පුංචි කාලේ ගෙදර ගවලෙන හදපු කාදිනල්තුමා

197

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේසොයුරිය ශලනී බාලකාලය සිහිකරයි

කොළඹ, මෝදර එළිහවුස් පාරේ ශාන්ත ඇන්ඩෲ දේවස්ථානයට අල්ලපු වැටේ පිහිටි නිවසේ වාසය කළේ පටබැඳිගේ දොන් විලියම් සහ හෙට්ටිආරච්චිගේ මේරි විනිප්‍රීඩා ය. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරයකු වශයෙන් පී. ඩී. විලියම් මහතා සේවය කළ නිසා මේ පවුලට වරින්වර ලංකාවේ නොයෙක් ප්‍රදේශවල වාසය කිරීමට සිදුවිය. මේ නිසාම ඔවුන්ගේ පවුලේ වැඩිමලා වූ පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත් දරුවා උපන්නේ පොල්ගහවෙලදී ය. ඒ 1947 නොවැම්බර් 15 දිනය. ඊළඟ දියණිය ඩෙල්රින් උපන්නේ බදුල්ලේදී ය. මද්දුම දෝණි ශලනි උපන්නේ අඹේවෙලය. බාලම දියණිය උපන්නේ කොළඹදීය.

ලංකාව වටා විවිධ ප්‍රදේශවල වාසය කළ පී. ඩී. විලියම් පවුල අවසානයේ තම ස්ථිර වාවස්ථානය වශයෙන් තෝරාගත්තේ කොළඹ මෝදරය. ඒ මේරි විනිප්‍රීඩාට දෑවැද්දට ලැබුණු මෝදර ශාන්ත ඇන්ඩෲ දේවස්ථානයට යාබද නිවසේය.

“නත්තල පිළිබඳව අපේ පුංචි කාලෙ මතකය තියෙන්නේ මෝදර ගෙදරත් එක්කයි” ශලනි මහත්මිය තම නත්තල් මතක අතීතයට අවතීර්ණ වූයේ එසේය.

ශලනිගේ අතීත කතාව අපට වැදගත් වන්නේ ශ්‍රී ලංකා කතෝලික සභාවේ නායක එඬේරාණන් වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ එක් සොයුරියක ඇය වන නිසා ය. එනිසා ශලනි පැටිමා මේ පවසන්නේ ශ්‍රී ලංකා කතෝලික සභාවේ නායක එඬේරාණන් වූ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ද කුඩා අවදියේ නත්තල් අත්දැකීම් ය.

පුංචි කාලේ ගෙදර ගවලෙන හදපු කාදිනල්තුමා
කාදිනල් තුමා හයවෙනි පාවුල් පාප්තුමන්ගේ පූජාත්වරය ලැබූ අවස්ථාව

ලංකාවේ මුහුදුබඩ කතෝලික ගම්මානවල නත්තල් උත්සවය කොහොමටත් ජය ය. සැමදාම නත්තල් නැති නිසා ඔවුන් මේ දිනය ළඟාවනතුරු බලා සිටින්නේ ඉතා සොම්නස් සහගතවය. නොවැම්බර් තිස් එක්වැනි දින මධ්‍යම රාත්‍රියේ දොළහ ගෙවී දෙසැම්බර් පළමුවැනි දින උදාවෙත්ම කන් බිහිරි කරවන රතික්‍ඳ්ඤා නාදයෙන් ඔවුන් නත්තල් මාසය පිළිගනිති. එදා සිටම ඔවුන් සූදානම් වන්නේ නතිතල උත්සවාකාරයෙන් සැමරීමටය.

“දෙසැම්බර් මාසය පටන් ගනිද්දීම අපේ මෝදර ගෙදරට තීන්න ආලේප කරනවා. නත්තලට අපේ ගෙදර මුලින්ම සැරසෙන්නේ එහෙමයි. ඇය පැවසුවේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ‘මහ ගෙදර’ නත්තලට සූදානම් වූ ආකාරය පිළිබඳවය.

“අපේ අයියා මැල්කම් රංජිත් කාදිනල්තුමා පුංචි කාලේ ඉඳලම වැඩිපුර හිටියේ අපේ ගෙදරට අල්ලපු වැටේ තියෙන ශාන්ත ඇන්ඩෲ පල්ලියේ. ඒ නිසා අපේ ලොකු අක්කා ඩෙල්රින් තමයි ගෙදර නත්තල් සැරසිලි කළේ. අක්ක, අයියට වඩා බාල අවුරුදු එකහමාරකින් විතරයි. දෙන්නගෙම ලොකු වයස් පරතරයක් නැහැ. ඒ නිසා ඩෙල්රින් අක්කා කොහොම හරි අයියාව සැරසිලිවැඩවලට එකතු කරගන්නවා.” ශලනි මහත්මිය අතීතය සිහිකරන්නේ ඉතාමත් සොම්නසිනි.

ඔවුන්ගේ පියා උඩරට දුම්රිය ස්ථානවල ද සේවය කර තිබූ නිසා එම පෙදෙස්වල බොහෝ හිත මිතුරන් වූහ.

“කොළඹ අවට නත්තල් ගස් විදියට, සයිප්‍රස් ගස් එතරම් භාවිතයට නොතිබූ කාලයෙත් අපේ ගෙදර නම් අනිවාර්යයෙන් නත්තල් ගහ විදියට සැරසුවේ සයිප්‍රස් ගහක්.” ඇය පවසන ලෙස උඩ රට දුම්රිය ස්ථානයකින් ඔවුන්ගේ සයිප්‍රස් ගස කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ලැබෙන්නේ නත්තල් දිනයට සතියකටත් පෙරය.

“අයියත් තාත්තත් එක්ක එකතුවෙලා මොරිස් මයිනර් එකේ හුඩ් එකෙන් සයිප්‍රස් ගහ බිමට අරගෙන ගේ ඇතුළට ගන්නවා.” මෙසේ මෝදර ඔවුන්ගේ නිවසට රැගෙන එන සයිප්‍රස් ගස ආලින්දයේ කොනක බිත්තියට හේත්තු කර තිබෙන්නේ නත්තල් දින උදාවෙන තුරුය.

කාදිනල් හිමිපාණන්ගේ මෑණියන් නත්තල් කේක් හදන්න පටන් ගන්නේ දෙසැම්බර් මාසය ආරම්භයේදීමය.

“අපේ අම්ම නත්තල් කේක් හදන්න හරිම දක්‍ෂයි. අම්ම හදන කේක් හරිම රසයි.” ශලනි ඒ සහතිකය ලියුවේ තම මෑණියන්ගේ හැකියාව පිළිබඳවය.

හෙට්ටිආරච්චිගේ මේරී විනිප්‍රීඩා මහත්මිය මෙසේ දෙසැම්බර් මාසය ආරම්භයේදීම නත්තල් කේක් සෑදීම ආරම්භ කළත් නත්තලට දවසක් දෙකක් තියා අනිවාර්යයෙන් ම හදන තවත් රසකැවිල්ලක් ඇත. ඒ කිරි ටොෆිය. ඒ විශේෂ රසකැවිල්ල හදන්නේ තමන්ගේ ලොකු පුතා සඳහා ය. මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කුඩා අවදියේදී කිරි ටොෆි කෑමේ රුසියෙකි.”

පුංචි කාලේ ගෙදර ගවලෙන හදපු කාදිනල්තුමා

“අපේ අයියා මැල්කම් රංජිත් කාදිනල්තුමා තවත් කැමති රස කෑමක් තමයි කළු දොදොල්.” ශලනි පැවසූ ලෙස ඇයගේ මව්පස ඥාතීන් කේක් වැනි බටහිර රසකැවිලි සෑදීමට දනිතත් කළු දොදොල් වැනි රස කැවිලි හැදීමට දන්නේ නැත.”

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වඩාත්ම ලැදියාවක් දැක්වූ කළුදොදොල් හදා දෙන්නේ ඔවුන්ගේ පියාණන්ගේ නැඟණිය වූ රොසලින් නැන්දා ය. එම නිවසේ නත්තලට එකතු වූ තවත් රසකැවිල්ලක් වූයේ, දෙල් පෙති තෙලෙන් බැද, උණුකරගත් පොල් පැණියෙහි තවරාගත් පැණි දෙල් ය. ඕනෑම කතෝලික පවුලක දෙසැම්බර් විසිහතර වන දින උදෑසන සිටම වැඩ රාජකාරි අධික වන්නේ එම නිවසේ පොඩි එවුන්ටය. මෝදර ශාන්ත ඇන්ඩෲ පල්ලියට යාබද නිවසේ විසූ විලියම් මහතාගේ නිවසේ දරුවන්ට ද දෙසැම්බර් විසිහතර වන දින උදෑසන සිට ගජරාමෙට වැඩය. සාලයේ කෙළවරක විශාල පෝච්චියක සිට වූ සයිප්‍රස් ගස, නත්තල් ගස ලෙස සැරසීමට නංගිලා තිදෙනාට අයියාද සහාය වූහ. ඒ අතර වැඩිමල් දියණිය ඩෙල්රීන් සාලය පමණක් නොව ආලින්දය පුරා දඟර ගැසූ විවිධ වර්ණ ක්‍රේප් කොළ අලවා විශාල බැලුම්බෝල පොකුරු වශයෙන් එල්ලයි. ගව ලෙන සෑදීමේ වගකීම භාරවෙන්නේ ලොකු අයියාට ය.

බොහෝ කිතුනුවන් මෙන්ම විලියම් පවුලේ ඇත්තන් ද වඩාත්ම ලැදියාවක් දැක්වූයේ දෙසැම්බර් විසිහතර වන දින රාත්‍රි දොළහේ නත්තල් දිව්‍ය පූජාවට සහභාගි වීමටය.

“රෑ දොළහේ පූජාවට යන්නෙ නැති නත්තල මොන නත්තලක්ද?” ශලනි විමසුවාය.

“දෙසැම්බර් විසිහතර වැනිදා රෑ දොළහ පූජාවට යන්න පෙර ගෙදර අනිවාර්යෙන් සිදුකෙරෙන තවත් සුවිශේෂ දෙයක් තියෙනවා. ඒ රෑ දහයහමාරට විතර නතතල් කිරිබත පිසීමය.” ශලනි මහත්මිය පැවසූ එලෙස නත්තල් කිරිබතක් පිස මේසය මත අනිකුත් රසකැවිලි සමඟ තබා, නත්තල් පූජාවට යන්නේ කෑම මේසය සුදු රෙද්දකින් ආවරණය කරමිනි.

නත්තල, කතෝලික පවුලක සෑම සාමාජිකයකුටම අලුත් ඇඳුමක් ලැබෙන කාලයකි. පවුලේ දරුවන්ට නම් මේ අලුත් ඇඳුම අනිවාර්යය. පී. ඩී. විලියම් මහතා ද තම පවුලේ සෑම අයෙකුටම නත්තලට අලුත් ඇඳුම් මිලදී ගෙන දීමට අමතක නොකළේය. පවුලේ සියලුදෙනා අල්ලපු වැටේ නත්තල් දිව්‍ය පූජාවට යන්නේ එම අලුත් ඇඳුම් පැළදුම්වලින් හැඩ වැඩ වූ පසුවය. නත්තල් පූජාවෙන් පසු නිවසට එන ඔවුන් ජේසු බබාගේ ප්‍රතිමාව ගව ලෙනෙහි මරියතුමිය සහ ජුසේතුමා අසලින් තැන්පත් කර ගව ලෙන ඉදිරිපිට පොල්තෙල් පහනක් දල්වා පවුලේ සියලු දෙනා එකතු වී සුළු යාච්ඤාවක් පවත්වති.

“මම දන්න කාලෙ ඉඳලම මේ ගව ලෙන ඉස්සරහ ඔරසන් පටන් ගන්නෙ අපේ අයියා. ඒ කියන්නේ කාදිනල්තුමා. පොඩි කාලෙ ඉඳලම උන්වහන්සේ ආගමික කටයුතුවලට හරිම ලැදියි.” ශලනි මහත්මිය පැවසූ ලෙස එයින් පසුව එකිනෙකා සිප ගැනීමෙන් නත්තල් සුබපැතුම් හුවමාරු කර ගනිති.

පවුලේ මූලිකයා නත්තල් කෑම මේසය ආවරණය කර ඇති සුදු රෙද්ද ඉවත්කර සෑම දෙනාටම කිරිබත් කෑල්ලක් කවයි. පසුව සියලුදෙනාම එකම මේසය වටා ඇති අසුන්වල වාඩි වී නත්තල් රසකැවිලි මේසයෙහි රසය සතුටින් භුක්ති විඳිති.

විසිපස්වන දින රාත්‍රියේ ඔවුන් අනිවාර්යයෙන් නත්තල් නෑගම් යන ගෙවල් දෙකක් විය. ඒ මෝදර ජෝ මාමාගේ සහ සෙලින් නැන්දාගේ නිවාසවලට ය.

“ඒ කාලෙ නත්තල් යද්දී අනිවාර්යෙන් අරගෙන ගිය තෑග්ග ලොකු ක්‍රීම් ක්‍රැකර් ටින් එකක් සහ චීස් ටින් එකක්” ශලනි මහත්මියට පොඩි අවදියේ නත්තලට ගෙන ගිය තෑගි භාණ්ඩ තවමත් මතකය.

මෙලෙස ගෙවී යන ඔවුන්ගේ ජීවිතය වෙනස් වෙන්නේ මැල්කම් රංජිත් හිමිපාණන් 1965 මාර්තු 15 දින පූජකවරයකු වීම සඳහා කොළඹ බොරැල්ල පුංචි සෙමනේරියට ඇතුළුවීමත් සමඟය. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී, පුංචි සෙමනේරියට ඇතුළුවීම නිසා උන්වහන්සේ ඉක්මනින්ම අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුළුවීමේ හැකියාව ලැබුණි.

මේරි විනිෆ්‍රීඩා මාතාව මිය යන්නේ මැල්කම් රංජිත් හිමිපාණන් අම්පිටිය ජාතික දෙව්සත්හලේ ඉගෙනුම ලබන කාලයේය. මවගේ මරණය නිසා පවුලේ සියලුදෙනාම පියාගේ ගමේ පදිංචියට යති. අම්පිටිය පූජක පුහුණුවෙන් පසුව, මැල්කම් රංජිත් හිමිපාණන් වසර හතරක කාලයක් රෝමයේ උර්බානු විශ්වවිiාලයේ ඉගෙනුම ලබති. එහිදී උන්වහන්සේ ජර්මන්, ප්‍රංශ, හීබෲ, ග්‍රීක්, ලතින්, ස්පාක්‍ඳ්ක්‍ඳ, දෙමළ, ඉංග්‍රීසි, ඉතාලි භාෂා දහයක් පිළිබඳව දැනුම ලබා ගනිති.

1975 ජූනි 29 දින තවත් තේවාචාරීවරුන් තුන්සිය පනස්දෙනකු සමඟ මැක්ලම් රංජිත් හිමිපාණන් රෝමයේ හයවැනි පාවළු පාප් වහන්සේ වෙතින් පූජකවරය ලබති.

විදේශගතව සිටි එම කාලයේදී උන්වහන්සේට තම පවුලේ අය සමඟ නත්තල ගත කිරීමට ලැබෙන්නේ නැත. කලක් ලංකාවේ සිට, නැවත උන්වහන්සේට විදේශගත වීමට සිදුවන්නේ අපෝස්තලික ජනතාව පිළිබඳව වතිකානු සංවිධානයේ අන්තර් ජාතික ලේකම් තනතුරට පත්වීම නිසාය. 2004 කාලයේ එතුමා ඉන්දුනීසියාවේ වතිකානු අපෝස්තලික තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය. එම කාලයේද එතුමාට පවුලේ අය සමඟ නත්තල් ගත කිරීමට ලැබෙන්නේ නැත.

රෝමයේ පූජාත්වරය ලැබීමෙන් පසු 1978 දී මැල්කම් රංජිත් හිමිපාණන්ට ප්‍රථම වරට පූජකවරයකු වශයෙන් කටයුතු කිරීමට ලැබෙන්නේ පමුණුගම කැපුන්ගොඩ ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ සහායක පියනම වශයෙනි. 1982 උන්වහන්සේ පයාගල මීසම් පාලක වශයෙන් පත්වෙති.

1991 ජූලි 15 දින දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් මැල්කම් රංජිත් හිමිපාණන් කොළඹ සහායක රදගුරුතුමන් වශයෙන් පත්කරනු ලබති.

රත්නපුර පදවියේ පළමු රදගුරුතුමා වශයෙන් උන්වහන්සේට පත්වීම ලැබෙන්නේ 1995 නොවැම්බර් 15 දින ය. 2009 ජූනි 10 දින මැල්කම් රංජිත් හිමිපාණෝ කොළඹ අගරදගුරු පදවියට පත්වෙමින්, ශ්‍රී ලංකා කතෝලික සභාවේ නායක එඬේරාණෝ බවට පත්වෙති.

දහසය වැනි බෙනඩික් ශුද්ධෝත්තම පියතුමන් 2010 ඔක්තෝම්බර් 10 දින අතිඋතුම් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමාණන් කාදිනල් ධුරයට පත්කරනු ලැබූහ.

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment