පිරිමි සහාය දිවීමේ කණ්ඩායම රන් පදක්කම දිනයි

169

තායිලන්තයේ බැංකොක් අගනුවර දී ඊයේ (21) සවස නිමාව දුටු පළමු ආසියානු ශූරතා සහාය දිවීමේ තරගාවලියේ දී පිරිමි මීටර් 400 × 4 සහාය දීවීමේ ඉසව්වේ රන් පදක්කම අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, කාලිංග කුමාරගේ සහ දිනුක දේශාන් ගේ සුසංයෝගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගත්හ.

මිනිත්තු 3.04.48 ක තරග නිමි කාලයක් සටහන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වන අතර වාරයේ දී නියමිත දුර ප්‍රමාණය නිමා කිරීම සඳහා ඉන්දියාවට ගත වූ කාලය මිනිත්තු 3.05.76 කි. ලෝකඩ පදක්කම තහවුරු කර ගත් වියට්නාමයට ගත වූ කාලය මිනිත්තු 3.07.37 කි.

පිරිමි මීටර් 400×4 තරග ඉසව්වේ රන් පදක්කම තහවුරු කර ගැනීම සඳහා ගිය ගමනේ දී අරුණ දර්ශන ගේ මනරම් ආරම්භයත් කාලිංග කුමාරගේ ප්‍රදර්ශනය කළ සටන්කාමී අවසානයත් බොහෝ සේ ඉවහල් වූ බව කදිමට නිරූපණය විය. අසල්වැසි ඉන්දියාව දෙවැනි ස්ථානයට පත් කරමින් ශ්‍රී ලංකාව ලත් මෙම රන් පදක්කම ඉහළ අගයක් ගත්තේය.

අරුණ දර්ශන හමුවේ මෙන්ම කාලිංග කුමාරගේ හමුවේ ප්‍රතිවාදී සියලුම ක්‍රීඩකයින්ගේ දක්ෂතාව පසුබෑමකට ලක්වූ ආකාරය ඒ අතරේ කැපී පෙණුනි.

ඊයේ (21) ක්‍රියාත්මක කෙරුණු පිරිමි මීටර් 100 × 4 සහාය දිවීම ඉසව්වේ 04 වැනි ස්ථානය ද කාන්තා මීටර් 100 × 4 සහාය දිවීම ඉසව්වේ 05 වැනි ස්ථානය ද කාන්තා මීටර් 400 × 4 සහාය දිවීම ඉසව්වේ 04 වැනි ස්ථානය ද ශ්‍රී ලංකාව සතු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment