පුනර්භවය එහි හටගැන්ම සහ නිරෝධය

436

මෙලොව උපත ලබන සෑම සත්වයෙකුටම අනිවාර්යයෙන් උරුම වන දුක්ඛය එනම් දුක හටගන්නා හේතුවත්, එම දුක නිරොධ කරගන්නා, ආකාරයත් බුදුන් වහන්සේ විසින් පටිච්චසමුප්පාද ධර්මය
 
 මගින් ලොවට හෙළි කළ සේක. එය සමස්තයක් වශයෙන්ද, එක් එක් ධර්මතාවන් වෙන් වෙන් වශයෙන් ද බුදුන් වහන්සේ විසින් විස්තර කොට වදාළ අයුරු සූත‍්‍ර පිටකයේ සූත‍්‍ර ධර්ම රාශියක දැක්වෙයි.
 
 පටිච්ච සමුප්පාද ධර්මයට අනුව සත්වයන්ගේ භවයට, එනම් උත්පත්තියට හේතු වන්නේ තන්හාව නිසා ජනිත වන උපාදානයන්ය. එකී තන්හාව උපදින්නේ යමෙකුගේ ඇස්, කන්, නාසය, දිව, සිරුර, මනස යන සලායතනයන් ඒවාට අදාළ බාහිර ආයතනයන් සමඟ ස්පර්ශ වීම හේතුවෙන් හටගන්නා වේදනාවන් එනම්, වින්දනයන්හි ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙම කි‍්‍රයාවලියට මූලික වන සලායතනයන් හටගන්නේ නාම රූප හේතු කොටගෙන බවත්, එකී නාම රූපයන් හටගන්නේ විඤ්ඤාණය හේතු කොට ගෙන බවත් ‘‘විඤ්ඤාණ පචචයා නාම රූපං, නාම රූප පචචයා සලායතනං’’ ආදී වශයෙන් පටිචච සමුප්පාද ධර්මයෙහි දැක්වෙයි.
 
 පටිචච සමුප්පාද ධර්මයෙහි එසේ සඳහන් වුවද, සත්වයාගේ විඤ්ඤාණය හා නාමරූප අතර පවතින්නා වූ සියුම් සහ සංකීර්ණ කි‍්‍රයාකාරිත්වය නිසා එම ධර්මය ඉතා ප‍්‍රඥාවෙන් යුක්තව අවබෝධ කොට ගත යුතු බවට බුදුන් වහන්සේ විසින් ආනන්ද හිමියන්ට උපදෙස් දුන් අයුරු මහා නිදාන සුත‍්‍රයෙහි මෙසේ දැක්වෙයි. ‘‘විඤ්ඤාණ පචචයා නාමරූපන්ති ඉති ඛො පනෙත වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබබං යථා විඤ්ඤාණ පච්චයා නාම රූපං විඤ්ඤණං ච හි ආනන්ද මාතු කුච්ජිස්මිං සමුච්චිස්සථාති’’ එනම් විඤ්ඤාණය හේතු කොටගෙන නාමරූප හටගන්නා බව පැවසෙන නමුත්, එම කරුණ හේතු සාධක සහිතව අවබෝධ කොට ගත යුතුය. ආනන්ද, යම් හෙයකින් විඤ්ඤාණයද මව් කුසයකට පිවිසෙන්නේ නැතිනම් එම මව්කුසයෙහි නාම රූපයක්ද හටගන්නේ නැත’’ ආද’ වශයෙනි.
 
 ආනන්දය මෙතෙකින්ම කෙනෙකු උපදින්නේ වෙයි හෝ ජරාවට යන්නේ වෙයි හෝ මැරෙන්නේ යයි හෝ චුත වන්නේ යයි හෝ නැවත උපදින්නේ යයි හෝ වශයෙන් සරල ලෙස හෝ අර්ථාන්විතව හෝ ඇඟවීමක් ලෙස හෝ යම් ප‍්‍රකාශයන් වෙතොත් ඒවා, ප‍්‍රඥාවෙන් අවබොධ කොට ගත යුත්තේ (නාමරූප හා විඤ්ඤාණ* සුළියක් ලෙස කරකැවෙන ලෙසින් බවය. නාමරූපයන් විඤ්ඤාණයද සහිත වූ කල්හි මෙය මේ ආකාරයෙන් මේ අර්ථයෙන් අවබොධ කොට ගත යුතුය වශයෙනි.
 
 නාමරූප සහ විඤ්ඤාණය අතර අඛණඩව පවතින අන්‍යොන්‍ය සම්බන්ධතාව නගර සුත‍්‍රයෙහි ද මෙසේ දැක්වෙයි.
 
 ‘‘පචචුදාවත්තති ඛො ඉදං විඤ්ඤණං, නාමරූපම්හා නා පරං ගච්ඡුති’’ එනම්, මෙම විඤ්ඤාණය යළි යළිත් මතුවෙමින් පවතින අතර, එය නාමරූපයන් කෙරෙන් ඉවත්ව නොයයි. යනුවෙනි. මෙම නාමරූප හා විඤ්ඤාණ එක්වූ ඒකාබද්ධව ගලායන විඤ්ඤාණ ධාරාව නිසා නැවත උත්පත්තිය සිදුවන බව සම්පසාදන සූත‍්‍රයෙහි මෙසේ දැක්වෙයි.
 
 ‘‘විඤ්ඤාණ සොතං උභයතො අබ්බොච්ජින්නං ඉධ ලොකෙ පතිටඨිතං ච පරලොකෙ පතිට්ඨිතං ච’’ එනම්, විඤ්ඤාණ ජල ධාරාව නොකඩවා මෙලොවත් පතිතවෙමින් පවත්නා පරලොවෙහිත් පතිතවන යන දෙලොවෙහිම පතිත වන්නකි වශයෙනි.
 
 පුනර්භවයට එනම් පුනරුත්පත්තියට හේතුවන මෙම නාමරූප විඤ්ඤාණ ජලධාරාව කෙසේ නැවැත්විය හැකි වන්නේද යන ප‍්‍රශ්නය මතුවූ අවස්ථාවක් මෙන්ම එයට බුදුන් වහන්සේ දේශනා කොට වදාළ පිළිතුරද සංයුක්ත නිකායේ එන සර සුත‍්‍රයෙහි දැක්වෙන බව අති පුජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද මාහිමියෝ පෙන්වා දෙති. එම සූත‍්‍රයට අනුව එක් දේවතාවෙක් මෙම ප‍්‍රශ්නය බුදුන් වහන්සේගෙන් අසන ලද්දේ මෙසේය.
 
 ‘‘කුතො සරා නිවන්තන්ති කත්ථ වට්ටං න වට්ටති කත්ථ නාමංච රූපංච අසෙසං උපරුජ්ඣති’’ එනම් භාග්‍යවතුන් වහන්ස, දියවැල නවතින්නේ කොතැනකද? දිය සුළියේ කරකැවිල්ල නොකැර කැවෙන්නේ කොතැනකද? නාමයන් හා රූපයන් ඉතිරි නැතිව මැකී යන්නේ කොතැනද? වශයෙනි. බුුදුන් වහන්සේ එම ප‍්‍රශ්නයට මෙසේ පිළිතුරු දී වදාළ සේක.
 
 ‘‘යත්ථ අපොච පඨවි තෙජොවායො න ගාධති
 
 අතො සරා නිවත්තන්ති එත්ථ වට්ටං න වට්ටති
 
 එත්ථ නාමංච රූපංච අසෙඛං උපරුජ්ඣති’’ එනම් ආපො, පඨවි, තෙජො, වායො
 
 යන සතර මහා භූතයන් පිහිටා රැුඳී සිටින්නේ නැත්තේ යම් තැනකද එතැනදී දියවැල නවතියි. එතැනදී දිය සුළිය කැරකෙන්නේ නැත. එතැනදී නාමරූප සියල්ලම ඉතිරි නැතිව වැසී මැකී යන්නේය.’’ වශයෙනි.
 
 ඉහත සඳහන් වූ පරිදි ආපො, පඨවි, තෙජො, වායො යන සතර මහා භූතයන් පිහිටා නොසිටින, රැුඳී නොසිටින ස්ථානය කුමක්ද යන්න බුදුන් වහන්සේ කෙවඩඪ සූත‍්‍රය මගින් පැහැදිලිව විස්තර කළ අයුරු අති පුජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද මාහිමියෝ පෙන්වා දෙතිි. එම සූත‍්‍රය මගින් බුදුන් වදාළ ධර්මය මෙසේ දැක්වෙයි.
 
 ‘‘විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතො පභං
 
 එත්ථ ආපොච පඨවි තෙජො වායො න ගාධති’’ එනම් කිසිවක් පිළිබිඹු නොවන්නාවූූත් අනන්තවූත් හැම දෙයකිින්ම මිදුනාවූත් ් විඤ්ඤාණයෙහි ආපො පඨවි තෙජො වායො යන ධාතුන් පිහිටා රැුඳී නොසිටියි. යනුවෙනි. එයින් අදහස් කෙරෙනුයේ සියළුම රූප සඤඤාවන් විඤ්ඤාණයෙන් මැකී යන බවය. එසේ මැකී යන්නේ එම රූප යනු විඤ්ඤාණයේ සටහන් වන පිළිබිඹුවක් පමණක් නිසා වන හෙයිනි. අතිපුජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද මාහිමියන් විසින් පැහැදිලි කොට ඇති පරිදි සියළුම රූපයන්ද ඒවා නිසා හට ගන්නා වෙදනා, සඤ්ඤා, චෙතනා ආදී නාමයන්ද හුදෙක්ම විඤ්ඤාණයේ සටහන් වන පිළිබිඹුවක් පමණකි. නාම රූපයන්ගේ මැකීයාම ගැන තවදුරටත් එම සූත‍්‍රය මගින් බුදුන්වහන්සේ මෙසේ වදාළ සේක.
 
 ‘‘එත්ථ දීඝංච රස්සංච අණුං ථුලං සුභාසුභං
 
 ඵත්ථ නාමංච රූපංච අසෙසං උපරුජ්ඣති
 
 විඤ්ඤාණස්ස නිරොධෙන එෙත්‍ථතං උපරුජ්ඣති’’
 
 ති. විඤ්ඤාණයේ නිරෝධයෙන් මේවා සියල්ල මැකීයෙත්’’ වශයෙනි.
 
 ඉහත දැක්වුණු ගාථා ධර්මය මගින් පැහැදිලි කොට ඇත්තේ විඤ්ඤාණයේ නිරෝධයත් සමඟ සියළුම නාමරූපයන් මැකී යන බවයි. ඒ අනුව මහානිදාන සුත‍්‍රයේ විස්තර කොට ඇති පරිදි රූප සඤ්ඤාවන් හා අරූප සඤ්ඤාවන් අහෝසි කිරීමෙන් අනතුරුව ක‍්‍රම ක‍්‍රමයෙන් පිළිවෙලින් අත් කරගන්නා ආකාසනඤචායතනය, විඤ්ඤාණඤායතනය, ආකිඤ්චඤ්ඤායතනය සහ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන ධ්‍යානයන් ඉක්මවා ගොස් ඉනික්බිතිව සියළුම වේදනාවන් හා සඤ්ඤාවන් නිරෝධ කරමින් සඤ්ඤාවෙදයිත නිරොධ සමාපත්තිය සාක්‍ෂාත් කර ගත හැකි වන්නේය. එය නිර්වාණාවබෝධය වන අතර, පුනර්භවය ඇතුළු සමස්ත සංසාර චක‍්‍රයේ නිරෝධය වෙයි.
 
 මෙම ධර්මතාවය මනාව අවබෝධ කර ගැනීම තුළින් අප විසින් භාවනානුයෝගීව සිදුකරගත යුත්තේ මොහොතක් පාසා අප සිත් තුළ ජනිත වන එනම්, අප විඤ්ඤාණයෙහි පිළිබිඹු වන නාම රූපයන් ගැන ඉතා සංවේදීව ඒවා ලොභ, දෝෂ, මෝහයෙන් තොරව මෛතී‍්‍ර, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන උතුම් විහරණයන්ගෙන් යුතුව ක‍්‍රමානුකූලව සංවර කර ගැනීම වෙයි. එමගින් මොහොතින් මොහොත අපගේ විඤ්ඤාණයන් ක‍්‍රමක‍්‍රමයෙන් පිරිසිදු වීම තුළින් මෙම භවයේදීම හෝ මතු භවයකදී වේදනාවන් හා සඤ්ඤාවන් ඇතිවීම මුළුමනින්ම නැවැත්වීම එනම් සඤඤාවෙදයිත නිරෝධ සමාපත්තිය සාක්ෂාත් කර ගැනීම මගින් ලබන නිර්වානාවබෝධයෙන් පුනර්භවය එනම් නැවත නැවත ලබන්නා වූ උත්පත්තිය සදහටම අවසන් කළ හැකි වනු ඇත.
 
 ‘සියලූ සත්වයෝ නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා’’
 
ආර්. එස් ජයරත්න
(විශ‍්‍රාමික අමාත්‍යංශ ලේකම්)

advertistmentadvertistment
advertistmentadvertistment