පුරාතන ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව සෙල්ලිපිවලින් හෙළිවන සංකල්ප

373

මිනිසා සතු අයිතිවාසිකම් හා ඒවායේ ස්වාභාවය කිසියම් සමාජයක හෝ රටක තීරණය වන්නේ එයට පසුබිම් වූ දේශපාලනික, ආර්ථික, ආගමික මෙන් ම සමාජීය තතු හා අවශ්‍යතා ද ඒ ඇසුරින් පැන නැගුණු චින්තන සම්ප‍්‍රදාය ද පදනම් කරගෙනය. නීති විද්‍යාත්මක වශයෙන් සලකා බලන කල්හි මානව අයිතිවාසිකම් යනු පාලකයින් විසින් ජනතාව කෙරෙහි ලබාදෙනු ලබන වරප‍්‍රසාද හා අයිතිවාසිකම්ය. එම අයිතිවාසිකම් වල නීතිමය ස්වරූපය හා පැවැත්ම ආරක්ෂා කරනු ලබන්නේ ද පාලකයින් විසිනි. නමුදු මිනිස් අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ ගැටලූව අද්‍යතන සමාජයේ නිතර සාකච්ඡුාවට බදුන් වන කරුණක් බව පැහැදිලිය.

අත්තනෝමතික ලෙස බලය කි‍්‍රයාත්මක වූ රාජාණ්ඩු පැවැති පුරාතන යුගයේ මිනිසුන්ගේ අයිතිවාසිකම් දැඩි ලෙස සීමා වූ නමුදු ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධයෙන් පැවැති තත්ත්වය පිළිබඳව විද්වතුන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි. එකල රජතුමා රටෙහි අසහාය පාලකයා වුව ද ස්වකීය බලය අත්තනෝමතිකව හෝ අසීමිතව හෝ යොදවන ලද බවට සාක්ෂි විරලය. ජනතාව විෂයෙහි අයිතිවාසිකම් ප‍්‍රදානය අතින් රජවරුන් ජනප‍්‍රසාදය දිනාසිටි මුත් ඇතැම් රජවරු අත්තනෝමතික ලෙස කි‍්‍රයා කළ අවස්ථා ද ඇතැම් අවස්ථාවන්හි හමුවෙයි. සැබවින් ම වැඩවසම්

ලක්ෂණයන්ගෙන් යුත් සමාජ ක‍්‍රමයක් ද ආගමික අනුශාසකත්වයෙන් යුතු පාලන තන්ත‍්‍රයක් ද සංස්ථාපිත කුල ධර්මයන්ගෙන් ශික්ෂිත සමාජ ක‍්‍රියාකාරීත්වයක් ද මූලිකව අන්තර්ගත කරගත් සමාජ සංදර්භයක් තුළ මෙම තත්ත්වය සුවිශේෂි කොට සැලකිය යුත්තකි.

දැනට පුරාවිද්‍යාඥයින් හා ඉතිහාසඥයින්ගේ අවධානයට ලක්ව ඇති ශිලා ලේඛනයන් තුළ සමාජ, ආර්ථික, සංස්කෘතික, සේවක හා කාන්තා යනා දී වශයෙන් විවිධ අංශයන් ඔස්සේ ප‍්‍රභේද කළ හැකි අයිතිවාසිකම් සම්බන්ධ සංකල්ප බොහොමයක් නොමදව අන්තර්ගත කොට ඇති බව පැහැදිලි වේ. මෙසේ වූ අයිතිවාසිකම් උල්ලංඝණය කරනු ලබන අවස්ථාවල කි‍්‍රයාත්මක වූ දණ්ඩන ප‍්‍රතිපත්තියක් ද පැවත ඇත. ලෝකයේ බොහෝ රටවල් විසින් මානව අයිතිවාසිකම් ලෙස මෑතක දී පිළිගෙන ඇති සංකල්ප ඈත අතීතයේ දී ශ්‍රී ලංකාවේ පිළිගැනීමට ලක්වී පැවති බව ශිලා ලේඛන අධ්‍යයනයේ දී පැහැදිලි වේ. එම නිසා පුරාතන ලාංකේය සමාජ සංදර්භය තුළ කි‍්‍රයාත්මක වූ මානව අයිතිවාසිකම් සම්බන්ධව ශිලා ලේඛන පදනම් කර ගනිමින් තොරතුරු විමර්ෂණය කිරීම ඉතාමත් වැදගත් වේ.

සෙල්ලිපි ඇසුරින් හෙළිවන මානව අයිතිවාසිකම් සම්බන්ධව සංකල්ප පිළිබඳ විමසීමේ දී මුල් අවධියේ සිට ම ඒ සම්බන්ධව නීතිගතව හා ලිඛිතව පැවති බවට ස්ථීරවම සඳහන් කිරීම ද අසීරුය. ඇතැම් විද්වතුන්ගේ අදහස වන්නේ ”පෙර සිරිත්’’ නමින් හැඳින්වුණු නීති ග‍්‍රන්ථ සමූහයක් පැරණි ශ්‍රී ලංකාවේ පැවැති බවත් අධිකරණ විනිශ්චය පිළිබඳ නීතිරීති හා සිරිත් විරිත් ඒ ඒ වරදට දිය යුතු ද`ඩුවම් හා ඒ ඒ කාර්යය සඳහා ගෙවිය යුතු ගාස්තු ආදිය එම ග‍්‍රන්ථයන්හි ඇතුළත් වන්නට ඇති බවත්ය. මෙසේ නීති ග‍්‍රන්ථ සමූහයක් පුරාතන ශ්‍රී ලංකාවෙහි පැවතියේ නම් මිනිස් අයිතිවාසිකම් හා සම්බන්ධ ඇතැම් සංකල්ප ද ඒවායේ අඩංගු වන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් එවන් ග‍්‍රන්ථ හෝ ඒවායේ ඇතුළත් වූ තොරතුරු පිළිබඳ විද්‍යාමාන සාක්ෂි නිශ්චිතව සොයා ගැනීම විරලය.

ශිලා ලේඛනයන්හි අන්තර්ගත තොරතුරුවලට අනුව කි‍්‍රස්තු පූර්ව තුන්වන සියවසේ සිට අවම වශයෙන් කි‍්‍රස්තු වර්ෂ පළමුවන සියවස දක්වාවත් ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් සම්බන්ධ සංකල්පය පැවතුණේත් කි‍්‍රයාත්මක වූයේත් සිරිත් හා ස්වාධීනතා මෙන් ම රීති සම්ප‍්‍රදායන් වශයෙන් බව අනාවරණය වේ.

ලෝකයේ ඕනෑම දියුණු හෝ නොදියුණු හෝ ජන සමාජයක කිසියම් චාරිත‍්‍ර විධි සමූහයක් දැකිය හැකිය. සමාජගතව පවත්නා මෙම ආවේණික චාරිත‍්‍ර වැදගත් වන්නේ ඒ ඒ සමාජයෙහි ක‍්‍රියාත්මක වන අදහස් උදහස් හා පුරුෂාර්ථ දිගින් දිගටම පවත්වාගෙන ඒමට හේතු වන බැවිනි. ලාංකේය සමාජය තුළ ද මෙසේ පවත්වාගෙන ආ චිරසම්භාවිත සිරිත් හෙවත් චාරිත‍්‍ර සමූහයක් ක‍්‍රියාත්මක විය. පුරාණනයේ වූ ඇතැම් සිරිත් ඉතා අවිච්ජින්නව සමාජයේ භාවිත වූ අතර රජවරු ද එකී පූර්ව සිරිත් නොනසා රැුකීම කෙරෙහි උනන්දු වී ඇත. එදා මෙරට වැසියෝ ද ඒ මත පදනම් වූ ඇතැම් අයිතිවාසිකම් නිදහසේ භුක්ති වින්දහ. එහි දී විශේෂයෙන්ම පැහැදිලි වන කරුණක් වන්නේ පූර්ව කාලයේ සිට ම මෙරටෙහි පැවති ඇතැම් අයිතිවාසිකම් දීර්ඝ කාලයක් ම සමාජයේ කි‍්‍රයාත්මක වූයේ සිරිත් හා නිදහස්කම් වශයෙන් බවයි. සිරිත් හා ස්වාධීනතා වශයෙන් පැවති මානව අයිතිවාසිකම් ලිඛිතව හා නීතිගතව ව්‍යවහාර නොවූ බැවින් ඒවා ලිඛිත හා නීතිගත අයිතිවාසිකම් තරම් වැදගත් නොවේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එසේ වුව ද ලේඛනය විරල වූ සමාජයක සිරිත් නීති මූලාශ‍්‍රය බවට පත්වීම සාමාන්‍ය සිද්ධියක් වනු ඇත. ඒ අනුව ලිඛිත නීති මෙන් ම චිර සම්භාවිත සිරිත් ද ප‍්‍රබල තැනක් හිමිකරගෙන ඇති බව පැහැදිලිය.

අතීත ලාංකේය ජනතාවට තමන් කැමති ආගමක් ඇදහීමට අයිතියක් පැවත ඇත. බුද්ධාගම, ජෛනාගම, ශිවාගම මෙන්ම විවිධ ඇදහිලි ද එකල ජනයා අතර පැවතිණි. ලංකාවට බුදු දහම රැුගෙන ඒමට පෙර සිටම මෙම ආගමික නිදහස පැවත ඇති බවට තොරතුරු වංශ කතා මගින් අනාවරණය වේ. පණ්ඩුකාභය රජු විසින් කරවන ලද අභිනව ඉදිකිරීම් අතර උතුරු දිග ජෝතිය නිගණ්ඨයාගේ ගෘහය, කුම්භාණ්ඩ නම් නිගණ්ඨයාගේ දේවාලය ද පරිව‍්‍රාජකයින් සඳහා පරිව‍්‍රාජකාරාමයක් ද බමුණන්ට ආධාර ගෘහයක් ද සිවි ගෙයක් හා ආශහිර්වාද ශාලාවක් ද වූ බව සඳහන් වීමෙන් ඒ බව පැහැදිලි වේ. පෙරදිග මිථ්‍යා දෘෂ්ටික කුල පන්සියයක් සිටි බවට මහාවංශයේ සඳහන් කරුණ ද මෙහිලා වැදගත් වේ. මෙමගින් පැහැදිලි වන්නේ රජු ද ආගමික තෘප්තිය ඇති වන පරිදි කටයුතු කිරීමෙන් ජනතාව ද ආගමික වශයෙන් නිදහස භුක්ති විදි බවයි.

මෙරට පාලකයන් බුදු දහමට පමණක් නොව වෙනත් ආගම් අදහන්නන්ට ද ඔවුන්ගේ ආගමික නිදහස භුක්ති විදීමට ඉඩ සැපයූ බව ශිලා ලේඛනයන්ගේ අන්තර්ගත තොරතුරු මගින් ද අනාවරණය වේ. එකළොස්වන සියවසට අයත් පාලමොෙටෙයි දෙමළ පුවරු ලිපිය පළමුවන විජයබාහු රජු හින්දු ආගමට අනුග‍්‍රහය දැක් වූ අයුරු හෙළි කරනු ලබයි. එම ලිපියෙහි සඳහන් වන්නේ බ‍්‍රාහ්මණ කාන්තාවක විසින් දකුණු කෛලාසම් නම් කෝවිලක ශිව දෙවියන් සඳහා කරනු ලබන දේවාලයක් සම්බන්ධ තොරතුරුය. මෙම සිද්ධස්ථානය පළමුවන විජයබාහු රජු විසින් ඉදිකරන්නට හෝ එසේත් නැතිනම් ඔහුගේ අනුග‍්‍රහය යටතේ ඉදිකරන්නට ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. ඒ අතර වික‍්‍රමබාහු රජු ”දේවාලයන්ට පෙරදෙන ලද්ද නොපිරිහෙළීය’’ යනුවෙන් සඳහන් මහාවංශ පාඨය ද මෙහි දී වැදගත් වේ. එමගින් පළමුවන විජයබාහු රජුට පූර්වගාමී රජවරුන් විසින් ද අන්‍යාගමික දේවාලයන්ට අනුග‍්‍රහය කරන ලද බව ඉන් ගම්‍යමාන වේ. දෙවන වික‍්‍රමබාහු රජු ද තම පිය රජු දවස පැවති මෙම සිරිත ඒ අයුරින් ම පවත්වාගෙන ගිය බවට බුදුමුත්තෑව ටැම් ලිපියේ ”වික‍්‍රම චලාමේඝ ඊශ්වරම්’’ යනුවෙන් ශිව කෝවිලක් පිළිබඳ කරන ලද සඳහනින් අනාවරණය වේ. තව ද මෙරට පාලකයින් අන්‍යාගම්වලට අනුග‍්‍රහය දැක්වූ අයුරු නිශ්ශංකමල්ල රජුගේ කන්තලේ ගල් ආසන අභිලේඛනයෙන් වටහාගත හැකිය. එයට අනුව නිශ්ශංකමල්ල රජු විසින් නිශ්ශංකේශ්වර නම් දේවාලයක් කර වූ බව ද එවක චාතුර්වේද බ‍්‍රහ්මපුර නමින් හැඳින් වූ කන්තලේ ප‍්‍රදේශයේ පාර්වතී සත‍්‍ර නම් දාන ශාලාවක් කර වූ බව ද සඳහන් වේ. තව ද දෙවන පරාක‍්‍රමබාහු රජුගේ දෙවුන්දර ශිලා ලේඛනයෙන් ද මෙරට පැවති ආගමික නිදහස පිළිබඳ තොරතුරු වටහා ගත හැකිය. එහි සඳහන් විහාර දේවාල අග‍්‍රහාර කෝවිල් ආදී වූ ධර්ම ක්ෂේත‍්‍රවලට අනියා නොසලස්වාට් යන පාඨයෙන් අනාවරණය වන්නේ කැමති පුද්ගලයෙකුට තම තමන් කැමති ආගමක් ඇදහීමට අවසර පැවති බවයි.

මහායාන බුදු දහමේ බලපෑම නිසා බෞද්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර අතරට බෝධිසත්ව ඇදහීමේ සංකල්පය ද එක් විය. මුල් කාලයේ මහායාන ආගමික සංකල්පයට ඇතැම් පාලකයන් විරෝධතාවයක් දැක්වුව ද පසු කාලීනව ඒ සඳහා පාලන තන්ත‍්‍රයෙන් ද අනුග‍්‍රහය ලැබී ඇත. හතරවන මහින්ද රජුගේ අංක එක දරණ ජේතවනාරාම පුවරු ලිපියට අනුව රජු විසින් නීල ප‍්‍රාසාදයේ බෝසත් ප‍්‍රතිමාවෙහි රන් ආලේප කරන ලද බව සඳහන් වේ. ධාතුසේන රජු බෝසත් ගෙයක් ද මෛතී‍්‍ර බුදුරුව සඳහා සියලූ රාජ පළඳනා ද සැකසූ අතර දෙවන සේන රජු ජේතවනාරාම මණිමේඛලා ප‍්‍රාසාදයෙහි බෝසත් පිළිමයක් ද සාදා ඇත. පොදු ජනතාවගේ ආගමික පරිසරයෙහි විද්‍යමාන මෙබදු ඇදහිලි දිවයින පුරා ව්‍යාප්ත වී තිබීමෙන් ප‍්‍රකට වන්නේ එකල මෙරට ජනයා ආගමික නිදහස රිසිසේ භුක්ති විදින ලද ආකාරයයි. පාලන බලයේ අනුබලයක් හෝ අනුග‍්‍රහයක් නොලැබුණි නම් විවිධත්වයෙන් යුතු මෙතරම් මූර්ති සමූහයක් දැකීමට ද නොහැකි වනු ඇත.

ආගමික මතවාදයන්ට පමණක් නොව අධ්‍යාපනික වශයෙන් ද නිදහසක් මෙරට ජනයා අතීතයේ දී භුක්තිවිදි බවට ද තොරතුරු ශිලා ලේඛන මගින් අනාවරණය වේ. අධ්‍යාපනය යනු පෞරුෂ සංවර්ධනයයි. මානව අයිතීන්ට ගරු කරනු ලබන කවර රටක් වුවද තම වැසියාගේ අධ්‍යාපන නිදහස කෙරෙහි සැලකිලිමත් වේ. ස්තී‍්‍ර – පුරුෂ, ගිහි – පැවිදි හා කුල ආදී භේදවලින් තොරව

සියලූදෙනාට ම අධ්‍යාපනය ලැබීමේ නිදහසක් අතීතයේ සිට ම ශ්‍රී ලංකාවෙහි පැවතිණි. කි‍්‍ර. පූ. තුන්වන සියවසේ සිට දිවයින පුරා ව්‍යාප්තව පැවති ශිලා ලේඛන තුළින් පැහැදිලි වන්නේ ජනතාවගේ සාක්ෂරතාවය පිළිබඳ සතුටුදායක ප‍්‍රවණතාවයකි. පොදුවේ රටවැසියන්ට අක්ෂර කලාව සම්බන්ධයෙන් දැනුමක් නොතිබුණි නම් ශිලා ලේඛන සම්භාරය පිහිටුවීමේ අරමුණ ද ඉටු නොවෙයි.

බුදු දහම මෙරට ස්ථාපිත වීමත් සමග විහාරස්ථාන ආගමික මෙන් ම අධ්‍යාපනික ක්ෂේත‍්‍රයෙහි ද කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. අතීතයේ දී පැවදි පක්ෂය මෙන් ම ගිහි ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂය ම විහාරස්ථාන ඇසුරින් අධ්‍යාපනය ලද බව පැහැදිලි වේ. එහි දී භික්ෂු ප‍්‍රජාව වුව ද ති‍්‍රපිටක අධ්‍යාපනයට පමණක් සීමා නොවී නීති ශාස්ත‍්‍රය, කාව්‍ය ශාස්ත‍්‍රය, වාස්තු විද්‍යා ශිල්පය ආදි විවිධ විෂය හැදෑරීමට නිදහස තිබූ බවට සාක්ෂි සාහිත්‍ය මූලාශ‍්‍ර මෙන් ම ශිලා ලේඛන සාක්ෂි මගින් ද තහවුරු වෙයි. අනුරාධපුර පස්වන කසුබ් රජුගේ පුවරු ලිපියේ සඳහන් කර ඇත්තේ විහාර දේපළ වංචනිකව අත්පත් කර ගැනීම පිළිබඳ චෝදනා රාජ්‍ය නිලධාරීන් හා භික්ෂූන්ගෙන් යුත් විමර්ශන සභාවක් වෙත ඉදිරිපත් කර වැරදිවලට හසු වූ භික්ෂූන් විහාරයෙන් නෙරපිය යුතු බවයි. එලෙස ම නන්ද තෙරුන්ගේ කතරගම පුවරු ලිපියට අනුව භික්ෂූන් වාස්තු විද්‍යාව ද උගත් බව දක්නට ලැබේ. එහි චෛත්‍ය වාස්තු විද්‍යාඥ අකුජුක නම් භික්ෂු ආචාර්යවරයාගෙන් සම්මත කරගෙන නන්ද තෙරුන් විසින් දොරටු සතරෙහි පියගැට පේළියක් සෑදීම පිළිබඳව සඳහන් කර ඇත. මෙම තොරතුරු මගින් මහාවිහාරය, ජේතවනාරාමය වැනි විශාල විහාර සංකීර්ණ සැලසුම් කිරීමේ දී භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වය ගන්නට ඇතැයි සිතිය හැකිය. කාව්‍ය ශාස්ත‍්‍රය ද අතීතයේ දී මෙරට භික්ෂූන් උගත් බව සීගිරි කුරුටු ගී අතර භික්ෂූන් ලියන ලද කුරුටු ගී තිබීම මගින් අනාවරණය වේ. ඒ අතර දිගලවාන වැසි සරින (134 ගීය), තලපා පිරිවෙන් වැසි සෙන් (270 ගීය) මෙසේ ගී ලියූ යතිවරුන් අතර වෙයි. නිශ්ශංකමල්ල රජු සිය දඹුලූගිරි ලිපියෙහි සඳහන් කර ඇත්තේ තමන් විසින් භික්ෂූන්ට ති‍්‍රපිටකය මෙන් ම බාහිර ශාස්ත‍්‍රය ද අධ්‍යයනය කිරීමට උපකාර කරන ලද බවයි. මෙහි බාහිර ශාස්ත‍්‍රය යනු ආගමික නොවූ ලෞකික විෂයන් බව අනුමාන කළ හැකිය. මෙම තත්ත්වයන් මගින් පැහැදිලි වන්නේ අධ්‍යාපනික නිදහස හා ඒ අයිතිවාසිකම් කෙරෙහි පාලකයන් තම සැලකිල්ල යොමුකර ඇති ආකාරය පිළිබඳවයි. දෙවන පරාක‍්‍රමබාහු රජු දඹදෙණි කතිකාවත මගින් භික්ෂූන් විසින් කාව්‍ය නාට්‍ය ආදී විෂයන් ඉගෙනීමත් අන් අයට උගැන්වීමත් තහනම් කරන ලද්දේ මෙම අවධිය වන විට පැවදි ප‍්‍රජාව ඒ අතින් සීමාන්තික පිළිවෙතකට පිහිටි නිසා යැයි සිතිය හැකිය. මෙසේ ඇතැම් අණ පනත් මගින් භික්ෂු අධ්‍යාපනයට සීමාවන් පැනවීම සිදුවන්නට ඇත්තේ රජවරුන්ගේ හා භික්ෂූන්ගේ අදහස් මත වීම ද වැදගත් වේ.

භික්ෂූන් හැරුණු කොට ගෘහාශි‍්‍රත ආයතනයන්වල ගිහි ඇදුරන් විසින් ශිල්ප ශාස්ත‍්‍ර ප‍්‍රගුණ කරවූ බවට ද සාක්ෂි කි‍්‍ර.පූ. තුන්වන සියවසත් කි‍්‍ර.ව. පළමු සියවසත් අතර ඈත කාලයේ ලියැවුණු ලෙන් ලිපිවල සඳහන් වේ. සිතුල්පව්ව ලිපියේ සඳහන් පරාසරිය, කදුරුවැව ලිපියේ එන කණ්හ ගුත්ත යන අය එබදු ගෘහාශි‍්‍රත ආචාර්යවරුන් වෙති. මෙම කාලවකවානු නියෝජනය කරන ශිලා ලේඛනවල නැටුම් ශිල්පීන්, චිත‍්‍ර ශිල්පීන්, කවියන්, ගණකාධිකාරීවරුන්, නැකැත්කරුවන්, වාස්තු විද්‍යා ශිල්පීන් ආදී විවිධ ශිල්පධාරීන් පිළිබඳව සඳහන් වේ. දහවන සියවසට අයත් හතරවන මිහිදුගේ මිහින්තලා පුවරු ලිපියෙහි ”පස්’’ හා ”පසක්’’ යනුවෙන් ද නවවන සියවසට අයත් අභයගිරි සංස්කෘත ලිපියේ ”පඤ්චිකා’’ යනුවෙන් ද සඳහන් වන්නේ වාර්තා හා ගිණුම් කටයුතු පිළිබඳවය. මෙසේ මධ්‍යතන යුගය වන විට දී ගිණුම් කටයුතු පිළිබඳව ගෘහාශි‍්‍රත අධ්‍යාපන මධ්‍යස්ථානවල උගැන්වීම ප‍්‍රසිද්ධව පවතින්නට ඇතැයි සිතිය හැකිය. සීගිරි කුරුටු ගී තුළින් ද අතීතයේ මෙරට පැවති නිදහස් අධ්‍යාපනය පිළිබඳ තොරතුරු වටහා ගත හැකිය. කණ්ණා (99 ගීය), වජිරා (146 ගීය), නාල් (543 ගීය) වැනි කාන්තාවන් විසින් ලියූ ගී මගින් මෙරටෙහි කාන්තාවන්ට ලබා දී තිබූ සාක්ෂරතාවය පමණක් නොව කාව්‍යකරණය පිළිබඳ දැනුම ද වටහා ගත හැකිය.

පාලන තන්ත‍්‍රය ද ගුරුවරුන්ගේ සේවය ඇගයීමක් වශයෙන් ඔවුන්ට වැටුප් ලබාදුන් අයුරු මිහින්තලා ලිපිය තුළින් අනාවරණය වේ. ඒ අනුව ගිහි ඇදුරන් හය දෙනෙකුට ඔවුන්ගේ සේවය වෙනුවෙන් ”ගුතෑගම’’ වෙන් කර ඇත. මෙය එක් අයුරකින් ඇදුරන්ගෙන් ශිල්පය ලැබූ පිරිස් කෙරෙහි අවධානය යොමු කිරීමක් ලෙස ද සැලකිය හැකිය. එලෙස ම යහපත් අධ්‍යාපනයක් ලබාගැනීමේ මානව අයිතිය ජනතාව වෙත හිමිකර දීමට අතීතයේ මෙරට පාලකයින් දැරූ ප‍්‍රයත්නය ද උක්ත ශිලා ලේඛන ඇසුරින් හඳුනාගත හැකි බව පැහැදිලිය.

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් භුක්ති විදීමට ඇති අයිතිය ද ලාංකික ජනතාවට අතීතයේ සිටම පැවත ඇත. එහි දී ජනතාවට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ලබාගැනීමට රාජ්‍ය අනුග‍්‍රහය ද නොමදව ලැබී තිබේ. එලෙස ලාංකික ජනතාව අතීතයේ දී යහපත් සෞඛ්‍ය තත්ත්වයක් භුක්ති විදි බැව් පැහැදිලිව ම අනාවරණය වන්නේ කි‍්‍ර.ව. නවවන හා දහවන සියවස්වලට අයත් ශිලා ලේඛන ඔස්සේය. රෝහල් වෛද්‍යවරුන්, නිලධාරීන්, සේවකයින්, ආරෝග්‍ය ශාලා පාලනය නීතිරීති පමණක් නොව ඒ නීතිරීති කඩ කරන පුද්ගලයින්ට ද`ඩුවම් පැනවීම ආදී පුළුල් තොරතුරු සමුදායක් උක්ත ශිලා ලේඛන මගින් අනාවරණය වේ.

කිරිබත් වෙහෙර ටැම් ලිපියට අනුව හතරවන කාශ්‍යප රජුගේ නියමයෙන් ”බමණ් කුම්බුර්’’ නමැති ස්ථානයේ පිහිටි වෛද්‍ය ශාලාවක දුන් වරප‍්‍රසාද පිළිබඳ තොරතුරු අනාවරණය වේ. මෙම වෛද්‍ය ශාලාවට ඉඩම් කැබලි කිහිපයක් ප‍්‍රදානය කර ඇති අතර ආරෝග්‍ය ශාලා නිලධාරීන්ගේ පාලනයට ද නතු කර ඇත. රාජකීය නිලධාරීන්ට ද අනවසරෙන් වෛද්‍යශාලා භූමියට ඇතුල්වීමට අවසර නොවීය. ඒ අනුව මධ්‍යයම රජයේ බලපෑමෙන් තොරව ස්වාධීනව පාලනය කිරීම සඳහා ප‍්‍රස්තුත වෛද්‍ය ආයතනයට ඉඩ සලසා තිබූ බව එමගින් පැහැදිලි වේ. හතරවන කසුබ් රජුගේ කොළඹ කෞතුකාගාර ටැම් ලිපියට අනුව ”සෙනල්නාකන්’’ නැමැත්තා කර වූ තිඹිරි ගෙයකට රජය විසින් පමුණු ඉඩම් ප‍්‍රදානය කිරීම හා ඊට පිරි නැමුණු වරප‍්‍රසාද පිළිබඳ තොරතුරු සඳහන් වේ. පස්වන කසුබ් රජු විසින් අනුරාධපුර ඇතුළු නුවර ඉදිකළ රෝහලකට වෙන්කරන ලද ඉඩම් පිළිබඳ සීමා ද ඊට අදාළ වරප‍්‍රසාද හා නීතිරීති ද දොරබාවිල ටැම් ලිපියෙන් අනාවරණය වේ. එහි සඳහන් ව්‍යවස්ථා නොරක්නා රජවරුන්, ඈපා, මාපාදීන් කවුඩු බලූ වන බැව් දැක්වෙන සඳහන මෙහි දී ඉතාමත් වැදගත් වේ. මතු අනාගත පාලකයින් ද එම නීති අනුගමනය කළ යුතු බැව් දැඩිව මෙහි දක්වා ඇත. අනුරාධපුර පශ්චාත් අවධියේ මෙරට පැවති රෝහල් සංවිධානය පිළිබඳ තොරතුරු රැුසක් ද හයවන මහින්ද රජුගේ යැයි සැලකෙන මැදිරිගිරිය පුවරු ලිපියෙන් හෙළි වේ. මෙම ලිපියට අනුව වෙදහලට අයත් භූමියේ මත්පැන් බීම, නැටීම, වැයීම ආදිය තහනම් බවට ව්‍යවස්ථා පනවා ඇත. වෛද්‍ය ශාලා නිලධාරීන් විසින් එහි සේවකයින් ලවා වෛද්‍ය ශාලාවට අයත් ඉඩම්වල වගා කටයුතු කිරීම ද තහනම් බව එහි දක්වා ඇත. මෙවැනි නීති පනවන්නට ඇත්තේ ආරෝග්‍ය ශාලාව වෙත සේවකයින්ගේ සේවය නිසි ලෙස ලබා ගැනීම සඳහා විය හැකිය. මෙලෙස ම වෛද්‍ය නිලධාරීන් එහි සුළු සේවකයින්ගෙන් අල්ලස් ගැනීම, තෑගි බෝග ගැනීම ද තහනම් කර ඇත. මේ අයුරින් මැදිරිගිරිය ශිලා ලේඛනයෙන් පැහැදිලි වන්නේ ප‍්‍රස්තුත ආරෝග්‍ය ශාලාවේ මනා පරිපාලනයක් හා සේවා තත්ත්වයක් පැවති බවයි.

වෛද්‍යවරුන් හා වෛද්‍ය සේවකයින්ගේ සේවයට රජය විසින් වැටුප් පිරිනැමීම ද ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට ගන්නා කි‍්‍රයා මාර්ගයක් යැයි සිතිය හැකිය. හතරවන මිහිදු රජුගේ මිහින්තලා පුවරු ලිපියට අනුව වෛද්‍යවරයෙකුට දිවෙල් වශයෙන් දෙතිසැ හේනෙන් පෑලක් ද දමියෙන් කොටසක් ද පුහුඩා වෙදක්හට ඉඩම් කිරි භාගයක් ද දමියෙන් කොටසක් ද හිමි විය. තව ද බෙහෙත් පිළියෙළ කරන සේවකයෙකුට ඉඩම් කිරි එකක් ද දමියෙන් කොටසක් ද හිමි විය. මෙලෙස රෝහල්වල නඩත්තුව පිණිස ගම්බිම් පවරා දෙමින් ආරෝග්‍ය ශාලාවල සේවය වෙනුවෙන් වෛද්‍යවරුන් හා සේවකයින් දිරි ගන්වමින් මැනවින් පාලනය කිරීම සඳහා ව්‍යවස්ථා පද්ධති පනවා කි‍්‍රයාත්මක කිරීමෙන් ද පෙනෙනුයේ රටවැසියාට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලබා දීමට පාලන තන්ත‍්‍රය විසින් ගන්නා ලද උත්සාහයයි.

ඊට අමතරව පළමුවන පරාක‍්‍රමබාහු රජුගේ පොළොන්නරුව ගල් විහාර සෙල්ලිපියෙන් මව්පිය දෙදෙන, එක් කුස උපන් වැන්දඹු බවට පත් සහෝදරියන්, මෙහෙකරුවන් සඳහා ආහාර සිගා යෑමට හා ඔවුන් රෝගී වූ අවස්ථාවල දී බෙහෙත් ආදිය පිණිස සිගා යෑමට භික්ෂූන් වහන්සේලාට අවසර දී තිබීම මගින් පැහැදිලි වන්නේ පුරාණ රාජ්‍ය සංවිධානය විසින් යුතුකම් සිරිතක් වශයෙන් කි‍්‍රයාත්මක කරන ලද බවයි. එලෙස ම නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත ලේඛනයෙන් ද රෝගාබාධයන්ට ලක් වූ අසරණ පුද්ගලයින්ට රැුකවරණය සලසමින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැුකි බව දක්නට ලැබේ. එහි දී මෙම රජු කණ, පිළු, කුරු, කුදු ආදී අනාථ ජනයාගේ යහපත වෙනුවෙන් කටයුතු කළ බවක් දක්නට ලැබේ. ඒ අනුව රාජ්‍ය සංවිධානය විසින් අතීත ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ට විය යුතු යුතුකම් ඉටු කරමින් සමාජ ගත සිරිත් දිගින් දිගට ම කි‍්‍රයාත්මක කිරීමට ගත් උත්සාහයක් දක්නට ලැබේ.

මෙහි දී අපගේ අවධානය යොමු විය යුුතු තවත් වැදගත් අංශයක් වන්නේ අතීතයේ මෙරට කි‍්‍රයාත්මක වූ නීතිගත අයිතිවාසිකම් සංකල්පය පිළිබඳවයි. එහි දී ප‍්‍රමුඛත්වය හිමි වන්නේ ජීවත් වීමට ඇති අයිතියයි. ලාංකේය ජනතාවට ජීවත්වීමට නීත්‍යානුකූලව හිිමිකම් ලැබූ අයුරු වේවැල්කැටිය, දොරබාවිල, කළු දිය පොකුණ වැනි සෙල්ලිපි හා වෙල්මිල්ල ටැම් ලිපිය, අනුරාධපුර පස්වන කසුබ් රජුගේ පුවරු ලිපියෙන් ද සනාථ වේ. පුරවැසියෙකු තවත් අයෙකුගේ ජීවිතය අහිමි කළහොත් ඔහුට ද මරණීය දණ්ඩනය දිය යුතු යැයි දහවන සියවසට අයත් වේවැල්කැටිය සෙල්ලිපියෙන් නියම කර ඇත. පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා එවැනි නීති පනවන්නට ඇති බව සිතිය හැකිය. මෙලෙස ම ස‘ග් වෑ රකුස් සෙනෙවිරිදුන් දඩනායකයාට පරිත්‍යාග කරන ලද ගමකට දෙන ලද වරප‍්‍රසාද හා පාලන නීති ඇතුළත් හතරවන දප්පුල රජුගේ කොණ්ංවට්ටවාන් ටැම් ලිපියෙන් නියම කර ඇත්තේ මනුෂ්‍ය ඝාතනයට වැරදිකරුවන් වූ අය උල්වාඩු නම් නිලධාරියෙකුට භාරදිය යුතු බවයි. කෙනෙකුගේ ජීවිතය අහිමි කළ පුද්ගලයන්ට ගමට භාර නොගත යුතු බවත් ඔවුන් ආරක්ෂා නොකළ යුතු බවත් දොරබාවිල ටැම් ලිපියේ සඳහන් වේ. තව ද ”ආරුගම්පෙළවග’’ නම් ගමෙහි එක්තරා පුද්ගලයෙකුට අත්තාණි පරිහාර ප‍්‍රදානය කිරීමක් පිළිබඳව වාර්තා කරන තුන්වන සේන රජුගේ වෙල්මිල්ල නම් ටැම් ලිපියේ සඳහන් වන්නේ මිනිසුන් මරා හෝ සොරකම් කර හෝ ගමෙහි වාසය කරන අය සිටිත් නම් ඔවුන් ගමින් පිටමන් කළ යුතු බවයි. හතරවන සේන රජුගේ කළුදිය පොකුණ පුවරු ලිපියෙන් නියෝග කෙරෙන්නේ බැහැර මිනීමැරුම් සිදුකළ කිසිදු අයෙකු ගමට ඇතුළු කර නොගන්නා ලෙසයි. එවැනි පුද්ගලයෙකු ගමෙහි සිටී නම් ගෙදඞ් ගෙන ඒ තැනැත්තා ගමෙන් බැහැර කරන ලෙස ද දක්වා ඇත. පස්වන කසුබ් රජුගේ අභයගිරිය පුවරු ලිපියේ දක්වා ඇත්තේ අභයගිරි නිකායට අයත් ගම් ප‍්‍රදේශවල මිනී මැරීමේ වරදට හසු වූ අය සිටී නම් රාජ්‍ය නිලධාරීන් ඒ ගම්වලට ගොස් ඔවුන් ඉල්ලා සිටිය යුතු බවයි. එසේ ම ඇතැම් අවස්ථාවන්හි දී මෙවැනි වරදකට හසු වූ පිරිස් රටින් පිටුවහල් කළ අවස්ථා ද දක්නට ලැබේ. රජවරුන් මෙවැනි කි‍්‍රයා මාර්ග ගැනීම තුළින් පෙනී යන්නේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට පාලන සංවිධානය කටයුතු කර ඇති බවයි.

රටක ජීවත් වන සෑම පුරවැසියෙකුට ම වධ හිංසාවලින් මිදී නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇත. මෙම අයිතිය උල්ලංගණය කරන්නවුන්ට එරෙහිව අතීත ලාංකීය රාජ්‍ය සංවිධානය විසින් නීතිරීති පනවා තිබූ බව ශිලා ලේඛනයන්ගේ සඳහන් තොරතුරු මගින් පැහැදිලි වේ. අනුරාධපුර පස්වන කසුබ් රජුගේ අභයගිරි පුවරු ලිපියට අනුව රාජ්‍යය නිලධාරීන් විසින් වරදකරුවන් සෙවීමේ දී වරදෙහි සම්බන්ධ නොවූ ගෙහිමියන්ට හිංසා පීඩාදිය නොකළ යුතු විය. එලෙස ම වරදකරුවන් අල්ලා ගැනීමාදිය කරන නිලධාරීන් හා ගණකයින් ගමෙහි සෙසු වැසියන්ට කරදර නොකළ යුතු බව බදුලූ ටැම් ලිපියෙහි ද සඳහන් වේ. රජයේ නිලධාරීන්ගෙන් සාමාන්‍ය රටවැසියාට සිදු වන වධහිංසා වැළැක්වීමට පාලන තන්ත‍්‍රය ගන්නා ලද උත්සාහය යථෝක්ත අණ පනත්වලින් පැහැදිලි වෙයි. එලෙස ම යම්කිසි අයෙකුට ආයුධවලින් පහර දී හිංසා කළහොත් හිංසකයාගෙන් රන් කහවණු පණහක් දඩ වශයෙන් ගත යුතු බවත් ඊට අනුබල දුන් අයගෙන් ද කහවණු පණහක් දඩ ගත යුතු බවත් වේවැල්කැටිය සෙල්ලිපියේ සඳහන් වේ. හතරවන කාශ්‍යප රජුගේ මොරගොඩ ටැම් ලිපියෙන් ද අන් අයට පහර දී අඩම්තේට්ටම් කර විහාර ගම්වලට පැමිණෙන අය ගමට භාර නොගත යුතු බව දක්වා ඇත. රටවැසියාට වධහිංසා විරහිත නිදහස් ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය රජය විසින් පිළිගෙන එය නන් අයුරින් තහවුරු කිරීමට කි‍්‍රයාකළ අයුරු මෙම තොරතුරු මගින් පැහැදිලි වේ.

මේ සමගම සර්ව සාධාරණත්වය යටතේ නීතිය පසිඳලීම, කි‍්‍රයාත්මක කිරීම හා නීතියේ රැුකවරණය යටතේ ජාතී, ආගම්, ස්ත‍්‍රී-පුරුෂ ආදී භේද නොතකා සියලූ ම පුද්ගලයින්ට සමානාත්මතාවයෙන් නිදහස භුක්ති විදීමට ද අතීතයේ පාලකයින් අවස්ථාව ලබාදී ඇති බවක් දක්නට ලැබේ. ඒ පිළිබඳ වේවල්කැටිය සෙල්ලිපිය, පස්වන කසුබ් රජුගේ අනුරාධපුර පුවරු ලිපිය හා දෙවන පරාක‍්‍රමබාහු රජුගේ දෙවිනුවර සෙල්ලිපියෙහි ද තොරතුරු සඳහන් වේ. රජයේ නිලධාරීන් විසින් ගත් දඩ සම්බන්ධයෙන් ගම් වැසියන්ගේ උද්ඝෝෂණයක් හෝ තිබේ නම් සම් දරුවන් හා දඩ ගැසීමට බලය ඇති නිලධාරීන් හිඳ නඩු විචාල යුතු බව පස්වන කසුබ් රජුගේ පුවරු ලිපියෙහි සඳහන් වේ. බදුලූ ටැම්ලිපියට අනුව රජයේ නිලධාරීන් විසින් පනවා ඇති ව්‍යවස්ථා කඩ කර අයුක්තියක් සිදු කළහොත් සභාවේ ලේකම් කාර්යාලයේ උසස් නිලධාරීන්ට වාර්තා කොට නිරවුල් කර ගැනීමට අවස්ථාව තිබුණි. මෙමගින් පෙනී යන්නේ විධායකයේ නිලධාරීන් විසින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය වූ විටෙක ජනතාව විෂයෙහි සාධාරණය ඉටු කිරීමට රජය විසින් කටයුතු කර ඇති බවයි.

පොදු රටවැසියාට හිමි සියලූ ම අයිතිවාසිකම් අතීතයේ ළමා පරපුරට ද හිමි වී ඇත. ඇතැම් පාලකයින් ළමා පරපුර කෙරේ විශේෂ අවධානයක් යොමු කර ඇති බවක් දක්නට ලැබේ. මුරුතව ගිරි ලිපිය මෙහි දී වැදගත් වේ. එම අභිලේඛනයේ පරමාර්ථය වහලූන් වී සිටින සියලූ ම දරුවන් එයින් මිදවිය යුතු යැයි දළණ නම් සෙම්පතිවරයෙකුගේ නියෝගය වාර්තා ගත කිරීමයි. එකී ආඥාව කි‍්‍රයාවට නංවා ඇත්තේ අබි මිහිදළ නැමැත්තෙකු විසිනි. වයස් අඩු දරුවන් මහණ නොකළ යුතු යැයි අනුරාධපුරයේ පස්වන කසුබ් රජුගේ පුවරු ලිපියෙහි දක්වා ඇත. නිදහසේ ජීවත්වීමේ අයිතිය ළමා පරපුර වෙත තහවුරු කර දී ඇති අයුරු මෙම නීති මගින් පැහැදිලි වේ.

මේ අයුරින් තොරතුරු විමර්ශනය කර බලන කල්හි අපට පැහැදිලි වන්නේ පුරාතන ශ්‍රී ලාංකේය සමාජ සංස්ථාව තුළ මිනිසාට නිදහස්ව හා ස්වාධීනව ජීවත්වීමට පාලන සංවිධානය මගින් විධිමත් පියවර රැුසක් ගෙන ඇති බවයි. රජු කේන්ද්‍ර කරගත් පාලන තන්ත‍්‍රයක් අතීතයේ දී කි‍්‍රයාත්මක වුවත් විවිධ අංශයන් ඔස්සේ පාලකයින් මහජනතාවගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කි‍්‍රයා කරන ලද බව ශිලා ලේඛන ගත තොරතුරු මගින් අනාවරණය වීම ද ඓතිහාසික වශයෙන් වැදගත් වේ.

ටී. එම්. දිල්ශානි නුවන්දිකා
ඉතිහාස අධ්‍යනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment