පුරන් අප්පු රජ්ජුරුවෝ

2839

173 වන ගුණ සැමරුම වෙනුවෙන් කෙරෙන උපහාරයයි.

 වර්ෂ 1812 නොවැම්බර් මස 07 වන දින වීර සන්නද්ධ වීරබල ජයසූරිය කුරු උතුම් පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ කැලිස්රු ප‍්‍රනාන්දු පියාණන්ට දාව වර්තමාන දිසානායක සපරමාදු නානායක්කාර ලක්ෂපති මහ විදානලාගේ හෙලේනා හාමිනේ මෑණියන්ගේ කුසෙන් මොරටුවේදී උපත ලැබූ කරාවේ වංශයට අයත් කුරු උතුම්පාල වීරහැන්නැදිගේ ෆ‍්‍රැන්සිස්කු ප‍්‍රනාන්දු හෙවත් පුරන් අප්පු සිංහලේ අන්තිම රජු වශයෙන් ද හැඳින්විය හැක.

 මොරටුව වැස්ලියන් පාසලින් මූලික අධ්‍යාපනය ලත් පුරන් අප්පු කුඩාකල සිටම යුක්තිගරුක පුද්ගලයෙකු විය. ගමේ අහිංසක ගැමියන් පෙලූ ගම්මුලාදෑනි තැනට විරුද්ධව ඔහු නැගී සිටියේ ළමා කාලයේදීමය. ගම්මුලාදෑනි තැනට පහර දී පසුව ගමෙන් පලාගිය ඔහු උඩරටට පැමිණියේය. සුදු අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව උඩරට වැසියා කැරලි ගැසීමට සූදානම් වී සිටියේ මෙම අවධියේය. මෙසේ පැනගොස් ජීවනෝපාය වශයෙන් නොයෙක් රැුකියාවන්හි යෙදෙමින් උන් පුරන් අප්පු තිස්පස් වන වියේදී හාරිස්පත්තුවේ බණ්ඩාර මැණිකේ තම බිරිඳ කර ගත්තේය.

 ඉංගී‍්‍රසි පාලකයන්ට විරුද්ධව විශාල කැරැුල්ලක් උඩරට ඇති විය. මේ මහා කැරැුල්ලේ නායකයා පුරන් අප්පු විය. රොජර්ස් නමැති අධිරාජ්‍යවාදී සුද්දාටත් අධිකරණයටත් විරුද්ධව පුරන් අප්පු නැගී සිටියෙන් ඔහුගේ නාමය මුළු උඩරට පුරාම පතල වන්නට විය. පුරන් අප්පුට බියෙන් ඔහු අල්ලා බොරු චෝදනා නඟා සිරදඬුවම් පමුණුවන්නට සුදු අධිරාජ්‍යවාදීන් තැන් කළත් පුරන් අප්පු දෙවරක්ම සිර ගෙයින් පලා ගියේ සුද්දන් සිනාවට ලක් කරවමිනි.

 කුඩාපොළ ස්වාමීන් වහන්සේ ද, ගොංගාලේගොඩ බණ්ඩා නොහොත් පෑලියගොඩ ඬේවිඞ් ද, දිනෙස් හා ඩිංගිරාළ ද පුරන් අප්පු අනුගමනය කරමින් මාතලේ කැරැුල්ලට සහභාගි වූහ.

 කි‍්‍ර. ව. 1848 ජූලි මස 26 දින පුරන් අප්පුගේ නායකත්වය යටතේ පිටත් වූ මහා සේනාව නිසා මාතලේ කැරැුල්ල සුළුපටු එකක් නොවීය. ටොරින්ටන් ආණ්ඩුකාරවරයාගේ ලේඛන අනුව සහභාගි වූ පිරිස ලක්ෂයක් පමණ විය. පුරන් අප්පු මේ කැරැුල්ල මෙහෙය වන ලද්දේ බදු බරින් පීඩිතව ඉංගී‍්‍රසීන්ගේ තාඩන පීඩන වලින් මිරිකෙමින් සිටි ජනයාගේ විමුක්තිය සඳහාය.

 කි‍්‍ර.ව. 1848 ජූලි මස 28 දිනට යෙදුණු සුබ මොහොතින් දඹුලූ විහාරස්ථානයේදී කැරැුල්ලට සහභාගි වූ ජනයා විසින් පුරන් අප්පු උඩරට රජු බව ප‍්‍රකාශ කරමින් ඔටුනු පැළඳ විය. ගොංගාලේ ගොඩ බණ්ඩා හා දිනෙස් ද ඩිංගි රාළ ද යුව රජවරු හැටියට පත්කර ගත්හ. පුරන් අප්පුගේ සේනාව ලෙන දොර, කවුඩු පැලැස්ස, නාලන්ද, පලාපත්වෙල, අලූවිහාරය ආදී ස්ථාන පසුකොට දෙදිනකින් මාතලේට පැමිණ සැක්ස්ටන් පාක් නමින් ප‍්‍රකට මැක්ඩොවල් කොටුව බිඳ දමා නගරය ජය ගත්තේය. උඩරට ප‍්‍රභූන් විසින් නැවතත් පැරණි චාරිත‍්‍රානුකූලව පුරන් අප්පු මහනුවර රජු බවට ප‍්‍රකාශයට පත්කර රට වැසියන් රජුගේ අණ පණත් පිළිපදින ලෙස නියම කරන ලදී.

 දුල්ලෑවේ මහ නිලමේ, ගොඩහැල්ලේ නිලමේ, රත්වත්තේ බණ්ඩා ආදී උඩරට ප‍්‍රභූවරු හා ප‍්‍රභූ පවුල් ද පුරන් අප්පුගේ ජාතික විමුක්ති හමුදාවට එක් වූහ. ඩිංගිරාළගේ සේනාවෙහි අදිකාරම් වශයෙන් උකුවෙල හිටපු රටේ මහත්තයා, ගොංගාලේගොඩ බණ්ඩාගේ සේනාවේ තොන්ගොඩ සාමි ද පුරන් අප්පුගේ සේනාවෙහි රත්වත්තේ බණ්ඩා ද අදිකාරම් වශයෙන් කටයුතු කළේය.

 සටනට පක්ෂ බවක් පෙන්වා පුහු අනුරාගයකින් සටන් බිමට එන ද්‍රෝහීන් ගැන විමසිලිමත් වීමටත්, ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමටත් පුරන් අප්පුට සිදුවිය. අගෝස්තු 06 වැනිදා රාති‍්‍රය වාරියපොළ කඳවුරේ නැවතී පසුවදා වැඩකටයුතු සැලසුම් කළේය.

 මුල සිටම පුරන් අප්පුට සහයට සිටි හේවා හකුරුගේ හා යක්බැඳිගේ අල්ලිස් කවුඩුපැලැල්ලේ සිට වාරියපොළට පැමිණියහ. කවුඩුපැලැල්ලේදී කැප්ටන් වොස්ටන්ට මොහුන් පහර දී පැමිණි බවත් මොවුන් සමග පුංචි අප්පු, ඇල්ලේපොළ, හොඳිගේ, වීර නෙත්ති, අප්පු කුට්ටි, ආරුමුගම් සහ කාරියවසම් ද විය. වාරියපොළ කඳවුරට පැමිණි මෙම නව දෙනා ගැන කිසිත් සැකයක් නොසිතූ පුරන් අප්පු සටන් සැලසුම් ගැන කතාකර රාතී‍්‍ර ආහාරය ද ගෙන ගල් ගෙයක් තුළට වී නින්දට ගිය අතර හේවා හකුරුගේ හා අල්ලිස් ඒ අසල විය. එම දෙදෙනා සමග මධ්‍යම රාති‍්‍රය වනතුරු කතා කළ පුරන් අප්පු විඩාව මහන්සිය නිසාම නින්දට ගියේය. ඒ සැනින් කි‍්‍රයාත්මක වූ මේ දෙපළ දෑත්, දෙපාත් පුරන් අප්පුගේ බැඳ දැමූහ. පුරන් අප්පු සිරකරුවකු බවට පත්කර ඉංගී‍්‍රසීන්ට භාර දුන්නේය. ඉංගී‍්‍රසීන් එවෙලේම පුරන් අප්පු මාතලේට ගෙන ආවේය.

 අගෝස්තු මස 07 වන දින පුරන් අප්පුත් ඔහුව පාවා දුන් නම දෙනාත් මහනුවරට ගෙනාවේය. මෙම පාවාදීම ගැන ඉංගී‍්‍රසි සේනාධිනායක ටී. ඒ. ඩිරාජට් විමතියට පත් වී සිටියේය. එදින රාති‍්‍රයේ මහා පී‍්‍රතියෙන් ඉංගී‍්‍රසි ජාතිකයන් කල්ගත කළේය.

 කි‍්‍ර.ව. 1848 අගෝස්තු මස 08 වන දින යුද්ධාධිකරණයෙහි සභාපති හැටියට මේජර් ඇෆ් ලූෂින්ටන් කටයුතු කළ අතර සෙසු සාමාජිකයන් වූයේ කැප්ටන් ටී. එච්. වින්ග්ෆිල්ඞ්, කැප්ටන් එච්. ගි‍්‍රර්සන්, කැප්ටන් එච්. සී. බර්ඞ් හා ලෙෆ්ටිනන්, ජේ. ස්මිත්ය. පළමුකොටම චෝදනා ඉදිරිපත් කළේ යක්බැඳිගේ අල්ලිස් හා හේවා හකුරුගේ යන දෙදෙනාටය. එම දෙදෙනාට කස පහර පනහක් ගසා අවුරුදු දාහතරක් රටින් පිටුවහල් කිරීමට තීන්දු කළේය. ඒ අනුව කස පහර දීම වෙනස් කර රටින් පිටුවහල් කළේය. ඉතිරි හත්දෙනාට කස පහර දහ අට බැගින් දී බරපතළ වැඩ සහිතව අවුරුද්ද බැගින් සිරදඬුවම් නියම විය. ඉන්පසු පුරන් අප්පුගේ චෝදනා විභාගයට ගැණින. සියලූ චෝදනාවලට වැරදිකරු වූ පුරන් අප්පු සියලූ රට වැසියන්ට පාඩමට ගත හැකි පරිද්දෙන් එදිනම පස්වරු 2.30 ට ‘වෙඩිතබා මරා දැමීමට යුද්ධාධිකරණය තීන්දු කළේය. එම තීන්දුව මහනුවර සේනාධිනායක ඞී. ඒ. ඩිරාජ් අනුමත කළේය.

 ඒ අනුව කි‍්‍ර.ව. 1848 අගෝස්තු මස 08 දින ප.ව. 2.30 ට මහනුවර ඉංගී‍්‍රසි හමුදාවේ ඝාතක සේනාංකය විසින් නම් කළ පුරන් අප්පු රජතුමා දෑත්, දෙපයෙන් විලංගු සහිතව ගෙන ආවේය. වෙඩි උණ්ඩයට අභීතව මුහුණ දුන් පුරන් අප්පු අවසන් වශයෙන් මේ වදන් පෙළ කිවූ බව ඉතිහාසය පෙන්වයි.

 මගේ අම්මා මා වැනි පුතුන් දස දෙනෙකු වැදුවා නම් ඉංගී‍්‍රසීන්ගෙන් ශී‍්‍ර ලංකාව ගලවා ගැනීම එතරම් කාරියක් නොවේය.

 වීර පුරන් අප්පුට සිරිබර මැණිකේ නම් දියණියක් සිටි බව ඉතිහාසයේ සඳහන් වේ.

 පුරන් අප්පු රජතුමා මියගිය දිනය සැමරීමට කටයුතු කරමින් වීර පුරන් අප්පු චිත‍්‍රපටය නිෂ්පාදනය කළ එතුමාගේ මී මුණුබුරකු වන අභාවප‍්‍රාප්ත හිටපු විදේශ අමාත්‍ය ටිරෝන් ප‍්‍රනාන්දු මහතාගේ ජන්ම දිනය ද අදට යෙදී ඇති බව සිහි කරමි.

මොරටුව හිටපු නියෝජ්‍ය නගරාධිපති
 ධම්මික චන්ද්‍රනාත් ප‍්‍රනාන්දු
 වීරපුරන් අප්පු අනුස්මරණ කමිටුවේ ලේකම්

advertistmentadvertistment
advertistmentadvertistment