පුරාණ සිංහලයින් අවුරුද්ද පැවැත්වූ හැටි

572

සූර්යයා පිදීමේ උත්සවය

සූර්ය දෙවි පිදීමේ උත්සවය අතිපුරාණයෙහි ලංකාවේ විසූ හෙළයන් අතර ප්‍රචලිතව පැවතියේදැයි නිශ්චිත කොට කිව නොහැක. අඩුම වශයෙන් මේ රටේ සිංහල අවුරුදු උත්සවය පැවැත්වීම පොලොන්නරු යුගය තෙක් පැරණි යැයි අනුමාන කළ හැකිය. පැරණි පොත පතෙහි සිංහල අලුත් අවුරුදු උත්සවයක වගක්වත් සඳහන් නොවන අතර එදා අවුරුදු මංගල්‍යය පැවැත් වූ සැටි රොබට් නොක්ස් විසින් ඔහුගේ ඉතිහාස කතාවෙහි සඳහන් කර තිබේ. මේ අනුව සීතාවක රාජසිංහයන්ගේ හෝ දෙවෙනි රාජසිංහයන්ගේ කාලයෙන් පසු මේ උත්සවය ප්‍රධාන ජාතික උත්සවයක මුහුණුවර ගත් බව පෙනී යයි. මේ උත්සවය අවුරුදු මංගල්‍යය හැටියට හැඳින්වෙන්නට වූයේ ඉහත කී පරිදි සූර්ය දිව්‍ය රාජයාගේ රාශි දොළහේ ගමන සැලකිල්ලට ගැනීම හේතුකොටගෙනය. එක්තරා බෙදීම් ක්‍රමයක් අනුව ඍතුවකට මාස දෙකක් යැයි සලකන ලදී. ඒ අනුව අවුරුද්දකට ඍතු හයකි. ෂට් ඍතු යන්නෙන් සවුරුදු, හව්රුදු, අවුරුදු කියා බිඳී අවුත් ‘ද’ කාරය ද්විතව වී අවුරුද්ද යැයි සෑදී තිබේ. මේ අවුරුද්ද සෑදුණු සැටියි.

ලිත් වර්ෂයෙහි මුල්ම මාසය

සිංහල ලිත් වර්ෂයෙහි මුල්ම මාසය වූ බක් මාසයට කෝණයක් ද හරස් වෙයි. මේ නිසා කෝණෙහි කන මඟුල්තුලා ගැන ටිකක් පරෙස්සන්වීමට පැරණි සිංහලයෝ කල්පනා කළහ. දොළොස් මාසයටම කවි ගෙතූ ගැමි කවීහු අවුරුදු මංගල්‍යය යෙදෙන බක් මහ සහ එම කෝණත් ගැන සඳහන් කිරීමට අමතක නොකළහ.

වෙසක් මස පොසොන් ඇසළ ද නිකිණි මැදේ
බිනර එවප් ඉල් උඳුවප් දුරුතු මැදේ
නවම් මැදින් දින බක්මස කෝණ යෙදේ
කියම් දොළොස් මස සිව්පද සමඟ ඉඳේ

සිංහල මාස ක්‍රමයේ හැටියට අප්‍රේල් වූ කලී අපේ බක් මාසයයි. ‘බක්’ නාමය භාග්‍ය යන්නෙන් බිඳී ආ සේ පෙනේ. බක් මාසය අවුරුද්දේ පලාපල හේතු හට ගන්නා, මල් පිපීම් බහුල වූ කාලය බැවින් ඒ නාමය මේ මාසයට හැම අතින්ම උචිතය. අවුරුද්දේ කොයිම වකවානුවකටත් වඩා අහස කිරි බැබළෙන්නේ මේ භාග්‍යවන්ත මාසයේදීය. ඒ බව සැලකූ අපේ පැරණියෝ ‘නවගබ සඳ සෙයින්’ යැයි වර්ණනා කොට ඒ කාරණය ඔවුන් ලියූ පොත්පත්වල ද සටහන් කර තැබූහ.

බක්මහ අකුණු

බක් මාසයෙහි සාමාන්‍යයෙන් වැසි පල සමභාග වුවද මතු එළැඹෙන නිරිතදිග මහා වැහි වාරයට පෙර නිමිති පාන්නා සේ අකුණු කෙටීම් බහුල වෙයි. බක්මහ අකුණු කොටන්නා සේ යැයි පෞරාණිකයෝ එයද වර්ණනාවට නැඟූහ.

ජාතික කවීනට මෙසේ උවම් සැපයූ සිංහල අවුරුද්ද යෙදෙන අපේ සුප්‍රසිද්ධ බක් මාසය සිංහල ගොවීනට ද, ගැමි ගෙදරවලට ද, පොඩි දරුවනට ද, අමතක නොවන උත්සව සමයකි. සිංහල ගොවියා යල් වපුරා කුඹුරු වැඩ අස් පරස් කොට බඩවැටි දිගේ ඇති එරබදු මල් පියලි පාගාගෙන අවුත් වෙලෙන් ගෙට ගොඩවදින්නේ සිංහල අලුත් අවුරුදු කිරිබත කන්නටය. අවුරුදු මංගල්‍යයත්, නව වස්ත්‍රාභරණ ලැබීමත්, අඹ මල් මිණිදැදිරිවීමත්, කොවුලාගේ ‘කුදු කුහු’ යන පංචම රාගයත් එකට හැප්පෙයි. ඒ අතර ළපැටියන්ට ‘කජු රජය’ පහළ වී අවුරුදු කජු ද, එම පුහුලන් ද, කොට්ටම්බා ද, රතිඤ්ඤා ද අලුත් ඇඳුම් ද ලැබෙයි.

නව වස්ත්‍ර, නව ආභරණ ලැබීම නිසා ද කැවුම්, කොකිස්, මුංගුළි, අග්ගලා, ආස්මී, කෙසෙල් ගෙඩි ආදී රස කැවිලි හා බත් මාළු පිනි රසකොට විශේෂ කොට පිසීම නිසා ද ලී කෙළි, අං කෙළි, රුවන් කෙළි, පංදු කෙළි, එළුවන්දිලි, ඉරි පැනීම, කඹ ඇදීම, පොල් කෙටවීම, වළ සල්ලි, වළ කජු ගැසීම, නව වළ පෙරළීම, කල්ලි ගැසීම, අඹ ඇට පැනීම, චක් ගුඩු ඇල්ලීම, රබන් ගැහීම යනාදී නොයෙක් අන්දමේ විචිත්‍ර ජාතික කෙළි සෙල්ලම් නිසා ද මේ උත්සවය බාල මහලු කාටත් එක සේ ප්‍රීතිය ගෙන දෙන උත්සවයකි. මේ සියලු කෙළි සෙල්ලම් අස්සේම ඕසේ නංවමින් වාරම් කිය කියා පදින උන්සිල්ලාවේ විනෝදය අති උත්කර්ෂවත් බවට පත් කෙරෙයි.

අවුරුදු ආවයි කොහා අඬද්දදී
අරලිය එරබදු මල් හිනැ හෙද්දී
අතිරස ගෙයි තෙල් ළිපේ ඉදෙද්දී
අක්ක නඟෝ යති උන්සිලි පැද්දී

ධර්මානුෂ්ඨාන සමය

සිංහලයන්ගේ අවුරුදු මංගල්‍යය කොටස් තුනකට බෙදිය හැකියි. එනම් පරණ අවුරුද්ද, අලුත් අවුරුද්ද සහ තෙල් ගාන අවුරුද්ද යන වශයෙනි. පරණ අවුරුද්දත්, අලුත් අවුරුද්දත් අතර ඇති කාලය පුණ්‍ය කාලය නොහොත් නොනගතේ වශයෙන් සලකනු ලැබේ. පුරාණ දඹදිව් වැස්සෝ ධර්මානුෂ්ඨාන සමය හැටියට එය සැලකූහ. සිංහල අවුරුදු මංගල්‍යයෙහි තවත් උපාංග කිහිපයක් නම් අලුත් අවුරුද්දට සඳ බැලීම, ඉසතෙල් ගෑම සහ ජලස්නානයත්ය.

මෙය හින්දුන් විසිනුදු පවත්වනු ලබන උත්සවයක් වුවද මෙහි සිංහලයන්ට ආවේණික වූ උත්සව ලකුණු ද එමට ඇත. එයින් ප්‍රධානතම කරුණ නම් ආගමික චාරිත්‍ර විධි මුල් කර ගැනීම නිසා හුදු විනෝද උත්සවයක ඇති ලිහිල් බව වෙනුවට ගරු ගම්භීර ලක්ෂණ කැවී තිබීමය. මේ හේතුකොටගෙන අවුරුදු මංගල්‍යය එහි ලෞකික හා පාර ලෞකික යන උභයාර්ථයෙහිම පිහිටි සර්ව නිර්දෝෂී උත්සවයක් බවට පෙරළුණේය.

ගුරු චරණ සේවා විධිය

තවද මේ වකවානුව තුළ මව්පිය ගුරුවරු වැඩිහිටියන් දැක වැඳ පුදා ඔවුන් කමා කරවා ගැනීම ද පෙර සිංහලයන්ගේ සිරිත විය. එය ‘ගුරු චරණ සේවා පූජා විධිය’ හැටියට සලකන ලදී. සිංහල අවුරුදු මංගල්‍යයේ මේ සුන්දරාති සුන්දර වූ ලකුණු අද ලිහිල්ව ගොස් වෙරිමරගාතේ කට හරවා ගැනීම අභාග්‍යයකි. එම සුන්දර ජාතික මුල් සිඳී යා නොදී රැක ගැනීම අප සැමගේ යුතුකමයි.

සියල්ලන්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා.

● පීටර් විජේසිංහ
(ලේඛකයා 1964 ලියන ලද්දකි).

advertistmentadvertistment
advertistmentadvertistment