පුරවැසියන්ගේ නිදහස සීමා කරන විට – රටේ සංවර්ධනය පීඩාවට ලක්වේ

137

මහජන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා වන ඇමෙරිකානු රාජ්‍ය උප ලේකම් එලිසබෙත් ඇලන් මහත්මිය ඉකුත් පෙබරවාරි 17 සිට 19 දින දක්වා ශ්‍රී ලංකාවේ තෙදින චාරිකාවක නිරත වූවාය. එලිසබෙත් ඇලන් මහත්මිය ඇමෙරිකානු ජනතාව සහ වෙනත් රටවල පුරවැසියන් අතර සබඳතා පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රයත්නයන් මෙහෙයවයි. මාධ්‍ය, සංස්කෘතික හුවමාරු සහ අධ්‍යාපනික වැඩසටහන් හරහා විදේශ පර්යේෂකයින් සමග රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ඇය වගකීම දරයි. ඇයගේ මෙම තෙදින චාරිකාවේ දී ඇය තරුණ නායකයින්, ව්‍යවසායකයින්, අන්තර්ගත නිර්මාපකයින්, සිවිල් සමාජය සහ මාධ්‍යවේදීන් හමු වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහ දීර්ඝකාලීන සෞභාග්‍යය උදෙසා ඇමෙරිකාවේ සහයෝගය යළි තහවුරු කළාය. ඇයගේ අදහස් දැක්වීම්වල දී ඇය අවධාරණය කළ ප්‍රධාන කරුණක් වූයේ විනිවිදභාවයෙන් යුත් පාලනයකට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ ඇති වැදගත්කමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්මත කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත නිසා මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන මේ දිනවල මාධ්‍ය තුළත් සමාජ ක්‍රියාකාරිකයින් අතරත් කතාබහට ලක්ව ඇත. මාධ්‍ය අයිතිවාසිකම් සහ නිදහස රටේ අඛණ්ඩ වර්ධනයට ඉතා වැදගත් වන එසේම රටක විනිවිදභාවයෙන් යුත් පාලනයට තුඩු දෙන කරුණකි.

එලිසබෙත් ඇලන් මහත්මිය දේශනය පවත්වමින් ….

ඇමෙරිකානු රාජ්‍ය උප ලේකම් එලිසබෙත් ඇලන් සිය සංචාරයේ දී මෙරට සාකච්ජා කිහිපයකට සහභාගි වූවාය. මේ අනුව විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, ඇලන් උප ලේකම්වරිය සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සමග පැවැති සාකච්ඡාවේදී, ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් හවුල්කාරිත්වය පිළිබඳව සාකච්ඡා කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජ තුළ මාධ්‍ය නිරූපණය කරන අත්‍යවශ්‍ය භූමිකාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කොළඹ දී සංවිධානය කර තිබූ හමුවකට ද ඇමෙරිකානු රාජ්‍ය උප ලේකම්වරිය සහභාගි වූවාය. එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්, සිවිල් සමාජය සහ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු පිරිසට ඇය එහිදී මෙසේ සඳහන් කළාය.

පුරවැසියන්ගේ නිදහස සීමා කරන විට - රටේ සංවර්ධනය පීඩාවට ලක්වේ

“පරම්පරා ගණනාවක් තිස්සේ රජයන් සහ මාධ්‍ය සංකීර්ණ සහ ඇතැම්විට එදිරිවාදී වන සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ ගතිකය එක රටකට සුවිශේෂී වූ දෙයක් නොවේ. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම ජනාධිපතිවරුන් මාධ්‍ය සමග ගැටීම් අත්විඳ තිබෙනවා. මේ ආතතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක්. එය විනිවිදභාවය පෝෂණය කරන්නටත් සඵලදායී පාලනය දිරිගන්වන්නටත් වැදගත් භූමිකාවක් නිරූපණය කරනවා.”

ඇමෙරිකනු තානාපති කාර්යාලයේ සහය ඇතිව අයිඩියාහෙල් ස්ටුඩියෝ හි පැවැත්වූ වැඩමුළුවක දී උප ලේකම්වරිය ඩිජිටල් ටර්ටල්ස් නිර්මාපකයින් සවිබලගැන්වීමේ වැඩසටහනට සහභාගිවන්නන් සමගින් කතාබහ කළාය. එහිදී ඇය මෙසේ කියා සිටියාය.

“අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක මූලික පදනමේ වැදගත් අංගයක් වනවා. මෙම හමුව වැනි හමු, එහි චිරස්ථායි වටිනාකම සඳහා සාක්ෂියක් වනවා. විවිධ භාෂා සහ සංස්කෘතික පසුබිම්වලින් එන නිර්මාපකයින් පළමු වරට මෙසේ එක් වහලක් යටට රැස් කිරීම මේ නිදහස සුරැකීමේ වැදගත්කම අවධාරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සඳහා සහය දෙන සහ ශක්තිමත් කරන ආඛ්‍යාන හැඩගැස්වීමෙහි ලා ඔබ කරන කටයුතු ඉතාමත් වැදගත්.”

ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ විවිධත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම පිණිස උප ලේකම්වරිය කොළඹ ප්‍රදේශයේ විවිධ වූ ආගමික ප්‍රජාවන් හරහා ඉගෙනුම් චාරිකාවක ද නිරත වූවාය. ගංගාරාම විහාරස්ථානය, ශාන්ත අන්තෝනි දේවස්ථානය, ශ්‍රී පොන්නම්බල වනේස්වරාර් කෝවිල සහ ජමි උල්-අල්ෆර් පල්ලිය ඊට ඇතුළත් විය. එසේම, වේගා ඉනොවේෂන් හි විදුලි ත්‍රිරෝද රථයක නැගී කොළඹ නගරයේ සංචාරය කළ ඇය, තිරසාර ප්‍රවාහනය වෙනුවෙන් මෙරටේ ගන්නා නවමු පියවර දැකගත්තාය. USAID හරහා වේගා සමාගම සහ පෞද්ගලික අංශයේ මූලික ආයතන සමගින් හවුල් වී ඇමෙරිකාව, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය සහ නවෝත්පාදනය වැඩිදියුණු කිරීමට කැප වී සිටියි.

‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඉන් ඇති බලපෑම’ මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ හමුවේ දී දෙසුමක් පවත්වමින් ඇය මෙසේ කියා සිටියාය.

“මාධ්‍යවේදී ඔබ කරන අද්විතීය වැඩ කොටස සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලය කැපවීමෙන් සහය දෙනවා. ඇත්තෙන්ම, ඇතැම් පුවත් සම්බන්ධයෙන් අප අතරේ එකඟතාවක් නොමැති වන අවස්ථා තිබෙන්නට පුළුවන්. නමුත් ඒ සියල්ලටම වඩා අපි ඔබේ විශාලතම රසිකයන් වනවා. නිදහසේ සහ නිර්භීතව මාධ්‍යවේදයේ නියැළෙන්නට ඔබට ඇති අයිතිය ගැන අපි විශ්වාස කරන බැවින්, ඔබේ කුසලතා ඔප් නංවන වැඩසටහන් සඳහා අපි උපරිමයෙන් සහය දෙනවා. මාධ්‍යවේදීන්ගෙන් පිරී ඇති කාමරයක සිටින මේ අවස්ථාවේ,

ශ්‍රී ලංකාවේ සහ ලොව වටා මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කරමින් විවෘතව සහ නිදහසේ තම අදහස් පළ කරන්නට ඇති අයිතිය සියලු පුරවැසියන් විසින් භුක්ති විඳින බව සහතික කිරීම වෙනුවෙන් ඔබට ස්තුති කරන්නට මා කැමතියි. අමාරු අවස්ථාවලදී පවා ඔබ ඉදිරිපත් වෙමින් දුෂ්කර ප්‍රශ්න විමසනවා. සත්‍ය කුමක්දැයි සොයා එය කාටත් ඇසෙන සේ හඬ ගා කීමට ඔබේ කැපවීම, ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයක්. ඔබ සිදුකරන වැඩකටයුතු මා සැබැවින්ම අගය කරනවා.

සියවසකට පමණ පෙර කාලයක, ඇමෙරිකානු මාධ්‍ය සමාජයේ ප්‍රශ්න ගැන සොයාබලන, දූෂණය පිළිබඳ හෙළිදරව් කරන මාධ්‍යවේදීන් මක්රැකර්ස් (muckrakers) යන යෙදුමකින් හඳුන්වන්නට ගත්තා. එම මාධ්‍යවේදීන් හුදෙක් ඕපාදූප අවුස්සන්නන් යැයි නම් කෙරෙන, මේ වචනයේ තේරුම යම් ආකාරයකින් සෘණාත්මක වුවත් අද අපි ඔවුන්ට ගරු කරන්නේ විමර්ශනාත්මක මාධ්‍යවේදයේ පෙරගමන්කරුවන් වශයෙන් සලකායි. ඇමෙරිකානු ඉතිහාසයේ වැදගත් සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සහිත සමයක් වූ ප්‍රගතිශීලී සමය උදා කරන්නට මේ මක්රැකර්ස් වැදගත් භූමිකාවක් නිරූපණය කළා. ලින්කන් ස්ටෙෆින්ස් වැනි චරිත දූෂණය පිළිබඳ කළ හෙළිදරව් හේතුවෙන් රටපුරා වගවීම සහ ප්‍රතිසංස්කරණ සඳහා දැඩි ඉල්ලුමක් නිර්මාණය වූ අතර තියඩෝර් රූස්වෙල්ට් ජනාධිපතිතුමා පවා ඔවුන් මක්රැකර්ස් යනුවෙන් හඳුන්වමින් සමාජයේ වැරදි කෙරෙහි ඔවුන්ගේ අවධානය කේන්ද්‍ර කිරීම ගැන විවේචනයට ලක් කළා. 1904 දී පළ වූ ස්ටෙෆින්ස් ගේ The Shame of the Cities නම් ග්‍රන්ථයෙන් ඇමෙරිකානු නගරවල ඇති දූෂණය පිළිබඳ හෙළිදරව් කළ අතර ඉන් ඔහු දූෂණය හෙළිදරව් කිරීම ගැන සුප්‍රකට වූවා. දේශපාලන නායකයින්, ව්‍යාපාර සහ සංවිධානාත්මක අපරාධ අතර සැඟවුණු සම්බන්ධය ඒ ග්‍රන්ථයෙන් හෙළිදරව් කර තිබුණා.

ඔහුගේ නිර්භීත මාධ්‍යවේදය හරහා රජයේ සහ සමාගම්වල වගවීම සඳහා වූ නොපමාව සපුරාලිය යුතු අවශ්‍යතාවය පිළිබඳ මනා දැනුවත්භාවයක් නිර්මාණය කළා. ස්ටෙෆින්ස් වැඩ කළේ රජය වෙනුවෙන් සිටිනා මහජන සම්බන්ධතා නිලධාරියෙකු ලෙස නොවේ. ඔහුට පැවරුණු භූමිකාව වූයේ කොතරම් අමිහිරි වුවත් සත්‍ය හෙළිදරව් කිරීමයි. ස්ටෙෆින්ස් ඔවුන් හමුවේ තැබූ තිත්ත යථාර්ථය හමුවේ ඇමෙරිකානු නිලධාරීන් සහ මහජනතාවට වැදගත් ප්‍රශ්නයක් ගැන සිතන්නට සිදුවූවා: ‘අප සිහින දකින්නේ මෙවැනි රටක් නිර්මාණය කරන්නටද?’ ඒ සඳහා රැව්පිළිරැව් දුන් පිළිතුර වූයේ නැත යන්නයි. ස්ටෙෆින්ස් සිදුකළ වැඩකටයුතු තුළ වැරදි ක්‍රියා හෙළිදරව් කිරීම පමණක් නොවේ, රටපුරා ප්‍රතිසංස්කරණ සඳහා වූ ඉල්ලුම ද ඉන් ජනිත වූවා. එය බලය වගවන බව සහතික කිරීම සඳහා විමර්ශනාත්මක මාධ්‍යවේදය නිරූපණය කරන අත්‍යවශ්‍ය භූමිකාව පිළිබඳව සංවාදයක් පෝෂණය කළා. මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික මානව හිමිකමක් පමණක් නොව, රටක සංවර්ධනයට සහ වර්ධනයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන ආකාරය මෙම කතාවෙන් පෙන්නුම් කරනවා.

රජයක් තම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස සීමා කරන විට, රටේ අනාගතය සහ සංවර්ධනය පීඩාවට ලක්වීම ස්වාභාවිකයි. ගෝලීය වශයෙන්, අපි මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතල සහ උත්සන්න වන අභියෝග අත්විඳිමින් සිටිනවා. එක්සත් ජනපදය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් ස්ථිරව පෙනී සිටින අතර, මාර්ගගත සහ මාර්ගගතව නොවන මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටිමින් ලොව පුරා සිටින මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සහතික කරනවා. අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් සැලකිල්ල යොමුකෙරෙන කරුණු ඇතුළුව, මෙම අත්‍යවශ්‍ය නිදහස, ගෝලීය වශයෙන් තර්ජනයට ලක්ව තිබෙනවා.

අන්තර්ජාලයට ඇති ප්‍රවේශය සීමාකිරීමෙන් හා අන්තර්ගතය වාරණයට ලක් කිරීමෙන් මහජනතාවට තොරතුරු නොදී වළකන්නට දරන වෑයම් දැඩි වෙද්දී අපි ඒ ගැන හඬ අවදි කළ යුතුයි. ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කළ අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, නවෝත්පාදනයට සහ පෞද්ගලිකත්වයට ඉන් විය හැකි බලපෑම සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කළ යුතු කරුණු පිළිබඳව එක්සත් ජනපදය කතා කළා.

නිර්බාධිත අදහස් පළකිරීමේ නිදහසට එරෙහිව නගන තර්ක නිතර අසන්නට ලැබෙනවා. මාධ්‍ය පක්ෂපාතී බවත්, රජයන් ලජ්ජාවට පත් කිරීමටත් මහජන විශ්වාසය බිඳහෙළීමටත් ඒවා අරමුණු කරන බවත් විචාරකයින් පවසනවා. සංවරණ නොමැති වුවහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වැරදි තොරතුරු ප්‍රචාරය සඳහා හේතු වනු ඇතැයි තවත් අය කියනවා. සීමා නොයෙදූ මාධ්‍ය, ආතතීන් අවුලනු ඇතැයි සහ ආරක්ෂාවට හානියක් කරන බවට තවත් අය තර්ක කරනවා. එසේම, දූෂණය, ප්‍රචණ්ඩත්වය සහ දේශපාලන ආරවුල් ගැන නිරන්තරයෙන් වාර්තාවීම රටක ප්‍රතිරූපයට හානි කරන බව සහ ඉන් ආයෝජනවලට බාධාවීමක් සහ සංවර්ධනය වැළැක්වීමක් සිදුවනු ඇතැයි කියැවෙනවා. කෙසේ වෙතත්, මාධ්‍යවල පක්ෂපාතීත්වය තිබිය යුතු වන්නේ මහජන සුබසෙත කෙරෙහියි. නායකයින් තම යුතුකම් ඉටු කරන බව සහතික කරගැනීම සඳහා ආරක්ෂකයකු ලෙස ක්‍රියා කිරීමටයි. ශ්‍රී ලංකාවේත්, ඇමෙරිකාවේ, එමෙන්ම ගෝලීය වශයෙනුත් මේ මූලධර්මයම අදාළ වනවා.

‘ව්‍යාජ පුවත්’ හෝ ‘පක්ෂපාතී මාධ්‍යවේදය’ යනුවෙන් බොහෝවිට හඳුන්වන අහිතකර ප්‍රවෘත්ති අලුත් දෙයක් නොවේ. පරම්පරා ගණනාවක් තිස්සේ රජයන් සහ මාධ්‍ය සංකීර්ණ සහ ඇතැම්විට එදිරිවාදී වන සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ ගතිකය එක රටකට සුවිශේෂී වූ දෙයක් නොවේ. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම ජනාධිපතිවරුන් මාධ්‍ය සමග ගැටීම් අත්විඳ තිබෙනවා. මේ ආතතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක්, එය විනිවිදභාවය පෝෂණය කරන්නටත් සඵලදායී පාලනය දිරිගන්වන්නටත් වැදගත් භූමිකාවක් නිරූපණය කරනවා. මෙය හුරුපුරුදු දර්ශනයක්. විශේෂයෙන්ම තමන්ගේ ක්‍රියාවන් වැරදි ලෙස විස්තර කෙරුණු බවක් හැඟුණු විට දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතරේ උණුසුම් බස් හුවමාරු වනවා, සාවද්‍යතා සහ පක්ෂපාතී අන්දමින් වාර්තා කිරීම් ගැන චෝදනාවලට ඉන් මඟපෑදෙනවා.

මාධ්‍යයෙහි වගකීම වන්නේ රජයේ ජයග්‍රහණ වෙත අවධානය යොමු කිරීම මෙන්ම, ප්‍රතිපත්තිවල හෝ වැඩසටහන්වල අඩුපාඩු ඇති තැන් කෙරෙහි අවධානය යොමු කරමින්, කරුණු ඇති සැටියෙන් වාර්තා කිරීමයි. ඒ විනිවිදභාවයෙන් මහජනතාව දැනුවත් වනවා පමණක් නොව, සාධනීය ක්‍රියා සහ වැඩිදියුණුවීම් සඳහා දිරිගැන්වීම හරහා එය ජාතිය ශක්තිමත් කරනවා. හඬ මර්දනය කිරීමෙන් වන්නේ කරුණු තවත් සංකීර්ණ වීම පමණයි. ගැටලු ආමන්ත්‍රණය කිරීම වෙනුවට ඒවා සැඟවීමට උත්සාහ දැරීම හරියට කැඩුණු මෙවලමක් අලුත්වැඩියා නොකර සඟවා දැමීමක් හා සමානයි.

‘හොඳ අදහස් මියැදෙන්නට යන ස්ථානය’ (”where good ideas go to die˜) කියා නම් කර ඇති, නිර්මාණශීලී මනස් සඳහා තෝතැන්නක් වන කොළඹ අයිඩියාහෙල් වෙත මා කළ චාරිකාවේදී මෙය පැහැදිලි වූවා. එහිදී මට හමුවූ තරුණ නව්‍ය අදහස් ඇති පිරිස් සමගින් කළ කථාබහෙන් නිර්මාපකයින්, මාධ්‍යවේදීන් සහ ව්‍යවසායකයින්ට බියකින් තොරව නවෝත්පාදනයේ නියැලෙන්නට සහ ගවේෂණය කරන්නට ඇති නිදහස ආරක්ෂා කිරීමෙහි වැදගත්කම අවධාරණය වූවා. ඔව්, ඇතැම් හොඳ අදහස් මියැදෙනවා විය හැකියි, නමුත් සිතන්නට සහ උත්සාහ දරන්නට මෙන්ම අසාර්ථක වන්නට පවා, නිර්මාණ කරන්නන්ට නිදහස තිබිය යුතුයි. අප ප්‍රගතිය සාක්ෂාත් කරගන්නේ එසේයි. ඕනෑවට වඩා පුළුල් සහ නොපැහැදිලි අන්දමින් ප්‍රකාශනය මත සීමා පැනවීම නිර්මාණශීලීත්වයේ හුස්ම සිර කළ හැකියි, ඉන් නවෝත්පාදනය සහ ආර්ථික වර්ධනය සඳහා තුඩු දිය හැකි අන්දමේ ප්‍රගතිය සමාජයට අහිමි වී යා හැකියි. වාරණ සහිත පරිසරයක් නවෝත්පාදනය මැඬපවත්වනවා පමණක් නොව නවමු විසඳුම් සොයාගෙන දැවෙන ප්‍රශ්න විසඳාගැනීමට ප්‍රජාවකට ඇති උද්‍යෝගය සිඳලනවා.

ඔබව මාධ්‍යවේදය කරා ආකර්ෂණය කළ ඒ මුල් හේතුව ගැන මෙනෙහි කරන මෙන් මා ඔබව දිරිගන්වනවා. ධනය හෝ ප්‍රසිද්ධිය නිසා ඔබ මේ වෙත යොමුවූවා කියා සිතීම දුෂ්කරයි, බොහෝ දුරකට ඔබ යොමුවන්නට ඇත්තේ වෙනසක් සඳහා ක්‍රියාකරන්නට සහ ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් දායක වන්නට තිබූ උනන්දුව නිසා වන්නට ඇති. ඔබව පොළඹවන්නේ මේ අරමුණුවලින් නම්, නොපසුබට වන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබේ කැපවීම, ඔබේ අයිතිවාසිකම් සහ ඔබේ නිදහස රටේ අඛණ්ඩ වර්ධනය සහ සෞභාග්‍ය සඳහා ඉතාමත් වැදගත් වනවා. නිදහස් මාධ්‍ය යනු ශ්‍රී ලංකාවට එදිරිවාදියකු නොවන බව මතක තබාගත යුතුයි. ඔරොත්තු දෙනසුළු සහ සමෘද්ධි සම්පන්න සමාජයක් සඳහා මගපාදන එය මෙරටට ඇති හොඳම මිත්‍ර පාක්ෂිකයකු වනවා.’

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment