පුතාට වෙඩි තියපු කෙනා මගෙත් මුණුබුරාගෙත් මුහුණු දිහා බලල මිදුලට බැස්සා – මියගිය දීපාල්ගේ මව සාක්ෂි දෙමින් කියයි

1570

වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන්ගේ මරණ පරීක්ෂණය

මුණුබුරාව 1 වසරට ඇතුළත් කිරීම සඳහා සූදානම් වී මුණුබුරාගෙ පින්තූර කිහිපයක් අරගෙන මියගිය පුතා ගෙට ආවා. මුණුබුරා මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. එවිට කවුදෝ කෙනෙක් ගෙදර කවුදෝ කියල කතා කරා. ඒ එක්කම මියගිය පුතා ගේ ඇතුලේ ඉඳලා එළියට එනවිටම එක් වරම පුතාගේ මූණට වෙඩි තිබ්බා. පුතා ගේ ඇතුළට දිව්වා. වෙඩි තියපු අය තවත් වෙඩි 2/3 ක් පුතාගේ පිටට තියලා යන්න ගියා ”‍යැයි ”‍ ඇල්පිටිය පොලිස් වසමේ, කුරුදුගහ, දිවිතුර පාර ලිපිනයේ පදිංචි ව සිටි දීපාල් රොෂාන් කුමාර විතානච්චි (51) මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආරියරත්න මහතා ඉදිරියේ ඇල්පිටිය මූලික රෝහලේ දී පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මරණකරුගේ මව වන ජයන්ති මේබල් ආනන්ද ලතා මහත්මිය පැවසුවාය. සාහසිකයකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්ව ජීවතක්ෂයට පත්ව ඇත්තේ කරන්දෙනිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ දීපාල් රොෂාන් කුමාර විතානච්චි මහතාය. ඇල්පිටිය පොලිසීයේ පොලිස් සැරයන් 59070 ඩෙන්සිල් විමලසිරි මහතාගේ මෙහෙයවීම මත සාක්ෂි දුන් සාක්ෂිකාරිය මෙසේ ද පැවසුවාය. මාගේ පුතා රාජකාරිය අකුරටම ඉටුකළ නිලධාරියෙක්. එයා කාටවත් යටත් නොවී එඩිතරව නොබියව රාජකාරී කළා. පුතා කරන රාජකාරීය පිළිබඳ කවදාවත්ම ගෙදර අය සමග කතා කරන්නෙ නෑ. සිද්ධිය වූ 26 වෙනිදා ලේලි එයා උගන්වන පාසලට යන්න උදේ 6.40 බස් එකෙ ගියා. මියගිය පුතා වැඩිමහල් පුතත්, දෙවැනි දුවත් කොළඹ පාසල්වලට යන්න බස් එකට ඇරලවා ඇවිත් බාල පුතා තෙරේසා කණිටු විදුහලට 1 වසරට බාර දෙන්න යාම සඳහා සූදානම් වන විටයි මේ සිද්ධිය වුණේ. වෙඩි තියපු කෙනා අවුරුදු 25/30 ත් අතර වයසේ පසුවන කලු‍ කෙට්ටු කෙනෙක්. එයා පුතාට වෙඩි තියලා මගෙත් මුණුබුරාගෙත් මුහුණ දිහා බලල මිදුලට බැස්සා. ගේ ඉදිරිපිට පාරේ බයික් එකක තවත් එක්කෙනෙක් හිටියා. එයා සමග බයික් එකේ කුරුඳුගහ පැත්තට ගියා.

මමත් මුණුබුරත් බිම වැටී සිටි පුතා ළඟට ගිහින් කතා කළා. පුතා කතා කළේ නෑ. පස්සෙ අපි කෑ ගැහුවා. වටේ ගෙවල් වල අය ගෙදරට ආවා. ටික වේලාවකින් පොලීසියේ අයත් ආවා.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආරියරත්න මහතා විසින් පවත්වා වෙඩිතැබීමෙන් ශරීරයට බහුවිධ තුවාල සිදු වී අභ්‍යන්තර ලේ ගැලීම හා කම්පනයෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කළේය. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණකරුගේ බිරිඳ වන ඉන්දුනී කාහින්ගල මහත්මියද සාක්ෂි දුන්නාය.

පුතාට වෙඩි තියපු කෙනා මගෙත් මුණුබුරාගෙත් මුහුණු දිහා බලල මිදුලට බැස්සා - මියගිය දීපාල්ගේ මව සාක්ෂි දෙමින් කියයි
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු දීපාල් රොෂාන් කුමාර විතානච්චි මහතාට අවසන් ගෞරව දක්වමින්.

ඇල්පිටිය විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment