පුත්තලමේ මක්කම සිට බුදුන් වැඩිය මග… නටඹුන් වන වෙහෙර විහාර බොහෝමයි !

842

මහියංගණං නාග දීපං – කල්‍යාණං පද ලාංඡුණන් දිවා ගුහා දීඝවාපී – චේතියංච මුතියංගණං තිස්ස මහ විහාරංච බෝධිං මරිව වට්ටියං සොණ්ණමාලි මහ චේතිං ථූපාරාම භයාගිරිං ජේතවනං සේල චේතියං තථා කාජරගාමකං ඒතේ සොළොස්ථානානි අහං වන්දනාමි සබ්බදා’’

මහියංගණය, නාගදීපය, කැලණිපුර යන තැන්හි පිහිටි චෛත්‍යද, සම නොලසිරිපා ලකුණද, දිවා ගුහාවද, දිගා වැව් සෑයද මුතියංගණ සෑයද, තිස්සමහාරාම වෙහෙරද, අනුරාධපුර සිරිමා බෝරුකද, මිරිසවැටි සෑයද, රුවන්වැලි සෑයද, ථුපාරාම දාගැබද, අභයගිරි දාගැබද, ජේතවන දාගැබද, ශෛල චෛත්‍යද, කතරගම කිරිවෙහෙරද යන මේ සොළොස්මස්ථාන මම හිස නමා වඳිමි.

එලෙස ගෞතම බුදුන් වහන්සේ වැඩම කළ ස්ථාන සිංහල බෞද්ධයෝ අටමස්ථාන සහ සොළොස්මස්ථාන ලෙස නම් කරමින් වන්දනා මාන කළත් මග හැරුණු සිද්ධස්ථාන බොහොමයක් තිබේ.

ගෞතම බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කරවීමේදී මුහුදු මාර්ගයෙන් වැඩම කර පුත්තලම ප‍්‍රදේශයේදී එහි සිටි යක්‍ෂ ගෝත‍්‍රිකයන් විසින් පිළිගන්නා අවස්ථාවේදී බුද්ධත්වයේ බලමහිම ශ‍්‍රද්ධාව පෙන්වමින් මුහුද යටින් රශ්මි කදම්භයක් මතු කරමින් පුත්තලම මක්කම නැමැති ස්ථානයේ ශ‍්‍රීපාදය පිහිටවූ බව ඉතිහාසයේ සඳහන්. අදටත් එම ස්ථානයේ ශ‍්‍රීපාද සටහන එහි ඇති බව මහ සංඝරත්නය සඳහන් කරයි. දඹදිව සමඟ සම්බන්ධතා පැවැත් වූ වෙළෙන්දෙකුගේ ආරාධනාවකට වැඩම කළ බුදුන් වහන්සේ ඇතුළු මහ රහතුන් වහන්සේලා කලා ඔය මෝයකට ආසන්නයේදී යක්‍ෂ ගෝත‍්‍රිකයන්ට ධර්මය දේශනා කළ ස්ථානය වැලි වෙහෙර වූ බවත් අද එම ප‍්‍රදේශය වීරන්දගොඩ වී වෙළෙඳගොඩ බවට නම් වී ඇත. එවකට භාරතීය ජනයා වෙළෙඳාම සඳහා නැව් මාර්ගයෙන් පැමිණි ස්ථානය කලා ඔය අසලින් පැරණි මාර්ගයක් ඔස්සේ ගෞතම බුදුන් වහන්සේ ඇතුළු මහරහත් පිරිස රාජාංගනය කඩිගල නැමැති ස්ථානයට වැඩම කර ටික කලක් එහි වැඩ සිට ඇත. එම ස්ථානයට රාජාංගනය වැව් වාන අසලින් කාඩිගලට යෑමට ගල් පඩි පෙළක් පිහිටුවා තිබේ. කාඩිගල ඉහල ගල්තලාවේ සෙල්ලිපිය මේ බව සඳහන්. එම ස්ථානයේ බුදුන් වහන්සේට ධර්මය දේශනා කිරීම සඳහා සකස් කළ වජ‍්‍රාසනයක් පිහිටුවා ඇත. කාඩිගලට යන ගල්පඩියක කොටන ලද චෛත්‍යයක සංකේතයකින් දැක්වෙන්නේ යක්‍ෂ ගෝත‍්‍රික සෙන්පතියකු විසින් පුදබිමක් ලෙස සකසා බුදුන් වහන්සේට පූජා කළ බවයි. එම සංකේතයේ කලනීල පුෂ්ප දෙකක් එහි ඇත. එමගින් කියවෙන්නේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ කලනීල මලින් පුදනු ලැබූ බවයි. කලනීල මල් යොදා ගන්නේ ගෝත‍්‍රිකයන්ගේ ඉහළම අය පිදීම සඳහායි.

ගෞතම බුදුන් වහන්සේට ධර්ම දේශනා කිරීම සඳහා වඩා සිටුවීමට ෙසෙලමය වජ‍්‍රාසන සකස් කර පූජා කර ඇති බවත් මෙම වජ‍්‍රාසනවල නෙළුම් මල කොටා සංකේතවත් කර ඇත්තේ ගෞතම බුදුන් වහන්සේට පූජා කළ බව දැක්වීමට බවත් ගෞතම බුදුන් වැඩිය මඟ මෙලෙස සඳහන් කරන්නේ මීගලෑව, ගනංගමුව ශ‍්‍රී ජයසුමනාරාමාධිපති පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන්ය.

ගෞතම බුදුන් වහන්සේ කාඩිගල සිට අනතුරුව වැඩම කර ඇත්තේ යක්‍ෂ ගෝත‍්‍රික ගමක් වන මකුලෑවටය. එහිදී යක්‍ෂ ගෝත‍්‍රිකයින් විසින් ගන්ධකුටියක් සහ චෛත්‍යයක්. පොකුණු සමඟ විහාරරාම වජ‍්‍රාසන දෙකක් සාදා පූජා කර ඇත. මකුලෑව රාජමහා විහාර මළුවේ පුරාණ දාගැබ සහ ගන්ධ කුටියේ නටඹුන් අදද දක්නට ඇත. පුරාණ දා ගැබ මළුවේ සිට වැසි කාලයට ගලා යන ජලය එකතු වීමට ගඩොල් යොදා සකසන ලද පොකුණු සතරකි. එවකට මෙම ස්ථානය සඳුන් වනයක් ලෙස තිබී ඇත. මකුලෑව විහාර මළුව භූමිය අක්කර පහක පමණ පුරා වස්තු නටබුන් වී ශේෂව ඇත. ටැම්පිට විහාරයක ගල් කණු තිබෙන අතර මෙහි තිබෙන වජ‍්‍රාසන දෙකෙන් එකක් ගෞතම බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමටත් දිගින් සහ පළලින් වැඩි වජ‍්‍රාසනය ගෞතම බුදුන් සැතපීම සඳහා පූජා කර ඇති බව පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් පවසයි. මකුලෑව විහාර මළුවේ ඇති පුරාවස්තු විනාශ වී යෑමට ලක්ව තිබෙන අතර පුරාණ දාගැබ නිධන් සෙවීමට සොරුන් විසින් හාරා ඇත. මේ ස්ථානය පිළිබඳව පුරා විද්‍යාවෙන් මේ දක්වා සොයා බැලීමක් කර නැත. එදා බුදුන් වැඩ සිටි එම පිංබිම අද මකුලෑව සුදර්ශනාරාම පුරාණ රජමහා විහාරය ලෙස හඳුන්වති.

පුත්තලමේ මක්කම සිට බුදුන් වැඩිය මග… නටඹුන් වන වෙහෙර විහාර බොහෝමයි !

මකුලෑව විහාර පිං බිමේ වැඩ සිටි ගෞතම බුදුන් ඇතුළු මහරහත් පිරිස නැවත වැඩම කර ඇත්තේ කලාඔයෙන් එගොඩ නැගෙනහිරට ඉපලෝගම පූගොල්ල ගමටය. එම ස්ථානයේද චෛත්‍යයක් සහ වජ‍්‍රාසනයක් සහිත ගන්ධ කුටියක් එහි වැසියන් විසින් බුදුන්ට පූජා කර ඇත. මෙම ස්ථානය 2017 අපේ‍්‍රල් මාසයේදී නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා ඩෝසර් කර විනාශ කර තිබේ. එම පිංබිම ඩෝසර් කිරීම නිසා ගන්ධ කුටියේ පාදම විනාශ වී තිබේ. නෙළුම් මල සහිත වජ‍්‍රාසනයට මෙහිදී හානි සිදුව ඇත. මෙම ස්ථානයේ සෙල්ලිපිය නිධන් සොරුන් විසින් කඩා බිම හෙළා තිබේ. වටිනා ඉතිහාසයක් තිබෙන බැලූම්ගල පිංබිම ඖෂධ උයනක් බවට පත් කර කැලෑවෙන් වැසී තිබෙන පුරාවස්තු මතුකර බෞද්ධ ජනතාවට වන්දනා කිරීමට සැලැස් විය යුතු බව පූජ්‍ය විමලරතන හිමියන් පෙන්වා දෙයි.

පූගොල්ලාගම වැඩ සිටි ගෞතම බුදුන් ඇතුළු මහරහත් පිරිස අනතුරුව කරුණාගල මාවත ඔස්සේ මානෑව කන්දට වැඩම කර තිබේ. මානෑව කන්දේ කලූගල ස්ථානයේ සිට යක්‍ෂ ගෝත‍්‍රික කාන්තාවන් සඳහා ගෞතම බුදුන් විසින් විෂ කුම්භණ සූත‍්‍රය දේශනා කර තිබේ. විෂකුම්භණ සූත‍්‍රය නුවර යුගයේදී තක්කාලීන භාෂා ලක්‍ෂණද අන්තර්ගතව රචනා වී ඇත. පැරැණි සූත‍්‍ර ගණනාවක පෙළ ගැස්ම සහ අන්තර් ගත වචන එලෙසම සුරක්‍ෂිතව පවතින බැවින් මෙම සූත‍්‍රය හෙළ බසින් සිංහලයට පරිවර්තනය කරන ලද්දකි. විෂකුම්භණ සූත‍්‍රය අද විෂ මන්ත‍්‍රයක් ලෙස භාවිතයට ගන්නා අතර සර්ප වෙදකමේදී විෂකුම්භණ සූත‍්‍රය අදටත් භාවිතයට ගනී. මානෑව කඳු මුදුනේ බුදුන් දවස ඉදි කළදා ගැබ නටබුන් වී ඇත. එම දා ගැබ ප‍්‍රතිසංස්කරණය කළ යුතුව තිබේ.

මානෑවේ සිටි යක්‍ෂ ගෝති‍්‍රකයන්ට ගෞතම බුදුන් විසින් විෂකුම්භණ ශාකය හඳුන්වා දෙද්දී එම ශාකය වගා කිරීමේ අගය වටහාදී ඇත. එම අවස්ථාවේ විෂකුම්භණ ශාකයක් වම්නිය ධාතුවකින් පිරිමැද යක්‍ෂ ගෝත‍්‍රිකයන්ට ලබා දුන් අවස්ථාවේ බුදුන් වහන්සේගේ එම වම්නිය ධාතුව ඉල්ලා ගෙන තැන්පත් කළ ස්ථානයෙහි පල්ලේකාගම නඛා වෙහෙර ගොඩනගා ඇත. ගෞතම බුදුන් වහන්සේ මානෑවේ වැඩ උන් සමයේ යක්‍ෂ ගෝත‍්‍රිකයන් කැළඹුණ අවස්ථාවකදී එදා සප්තබද්ගිරිය හෙවත් රකුම්ගිර අද රිටිගල ස්ථානයට වැඩම කර යක්‍ෂ ගෝත‍්‍රිකයන් ඉදිරියේ ප‍්‍රාතිහාරය පා ධර්මය දේශනා කර එම රිටිගල ගෝත‍්‍රිකයන් සන්සුන් කර ශ‍්‍රීපාදයක් තබා ඇත. එම ස්ථානය අදටත් සොයා ගෙන නැති අතර රිටිගල නාමුල්ල ප‍්‍රදේශයේ ශ‍්‍රීපාදය ඇතැයි අනුමාන කෙරේ.

පුත්තලමේ මක්කම සිට බුදුන් වැඩිය මග… නටඹුන් වන වෙහෙර විහාර බොහෝමයි !

රිටිගල වැඩසිටි ගෞතම බුදුන් ඇතුළු මහ රහත් පිරිස නැවත හබරණ, හිරිවඩුන්න ගමට වැඩම කර එහි වැසියන්ට ධර්මය දේශනා කර තිබේ. හිරිවඩුන්නේ ඇති වජ‍්‍රාසනය බුදුන් වැඩසිටි වජ‍්‍රාසනයයි. පසුව බුදුන් වහන්සේ වැඩම කර ඇත්තේ උපුල්වන් ගිරියටය. ඒ දඹුල්ල රජමහා විහාරයටය.

අනතුරුව බුදුන් ඇතුළු මහ රහත් පිරිස නීල යක්‍ෂගමට වැඩම කර ඇත. අද නිල් අක්ඛගම ලෙස හඳුන්වන පූජා භූමියේදී ගෞතම බුදුන් ඇතුළු මහ රහත් පිරිස තුන් මාසයක් එහි වස් සමාදන් වී ඇති බව වරිග පූර්ණිකා පොතේ සඳහන් වේ. වස් කාලය අවසන් කරමින් නැවත මහියංගනය දක්වා ගෞතම බුදුන් ඇතුළු මහරහත් පිරිස වැඩම කර ඇති බව ඉතිහාසයේ සඳහන්….’’

මකුලෑව ශ‍්‍රී සුදර්ශන පුරාණ රාජ මහා විහාරාධිපති තම්මැන්නාගම රතනසීහ හිමියන් පවසා සිටින්නේ ගෞතම බුදුන් වැඩිය මගේ තිබෙන මකුලෑව ඉපැරණි විහාර භූමිය සම්බන්ධව මෙතෙක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගවේෂණයක් කර නොමැති බවත් මෙම පිංබිමේ වටිනා ඉතිහාසයක් පස් කඳුවලට යට වී පවතින තිබෙන නිසා එය සොයා බැලිය යුතු බවය.

ගෞතම බුදුපියාණන් වහන්සේ රිටිගලදී ප‍්‍රාතිහාරය පා තිබෙනවා. එහිදී පුත්තලම, මක්කම වගේම ශ‍්‍රීපතුලක් තබා තිබෙනවා. එම ස්ථානය අද දක්වා සොයා ගෙන නැහැ. එදා බුදුන් දේශනා කළ ධර්මය සංරක්‍ෂණය කර නැහැ. ඒකට හේතුව වන්නේ අපේ හෙළයා ඛේදවාචක කිහිපයකට මුහුණදී තිබෙනවා. එකල උරුවෙල දනව්වෙන් කිසියම් වස්තුවක් මුහුදට වැටිලා මුහුද ගොඩ ගලලා විශාල වැලි කඳු ගොඩ ගලලා තිබෙනවා. එම වැලි කඳු අදටත් පුත්තලම ප‍්‍රදේශයේ තිබෙනවා. මුහුද ගොඩ ගැලීම නිසා පන්සල් විශාල ප‍්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවා. එම පන්සල්වල සිටි භානකවරු සහ මුඛපරම්පරාව විනාශ වෙලා. ලංකා පුවත පොතේ මේ බව සඳහන් වෙනව. නල මුදලිගේ පාලන කාලයේ බලහත්කාරයෙන් ගල්ගමුව ගිරිබාව මා ඔය දක්වා අල්ලාගෙන තිබෙනවා. ගෞතම බුදුන් වහන්සේ ලක්දිවට (මිණිමිහි දේශය) වැඩම කළ දිනයේ නීලගිරියේ දල්වන ලද පහත ‘‘සුවක් ජේතය’’ නමින් හඳුන්වා ඇත. එදවස බුදුන් වහන්සේගෙන් බණ ඇසූ යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගේ හදවත් තුළ පිබිදීමක් ඇතිවීම නිසා එය සිහි කිරීම වස් කවිලාශපාලි මෙහෙණිය මෙම පහන දල්වා ඇති අතර පහන නිවා ඇත්තේ බුදුන්වහන්සේ පිරිනිවන් පෑ දිනයේය. නීල ගිරියේ (මානෑව කන්ද) විෂකුම්භන චෛත්‍යය පිහිටි ස්ථානයේ මෙම පහන දල්වා තිබුණු බවට මතයක් පවතී.

ශ‍්‍රී පාද වන්දනාව බොහෝ කොට ලංකාවටම ආවේණික වූවෙකි. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට ඉඟියක් ලැබෙන වජ‍්‍රාසනය, ශ‍්‍රීපාදය බුදුන් වෙනුවට වන්දනා කළ වස්තු දෙකකි. වජ‍්‍රාසනය බුදුන්වහන්සේ වැඩසිට ධර්මය දෙසූ ආසනයයි. නළල සහ දෙඅත්ල පොළවට ස්පර්ශ කොට කරනු ලබන වන්දනාව ශ‍්‍රීපාදය සඳහාම වෙන් වූවකි. පසු කාලෙක ශ‍්‍රීපාදය නමින් හැඳින් වූ මේ ශුද්ධ භූමිය මක්කම නමින් හැඳින්වූහ. පුත්තලමට නුදුරුස්ථානයක් වන මක්කම ලංකාවට බුදුන් වහන්සේ වැඩම කළ පළමු ස්ථාන යැයි. උන්වහන්සේ මේ ගමනේදී නීලගිර, රකුන්ගිර, මහගිර දක්වා වැඩම කොට ඇත. රකුන්ගිරදී ශ‍්‍රීපාද ලාංඡුනයක් පිහිටුවා වදාළහ.

ගිරිභද්‍රනම් සෙන්පතියා දමනය කරන ලද්දේ බුදුන්වහන්සේ රකුන්ගිරට වැඩම කළ අවස්ථාවේදීය. බුදුන් වහන්සේ යක්‍ෂ ගෝත‍්‍රිකයන් බිය කොට ගිරිදිවයිනට පන්නා දැමූ බව මහාවංශයේ සඳහන් වේ. මහගිරි දේශය වශයෙන් ප‍්‍රදේශ දෙකක් එකල පැවැත ඇත. ගිරිදේශය යනු වත්මන් ගිරිබාව සහ ගල්ගමුව ආදී ප‍්‍රදේශයි. මහගිරි දේශය යනු සිරිපා අඩවියයි.

දිටිමි මනසිරි මංගල්‍ය අඩයාලම ඇත්තා වූ ශාඛ්‍යමුනි පද්ම රකුන්ගිර මේඝ තල පුරා වැඩ හිඳ සිරිපාවෙන් අග්නි මේඝ ප‍්‍රාතිහාර පෑයේ බුදුන් වැඩිය මඟ අප දුටු දේ බිඳකි. නොදුටු දේ බොහෝය. බුදුන් වහන්සේ වැඩ සිටි බොහෝ ස්ථාන නටබුන්ව ඇත. ඒ පිළිබඳව ගවේෂණාත්මකව සොයා බැලීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමකි.

කැකිරාව – සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment