ගති ලක්ෂණ වර්ධනය නොවීම

කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය විද්‍යාජෝති
ප්‍රසාද් කටුලන්ද

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment