පුරවැසි විප්ලවයේ  සැබෑ ජයග්‍රහණය  අත්පත් කරගනිමු

164

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක “සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය” අත්‍යවශ්‍ය කාරණයක් වන බැවින් එය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගොස් ජනතා පරමාධිපත්‍ය මත හිඳිමින් සිය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් හඬ නඟන්නේ ද එය පැසසිය යුතු කරුණකි. ලංකාවේ පසුගිය කාල පරිච්ඡේදයේම ජනතාව මුහුණ දුන් පීඩනය කෙරෙහි පවතින ආණ්ඩු ක්‍රමය විසින් ගෙන ගිය වැරදි මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ප්‍රතිපත්තිවල දුර්වලතා, තීන්දු තීරණ ගැනීමේ දුර්වලතා හේතුවෙන් මහජනතාව මුහුණ දීමට සිදු වූ දැඩි පීඩනයට එරෙහිව (09) වෙනිදා සමස්ත රටම දියත් කළ දැවැන්ත පුරවැසි විප්ලවය එයට සාක්ෂි දරයි. මෙම අරගලය බොහෝ පිරිසක් අර්ථ දක්වන්නේ එය නිර්පාක්ෂිකව (Non – partisan) ජනතා පරමාධිපත්‍යයෙන් දිනා ගත් විශිෂ්ට ප්‍රතිඵලයක් වශයෙනි.

 විශේෂයෙන් රටේ පැවැති ආර්ථික දේශපාලන අර්බුදය තුළ බදු සංශෝධන, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන්හි මිල ගණන් ඉහළ යෑම ආදිය හේතුවෙන් ජනතාවට සිය මූලික අවශ්‍යතා (Basic needs) සපුරා ගැනීමද අභියෝගයක් බවට පත් වූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එම තත්ත්වය තව දුරටත් එසේම ය. ඒ නිසාම මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ඉල්ලා පවතින පාලන තන්ත්‍රයට කිහිප අවස්ථාවකදීම ඉල්ලීම් ඉදිරිපත් කළත් ඒවාට ආණ්ඩුව ඇහුම්කන් නොදීමේ අවසන් ප්‍රතිඵලය බවට පත් වූයේ එකී පාලන තන්ත්‍රය ඉවත් කිරීමට නන් දෙසින් විශාල ජනකායක් එකම අරගල භූමියක පුරවැසි බලය පෙන්වීමට වීථි බැසීමයි. එක් අතකින් මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ සාකච්ඡාවට ගැනෙන දේශපාලන සහභාගිත්වය (Political Participation) තුළ පැන නැඟුණු උච්ඡතම අවස්ථාවකි.

 මෙම පුරවැසි විප්ලවයේ කේන්ද්‍රීය කොටස්කරුවන් බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, විවිධ වෘත්තීය සමිති, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන් සුවිශේෂී සහභාගිත්වයක් පෙන්නුම් කරන්නට විය. විශේෂයෙන් පොදු ජනතාව මෙම අරගල භූමිය තුළ ඔහුන්ගේ ඇල් මැරුණු ස්වභාවය නැති කර පුරවැසි විප්ලවයේ අඛණ්ඩ රඳා පැවැත්ම ඉදිරියට පවත්වාගෙන යෑමට කලාකරුවන්ගෙන් ලැබුණු දායකත්වය ද සිහිපත් කළ යුතු ය. එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අරගලකරුවන් විසින් මෙම පාලක තන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් දැඩිව කියා සිටින්නේ “පවතින නොමේරූ දේශපාලන ක්‍රමය වෙනුවට පූර්ණ වශයෙන් ප්‍රතිසන්ධානය (Reconciliation) වීමේ අවශ්‍යතාව” රටේ සමස්ත ජනතාවගේම ඒකායන අරමුණ බව ය.

 එමෙන්ම සමස්ත ජනතාවගේ මනෝභාවය වූ ජනාධිපති ධූරය ඉවත් කිරීම සහ සංශෝධනය විය යුතු අනෙකුත් ව්‍යවස්ථාමය කාරණා සම්බන්ධයෙන් ද අදහස්, යෝජනා ඉදිරිපත් වෙමින් පවතී. තවද අපේක්ෂිත ජනතා අරමුණු ඉටුකර ගැනීමට සිදු කළ යුතු කාර්ය පටිපාටිය ද මේ වන විට නිර්ණය කරමින් සිටී. අරගලකරුවන් ඉල්ලා සිටින්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් හරහා රටේ සමස්ත මහජනතාවගේ අවශ්‍යතා ඉටුවන පරිදි එම නිර්ණායකයන් ක්‍රියාවට නැංවිය හැකි යම් පාර්ශ්වයක් සිටීද? එකී පකෂයකට හෝ කණ්ඩායමකට එම අවස්ථාව හිමි විය යුතු බවයි. මෙහිදී අප සාකච්ඡාවට ගත යුතු කාරණයක් වන්නේ “පොදු සම්මුතියයි” මෙය දේශපාලන දර්ශනයේ එන “සමාජ සම්මුතිවාදය” තුළ සමාන අදහසක් ඉදිරිපත්ව ඇත. එනම්, සමාජ සම්මුතියට අනුව ජනතාවගේ එකඟතාව මත පත් කරගත් පාලන තන්ත්‍රය ගොඩනැංවීය යුතු බවත් ඒ තුළින් තහවුරු කරන්නේ මහජනතාවගේ පොදු අරමුණක් පවතින්නේ කොතනද එතැන සමාජ සම්මුතියක් අනිවාර්යෙන්ම පවතින බවයි. මේ පිළිබඳ අදහස් දැරූ ජින් ජැක්වින් රූසෝ (Jean Jacqueline Rousseau) ද “යම්කිසි පාලනයක් තුළ බලය එක් පුද්ගලයකු අත නොව සමස්ත සමාජය වෙතටම පැවරීමේ වැදගත්කම” පෙන්වා දෙයි. මෙම අදහස් වර්තමාන තත්ත්වය පැහැදිලි කර

 ගැනීමටත්, මහජන ස්වාධිපත්‍ය, නිදහස, සමානාත්මතාව ආදී සංකල්පවලට ස්ථාවර පදනමක් ගොඩනැඟීමටත් දායක කරගත හැකි ය.

 එබැවින් ප්‍රජාත්නත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ පවතින ආර්ථික අර්බුදයෙන් මිදී සාර්ව ආර්ථික අරමුණු ඉටු කර ගනිමින් රටෙහි කඩිනම් ස්ථාවරත්වයක් ගොඩනැංවීමට නම් බලයට පත්වන පාලන තන්ත්‍රය විසින් නව ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් ඉදිරිපත් කර එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීය යුතු ය. එමෙන්ම එකී නව පාලන තන්ත්‍රය ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් එම පාර්ශ්ව වගකීම් සහගතව කටයුතු කිරීමට පසුබට වන්නේ නම්, පුරවැසියා ඒ පිළිබඳ වඩාත් අවධානයෙන් කටයුතු කරනු ඇත. විශේෂයෙන් ඉදිරියේදී පත්වන ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ජාතික අභිලාශ සහ පාලක අභිලාශ අතර ධ්‍රැවීකරණයක් (Polarization) පවත්වාගෙන යයි ද එවිට නැවත ඉහතකී විප්ලවකාරී තත්ත්වයන් ඇති වීමට හේතු විය හැක. එබැවින් එය හොඳින් තේරුම්ගෙන රටේ පාලන තන්ත්‍රයට සම්බන්ධ වන නව පාර්ශ්ව මෙන්ම විධායක ශ්‍රේණියේ සිට පහළම නිලධාරියා දක්වාම සියලුම ක්‍ෂේත්‍රයන්හි නියුතු පිරිස් තමාගේ කාර්යභාරය අවංකව, අපක්ෂපාතීව සිදු කරමින් ජාතික අභිලාෂ දිනා ගැනීමට දායකත්වය ලබා දෙන්නේ නම්, එය ප්‍රශංසනීය වේ.

පුරවැසි විප්ලවයේ  සැබෑ ජයග්‍රහණය  අත්පත් කරගනිමු

කේ. ඩී. එම්. නිසංසලා
 විශේෂවේදී (ගෞරව) ශාස්ත්‍රපති
 (දේශපාලන විද්‍යාව)
 කැලණීය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment