පිළිකාවට තියා හිසරදේකට, කැස්සකටවත් බෙහෙත් නැත

93

“බෙහෙත් මිල එන්න එන්නම වැඩි වෙනවා. දැන් රෝහල් වලිනුත් පිටින් ගන්න කියලා බෙහෙත් ලියලා දෙනවා. පපුවේ අමාරුවට ගන්න බෙහෙත් ටිකට මීට මාස හතරකට කලින් ගියේ රුපියල් හත්දාහයි. දැන් ඒ බෙහෙත් ටිකම ගන්න රුපියල් පහළොස්දාහක් විතර යනවා. ඊටත් වඩා ගණන් වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. සමහර බෙහෙත් වර්ග හැම ෆාමසියකම නැහැ. ඒ වගේ වෙලාවට සෑහෙන දුරක් බෙහෙත් හොයාගෙන යන්නත් වෙනවා. හැම අතින්ම තැලෙන්නේ අසරණ මිනිස්සුමයි. කන්න බොන්න නැතුව වගේම බෙහෙත් නැතුවත් මිනිස්සු මැරෙනවා කියලා අහන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි”

 හදවත පිච්චෙන මෙවැනි කතා දවසින් දවස වැඩිවෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතිනවා යැයි කියනා රටකය. දැන් උදා වී ඇත්තේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය මනුෂ්‍යත්වය වැනි කාරණා පිළිබඳව දේශපාලන වේදිකා මත, ගමක් නගරයක් පාසා දිවා රැය නොබලා පිරිසක් ප්‍රශස්ති ගායනා කරන රටක, අහිංසක ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ටිකවත් සපයාගත නොහැකි තත්ත්වයකි. ඖෂධ මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම සහ අත්‍යවශ්‍ය ඖෂධ රාශියක් හිඟවීම නිසා රාජ්‍ය සහ පුද්ගලික දෙඅංශයේම සෞඛ්‍ය ක්ෂේත්‍රයන් මේ වන විටත් අකර්මණ්‍ය වෙමින් පවතී. සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට ලක් වී තිබෙන අවස්ථාවක වුවත් පසුගිය තුන් වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙසට ගැසට් නිවේදනයක්ද පසුගිය සතියේ නිකුත් කෙරිණි.

 මෑත කාලීන ඉතිහාසයේ කවදාවත් අත් නොවිඳි තරම් ඛේදාන්විත ඉරණමකට ලාංකිකයන් වන අපි සියල්ලෝම මුහුණ දෙමින් සිටින්නෙමු. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ඇතිවූ ආර්ථික අර්බුදය මේ වන විට ජන ජීවිතයට කර ඇති බලපෑම සුළුපටු නොවේ.

 ගෑස්, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් කුසට අහරක් නැතිව, නිදි නොලබා, පෝලිම්වල සති ගණන් මාස ගණන් බලා සිටි මිනිස්සු දැන් ඖෂධ වෙනුවෙන්ද පෝළිම් ගැසෙති.

 ශීඝ්‍ර ලෙස මිල ඉහළ යන අත්‍යවශ්‍ය වෙළෙඳ ද්‍රව්‍ය අතරට ඖෂධ මිලද එක්වී ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. මෙලෙස ඖෂධ මිල ගණන් දරාගත නොහැකි ප්‍රමාණයන්ගෙන් ඉහළ යෑමත්, රජයේ රෝහල්වල මෙන්ම පුද්ගලික අංශයේ රෝහල්වලත්, ෆාමසිවලත් ඖෂධ හිඟවීමත් ජනතාවට දරාගත නොහැකි තවත් එක් බරපතළ ව්‍යසනයක ආරම්භයකි. මෙලෙස ඖෂධ සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් නිර්මාණය වීමත් සමඟ අපේ රටේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳවද ජනතාව ඉදිරියේ දැල්වෙන්නේ රතු එළියකි.

 රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය නිසා දිවයින පුරා පිහිටි රෝහල්වල ඖෂධ සහ අත්‍යවශ්‍ය සැපයුම් හිඟ වෙමින් පවතින බවට වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල නිරන්තරයෙන් අවධාරණය කරති. එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණවල මිල ගණන් ඉතා ඉහළ බවටත්, ඇතැම් ඖෂධ වැඩි මිලකටවත් සොයා ගත නොහැකි බවටත් ජනතාව කියයි. ඉන්ධන අර්බුදයත් සමඟ සෞඛ්‍ය සේවයේ සිදුවූ අකාර්යක්ෂමතා මේ වන විට යම්තාක් දුරට පහව ගොසින් තිබුණත් ඖෂධ මිල ඉහළ යාමත්, ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟයත් නිසා සෞඛ්‍ය සේවය නිසි අයුරින් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති රෝහල් ගණනාවක් පිළිබඳවම පසුගිය කාලය තුළ මාධ්‍ය තුළින් තොරතුරු අනාවරණය විය.

 වාර්තා වූ තොරතුරු අනුව මේ වන විටත් කොළඹ පිහිටි ප්‍රධාන රජයේ රෝහල්වල, නාගරික රෝහල්වල මෙන්ම බොහෝ ග්‍රාමීය රෝහල්වලටද මෙම ඖෂධ හිඟය තදින්ම බලපෑම් එල්ල කර හමාරය.

 මේ අතර ලංකාවේ රෝහල්වල පිළිකා ඖෂධවල දැඩි හිඟයක් පවතින බව පසුගිය දිනවල නිතර නිතර කතාබහට ගැනුණු මාතෘකාවකි. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පිළිකා රෝගීන් සඳහා භාවිත කරන trazumab එන්නත ඇතුළු ඖෂධ විස්සක් මේ වන විටත් රෝහල්වල නැත. පිළිකා රෝගයටවත් අවශ්‍ය ඖෂධ ටික රෝහල් වල නොමැතිවීම කොතරම් දරුණු ඛේදවාචකයක් දැයි අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. පිළිකා රෝගීන්ට නිසි පරිදි ඖෂධ ලබා නොදුන්නොත් ඔවුන්ගේ ජීවිත අවදානමේය.

 මේ වන විටත් ලංකාවේ පිළිකා ව්‍යාප්තිය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී. එමෙන්ම පිළිකාව මාරාන්තිකය. ඒ නිසාම රජයේ රෝහල්වලින් පිළිකා රෝගීන් සඳහා නොමිලයේම ප්‍රතිකාර ලබා දෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ ඖෂධ සඳහා වෙන් කරන මුදලින් 40% ක ප්‍රමාණයක් වෙන් කරන්නේ පිළිකා රෝගය සඳහා අවශ්‍යය ඖෂධ ගෙන්වීම වෙනුවෙනි. මේ ඖෂධ හිඟය සම්බන්ධයෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රකාශකයෙක් දැක්වූයේ මෙවැනි අදහසකි.

 මේ වෙද්දී අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවෙලා තියෙන බරපතළ අර්බුදය තමයි ඖෂධ හිඟය. ඖෂධ හිඟය පිළිකා  රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වලට දැඩිලෙස බලපානවා. අපේක්ෂා රෝහලේ වගේම අනෙකුත් රෝහල්වල පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර ඒකකවල බලධාරීන් මේ ඖෂධ හිඟය ගැන කිහිප වතාවක්ම සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දීලා තියෙනවා. ඒත් තවමත් ඒවට විසඳුම් නැහැ.

 පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන trazumab ඇතුළු පිළිකා ඖෂධ වර්ග 15 ක දැඩි හිඟයක් පවතිනවා. ඒ නිසා සමහර පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙන්නේ.”

 පිළිකා රෝගීන් 3000 ක් පමණ වර්ෂයකට ප්‍රතිකාර සඳහා එක්වන බවත් මහරගම අපේක්ෂා රෝහලෙන් රෝගීන් 1000 ක් පමණ දෛනිකව නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන බවත් අපට දැනගන්නට ලැබුණි. වාර්තා වන ආකාරයට මහරගම අපේක්ෂා රෝහලේ මෙන්ම කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කරාපිටිය සහ යාපනය මහ රෝහල් ඇතුළු රෝහල් රැසක මේ වන විටත් ඖෂධ හිඟය සම්බන්ධයෙන් රෝගීන් දැනුවත් කර අවසන්ය. අදාළ ඖෂධ රෝහල් ගබඩා වල නොමැති බවට බොහෝ රෝහල් ඖෂධ ගබඩා ආරංචි මාර්ගද තහවුරු කර ඇත. ඒ නිසා අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගත නොහැකි බවටත්, ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ පෞද්ගලික ෆාමසි හරහා ලබාගන්නා ලෙසට රෝහල් වලින් දැනුම් දෙන බවටත් පීඩාවට පත් රෝගීහු පවසති.

 මෙලෙස ෆාමසි හරහා ඖෂධ ලබා ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කළත්, වැඩි මුදලක් ගෙවා හෝ එම ඖෂධ මිලදී ගන්නට වත් ෆාමසිවල එම ඖෂධ නොමැති බවට ෆාමසි සහ බෙහෙත්සල් හිමියෝ මෙන්ම රෝගීහු පෙන්වා දෙති. පිළිකා රෝහලේ මෙන්ම, දන්ත රෝහලේද මෙන්ම අක්ෂි රෝහලේ දෛනික වැඩ කටයුතුද ඖෂධ හිඟය නිසා අඩාල වී හමාරය.

 අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධවලද දැඩි හිඟයක් පවතින නිසා ඖෂධ බොහොමයක් රෝහල තුළින්ම රෝගීන්ට නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ශල්‍ය උපකරණවල හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ශල්‍ය කර්මවලට පමණක් සීමා වීමට සිදුව තිබෙන අතර සෙසු ශල්‍යකර්මද ප්‍රමාද කිරීමට සිදුව තිබෙන බවත් අක්ෂි රෝහල් නිලධාරීන් කියා සිටියි.

 මේ අතර පුළුන් ඇතුළු ඖෂධ හා උපකරණ බොහෝමයක් හිඟවීම හේතුවෙන් ජාතික දන්ත රෝහලේ දන්ත ශල්‍ය කටයුතු සීමා වී ඇති බවද වාර්තා වේ. ප්‍රතිකාර සඳහා දිනකට රෝගීන් 500ක් පමණ පිරිසක් ජාතික දන්ත රෝහලට පැමිණෙන නමුත් උපකරණ හා ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ දෙනකු නැවත හරවා යැවීමට සිදුවන බවද දන්ත රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඉතාමත් දැඩි වේදනාවන්ගෙන් පසුවන රෝගීන්ට ලබා දීමට වේදනානාශක ඖෂධ පවා ප්‍රමාණවත් නොවන බැවින් රෝගීන් දැඩි වේදනාවෙන් නැවත හැරී යන අවස්ථාවන්ද බොහෝමයක් ඇති බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියි.

 මෙලෙස හිඟ වී ඇති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් ආනයනය සඳහා ප්‍රසම්පාදන අනුමැතිය හිමිව ඇති නමුත් තවමත් එම ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය පියවර ගෙන නැත. මේ නිසා ඖෂධ වර්ග 50 ක් පමණ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලැබුණි.

 එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පසුගිය තුන් වන දා ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක්ද පැවැත්වුණි. මෙම සාකච්ජාව පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙසින් අදහස් දැක්වීය.

 “මේ මොහොතේ රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවෙලා තියෙනවා.

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ඖෂධ හිඟය පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාවත් ජනාධිපතිවරයාට බාර දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාර්ශ්ව අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම නිසා තමයි ගැටලු බොහොමයක් ඇති වෙලා තියෙන්නේ. ඒ අවස්ථාවේ අපි ඖෂධ මිල ඉහළ යෑම සම්බන්ධයෙනුත් සාකච්ඡා කළා.

 ඒ අනුව තෝරා ගැනුණු අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල මිල පහත දැමීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවුණා. ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා උපදේශකයන්ට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නා”.

 කෙසේ වෙතත් ඖෂධ හිඟය සම්බන්ධයෙන් නියමිත වෙලාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශ දැනුවත් කර නොමැතිවීම නිසා ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව එක් පාර්ශ්වයක් පවසයි. මේ ආකාරයට නියමිත වෙලාවට ඖෂධ හිඟය සම්බන්ධයෙන් දැනුවත් නොකිරීම නිසා, කල්වේලා ඇතුව ඖෂධ සපයා ගැනීමට නොහැකි වන බවත්, එහිදී සිදුකිරීමට වන්නේ, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, අත්‍යවශ්‍ය ඖෂධ හදිසි මිලදී ගැනීම් වෙත යෑමට බවත් ඔවුන් පෙන්වා දෙයි.

 කාගේ වරදින් හෝ මේ වන විටත් ඖෂධ අර්බුදය නිසා ජනතාව කබලෙන් ළිපට වැටී හමාරය. වෙනදාට සාමාන්‍ය මුදලකට මිලදී ගත් ඖෂධවල පවා මිල දෙතුන් ගුණයකින් වැඩි වී ඇත. එමෙන්ම ඇතැම් ඖෂධ වැඩි මිලට මිලදී ගැනීමටවත් ඖෂධහල් වල නොමැති කමෙන් රෝගීන්ගේ ජීවිතද ඇත්තේ අනතුරේය. ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් තම දළ ජාතික නිෂ්පාදනයෙන් 3.4% පමණ ප්‍රමාණයක් සෞඛ්‍ය සඳහා වියදම් කරයි. ලංකාවේ ඒකපුද්ගල සෞඛ්‍ය වියදම වසරකට ඇමෙරිකානු ඩොලර් 168 පමණ වන බව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති වාර්තා වල සඳහන් වෙයි. නමුත් නිදහස් සෞඛ්‍යය පවතිනවා යැයි කියන රටක සෞඛ්‍යය වියදමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අදටත් දරන්නේ රෝගීන් තමන්ගේ පුද්ගලික වියදමෙන් බව රහසක් නොවේ. බාහිර රෝග ප්‍රතිකාර ලබා ගැනීමට, බාහිර පරීක්ෂණ සිදුකර ගැනීමට, රෝහලට පරිබාහිරව ෆාමසි වලින් ඖෂධ මිලට ගැනීමට රෝගීහු මුදල් වැය කරති. ඩොලරයේ අගය ඉහළ යෑමත් සමඟ මේ වන විටත් ඖෂධ මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති නිසා පිටතින් ඖෂධ මිලදී ගැනීම බොහෝ රෝගීන්ට දුෂ්කරය. එවන් පසුබිමක කඩිනමින් ඖෂධ හිඟයට, ඖෂධ මාෆියාවට විසඳුම් ලබා නොදුන්නොත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තව තවත් බිඳ වැටීම්වලට ලක්වීම කිසිවෙකුටත් නැවතිය නොහැකි වනු ඇත.

කුමාරී ඉරුගල්බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment