පුරාණයේ කාම අපරාධකරුවන්ට දුන් අමානුෂික දඬුවම්

1479
පුරාණයේදී එනම් වර්ෂ 1800ට පෙර බ්‍රිතාන්‍යයේ මෙන්ම සාමාන්‍යයෙන් යුරෝපයේත් පැවැති නීති ඇදහිය නොහැකි තරම් දරුණු මෙන්ම පළිගැනීමේ ගැඹුරුම ඒවා විය. හොරකම්, මිනීමැරීම් වැනි අපරාධ කෙරෙහි දුන් දඬුවම් පමණක් නොව නියම වශයෙන්ම අපරාධ යනුවෙන් හැඳින්වීමට අපහසු නමුත් සමාජය කවදත් පිළිකුල් කරන කාමයෙහි වරදවා හැසිරීම්වලට පවා මේ නීති අකුරටම ක්‍රියාත්මක විය. උගත් මෙන්ම බොහෝ ඉහළ සමාජ මට්ටමක සිටි විනිසුරුවන් විසින් ගැහැනුන් හා මිනිසුන් බැඳ තබා කසපහර දීමටත්, දෙපා විලංගු ලෑමටත් දඬු අඩුවේ ගැසීමටත් මෙන්ම පෝරකයට නැංවීමටත් හරින ලද්දේ හදපිරි සතුටකින් හා බලවත් උනන්දුවකිනි. පරදාර සේවනයෙහි යෙදුන පුද්ගලයන් පෝරකයට නැංවීමටත් අනාචාරයේ යෙදුන ගැහැනුන්ට කසපහර දීමෙන් ඇති සාධාරණත්වය විදහා දැක්වීම සඳහා සමහර විනිසුරුවන් හා පූජකයන් පරණ තෙස්තමේන්තුවෙන් කොටස් උපුටා දක්වන්නට විය.

දියෙහි ගිල්වන පුටුව බොහෝවිට දඬුවම් දීම සඳහා උපයෝගී කරගත් උපකරණයක් විය. කාම අපරාධ කළ ගැහැනු පමණක් නොව දබර කරගත් ගැහැනුන් පවා විනය ගරුක කිරීම සඳහා දඬුවම් දීමට තැනූ විවිධ මෝස්තරවල පුටු අදත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දක්නට තිබේ. සාමාන්‍යයෙන් පැමිණිලි ඉදිරිපත් කරනු ලබන්නේ දේවස්ථාන භාර පූජකවරයන්ය. එම සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයෙකු විසින් මෙවැනි දඬුවම් නියම කරනු ලබන්නේය. මෙම උසාවිය විසින් උචිත යයි නම් කරන ස්ථානයකදී සාමාන්‍ය දියෙහි හෝ ලුණු දියෙහි හිස හා කන් මුළුමනින්ම දියෙන් වැසෙන ලෙස ඇය දෙවරක් දියෙහි ගිල්විය යුතු වන්නේය. සමහර උසාවි වාර්තාවලට අනුව මෙම දියෙහි ගිල්වන කාලය තත්පර 30කට සීමාවන්නේය. මෙම දඬුවම ජීවිතය කොයි මොහොතේ අවසන් වේදැයි කීමට නොහැකි තරම් ඉතා භයානකය. දේව මෙහෙයක් පවත්වන අවස්ථාවක මෙම දඬුවම් දීම සාමාන්‍ය සිරිතය. එසේ කරනු ලබන්නේ වැඩි දෙනෙකුට දැකගැනීමට හැකිවනු පිණිසයි. කුඩා නගරවල මෙම දඬුවම පවත්වනු ලබන්නේ එදින නිවාඩු දිනයක් බවට පත් කිරීමෙන් පසුවය. එදින නවාඩු දිනයක් නිසා පාසැල් ළමුන් පවා මේ දඬුවම් දීම නැරඹීමට පැමිණේ. එසේ පැමිණ උසුළු විසුළු කරමින් සිනාසීමට පුරුදු වී සිටියහ.

වර්ෂ 1534දී එංගලන්තයේ සැන්ඩ්විච්හි අනාචාරයේ හැසිරුණු කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ නිකට දක්වා දියෙහි ගිල්වනු ලැබීය. දින තුනක් පාන් හා වතුර පමණක් ආහාර වශයෙන් දුන් අතර එම දින තුනම පා විලංගු දමා තිබුණි. ඉන්පසු ඔවුන් නගරයෙන් පිටුවහල් කරන ලදී. දඬුවම් පමුණුවන අවස්ථාවේ කලින් කරන ලද වැරදිවලටද දඬුවම් දෙනු ලැබීය. බිෂොප් තුමාගේ නියමය අනුව එසේ අනාචාරයේ යෙදුන කාන්තාවන් කරත්තයක නංවාගෙන නගරයේ වීථියක් පාසාම ගෙන ගොස් අවසානයේ දියෙහි ගිල්වනු ලැබීය.

පරදාර සේවනය නිස වර්ෂ 1662දී මිනිසුන් හා ගැහැනුන් බොහෝදෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය. ‘නොටිංහැම්’ නුවර අනාචාරයේ හැසිරුණු ස්ත්‍රියක් දඬුවම ලෙස දියේ ගිල්වීමෙන් පසුව ඇයව නොහික්මුණු පිරිසකට හසුවීමෙන් පසු නැවත නැවත දියේ ගිල්වීම නිසා ඇය අවාසනාවන්ත ලෙස මිය ගියාය. මේ සිද්ධියෙන් පසු නගර සභාව එම පුටුව විනාශ කර දමා නගරාධිපතිවරයාද ඔහුගේ ධුරයෙන් නෙරපා හැර අධිකරණයට ඉදිරිපත් කළේය.

වර්ෂ 1700දී එංගලන්තයට පැමිණි ප්‍රංශ ජාතිකයෙකු පවසන අන්දමට දියෙහි ගිල්වන පුටුව පාවිච්චි කරන ලද්දේ නොහොබිනා දිවි පෙවතක් ගතකළ ගැහැනුන් නොහොත් වෙසඟනන්ට දඬුවම් පැමිණවීමටය. කසය පාවිච්චි කරමින් දඬුවම් දීමට සමහර අවස්ථාවලදී පල්ලියේ අනුමැතිය ලැබී තිබුණි. කසය ගැන සඳහන් වන්නේ මෙසේය. කසයෙන් ලැබෙන ප්‍රයෝජන ගැන බලනවිට එය අවශ්‍යම ආයුධයක් ලෙස අපට අවබෝධ විය යුතුය. රටකට එය ලබාදෙන සේවය කියා නිමකළ නොහැකිය. නොහික්මුණු පුද්ගලයන් හික්මවීමට එය නොවරදින ඖෂධයකි. කාම අපරාධකාරයන්ට කසපහර දී වර්ෂ 1100ට පෙර පැවති දඬුවම් නීති ක්‍රමයට අයත් වූවකි. වරක් එක් සේවිකාවක් බලෙන් දූෂණය කළ වහලෙකුට දුන් දඬුවම වූයේ සදහටම ස්ත්‍රියක් ඇසුරු කිරීමට නොහැකි වන ලෙසට ඔහුගේ ලිඟුව අප්‍රාණික කිරීමය. නමුත් එම වරදම කළ ස්වාමියෙකුට සුළු දඩයක් ගෙවීමෙන් නිදහස් වීමට හැකි විය.

වර්ෂ 1598දී ‘ඩෙවන්ෂයර්’ හිදී අවජාතක දරුවන් සිටි මව්වරු හා පියවරු බොහෝ දෙනෙකුට ප්‍රසිද්ධියේ කස පහර දෙනු ලැබීය. ‘ගිල්ෆිඩ්හි’ අවජාතක දරුවන් තිදෙනෙකු සිටි එක් කාන්තාවකට මාස හයක සිරදඬුවමක් විදීමට සිදුවිය. අරමුණක් නැතිව නන්නත්තාරයේ හැසිරීම තදබල වරදක් ලෙස එකල සැලකුව අතර දඩාවතේ යන එන අයට තදබල ලෙස දඬුවම් දීමේ නීති මාලාවක් සකස් කර තිබුණි. එවැනි නරක හැසිරීම් නිසා එක් ස්ත්‍රියක් නගරයෙන් පන්නා දැමීය.

පරදාර සේවනයට හසුවී උසාවියෙන් දඬුවම් ලැබූවන්ගේ කල්කිරියාව හා ඉදිරි කාලය ගත කරන ආකාරය හා විනය පිළිබඳව පල්ලිය සෝදිසියෙන් සිටියේය. වරදෙහි බැඳුණු පුද්ගලයා තමා කළ වරද පිළිබඳව සිතෙන් තැවෙන නිසා පල්ලියේ පූජකවරයෙකු ඉදිරියේ කරන ලද පාපොච්චාරණයෙන් තමා කළ වරද කියා පාන්නේය. මින් අනතුරුව කෙරෙන්නේ වරදෙහි බැඳුණු පුද්ගලයා විසින්ම ඔහුටම දඬුවම් ක්‍රමයක් යොදා ගැනීමය. මෙවැනි දඬුවම් පැමිණවීමේදී ඒවා පිළිබඳව යන වියදම් ඒ ඒ පල්ලිය විසින් වාර්තා සකස් කර තිබුණි. වරදකරුට සුදු රෙදි මිලට ගැනීමට සිදුවේ. ඔහුගේ සේවය වෙනුවෙන් එන පල්ලියේ නිලධාරියාට ගෙවිය යුතු ගාස්තුව ඔහු ගෙවිය යුතුය. වරදකරු සුදු රෙද්දක් ඇඟලා පාවහන් නොමැතිව පල්ලියේ දොරටුව ළඟ සිට අල්තාරය ළඟට ඇවිදගෙන යන්නේය. එසේ ඇවිදගෙන ගොස් නැවතත් ඇවිදගෙන ආපසු විත් ඔහු වෙනුවෙන් තනා ඇති බංකුවේ වාඩි වී ඔහු කළ අපරාධයේ තරාතිරම පිළිබඳව පවත්වනු ලබන විශේෂ දේශනයකට සවන්දීමට සිදුවන්නේය.

මෙම බංකුවේ වාඩි වී සිටින අවස්ථාවේ වරදකරුට හඬන්නට හා වැලපෙන්නට සිදුවේ. මෙවැනි අවස්ථාවක ‘එලිසා’ නම් කාන්තාවක් එසේ වැලපෙමින් මෙසේ කී බව වාර්තා වී තිබේ. “යහපත් මනුෂ්‍යයෙනි, සර්ව බලධාරී දෙවියන් වෙනුවෙන් මාගෙන් ඉටුවිය යුතු යුතුකම මගහැරී පරදාර සේවනය යන පාපකාරී ක්‍රියාවේ යෙදුනෙමි. මේ නිසා සර්ව බලධාරී දෙවියන්ගේ කෝපය මා කෙරෙහි බලපෑවේය.” දේවස්ථානයේ දඬුවම්දීමේ වාර්තා අතර මෙවැනි සිද්ධීන් ද සඳහන්ව ඇත. මේ වාර්තා අතර එක් අවජාතක දරුවකුගේ පියෙකු වීම නිසා ගොවියෙකු ද තමාගේ විවාහ බැම්මෙන් පිටස්තරව ළමයින් දෙදෙනෙකු බිහි කිරීම පිළිබඳව ගැහැනියකට හා මිනිහෙකුට දඬුවම් කළ බවද වාර්තා වේ.

වර්ෂ 1581දී පරදාර සේවනයේ යෙදුන කාන්තාවකට හා පුරුෂයෙකුට දේවස්ථානයේ තෙවන සීනු වාරය නාද වනතුරු ගේට්ටුව ළඟ නතර වී සිටගෙන සිටීමට සිදුවන්නේ පාවහන් පැලඳීමෙන් තොරවය. එම දඬුවම ලැබුණේ “ශාන්ත ඇන්ඩෲ” දේවාස්ථානයේදීය. එසේ සිටගෙන සිටීමෙන් අනතුරුව දඬුවම් බංකුවෙහි වාඩි වී සිට දේශනය අවසන් වන තෙක් සවන්දිය යුතුය. තවත් දඬුවමක් වූයේ පරදාර සේවනයේ යෙදුන කාන්තාවන් හා පුරුෂයන් පාවහන් නොමැතිව දේවස්ථානයේ දොරටුව ළඟට වී දෙවැනි හා තෙවැනි සීනු නාදය ඇසෙන තෙක් හිටගෙන සිටීමය.

වර්ෂ 1602දී ‘එඩින්බර්ග්’ නුවරදී පරදාර සේවනයේ යෙදී හසුවී වරදකරුවන් වූ තරුණයෙකු හා තරුණියක කරත්තයක නංවාගෙන පරදාර සේවනයේ යෙදුනා යන අර්ථය ඇති ඉංග්‍රීසි වැකියක් යෙදූ තොප්පියක් පලඳවා නගරය පුරා ගෙන ගියේය. වර්ෂ 1594දී ඉතාමත් පහත් නින්දිත වරදක් ලෙස සැලකුව පරදාර සේවනයෙහි යෙදුන පුද්ගලයෙක් ජනයා අධික නගරයක, ජනයා අධික මාර්ගයක ගමන් කිරීමට සලස්වා කුණු බිත්තර ගැස්සවීමට සැලැස්සුවේය. පසුව බොහෝ වාර ගණනාවක් දියේ ගිල්වා අනතුරුව ගෝනි වැනි රෙදිවලින් මැසූ ඇඳුම් සූට් එකක් ඇඳගෙන පාවහන් හා හිස් වැසුම නොමැතිව දේවස්ථානයේ ගේට්ටුව ළඟ සිටගෙන සිටීමටත්, දඬුවම් බංකුවේ වාඩිවී දේශනය අවසන් වන තෙක් සිටීමට සිදුවිය.

සමාජයේ උසස් යැයි සම්මත පෙළැන්තියේ පවුල්වල අයටද සමහර අවස්ථාවල දඬුවම් විදීමට සිදුවී තිබේ. වර්ෂ 1470දී ලන්ඩන් නුවරදී හතරවන එඩ්වඩ් රජුගේ මෙහෙසියක් වන ජේන් ෂෝ ආර්යාව රජු මියයන විට ඇය නොයෙක් මන්ත්‍ර ගුරුකම් කරමින් සිටි බවට ඇයට විරුද්ධව නඩු පැවරුණි. උසාවියේදී ඇගේ නිදොස් බව ඔප්පු කිරීමට සෑහෙන කරුණු ඉදිරිපත් කිරීමට සමත්වීම නිසා ඇය නිදහස් වූවාය. නමුත් ඇය අධික ලෙස කාමාශාවකින් පෙළෙන්නියක් බව ඔප්පු විය. එයට ඇයට ලැබුණ දඬුවම වූයේ දල්වන ලද ඉටිපන්දමක් අතින් ගෙන පාවහන් නොමැතිව පයින්ම ගමන් කර වීථිය දිගේ පල්ලියට යෑමය.

වර්ෂ 1500 සහ 1700 අතර කාලයේදී ජර්මනියේ කාම අපරාධවලට දුන් දඬුවම් ඉතා දරුණු ඒවා විය.

‘බාබරා ස්ලම්පන්’ විවාහක කාන්තාවක් වුවත් ඇය අපිරිසිදු චරිතයක් තිබූ තැනැත්තියක වූවාය. අවුරුදු ගණනාවක්ම ඇය අනාචාරයේ හැසිරුණාය. පර පුරුෂ සේවනය කළාය. තරුණියන් ගෙනැවිත් ගණිකා සේවයේ යෙදව්වාය. එපමණක් නොව, ඇගේ දුවණිය අශ්වාරෝහකයකු සමග අනාචාරයේ යෙදෙව්වාය. බාබරා කරන ලද වැරදිවලට මරණීය දණ්ඩනය නියම වී තිබුණි. සිර මැඳිරියේදී පූජකතුමා විසින් නීති පොතෙන් කොටස් උපමා දක්වමින් ඇයට ලැබී ඇති මරණ දඬුවමේ සාධාරණත්වය විස්තර කරන ලදී. ඇය එවිට මහ හඬින් විලාප නඟන්නට වූවාය.

වර්ෂ 1583දී ජර්මනියේ විසූ ‘වුල්ෆ් කොනිග්’ නම් සම් පදම් කරන්නකුගේ බිරිඳ සමග අනාචාරයේ හැසිරීම හා තවත් අයථා ක්‍රියාවන්වල යෙදී සිටි වෙනත් ගමකින් පැමිණි තරුණයන් විසිහතර දෙනකුට සති හතරක් සිර දඬුවම් විඳීමට සිදු විය. ඔවුනට එම සති හතරම ආහාර ලෙස ලැබුණේ පාන් සමග ඇල්වතුර පමණි. අනාචාරයේ යෙදුණු කාන්තාවට ගලක් කර තබාගෙන නගරය පුරා ඇවිදීමට සිදුවිය. අවසානයේ ඇය නගරයෙන් පිටුවහල් කෙරිණි.

ඔහු විවාහ කරගත් අයට දැඩි දඬුවම් ලැබුණි. වර්ෂ 1571දී බිරියන් දෙදෙනෙක් තබා ගත් සොල්දාදුවකට මරණ දණ්ඩනය හිමි විය. ඔහු කරන ලද අභියාචනය සලකා බැලූ විනිසුරුවරයා මරණ දඬුවම කස පහර දීමේ දඬුවම දක්වා අඩු කළේය. වර්ෂ 1588දී බිරියන් හතර දෙනකු තබා ගත් ‘මැට් සෙන්ගල්’ නමැත්තාට නගරයෙන් පිටමන් කරන තෙක් කස පහර දෙනු ලැබීය.

වර්ෂ 1581දී ‘හෙලනා’ නමැති රූමත් කාන්තාවක් දෙවතාවක්ම පරදාර සේවනයේ යෙදීමේ වරදට කස පහර කෑවාය. වරදකරුවනට දෙන දඬුවම් අතරින් කස පහර දීම සාමාන්‍ය දඬුවමක් විය. දෙවන වතාවේදී හෙලනා කළ වරදට කස පහර දීමෙන් පසු ඇඟිල්ලක් ද කපා දමන ලදී. නමුත් ඇගේ පැවැත්ම යහපත් වූවේ නැත. විසි වතාවක්ම දඬුවම් ලැබුණු බව වාර්තා විය. අවසානයේදී ඇය කස පහර දෙමින් නගරයෙන් පන්නා දැමුවාය.

වර්ෂ 1719දි ගබ්සා කිරීම වෘත්තියක් ලෙස කළ එක්තරා අශිෂ්ට ස්ත්‍රියකට ලැබුණු දඬුවම වූයේ හිස ගසා මරණයට පත්කිරීමයි. ළමයින්ට කාම අපරාධ කිරීම අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. තමා උගන්වන පාසලේම ගැහැනු ළමයින්ට කරන ලද කාම අපරාධ නිසා එම පාසලේ ගුරුවරයකුට මරණීය දණ්ඩනය හිමිවිය. ඔහු උගත් පුද්ගලයකු බැවින් සිර මැඳිරිය තුළදී ඔහුට දෙනු ලබන දේශනය අනවශ්‍ය බව සිර මැඳිරියට පැමිණි පූජකතුමා වාර්තා කර තිබේ.

යුරෝපයේ වාර්තා වී ඇති දරුණු දඬුවම් ඊට ශත වර්ෂයකට පෙර ඉන්දියාවේ හා අප්‍රිකාවේ ඇති දඬුවම් ක්‍රම මෙන්ම උතුරු ඇමරිකානු ඉන්දියන්වරු අතර පැවති දඬුවම් ක්‍රමවලට සමාන විය. වරදකරුට දඬුවම් දීම ක්‍රෑර ලෙසත් සාහාසික ලෙසත් සිදු වූ නමුත් වරදකරුගේ හා වරදින් පීඩා විඳින්නන්ගේ තරාතිරම හෝ සමාජ තත්ත්වය අනුව දෙනු ලබන දඬුවමේ බරපතළකමේ අඩු-වැඩි වූ අවස්ථා ද තිබුණි. අප්‍රිකානු නායකයකුගේ බිරිඳක් සමග අනාචාරයේ හැසිරුණු පුද්ගලයාට දුන් දඬුවම වූයේ ඔහුගේ රහසඟ අප්‍රාණික කිරීමයි. එසේ නොකළා නම් මරණ දඬුවම දීමට ද තිබුණි. මෙම වරදම සාමාන්‍ය වැසියකුගේ බිරිඳක් කළේ නම් එම තැනැත්තියට කස පහර දීමට හා එම තැනැත්තියගේ සැමියාට යම් මුදලක් ගෙවීමට නියම කිරීමට වරදකරුට නියෝග කිරීමෙන් සියල්ල විසඳා නිම කිරීමට තිබුණි.

අනාචාරයේ යෙදුණු පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් ඔහුගේ හෝ ඇයගේ හිසකෙස්වලින් බූරුවකුගේ වලිගයට තබා බැඳ වීථී පුරා ගෙන ගියේය. පර ස්ත්‍රී සේවනයේ යෙදුණු පුද්ගලයකුට දුන් දඬුවම් අතර ඉතා දරුණු දඬුවම වූයේ මිනිසුන් ඉදිරියේ ඔහුගේ බිරිඳ හා දූවරු නිර්වස්ත්‍රව ගමන් කරවීමයි. අනාචාරයේ යෙදුණු ස්ත්‍රියකට දුන් දඬුවම වූයේ ඇගේ එක් උරසක ගලක් එල්ලා අනෙක් උරසේ බළලකු ගැටගසා වීථීය පුරා ඇවිද්දවීමය. එවිට උරසේ ගැටගසා ඇති බළලා බේරී පැනයෑමට කාන්තාව සූරමින් කරන කරදරය ඇයට දුන් දඬුවම විය.

එංගලන්තයේ බොහෝ ඈතකදී ඇති වූ කස පහර දීම, දියේ ගිල්ලවීම හා වෙනත් අමානුෂික දඬුවම් දීමේ ක්‍රම අලුතින් බිහිවූ පිටිසර නගරවලට ද ඉක්මනින්ම ලැබුණේය. වර්ෂ 1639දී ප්ලීමන්හිදි අනාචාරයේ යෙදුණු ස්ත්‍රියකට කස පහර දීමෙන් අනතුරුව ඇය සිදුකළ වරද සඳහන් පලඳනාවක් පැලඳීමට ඇයට නියම විය. යම් ලෙසකින් ඇය එම පලඳනාව පැලඳ නොසිටියේ නම් එම පලඳනාවේ තිබූ වැකිය ඇගේ මුහුණෙහි පින්තාරු කරගෙන සිටීමට සිදුවේ.

පුරාණයේ පවා කාම අපරාධවලට එම රටවල මෙවැනි නා නා විධ දඬුවම් බොහෝවිට දෙනු ලැබුවේ වරදෙහි නොබැඳෙන ජනයා තුළ පවා කිසිසේත් වරදෙහි නොබැඳෙන පරිද්දෙන් වරදට බියක් හා ලැජ්ජාවක් ඇති කරනු පිණිසයි කිව හැකිය.

පරකඩුවේ සෝමපාල
මෙනේරිපිටිය


advertistmentadvertistment