පී.සී.ආර්. ගන්න ගිහින් යට ඇඳුමෙන් ගමට ආපු ඩේවිඩ් අයියා… අබ්ලික්‌ Story

585

ඩේවිඩ් අයියට දැන් වයස අවුරුදු 86 ක්. එයා රැකියාව විදිහට කළේ ගම්පහට නුදුරු පැත්තක සිල්ලර වෙළෙඳසැලක වැඩ කරන එක.

ඩේවිඩ් අයියා දන්න කියන කාලෙ ඉඳලා ඇන්දෙ කොට කලිසම. මඟුලකට මරණෙකට නෙවෙයි ඕනෙම උත්සවයකට උනත් එයා ගියේ කොට කලිසම ඇඳලා. කොටින්ම රෑට නිදාගත්තෙත් මෙයා මේ කොට කලිසමෙන් තමයි.

කොරෝනා වසංගතේ ඩේවිඩ් අයියගෙ ගම පුරාම පැතිරිලා ගියා. එයා වැඩ කරපු කඬේ මුදලාලිටත් කොරෝනා හැදුනා.

ඩේවිඩ් අයියෙ මට කොරෝනා හැදිච්ච නිසා ඔයාටයි සුනිල් මල්ලිටයි අනිවාර්යයෙන්ම ලෙඩේ හැදිලා ඇති. ඔයා සුනිල් මල්ලිත් එක්ක ගිහින් පී.සී.ආර්. එකක් කරගෙන එන්න. නැත්නම් ඔය ලෙඩේ හැමෝටම බෝවෙන්න පුලූවන්.

කඩේ මුදලාලි ඩේවිඩ් අයියට කිව්වා. කොළඹට නුදුරු විශ්වවිද්‍යාලයක අඩු මුදලට පී.සී.ආර්. කරන මධ්‍යස්ථානයක් තිබුණා. කඩේ මුදලාලි දන්න කියන කෙනෙක් මේ විශ්වවිද්‍යාලෙ රැකියාව කළ නිසා එයා මාර්ගයෙන් ඩේවිඩ් අයියටයි, සුනිල් මල්ලිටයි පී.සී.ආර්. කරන්න යන්න ලෑස්ති කරලා දුන්නා.

පහුවදා උදේම දෙන්න ති‍්‍රවීල් එකකින් විශ්වවිද්‍යාලයේ පී.සී.ආර්. කරන මධ්‍යස්ථානයට ගියා. ඩේවිඩ් අයියා එයාගෙ සුපුරුදු නිල ඇඳුම, කොටකලිසම ගහලා හිටියෙ. විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන තැන ආරක්‍ෂකයො ඩේවිඩ් අයියව නතර කර ගත්තා.

‘‘අංකල් මෙතන වැදගත් ආයතනයක්. පිළිවෙළකට යන්න ඕනෙ. කොට කලිසම් ඇඳලා ඇතුළුවෙන්න දෙන්න බැහැ. අංකල් එක්කො දිග කලිසමක් අඳින්න. නැත්නම් සරමක් ඇඳන් එන්න.’’

‘‘අනේ පුතේ මං දුර ඉඳලා ආවෙ. දැන් සරම් ගන්න මගේ අතේ සල්ලි නැහැ. ආපහු ගමට ගිහින් එන්න විදිහකුත් නැහැ. මට ඔන්න ඔය පරීක්‍ෂණය කරගන්න යන්න දීපල්ලා.’’

ඩේවිඩ් අයිය දන්න හැම විදියටම කියලා ආයාචනා කළා. ඒත් ආරක්‍ෂකයන්ට ඩේවිඩ් අයිය යවන්න විදිහක් නැහැ. ආරක්‍ෂක නිලධාරීන්ටත් දුකයි මේ මනුස්සයට වෙච්ච දේ ගැන.

‘‘ඉන්නකො අංකල් අපි ළඟ කලිසමක් තියෙනවා. ඒකවත් දෙන්නම් ඇඳගෙන යන්න.’’

එහෙම කියලා ආරක්‍ෂක නිලධාරීන් එයාල ළඟ තිබුණු දිග කලිසමක් ඩේවිඩ් අයියට ඇන්දුවා. ජීවිතේට දිග කලිසමක් ඇඳලා නැති නිසා ඩේවිඩ් අයියට ඇවිදින්නත් මොකක්ද වගේ. එයා හතර අතට ඇඹරි ඇඹරි පී.සී.ආර්. කරන මධ්‍යස්ථානයට ගියා. එතන ඉන්න හැමෝම ඩේවිඩ් අයියා දිහා අමුතු විදිහට බලලා හිනාවෙන්න ගත්තා. දැන් ඩේවිඩ් අයියට පොළව පළාගෙන යන්න හිතිලා. ‘‘මං ජීවිතේ පළවැනි වතාවට දිග කලිසමක් ඇන්ද නිසා තමයි මේ හැමෝම මං දිහා බලලා හිනාවෙන්නෙ. ඩේවිඩ් අයියා එහෙම හිතුවා. කොහොමහරි පී.සී.ආර්. එකත් කරගෙන ඩේවිඩ් අය්යා විශ්වවිiාලෙ ගේට්ටුව ළඟට ඇවිත් ත‍්‍රිවීල් එකට නැග්ගා.’’

‘‘පුතේ මේ කලිසම. මේක ආපහු දෙන්නම්.’’

ඩේවිඩ් අයියා ආරක්‍ෂකයන්ගෙන් ඇහුවා.

ඕනෙ නැහැ අංකල්. ඔයා ඕක ඇඳගෙන ආපහු ගමට යන්න. අපිව මතක්වෙන්න ඕක තියාගන්න. ආරක්‍ෂකයෝ කිව්වා. ඩේවිඩ් අයියා ත‍්‍රිවීල් එකේ ගමට ආවා. අතරමගදී තේ එකක් බොන්න කඩයක් ළඟ නතර වුණා. ඩේවිඩ් අයියෙ මොකද ඔය කලිසමෙ පස්ස පැත්තට වෙලා තියෙන්නේ. ඩේවිඩ් අයියගෙ කලිසමේ පිටුපස්ස පැත්ත ස්ත‍්‍රික්කයට පිච්චිලා පැත්තක්ම නැහැ.

ඒක තමයි එහෙනම් පී.සී.ආර්. කරන තැන හිටපු උන් මං දිහා බල බලා හිනාවුණේ.

ඩේවිඩ් අයියට වෙච්ච නස්පැත්තිය තේරුම් ගියේ ඒ වෙලාවෙයි. දැන් මොකද කරන්නෙ. යටට ඇඳන් හිටිය කොට කලිසමත් විශ්වවිiාලෙ ආරක්‍ෂකයො ළඟ. පස්ස නැති කලිසමත් ඇඳන් ගමට යන්නත් බැහැ. මං ජීවිතේට දිග කලිසමක් ඇඳලා නැති නිසා ගමේ උන් මට හිනාවෙයි. දිග කලිසම ඇඳන් ගමට යනවට වැඩිය යට ඇඳුම පිටින් ගමට යන එක සැපයි කියලා ඩේවිඩ් අයියා දිග කලිසමත් ගලවලා දැම්මා.

රණදේව

advertistmentadvertistment