පුතාගේ වෛද්‍ය සහතිකයෙන් රෝගීන්ට බෙහෙත් කළ බියගම හොර දොස්තර අත්අඩංගුවට

1664

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කළ හැටහය හැවිරිදි ව්‍යාජ වෛද්‍යවරයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සමගම මොහු ළඟ තිබී රෝගීන් පරීක්ෂා කරන වෛද්‍ය නලාවක් , රුධිර පීඩනය මනින උපකරණයක්, ඔහුගේ අත් අකුරින් ලියා රෝගීන්ට නිකුත් කළ බෙහෙත් තුණ්ඩු රැසක් හා රබර් මුද්‍රාවක් ද පොලිස් භාරයට ගැනිණි.

මොහුගේ පුතෙක් වෛද්‍යවරයකු වන අතර එම පුතා මේ වනවිට විදේශ ගත වී සිටින හෙයින් ඔහුගේ වෛද්‍ය සහතිකය භාවිතා කරමින් මොහු රෝගීන්ට ප්‍රතිකාර කර ඇතැයි කියති. එහි පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී මොහු මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වු අතර මොහු මාස දහයකට අධික කාලයක සිටම රෝගීන් දහසකට අධික පිරිසකට ප්‍රතිකාර කර තිබෙන බවට පොලිස් පරීක්ෂණවල දී අනාවරණය විය. අත්අඩංගුවට ගන්නා ලද මොහු මීගමුව, ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි. මේ වැටලීමට බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ, පොලිස් පරීක්ෂක ඒ. එරන්ද, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශාන් ගමගේ, පොලිස් සැරයන් රාජපක්ෂ (63431), කාන්තා පොලිස් සැරයන් චමරි (2965), පොලිස් කොස්තාපල්වරුන් වන ජයසිංහ (103658), යොහාන් (99918), දේශප්‍රිය (85223), සඳරුවන් (90510) හා නයනජිත් (706) යන නිලධාරීහු එක් වී සිටියහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්ත ඩීත විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති


advertistmentadvertistment