පීඩනය අවසන්… බොහෝ ප‍්‍රශ්න ලබන වසරේ විසදෙයි…!

478

විදේශ විනිමය පීඩනය ලිහිල් වෙමින් පවතිනවා

ඉන්ධන හා අත්‍යවශ්‍ය ආනයනය සඳහා මහ බැංකුව මැදිහත් වුණා

මූඞීස් ණය ශ්‍රේණිය ගැන අපි එකඟ නෑ

ඉහල මිලකටත් යකඩ, සිමෙන්ති මිලදී ගන්නවා කියන්නෙත් සතුටුදායක තත්ත්වයක්

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් සය මාසික පෙර දැක්මක් ප‍්‍රකාශයට පත් කරන ලදී. එමගින් රටේ පවතින විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීමට ද පියවර හඳුන්වා දීම සිදු විය. මේ අනුව දැන් මේ සය මාසික ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක වීමෙන් මේ වන විට කවර ප‍්‍රගතියක් ලබා දී තිබේ ද යන්න ගැන සහ 2022 රාජ්‍ය අයවැය ලේඛනය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව මෙන්ම තවත් කාලීන ආර්ථික කරුණු කාරණා රැසක් ගැන අපි මහ බැංකු අධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කළෙමු. ඒ අනුව පහතින් සටහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ඇසූ ප‍්‍රශ්නවලට අජිත් නිවාඞ් කබ්රාල් මහතා දුන් පිළිතුරුයි.

ප‍්‍රශ්නය – පසුගිය ඔක්තෝබර් 01 වැනිදා මහ බැංකුව විසින් සය මාසික පෙර දැක්මක් මගින් ප‍්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දුන්නා. මේ වන විට එම ක‍්‍රියාමාර්ග කිසියම් කාලයක් ක‍්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව අපේ ඩොලර් ප‍්‍රශ්නය සමනය වෙලා තියෙනවා ද?

පිළිතුර – ඔව්. අප විසින් යොදන ලද කාලෝචිත පිළියම් නිසා විදේශ විනිමය පීඩනය ක‍්‍රමයෙන් ලිහිල් වෙමින් පවතිනවා. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් ලබා දීමට මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට අඛණ්ඩව මැදිහත් වුණා. අපේ පෙර දැක්මේ සඳහන් පරිදි අපි විවිධ රටවල් සමග අලූත් සම්බන්ධතා ඇති කරගෙන ඒවා හරහා රජයට යම් ණය ලබා ගන්නවත් සමගම මහ බැංකු අතරත් තිබෙන සම්බන්ධතා අනුව විදේශ විනිමය හුවමාරු පහසුකම් හරහා නව විදේශ විනිමය ගලා ඒම් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙකම දැන් සිදු වෙමින් පවතිනවා. මම හිතන්නේ වැඩි කලක් යන්නට පෙර අපි දකීවි සෑහෙන දුරකට ඒ කටයුතු සිදු වෙනවා. ඒ හරහා සෑහෙන මුදලක්, විදේශ විනිමයක් රටට ගලාගෙන එන්නට පටන් ගනීවි. ඒක දැනටමත් ක‍්‍රියාත්මක කරමින් පවතිනවා. ඊටත් අමතරව සය මාසික පෙර දැක්මේ දී අපි කිව්වා අපේ රටේ අපනයනකරුවන් තමන්ගේ මුදල් රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය නීති රීති රෙගුලාසි පනවනවා කියලා. දැන් ඒකත් අපි පනවල තියෙනවා ඒ ආකාරයෙන්ම.

මේවට අමතරව රටට පිටරටවලින් ගලා එන්න තියෙන මුදල් ඒ කියන්නේ විදේශ විනිමය පේ‍්‍රෂණ යනාදියේ යම්කිසි දුර්වලතාවක් අපි දැකල තියෙනවා. ඒ සඳහා මුහුණ දීමට අපි අලූතින් දෙපාර්තමේන්තුවකුත් මහ බැංකුවේ පිහිටුවල තියෙනව. ඒ දෙපාර්තමේන්තුව හරහා ඒ විදේශ විනිමය පේ‍්‍රෂණ ලබා දෙන අයට නව

දිරිගැන්වීම් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. වැඩි කලක් යන්නට පෙර අපි ඒකත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම අපිට දැන් පෙනී යනවා. ආනයනකරුවන්ට යම් යම් ගැටලූ තියනවා. ඒ ගැටලූත් අපි එකිනෙක දැන් නිරාකරණය කරමින් පවතිනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු විධිමත් පරිදි පහසුවෙන් සිදු කිරීම හරහා මතුවෙලා තියෙන යම් යම් ප‍්‍රශ්න අපි දැන් නිරාකරණය කරගෙන යනවා. ඒ තුළිනුත් මම හිතන්නේ මේ තත්ත්වය සෑහෙන දුරකට සමනයට පත්ව වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.

තව අපි කිව්වා විදේශ සංචිත හරහා විදේශ විනිමය වෙළෙඳපොළට මුදල් ලබා දීල මේ දැන් තියෙන උච්චාවචනයේ ප‍්‍රශ්නයට මුහුණ දෙනවා කියලා. ඒකත් අපි කරලා තියෙනවා. ඒ අනුව අපි දැන් දකිනවා රුපියල වඩාත් ස්ථාවර තත්ත්වයක පවතිනවා. වැඩි කලක් යන්නට පෙර රුපියලේ ස්ථායිභාවය තහවුරු කිරීමට අපට හැකි වෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව. එහෙම හැම පැත්තකින්ම ඒ අවශ්‍ය වන දේවල් අපි කරගෙන යනවා.

ප‍්‍රශ්නය – මහ බැංකුවට චෝදනාවක් තියෙනවා විශාල වශයෙන් මුදල් අච්චු ගහනව කියල. මේ නිසා තවදුරටත් ඉදිරියේ දී උද්ධමනය වැඩි වෙයි නේද?

පිළිතුර – ඒක හොඳ ප‍්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් අපි ඉඟියක් දීල තිබුණ දැනටම වැඩිපුර මුදල් අච්චු ගැහුවා කියන ප‍්‍රමාණය අඩු කිරීමට අපි කටයුතු කරනවා කියල. ඒක විශේෂයෙන්ම කළ යුතු දෙයක් ලෙස අපි දැකල තියෙනවා. ඒ අවශෝෂණය දැනටමත් අපි පටන් අරන් තියෙනවා. ඔබ දකින්න ඇති පසුගිය සති හතර තුළදීම අපේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලින් අපි ලබාගෙන තියෙන මුදල් ප‍්‍රමාණය සම්පූර්ණයෙන්ම ලබාගෙන තියෙනවා. මහ බැංකුවට මුදල් ලබා දීමට හේතු වෙලා නැහැ. ඒත් එක්කම මහ බැංකුවෙන් මීට පෙර ලබාගෙන තිබු භාණ්ඩාගාර බිල්පත් ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වීමක් ද සිදු වෙමින් පවතිනවා. ඒ කියන්නේ එම මුදල් අවශෝෂණය දැන් පටන් අරන් තියෙනවා. පොලී අනුපාතත් අපි දකිනවා යම් ආකාරයට ස්ථායි තත්ත්වයක පවතිනවා. ක‍්‍රම ක‍්‍රමයෙන් පිටරට මුදල් ගලාගෙන ඒමක් ද අපි දකිනවා. ඒ අනුව ඊයේ පෙරේදා අලූත් මුදල් ගලාගෙන එනවා. ඒ නිසා ඒ පැත්ත මම හිතන්නේ දැන් හරි දිසාවට අපි ගමන් කරමින් සිටිනවා. ඒත් එක්කම ඔබ උද්ධමනය ගැනත් මතක් කළා. උද්ධමනය මේ කාලයේ වැඩි වීමක් සිදු වෙයි. අපි දකිනවා විශේෂයෙන්ම එය සිදු වෙන්න හේතුව භාණ්ඩවල ලෝක මිල ගණන් සෑහෙන දුරකට වැඩි වෙලා තියෙනවා. නැව් ගාස්තු දරුණු ලෙස තුන් ගුණයකින් පමණ වැඩි වෙලා තියෙනවා. බොර තෙල් මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ගල් අඟුරු මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ගෑස් මිල ගණන් වැඩි වෙලා තියෙනවා. කිරිපිටි වැඩි වෙලා තියෙනවා. සීනිත් වැඩි වෙලා තියෙනවා. මේ සෑම දෙයක්ම වැඩි වෙලා තියෙනවා ලෝක වෙළෙඳපොළේ. ඒ වැඩි වීම හරහා අපේ රටටත් ඒ බලපෑම සිදු වෙනවා. අපේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ දියුණු රටවලත් දැන් මේ මිල වැඩි වීම ගැන ලොකු කතිකාවක් මතු වෙලා තියෙනවා. ඒකටත් දැන් අපට මුහුණ දීමට සිදු වෙනවා.

ප‍්‍රශ්නය – මහ බැංකුවේ පසුගිය නිවේදනයක තිබුණ මහ බැංකු – මහ බැංකු අතරත්, රජයන් අතරත් සාකච්ඡා පවත්වනවා කියල. ඒ සම්බන්ධ තත්ත්වය කොහොමද? ඔබ පසුගියදා කටාර් මහ බැංකු අධිපතිතුමා හමුවුණා. තවත් මහ බැංකු කීයක් සමග සාකච්ඡා සිදු වෙනවා ද?

පිළිතුර – සාමාන්‍යයෙන් අපි එවැනි ගනුදෙනුවක් ස්ථිර වුණාට පසුව තමයි ඒ ගැන කතා කරන්නේ. මට දැනට කියන්න පුළුවන් ඉතා සුභවාදීව අපේ එම සාකච්ඡා වෙමින් පවතින බව මට කියන්න පුළුවන්. රටවල් කීපයක් සමග මේ සාකච්ඡා කෙරෙනවා. අපේ අසල්වැසි රටවල් සහ මැදපෙරදිග රටවල් සමග ඒ සාකච්ඡාව අපි දැන් කරගෙන යනවා. සමහර සාකච්ඡා ඉතා ඉහළ මට්ටමකට ප‍්‍රගතියක් තියෙනවා. තවත් සාකච්ඡා ආරම්භක අවස්ථාවේ තියෙන බව කියන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් අපට වැඩි දවසක් යන්නට පෙර ඒවා ඉතාමත්ම හොඳින් ක‍්‍රියාත්මක කර ගැනීමට හැකි වෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව.

ප‍්‍රශ්නය – එහිදී නිශ්චිත එකඟතාවන්ට පත් වූ පසුව ඒ සම්බන්ධයෙන් රටට නිවේදනය කරනවා?

පිළිතුර – ඔව්. රටට නිවේදනය කරන්නේ ඊට පසුව. දැනට අපට කියන්න පුළුවන් ඒ සාකච්ඡාවල ප‍්‍රගතිය ගැන අපි සෑහීමට පත්වෙන බව.

ප‍්‍රශ්නය – දැනට සාකච්ඡා කළේ කටාරය සමග පමණ ද?

පිළිතුර – කටාරය සමගත් තවත් අය සමගත් සාකච්ඡා කළා. අපි ගිහින් සාකච්ඡා කළා කටාරය සමග. දැන් සූම් තාක්ෂණය සමගත් සාකච්ඡා කරන්න පුළුවන් නිසා ඒවත් කරගෙන යනවා. සමහර අසල්වැසි රටවල් සමගත් අපි සාකච්ඡා කරගෙන යනවා. ඉතිං මට හිතෙන්නේ වැඩි කලක් යන්නට පෙර ඒවා සාර්ථක වෙයි කියන එකයි.

ප‍්‍රශ්නය – ඕමානයෙන් තෙල් ගැනීම සඳහා ණය මුදල් ගැනීම සම්බන්ධ තත්ත්වය කොහොමද?

පිළිතුර – මේ ගැන සාකච්ඡාව තෙල් අමාත්‍යාංශය තමයි කරගෙන යන්නේ. අපි ඒකට සම්බන්ධ වෙලා නැහැ. රජය වෙනුවෙන් ඒ අයත් එක්ක අපි වෙනත් ණයක් ගැන සාකච්ඡා කරගෙන යනවා. ඒ කියන්නේ දිගුකාලීනව රටවල් දෙක අතර ණයක් ගැන අපි සාකච්ඡා කරමින් සිටිනවා. රජයන් අතර ණයක්. ඒ සාකච්ඡාව නම් අප හරහායි කෙරෙන්නේ. එය සෑහෙන දුරකට ඉදිරියට ගිහින් තියෙනවා. තාම ඒ වුණාට අත්‍යවශ්‍ය ඇතැම් කරුණු ගැන නිශ්චිත එකඟතාවක් තවම නැහැ. ඒ වුණාට ඒ සාකච්ඡාව කෙරීගෙන යනවා.

ප‍්‍රශ්නය – පසුගිය කාලයේ ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලූව ගැන බොහෝ කතාබහට ලක් වුණා. දැන් ඒ තත්ත්වය ලිහිල් වීමක් වෙලාද කොහොමද?

පිළිතුර – අපි ඒ ගැනත් කටයුතු කරගෙන යනවා. ණයවර ලිපි සම්බන්ධ ප‍්‍රශ්නය තරමක් උග‍්‍ර වෙන්න එක හේතුවක් තමයි මූඞීස් විසින් අපේ ණය ශ්‍රේණිය පහත හෙළීම. අපි කිසිවිටෙක එම පහත හෙළීම සමග එකඟ වෙන්නේ නැහැ. ඒ වුණාට ඒ අය ඒක කිරීම හරහා යම් කිසි පීඩනයක්, මේ ණයවර ලිපි කෙරෙහි බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඒක අපට තවදුරටත් අවාසිදායකයි. ඒ වුණත් අපි දැන් එම අවාසිදායක බව අඩු කර ගැනීම සඳහා සෑහෙන දුරකට සාකච්ඡා කරමින් පවතිනවා. මම හිතන්නේ ඒකෙ තිබෙන බලපෑම ක‍්‍රමයෙන් අඩු වෙනවා. අපි ඒ බැංකු සමග, අදාළ විවිධ නියෝජිත බැංකු සමග සාකච්ඡා කරමින් ඒ අයට අපි යම් සහතික වීම් කරගෙන යනවා. ඒ තිබෙන අවාසිදායක තත්ත්වය තවදුරටත් මග හරවා ගැනීම සඳහා.

ප‍්‍රශ්නය – ඔය ණයවර ලිපියක් ගැනම තමයි ප‍්‍රශ්නයක් මතු වුණේ මහජන බැංකුව සම්බන්ධයෙන්. ඔබතුමා කලින් ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළා. සාමාන්‍යයෙන් චීන පුද්ගලික සමාගමක් එක්ක ගනුදෙනුවක් වුණත් අපේ මහජන බැංකුව අසාදු ලේඛනගත කළේ චීන තානාපති කාර්යාලයේ වාණිජ කාර්යාලයෙන්? මේ සම්බන්ධ අලූත් තත්ත්වය කොහොමද අධිපතිතුමනි?

පිළිතුර – චීන තානාපති කාර්යාලය ඒ රටේ තියෙන ආයතනයක් වෙනුවෙන් පෙනී සිටීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම මහ බැංකුව හැටියට අපිත් මහජන බැංකුව වෙනුවෙන් පෙනී සිටලා තියෙනවා. ඒ අය මේ ණයවර ලිපියට මුදල් ගෙවීමට සූදානම් ඒ සියලූම ලියකියවිලි හරියාකාරව තියෙනව නම්. මම මුලින්ම කිව්වා වගේ අපට ජාත්‍යන්තරව වගකීමක් තියෙනවා ඒවාට අවශ්‍ය විදියට කටයුතු කරන්න. ඒවායින් බැහැර යන්නට අපට බැහැ. ඒ නිසා අපි ඒ විදියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි චීන තානාපතිතුමාටත් ඒ ගැන දැනුවත් කරලා තියෙනවා. මම විශේෂයෙන්ම පෞද්ගලිකවත් දැනුවත් කරලා තියෙනවා. අපි මේ කටයුත්තේ දී නීතිමය බාධාවක් නැතනම් සියලූම ලියකියවිලි සම්පූර්ණ වෙලා තියෙනව නම්, අපි ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කරන්න සූදානම් කියන ඒ සහතිකය ලබා දීල තියෙනවා. එතනින් එහාට මම හිතන්නේ නැහැ කිසිම කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් කියල. උසාවියෙන් යම් තීන්දුවක් දුන්නම අපිට ඒකට අවනත වෙන්නට සිදු වෙනවා. ඒ වුණත් අපි ඉදිරියේ දී බලමු කොහොමද වෙන්නේ කියල. ඒ සාකච්ඡාවන් බොහොම සුහදව දැනට සිදු වෙමින් තියෙනවා. මම හිතන්නේ මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිතුමාත් බොහොම උනන්දුවකින් මේ ගැන චීන රජය සමගත් එසේම අදාළ චීන සමාගමටත් උපදෙස් දීල තියෙනවා. ඒ අය කළ යුතු දේවල් මොනවා ද අපේ පැත්තෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවා ද කියල එකඟතාවකට මම හිතන්නේ වැඩි දිනක් යන්න මත්තෙන් පැමිණෙන්න හැකි වේවි.

ප‍්‍රශ්නය – කෘෂිකර්ම ඇමැතිතුමා කියල තිබුණ නේද පොහොර තොගය භාර ගන්නෙත් නැහැ සල්ලි දෙන්නෙත් නැහැ කියල. නමුත් ඔබතුමා කියන්නේ බැංකුව පැත්තෙන් ණයවර ලිපියට අදාළ ලේඛන සම්පූර්ණ නම් ගෙවීම කරන්න ඕන. භාණ්ඩ සම්බන්ධ ප‍්‍රශ්නේ වෙනම් විසඳගන්න ඕන කියල?

පිළිතුර – මෙතැනදී ඒ පොහොර ආනයනය කරන කෙනා සහ පොහොර සපයන කෙනා සමග පමණක් නෙවෙයි මේ ගනුදෙනුව තියෙනේ. මේ ණයවර ලිපිය නිකුත් කරන බැංකුව සහ ණයවර ලිපිය ක‍්‍රියාත්මක කරන බැංකුව අතරත් ගනුදෙනුවක් තියෙනවා. ඒ කියන්නේ අපනයනකරු සහ ආනයනකරු අතර ගනුදෙනුවක් ඇති. ඒ වුණාට ජාත්‍යන්තරව ඒ මුදල් පිළිබඳ ක‍්‍රියාත්මක වෙන්නේ ආනයනකරුවා වෙනුවෙන් ණයවර ලිපිය ඕපන් කරන බැංකුව සහ අපනයනකරුවාගේ බැංකුව අතරයි. මහින්දානන්ද ඇමැතිතුමාට අනිත් ගනුදෙනුව ගැන කටයුතු කරන ගමන්ම මේ බැංකු දෙක අතර ගනුදෙනුවත් තියෙනවා. බැංකු අතර ගනුදෙනුවේදී සැපයුම්කරුට සහ ගැනුම්කරුට වගකීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගකීම් වෙනස්ව අපි හිතන්න ඕන. මම මේ වෙලාවේ කතා කරලා තියෙන්නේ ඒ බැංකු දෙක අතර තියෙන ගනුදෙනුව පිළිබඳව. ඒ ගනුදෙනුව සිදු වන්නේ පොහොරවල ප‍්‍රමිතිය අනුව නෙවෙයි. ගනුදෙනුවේ තියෙන ලියකියවිලිවල තියෙන ප‍්‍රමිතිය අනුවයි.

ප‍්‍රශ්නය – මෑතදී ඩුබායි ආයෝජන සමුළුවකට ඔබතුමා සහභාගි වුණා. ඒකට සහභාගිවූ ආයෝජකයන් අපේ රටේ ආයෝජනය කරන්න උනන්දුවක් තියෙනවා ද?

පිළිතුර – ඉතා ඉහළ මට්ටමක උනන්දුවක් තියෙන බව අපට පෙනී ගියා. බොහෝ දෙනෙක් ඒකට සහභාගි වුණා. බොහෝ දෙනෙක් අහපු ප‍්‍රශ්නවලින් අපට පෙනී ගියේ ඒ අයට ශ‍්‍රී ලංකාව ගැන තවදුරටත් අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යතාවක් තියෙන බව. එතනට ආපු බොහෝ දෙනෙක් සතුට පළ කෙරුව ශ‍්‍රී ලංකාව මෙවැනි දෙයක් කිරීම ගැන. මෙතැනදී ඩුබායි නගරය පමණක් නෙවෙයි මේ කරපු කටයුත්ත ලෝකේ හැම තැනටමත් ඒ පිළිබඳව තොරතුරු යන්න ඇති. ඒ නිසා ඒකෙන් සෑහෙන දුරකට රටට හොඳ ප‍්‍රතිචාරයක් ලැබෙන බව තමයි අපේ මතය.

ප‍්‍රශ්නය – ඔබතුමා ඉදිරිපත් කරපු පෙර දැක්මේ පළමු මාස තුනේ අපේක්ෂා ඉටු කරගන්න පුළුවන් ද දෙසැම්බර් අගවන විට?

පිළිතුර – ඔව්. පුළුවන් වෙයි කියල අපි අපේක්ෂා කරනවා. දැනට තිබෙන තොරතුරු අනුව මාස එකහමාරක් පමණ කටයුතු කරගෙන යනවා ඒ දත්ත සමග. ඒ ප‍්‍රගතිය ගැන මම සෑහීමකට පත් වෙනවා. බොහෝ දේවල් ඊළඟ සති දෙක තුන තුළ දී සිදු වෙයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රශ්නය – 2022 අයවැය මගිනුත් විදේශ විනිමය අර්බුදය විසඳගන්න යම් යම් පියවර ගනීවිද?

පිළිතුර – අපි මුදල් ඇමැතිතුමාට අදහස් ලබා දීල තියෙනවා. ඒ ගැන එතුමාට ලිඛිතව දන්වල තියෙනවා. ඒක අපිට කරන්න තියෙන එක වගකීමක්. එය නීතියෙන්ම කියල තියෙන කාරණයක්. ඒ අනුව සම්පූර්ණයෙන්ම අපි ක‍්‍රියාත්මක වෙලා තියෙනවා. මම හිතන්නේ රජයටත් මේකේ අත්‍යවශ්‍ය බව තේරිලා තියෙනවා. හේතුව රජය තමයි ණය ගෙවිය යුත්තේ. ණය ගෙවීමට පහසුතාවක් මහ බැංකුව ලබා දුන්නත් ණය අරන් තියෙන්නේ රජය. එතකොට රජයට වගකීමක් තියෙනව ඒ ණය ගෙවීම සඳහා අවශ්‍ය වන විදේශ විනිමය හොයා ගැනීමට. ඒ විදේශ විනිමය හොයා ගැනීමට ඉතා විශාල සහයක් මහ බැංකුව ලබා දුන්නත් මහ බැංකුව එතනදි රජයේ නියෝජිතයා ලෙස තමයි කටයුතු කරන්නේ. ඉතිං අපි ඒ නියෝජිත කාර්යභාරය ඉතාමත්ම බරපතල ලෙස භාර ගන්න අතරම ඒකෙ සම්පූර්ණ වගකිවයුත්තා වෙන්නේ රජය. ඒ නිසා රජය ඒ ගැන සෑහෙන දුරකට ක‍්‍රියාත්මක වෙනවා කියන එක අපි මතක් කර දෙන්නට අවශ්‍යයි.

ප‍්‍රශ්නය – 2021 ඔක්තෝබර් 01 වැනිදා යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත වීම සිදු වුණා. එම සීමාවන් ද දැන් ක‍්‍රමයෙන් ලිහිල් කරගෙන යනවා. ඒ අනුව සිදුවන ආර්ථිකය පණ ගැන්වීම කොහොමද ඔබ දකින්නේ?

පිළිතුර – මම හිතන්නේ දැන් හැම අංශයකින්ම වාගේ රටේ ආර්ථික ක‍්‍රියාදාමය අපි දකිනවා පිබිදීමක් ඇති වෙලා තියෙනවා. ඒ ගැන අප සතුටු වෙනවා. මේ වන විට ඉතා ඉහළ මිලකට වුණත් යකඩ, සිමෙන්ති අරගන්නවා. ඒ සඳහා ලොකු ඉල්ලූමකුත් ඇති වෙලා තියෙනවා. ඒ අනුව අපි දකිනවා ඒ ප‍්‍රගතිය සිදු වෙමින් පවතිනවා. අප තේරුම් ගත යුතු දේ තමයි ඒවා සෞඛ්‍යමය නිර්දේශ අනුව කළා නම් අපි හැමෝටම මේක දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒකත් අපි කල්පනාවෙන් කරගන්න අවශ්‍යයි. ඒ සඳහා යොමු වීමට අපිත් අපගේ සම්පූර්ණ ශක්තිය ලබා දෙනවා. ඒත් එක්කම සංචාරකයන් ගිය මාසේ 9000 කට වැඩිය ඇවිත් තියෙනවා. මේ මාසේ 25000 ක් විතර එයි කියල මම අපේක්ෂා කරනවා. ඒක හොඳයි. ඒ වුණත් ඒක තවදුරටත් වර්ධනය කරගන්න කටයුතු කිරීම අවශ්‍යයි.

ප‍්‍රශ්නය – වැටිලා තිබුණු තත්ත්වය අනුව සංචාරක පැමිණීම්වල වර්ධනයක් සිදු වුණත් කොවිඞ්වලින් පසු මාලදිවයින වැනි රටවල් ලබාගෙන තිබෙන සංචාරක පැමිණීම් එක්ක ගත්තම අප ඉතාම පසුගාමීයි. අපේ සංචාරක ආකර්ෂණය අනුව අපට තිබෙන විභවතාව ඉතා ඉහළයි?

පිළිතුර – මම හිතන්නේ ඒ ගැන අපේ සැලකිල්ල යොමු කරන්න අවශ්‍යයි. කෙසේ හෝ මාලදිවයින වගේම අපට කරගන්න පුළුවන් නම් ඉතාමත් හොඳ දෙයක්.

ප‍්‍රශ්නය – මාලදිවයිනට වඩා අපේ රටේ විවිධත්වය විශාලයි. අපේ සංචාරක ආකර්ෂණයට තිබෙන විභවතාවට සමත් ප‍්‍රවර්ධනයක් කරනවා නම් අපට මීට වඩා සංචාරක පැමිණීම් වර්ධනය කරගන්න පුළුවන්?

පිළිතුර – ඔව්, අනිවාර්යයෙන්ම ඊට වඩා එන්න පුළුවන්. එහෙම එන බවට අපිට ඉඟි තියෙනවා. ඒ නිසා අපි දැන් රටම විවෘත කරන්න ඕන තවදුරටත්. ඉඩ දෙන්න සංචාරකයන්ට රටට යන්න එන්න. එයාර්පෝට් එකට ආවම පහසුකම් තියෙන්න ඕන ඉතාමත්ම ඉක්මනින් කරදර කරන්නේ නැතුව සංචාරකයන්ට යන්න එන්න පහසුකම් ඇති කරන්න ඕන, මම හිතන්නේ ඒ ඔක්කොම කරගෙන යනවා. එහෙම සිදු වෙනවා කියල දැනගත්තම බොහෝ දෙනෙක් එයි රටට. බොහෝ රටවල අය සංචාරය කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා මට හිතෙන්නේ අපි හිතුවටත් වඩා ඉක්මනින් සමහර විට සංචාරක ක්‍ෂේත‍්‍රය වර්ධනය වෙන්න පුළුවන්. අනිත් එක සංචාරක ක්‍ෂේත‍්‍රයේ තියෙන එක ලක්ෂණයක් තමයි දැනටමත් සෑම අංශයක්ම ඉතා හොඳින් පවතිනවා. හෝටල් තියෙනවා. වාහන තියෙනවා. මානව සම්පත ඉන්නවා. කළමනාකාරිත්වය තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දී මම හිතන්නේ නැවත නැගිට්ටුවීම එච්චර ලොකු වැඩක් නෙවෙයි. ඒක කෙරෙයි. එවිට අපට විදේශ ආදායම් ගලාගෙන එන්නත් පටන් ගනීවි.

ප‍්‍රශ්නය – ගෑස් මිල විශාල ලෙස වැඩි වෙලත් රටේම ගෑස් හිඟයි. අපි හිතුව මිල වැඩි කරාම හිඟය නැති වෙයි කියල?

පිළිතුර – මේ ගෑස් ප‍්‍රශ්නය තරමක් උග‍්‍ර තත්ත්වෙකට ආවේ එක කාලයක් තිබුණ ගෑස් ලබා ගැනීමට අපහසුතාවක්. ඒ තත්ත්වය තමයි දැන් මතු වෙන්නේ හිඟයක් හැටියට. ඒ වුණාට දැන් ඒ ප‍්‍රශ්නය විසඳිලා ඉවරයි. විසඳුනාට පසු ගෑස් නැවත වරක් පුරවල ගෑස් වෙළෙඳපොළට එන්න යම්කිසි කාලයක් ගතවෙන බව අප දන්නවා. ඒක සිදු වේවි. මම හිතන්නේ ඉතාමත් ඉක්මනින් ඔය ගෑස් ප‍්‍රශ්නය අපට නිරාකරණය කරගන්න පුළුවන් වෙයි. මොකද අපට අවශ්‍ය තොග දැන් රටට ඇවිත් තියෙන්නේ.

සාකච්ඡා කළේ – ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment