පිළිකාවේ හොඳම මිතුරා මාරයාය

402

පිළිකාව යනු බෝවන ලෙඩක් නොව, ඉතා පහසුවෙන් බෝකරගත හැකි මාරාන්තික රෝගයකි. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ යහපත් ඇවැතුම් පැවැතුම් ජරාජීර්ණ කරගැනීම පමණි. ඔබ මත්පැන් පානය නොකරන්නේ නම් ඒ පුරුද්ද අත්හැර මත්පැන් බීමට පටන්ගැනීමෙන් ඔබට අක්මාවේ පිළිකාවක් හදා ගතහැකිය. ඔබ සිගරැට්, සුරුට්ටු සහ බීඩි යනාදිය නොඋරන්නේ නම් ඒවා වහාම ඉරීමට පටන්ගැනීමෙන් ඔබට පෙණහලු පිළිකාවක් සාදවා ගත හැකිය. එසේම රස කාරක සහ විෂ ද්‍රව්‍ය බහුල ආහාර වර්ග ගිල දැමීමෙන් බඩවැලේ හෝ ආමාශයේ පිළිකා ඇති කරගැනීම ඉතා පහසුවේ. මේ සියල්ලට ම අමතරව ඔබ පාරේ ගමන් කරනවිට කාර් හා ලොරි මගින් නිකුත් කරන කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රාණය කිරීමෙන් ද ඉතා පහසුවෙන් පෙණහලු පිළිකාව සාදවා ගත හැකිය . පිළිකා රෝගය සතු විශේෂ ලක්‍ෂණයක් තිබේ. එය චුට්ටක්වත් කම්මැලි නැත. වැලඳුණු සැණින් පිළිකාව ඇඟ පුරා දුවන්නට පටන්ගනී. ඒ නිසා ඉතා පහසුවෙන් මාස කිහිපයක් තුළ ඔබට මියයෑමට පුළුවන. මේ මාරාන්තික රෝගය ගැන තවත් කරුණු පැවැසීමට පෙර ඊයේ දිවයිනේ මුල්පිටුවේ පළවූ පුවතක් මතක් කරදෙමු. එම පුවත මගින් කියැවෙන පරිදි 1990 දී සිටි පිළිකා රෝගීන් ප්‍රමාණය 2019 වනවිට 79%කින් වර්ධනය වී තිබේ. සාමාන්‍යයෙන් වාර්ෂිකව ලෝක ජනතාවගෙන් දෙකෝටි හතළිස් ලක්‍ෂයකට පිළිකාව වැලඳේ. මෙයින් කෝටියක් ස්ථිර වශයෙන්ම මියයති. පිළිකාව සුවවෙන අවස්ථා ද තිබේ. ඒ මුල්අවස්ථාවේ දීම එයට ප්‍රතිකාර කිරීමෙනි. තවත් සමහරු පිළිකාව කළමනාකරණය කරගෙන ජීවත් වෙති. ඒ අය සාමාන්‍යයෙන් තමන්ට හිමි පරමායුෂවලින් දෙතුන් අවුරුද්දකට කලින් මියයති. එයින් අදහස් කෙරෙන්නේ පිළිකාව යනු කොහොමටත් මාරයා සමග ඉතා කිට්ටුවෙන් වැඩ කරන රෝගයක් හැටියටය. අපගේ කතුවැකියේ ඉතිරි කොටස මෙතැන් සිට ඇරඹේ.

පිළිකාව මනුෂ්‍ය ශිෂ්ටාචාරය තරමට ම පැරණිය. උණ, කැස්ස, හෙම්බිරිස්සාව ලෙස පිළිකාව ද සහස්‍ර ගණනාවක් මුළුල්ලේ මනුෂ්‍ය වර්ගයා සමග එකට ජීවත් විය. ඊජීප්තුවේ පිරමීඩ තුළින් හමුවූ ඇතැම් මමිගත කළ ශරීරවල ද පිළිකා සෛල තිබිණ. ඒ මෙයට අවුරුදු හයදහසකට පෙර ය. ඊජිප්තුවේ පිරමීඩවලින් ලබාගත් මමිවල ප්‍රධාන රෝග තුනක් තිබිණ. එනම් මීමැස්මොරය, ක්‍ෂය රෝගය සහ පිළිකාව ය. සමාජ රෝගයකින් මියගිය එක මිනිසකුගේ මමියක්වත් පිරමීඩ තුළ තිබුණේ නැත. ඉහත සඳහන් රෝග තුන ම ඔවුනට වැලඳී තිබුණේ ප්‍රතිශක්තිකරණ ප්‍රශ්නයක් නිසා ය. එනම් ඉපැරණි ඊජිප්තු රජවරු විවාහ කරගත්තේ තම සහෝදරිය, තම නැන්දා, තම සුළු මව යනාදීන්ය. එසේ කරන ලද්දේ ඊජිප්තු රාජ පරම්පරාව විශාල රාජ පරම්පරාවක් නොවීමත්, ඒ නිසා වෙන රාජ පරම්පරාවලින් මනාලියන් සොයාගැනීමට එකල සිටි රජවරුන්ට තිබූ දුෂ්කරතාවත් නිසා ය. මේ නිසා ඊළඟ පරම්පරාව ඉතා දුර්වල අය වූහ. සාමාන්‍යයෙන් පවුලක් තුළ සිදු කෙරෙන අන්තර් විවාහවලින් බොහෝ හානි සිදුවෙයි. එවැනි අන්තර් විවාහවලින් උපදින දරුවන්ට ඉතා පහසුවෙන් රෝග වැලඳේ. එසේ ම පරම්පරාවේ තිබූ ලෙඩ රෝග ද එම දරුවන් තුළ ඉතා ඉක්මනින් හටගත්තේය. උදාහරණයක් ලෙස සීයාට පිළිකාව තිබුණේ නම් මුණුබුරාට ද පිළිකාව වැලඳිණ. මිත්තණියට ක්‍ෂය රෝගය තිබුණේ නම් මිනිබිරියට හෝ මුණුබුරාට එය වැලඳිණ. ඒවා පාරම්පරික ජානවලින් එන ලෙඩ රෝග ලෙස සලකනු ලැබීය. මෙකල ලේ නෑයන් අතර සිදු කෙරෙන අන්තර් විවාහ නැත. එහෙත් ජානගත රෝග පරම්පරාවෙන් පරම්පරාවට මාරුවන අවස්ථා තිබේ. නැවත වතාවක් සීයාගේ පිළිකා රෝගය මුණුබුරාට වැලඳිණ. එයට හේතුව පිළිකාව පාලනය කරගැනීමට අවශ්‍ය කරන විධිවිධාන මුණුබුරා විසින් නොයෙදීමය. සීයාට පෙණහලු පිළිකාවක් තිබුණේ නම් මුණුබුරා සිගරැට් බොන්නට පටන් ගත් දා සිට ම එම පිළිකාව ඔහුට ද වැලඳිණ. හැබැයි මුණුබුරා බීඩි හෝ සිගරැට් නොගසා සිටියේ නම් සීයාගේ පිළිකාව මුණුබුරාට වැලඳීමේ ප්‍රවණතාව අඩුය.

බුලත් යනු පිළිකාවේ ඉතා හොඳ මිත්‍රයෙකි. දීර්ඝ කාලයක් බුලත් විට කන සහ බුලත් හපය හක්කේ තියාගෙන සිටින ගැහැනුන්ට හා පිරිමින්ට ඉතා පහසුවෙන් මුඛ පිළිකාව වැලඳෙයි. මේ මුඛ පිළිකාව කම්මුල ආශ්‍රිතව හටගත්තොත් එතැන විශාල වළක් හටගනී. කටේ තිබෙන දත්ඇන්දත්, දිවත් පිටත සිටින අයට බලාගත හැකි වන පරිදි මේ වළ විශාල වේ. ඇතැම්විට මෙය කන ආශ්‍රිත ප්‍රදේශයක හටගත්තොත් ඇස සහ කටේ චලනයට අදාළ සියලුම ස්නායු විනාශයට පත්වේ. එතැන් සිට පිළිකා රෝගියා අංශභාග රෝගියකුට සමානව ඉතා දුක්සහගත ජීවිතයක් ගතකරයි. ඔහු මියයන්නේ දහදුක් විඳීමෙනි. එවැනි අවස්ථාවක දී කොතරම් බෙහෙත් කළත්, කොතරම් මන්තර ගුරුකම් කළත් ලෙඩේ සුව කර ගැනීමට බැරි වෙයි.

පිළිකා රෝගය නිසා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙයි. පිළිකා රෝගය වෙනුවෙන්ම වෙන් කරන ලද විශාල රෝහලක් මහරගම තිබේ. මෙය නඩත්තු කිරීම සඳහා දවසකට රුපියල් කෝටි හත අටක්වත් අවශ්‍යය. පිළිකා රෝගීන්ට දෙන ඇතැම් ඖෂධ ඉතාම කුඩා කුප්පිය පවා රුපියල් දසදහස ඉක්මවයි. මේ වියදම් සියල්ලට ම ජනතාවගේ බදු සල්ලි ද ඇතුළත් වන බව අපි මතක් කරදෙමු. ජනතාව අපරීක්‍ෂාකාරී ලෙස නොහැසිරී තම සෞඛ්‍ය කෙරෙහි උනන්දුවෙන් කටයුතු කරනවා නම්, මේ මුදල් කන්දරාව මෙසේ වැය වන්නේ නැත. හැබැයි අවසාන විග්‍රහයේ දී අප පිළිකා රෝගීන්ට අනුකම්පා කළ යුතුමය. එය ඒ තරම්ම දුෂ්කර රෝගයකි. එයින් පෙළෙන්නා ජීවත් වන්නේ මෙලොව අපායකය.


advertistmentadvertistment