පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයේ සහ රාජත්වයේ ආරම්භය පිළිබඳව විමසීමේ දී සාහිත්‍ය මූලාශ‍්‍ර තුළින් පැහැදිලි සාධක ලබාගත නොහැකි බැවින් අභිලේඛන සාධක මත යැපීමට සිදු වේ. එමෙන්ම අතීත මානව සමාජයන්හී රාජ්‍යය නැමති ආයතනය බිහිවීම සහ රාජත්වය බිහිවීම වර්තමානයේ දක්වා ඇති න්‍යායන් සමඟ සස`දා අර්ථකථනය කළ නොහැකිය. එබැවින් පුරාතන ශ‍්‍රී ලාංකාවේ රාජ්‍ය සහ රාජත්වය බිහිවීමට පෙර අවධිය පිළිබඳව විමර්ශනය කිරීමේ දී රාජ්‍ය බිහිවීමට පෙර අවධියේ පැවති පාලනය සහ එහි නායකත්වය සම්බන්ධයෙන් ”රාජ්‍ය’’ (state) සහ ”රාජත්වය’’ යනුවෙන් අර්ථ නිරූපණය කළ නොහැකි බව විද්වත් මතය වී ඇත. ඊට හේතු වශයෙන් විද්වතුන් දක්වනුයේ පාලන කාර්ය සඳහා සංවිධිත වූ නිලධාරී මණ්ඩලයක සහය ලැබූ ජනතාවක් වෙසෙන නිශ්චිත භූමි භාගයක කේන්ද්‍රීය නායකත්වයක් යටතේ එක්සත් හෝ ඒකීය රාමුවක් යටතේ පවතින පාලන සංවිධානයක් මෙම අවධිය තුළ නොපැවතීමය. එබැවින් දුට්ඨගාමිණී රාජ්‍ය සමයේ එක්සත් ශ‍්‍රී ලංකාවක් බිහිවන තුරු වූ අවධිය පූර්ව රාජ්‍ය අවධිය (Pre-State) වශයෙන් හඳුන්වන අතර ක‍්‍රි. පූ. 3 වන සියවසට පෙර කාලය සම්බන්ධයෙන් සාධක විරල වන බැවින් එහි ආරම්භක සීමාව සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ලබාගත නොහැකිය. එම අවධිය පිළිබඳව විමර්ශනය කරන ලද විද්වතුන් රාජ්‍යය යන්නට පාලන ඒකකය (Chiefdom) යන නාමය සහ රාජත්වය යන්නට පාලක ප‍්‍රධානීන් (Chiefes) යන නාමයත් භාවිත කිරීම සුදුසු බවට තීරණය කොට තිබේ.
ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පූර්ව රාජ්‍ය අවධිය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයේ දී ක‍්‍රි. පූ. 2 වන සියවසට පෙර පැවති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාහිත්‍ය සහ අභිලේඛන මූලාශ‍්‍ර පාර්ශ්වයන් තුළින් දෙයාකාරයක ප‍්‍රවේශයකින් කරුණු ඉදිරිපත් කොට ඇත. ඒ අනුව දීපවංශය සහ මහාවංශය ඇතුළු වංශකථා සහිත්‍යයෙන් නිරූපිත ඉතිහාසයට අනුව ක‍්‍රි. පූ. 6 වන සියවසේ සිදු වූ විජයාගමනයේ පටන් දිවයිනේ පරිණත පාලන තන්ත‍්‍රයක් පැවති බවට හා ඉන්දියාව මූලික කරගෙන දේශපාලන නායකත්වය ඉස්මතු වූ බවට කරුණු සඳහන්ව ඇත. ඒ අනුව පෙනීයනුනේ වංශකථා තුළ ආරම්භයේ පටන් දිවයිනේ ඒකීය රාජ්‍යයක් පැවති බවට කරුණු සඳහන් කොට ඇති බවය. ඒ අනුව දිවයිනේ ජනාවාසකරණය, රාජ්‍ය සංවිධානයේ සහ රාජත්වයේ ආරම්භය උත්තර භාරතීය පිරිසක් මඟින් ඇති වූ බව දේශීය වංශකථා තුළ දක්වා ඇත. එමෙන්ම දිව්‍යාවදානය, ෆාහියන් සහ හියුං-සාන් වාර්තා වැනි විදේශීය සාහිත්‍ය මූලාශ‍්‍ර තුළ ද මීට සමාන තොරතුරු වාර්තා කොට ඇත.
නමුත් පුරාවිද්‍යාත්මක සාධක තුළින් සහ අභිලේඛනමය සාක්ෂි විමර්ශනය කොට බැලීමේ දී දිවයිනේ ඈත අතීතයේ පටන් පැවති ජනාවාස පිළිබඳ තොරතුරු මෙන්ම බෙහෙවින් විකේනන්ද්‍රීය පාලන ක‍්‍රමයක් ස්ථාපිතව පැවතී ඇති බවට කරුණු අනාවරණය කරගත හැකිය. එපමණක් නොව වංශකථාව තුළම සඳහන් ඇතැම් සිද්ධීන් ගැඹුරින් විමර්ශනය කිරීමේ දී ක‍්‍රි. පූ. 3 වන සියවසට පෙර සමයේ පටන් විකේන්ද්‍රීය පාලන රටාවක් පැවති බවට තොරතුරු හඳුනාගත හැකිය. ඒ අනුව මහා බෝධිය රෝපණය කරන අවස්ථාවට
”…කතරගම ක්ෂත‍්‍රියෝ ද, චන්දන ග‍්‍රාම වාසී වූ ක්ෂත‍්‍රියෝ ද, තිවක්ක නම් බ‍්‍රහ්මණ තෙමේ ද, ලක්දිව් වැසි ජනයෝ ද…’’ පැමිණි බව වංශකථාවේ සඳහන් වේ. මෙම විස්තරය තුළින් අනුරාධපුරය කේන්ද්‍ර කොටගෙන බලවත් මධ්‍යගත පාලනයක් පැවති බවට වංශකථාවේ සඳහන් පුවත අභියෝගයට ලක්ව ඇති බව හඳුනාගත හැකිය.
එපමණක් නොව රෝහණයේ පැවති ස්වාධීන රාජවංශයක් පිළිබඳව තොරතුරු සාහිත්‍ය මූලාශ‍්‍ර තුළින් සනාථ වේ. ඒ අනුව දේවානම්පියතිස්ස රජුගේ (ක‍්‍රි. පූ. 250-210) සොයුරෙකු වූ මාහානාග යුවරජුගෙන් ඇරඹි රෝහණ රාජවංශය පිළිබඳව තොරතුරු අනාවරණය වන අතර එහි දී ධාතුවංශය ඉතාමත් වැදගත් මූලාශ‍්‍රයක් වේ. ඒ අනුව මහානාග, යඨාලතිස්ස, ගෝඨාභය සහ කාවන්තිස්ස යන රජවරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වේ. (උපරාජා මහානාගෝ යට්ඨාලකෝ මහාබලෝ – ගෝඨාභයෝ මහාපුඤ්ඤෝ කාකවණ්ණෝ ච විරියවා) එසේම මෙම රජවරුන් යුද, විවාහ සහ මිත‍්‍ර සම්බන්ධතා තුළින් අනෙකුත් ප‍්‍රාදේශීය ඒකක යටපත් කරමින් රෝහණය එක්සත් කළ අයුරු දුටුගැමුණු පුරාවෘත්තය තුළන් ද සනාථ වේ. ඒ අනුව අනුරාධපුර රාජධානියට යටත් නොවූ රෝහණ ප‍්‍රදේශය සම්බන්ධයෙන් අනාවරණය වන තොරතුරු තුළින් ද වංශකථාවන් තුළ සඳහන් රාජ්‍යයේ හා රාජත්වයේ ප‍්‍රභවය අනුරාධපුරය කේන්ද්‍ර කොටගෙන සිදුවූවේය යන මතවාදය අභියෝගයට ලක්වේ.
එසේම දුට්ඨගාමිණී රජු (ක‍්‍රි. පූ. 161-137) විසින් එළාර රජුට විරුද්ධව අනුරාධපුරය දක්වා සටන් මෙහෙයවීමේ දී දෙතිසක් රජුන් මරා දැමීම පිළිබඳව එන සඳහන ද වැදගත් කොට සැලකිය හැකිය. එම පුවත දීපවංශය තුළ ”දෙතිසක් රජුන්’’ වශයෙන් සඳහන්ව ඇතත්, මහාවංශය තුළ ”දෙතිසක් දෙමළ රජුන්’’ වශයෙන් විශේෂීකරණය කොට රචනා කොට ඇත. ඒ අනුව වංශකථා තුළ ආරම්භයේ පටන් අනුරාධපුර කේන්ද්‍ර කොටගෙන රාජ්‍ය සහ රාජත්වයේ ආරම්භය සිදුව ඇති බවට දක්වන තොරතුරු එහිම අන්තර්ගත ඇතැම් තොරතුරු හා පරස්පර විරෝධී වන බව පෙනේ. එයට හේතු වන්නට ඇත්තේ මෙම වංශකථා දිවයින තුළ රාජ්‍ය සහ රාජත්වය නියමාකාරයෙන් ස්ථාපිත වූ කාලවකවානුවක (ක‍්‍රි.ව. 4-6 සියවස්වල) රචනා වීමය. ඒ අනුව වංශකථාකරු අතීතය පිළිබඳව වර්තමාන දෘෂ්ඨිකොණයෙන් යුතුව කරුණු රචනා කිරීම හේතුවෙන් මෙවැනි පරස්පරතා නිර්මාණය වන්නට ඇති බවට නිගමනය කළ හැකිය. ඒ අනුව පෙනීයනුයේ සාහිත්‍ය මූලාශ‍්‍රවල ඇති ඇතැම් සාවද්‍ය තොරතුරු හේතුවෙන් දිවයිනේ රාජ්‍ය සහ රාජත්වයේ ප‍්‍රභවය මෙන්ම එහි වර්ධනය පිළිබඳව පැහැදිලි නිගමනයකට පැමිණීමට නොහැකි බවය. එහෙත් ක‍්‍රි.පූ. 3 – ක‍්‍රි.ව. 1 වැනි සියවස දක්වා රචනා වූ පූර්ව බ‍්‍රාහ්මීය ශිලාලේඛනවල පැතිරීම, ඒවායෙහි දැක්වෙන රාජ පරම්පරා පිළිබඳව සහ නායකත්ව නාමයන් පිළිබඳව සාහිත්‍ය මූලාශ‍්‍ර තුළ සඳහන් නොවන කරුණු රැසක් අනාවරණය වන හෙයින් අභිලේඛන මූලාශ‍්‍රවලට වැදගත් ස්ථානයක් හිමි වේ.
එබැවින් පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සහ රාජත්වයේ ප‍්‍රභවය හා වර්ධනය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී සාහිත්‍ය මූලාශ‍්‍ර කෙරෙහි පමණක් නොව අභිලේඛන සාධක කෙරෙහි ද අවධානය යොමුකරමින් ඒ පිළිබඳව විමසා බැලීම අතිශයින් වැදගත් වේ. ඒ අනුව පී. ගොල්ඩ්ෂ්මිඩ්ට්, එඩ්වඩ් මියුලර්, එච්. සී. පී. බෙල්, ඒ. එම්. හොකාර්ට් වැනි යුරෝපීය පුරාවිද්‍යාඥයන්ගේ හා සෙනරත් පරණවිතාන, චාර්ල්ස් ගොඩකුඹුර, ඞී. එම්. ඉසෙඩ් වික‍්‍රමසිංහ වැනි දේශීය විද්වතුන් පූර්ව රාජ්‍ය අවධියේ පාලකයන් විසින් පිහිටුවන ලද අභිලේඛන කියවීමත් සමඟ රාජ්‍ය, රාජත්වයේ ප‍්‍රභවය සහ වර්ධනය පිළිබඳව වංශකථාවල සඳහන් තොරතුරුවලට වඩා වෙනස් ඉතිහාසයක් ගොඩගැනීමට සමත් වී ඇත. ඒ අනුව අභිලේඛනවල කාලනිර්ණය හා පිහිටීම මෙන්ම භාවිතා කළ විරුදනාම හා තත්ත්ව නාමවල පරිණාමය සැලකිල්ලට ගනිමින් පුරාතන ලංකාවේ පාලන නායකත්වයේ සහ පාලන ඒකකවල පැතිරීම පිළිබඳව නව අදහස් රැසක් ඉදිරිපත් කිරීමට විද්වතුන් සමත් වී ඇත.
ඉහත දැක්වූ ආකාරයට වංශකථා තුළ සඳහන් කථා පුවතට අනුව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජත්වයේ වර්ධනය සඳහා ඍජුවම ඉන්දියානු සාධකය බලාපා ඇත. නමුත් මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන (ශිලා ලේඛන 29 ක් ඇසුරෙන්), මහාචාර්ය හ`ගුරන්කෙත ධීරානන්ද හිමියන් (ශිලා ලේඛන 31 ක් ඇසුරෙන්) තිලක් හෙට්ටිආරච්චි සහ ලක්ෂ්මන් එස්. පෙරේරා වැනි විද්වතුන් විසින් පූර්ව බ‍්‍රාහ්මීය අභිලේඛන හා ඒවායෙහි පැතිරීම සැලකිල්ලට ගනිමින් රාජ්‍යයේ සහ රාජත්වයේ ප‍්‍රභවය දේශීය මූලයකට සම්බන්ධ බව සහේතුකව පෙන්වා දී ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පළාත් අනුව පූර්ව බ‍්‍රාහ්මීය අභිලේඛනවල ව්‍යාප්තිය පදනම් කරගනිමින් රාජ්‍යයේ ප‍්‍රභවය සඳහා බලපානු ලැබූ ප‍්‍රධාන සාධකයන් කිහිපයක්ම විද්වතුන් විසින් පෙන්වා දී ඇත. එහිදී ජනගහන වර්ධනය හා ජන ඝනත්වය, බුද්ධිමය හා තාක්ෂණික වශයෙන් සමාජයේ ඇති වූ වර්ධනය සහ පූර්ණ කාලීන ශිල්පීන්ගේ බිහිවීම (යකඩ, මැණික්, තඹ වැනි), ස්වභාවික සම්පත්වල පිහිටීම, සම්පත් හුවමාරුව, දේශීය සහ විදේශීය වාණිජ කටයුතුවල වර්ධනය සහ සමාජ ස්ථරගතවීම යන සාධකයන් රාජ්‍යයේ ප‍්‍රභවය සඳහා බලපා ඇති බවට ඉතිහාසඥයන් විසින් මතවාද ඉදිරිපත් කොට ඇත. මේ සඳහා ඔවුන් මූලික වශයෙන් උපයෝගී කොටගෙන ඇත්තේ අභිලේඛන මූලාශ‍්‍ර වන අතර පූර්ව රාජ්‍ය අවධියේ පැවති පාලන ඒකක රැසක් පිළිබඳව කරුණු ඒ තුළින් අනාවරණය වී ඇත.
ඒ අනුව ජනගහන වර්ධනය හා ජන ඝනත්වය යන සාධකය රාජ්‍යය හා රාජත්වයේ වර්ධනය සඳහා බලපෑ ප‍්‍රධාන සාධකයක් වශයෙන් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත. එහිදී ජනගහනය වර්ධනය වීමත් සමඟ වාරි කටයුතුවල සිදු වූ වර්ධනය, සමාජීය හා ආර්ථික වශයෙන් ඇති වන වෙනස් වීම වැනි හේතූන්ගේ බලපෑම ද පාලන ඒකක සහ පාලන නායකත්වයේ ප‍්‍රභවයට බලපා ඇති බව ඔහුගේ අවධානයට පාත‍්‍ර වී ඇත. ඒ අනුව ක‍්‍රි.පූ. 3-1 වැනි සියවස්වලට අයත් පූර්ව බ‍්‍රාහ්මීය ශිලාලේඛනවල ව්‍යාප්තිය පදනම් කරගෙන එම අවධියේ ලංකාවේ ජනගහන ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතවාදයන් ඉදිරිපත් කොට ඇත. එහිදී උතුර, නැගෙනහිර, දකුණ සහ වයඹ යන පළාත්වල වැඩි ජන ගහනයක් විසූ බව පැහැදිලි වේ. ඒ අනුව පැරණි පූර්ව බ‍්‍රාහ්මීය අභිලේඛන ඇසුරෙන් පෙනීයනුයේ දිවයිනේ ජනගහන වර්ධනයත් සමඟ සිදු වූ ජනඝනත්වය හේතුවෙන් ජනයා ක‍්‍රමයෙන් ස්වභාවික සම්පත් ඇති ප‍්‍රදේශ කරා පැමිණෙන්නට ඇති බවය. ඒ අනුව දිවයිනේ පාලන ඒකකයන්ගේ සහ පාලන නායකත්වයේ ප‍්‍රභවය සඳහා ජනගහන වර්ධනය හා ජන ඝනත්වය ප‍්‍රධාන වශයෙන් හේතු වූ සාධකයක් වශයෙන් බොහෝ විද්වත් මතය වී ඇත.
එසේම පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයේ හා රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳව සාකච්ඡුා කිරීමේ දී ස්වභාවික සම්පත්වල පිහිටීම සහ සම්පත් හුවමාරුව යන සාධක ද්විත්වයේ ද බලපෑමක් සිදුව ඇති බවට හඳුනාගත හැකිය. මේ පිළිබඳව අදහස් දක්වා ඇති මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කරනුයේ දිවයිනේ පැරුණිතම අභිලේඛනවල පැතිරීමත් දිවයිනේ මුතු, මැණික්, යකඩ හා අනෙකුත් භූගත සම්පත්වල පිහිටීමත් අතර සම්බන්ධතාවයක් පවතින බවය. එබැවින් දිවයිනේ පාලන ඒකකවල ව්‍යාප්තිය සහ ස්වභාවික සම්පත්වල පිහිටීම සලකා බැලූ විට ඒවා අතර යම්කිසි සබඳතාවයක් පවතින බව මනාව නිරූපණය වන කරුණකි. ඒ අනුව පාලන ඒකක රැසක් යකඩ ලැබෙන කලාප ආසන්නයේ පිහිටීමෙන් ඒ බව වඩාත් ගම්‍ය වේ. උදාහරණ වශයෙන් නුවරකන්ද, තිත්තවෙල, රණගිරිමඩ, කිරිමකුල්ගොල්ල, බෝවත්තේගල, ගොණවත්ත, බඹරගල, ඇඹුල්අඹේ, පිදුරංගල, පෙරියන්පුළියන්කුලම, කුසලාන්කන්ද, කල්ලූඩුපොතාන, මොට්ටයකල්ලූ සහ නාච්චියර්මලේ යන පාලන ඒකක පෙන්වාදිය හැකිය. ඒ අනුව මිනිසුන් ස්වභාවික සම්පත් ඇති ප‍්‍රදේශවලට සංකේන්ද්‍රගත වීමත්, සම්පත් හුවමාරුවත් ඒ ඒ ප‍්‍රදේශවල පාලන ඒකක සහ පාලන නායකත්වය ඇති වීමට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇති බව හඳුනාගත හැකිය.
එමෙන්ම ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය හා රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳව සාකච්ඡාකරන විට විද්වතුන්ගේ අවධානය යොමු වැදගත් ක්ෂේත‍්‍රයක් වශයෙන් බුද්ධිමය හා තාක්ෂණික වශයෙන් සමාජයේ ඇති වූ වර්ධනය සහ පූර්ණ කාලීන ශිල්පීන්ගේ බිහිවීම යන්න පෙන්වා දිය හැකිය. ඒ අනුව දිවයිනේ මානවයා පූර්ව හා ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දී තාක්ෂණික වශයෙන් ප‍්‍රගමණයක් ලබා සිටි බව පුරාවිද්‍යාත්මක සාධක අනුව තහවුරු වේ. ඉන් අනතුරුව පූර්ව බ‍්‍රාහ්මීය ශිලාලේඛන තුළින් ‘අචරිය’, ‘අචිරිය’, ‘අජරිය’ වැනි පදයන් දැකිය හැකි බැවින් විවිධ ක්ෂේත‍්‍රයනට සම්බන්ධව අධ්‍යයන කටයුතුවල නියළී සිටි ආචාර්යවරු පිළිබඳව තොරතුරු හමු වී ඇත. උදාහරණ වශයෙන් ‘හතිඅචරිය’ යනුවෙන් ඇතුන් පුහුණු කිරීමේ කාර්යයෙහි නියත සහ ‘අසජිරිය’ යනුවෙන් අශ්වයන් පුහුණු කිරීමේ කාර්යයේ නියතු පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය වීම පෙන්වාදිය හැකිය. එසේම මෙම පැරණි අභිලේඛන තුළින් බ‍්‍රාහ්මණයන්, වෛද්‍යවරුන්, වොහාර (නීතිමය කටයුතු සිදුකළ) වැනි පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය වීම දැකගත හැකිය. එමෙන්ම මැණික් (මණිකර), යකඩ (කබර), තඹ (තබකර), කුඹල් (කුබකර) සහ පේෂ (පෙහෙකාර) යන කර්මාන්තයන්හී යෙදුණු පිරිස් පිළිබඳව ද පූර්ව බ‍්‍රාහ්මීය ශිලාලේඛන තුළින් අනාවරණය වී ඇත. එපමණක් නොව ඇත්දත් කැටයම් (දටිකසුමණ), දැවමය නිර්මාණ (වඩක ශෝණ), කාසි නිෂ්පාදනය (ගපති රුපදකතිස) සහ ප‍්‍රතිමා ශිල්පය (රුපවාපර හමික) යන අංශ ද පැරණි අභිලේඛනවල සඳහන්වන බවට පරණවිතාන මහතා ඇතුළු බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත.
එසේම දිවයිනේ විධිමත් පාලන සංවිධානයක ආරම්භය සඳහා බලපානු ලැබූ තවත් ප‍්‍රබල සාධකයක් වශයෙන් වාණිජ කටයුතු සහ වාණිජ සම්බන්ධතාවල වර්ධනය පෙන්වාදිය හැකිය. ඒ අනුව මෙම ක‍්‍රියාවලිය භාණ්ඩ මිල දී ගැනීම, හුවමාරුව, විකිණීම සහ පරිභෝජනය මත පදනම් වූවක් බවට හඳුනාගත හැකිය. මෙය දේශීය වෙළඳාම (Local trade) සහ දුරස්ථ වෙළෙ`දාම (Long-distance trade) වශයෙන් පැවති මෙම ක‍්‍රියාවලිය පුරාතන රාජ්‍යයන් ගණනාවකම ආරම්භයට ප‍්‍රබල වශයෙන් හේතු වූ බව හඳුනාගෙන ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයේ සහ රාජත්වයේ ආරම්භය පිළිබඳව අධ්‍යයනයේදී ද මෙම සාධකය ප‍්‍රබල වශයෙන් හේතු වී ඇති අතර ඒ බව ක‍්‍රි.පූ. 3 වන සියවසට පෙර හා පසු කාලයට අයත් කළ හැකි පුරාවිද්‍යාත්මක සාධක තුළින් හා ක‍්‍රි.පූ. 3 වන සියවසින් පසුව හමුවන පූර්ව බ‍්‍රාහ්මීය ශිලාලේඛන තුළන් ද මනාව ගම්‍ය වේ. එහිදී වෙළෙන්ඳන් විසින් පිහිටුවා ඇති ශිලාලේඛන, එම අභිලේඛනවල ව්‍යාප්තිය සහ එම පිරිස් සමාජයේ හිමිකරගෙන තිබූ තත්ත්වය යන සාධකයන් බෙහෙවින් වැදගත් වේ. ඒ අනුව ක‍්‍රි. පූ. 03 වැනි සියවසට පමණ අයත් ශ‍්‍රී ලංකාවේ මුල්ම ශිලාලේඛන තුළ සඳහන් ‘දමෙඩ වනිඣ’ යන පදය මෙන්ම ක‍්‍රි. පූ. 03 වන සියවසේ සිට ලැබෙන බ‍්‍රාහ්මීය ශිලා ලේඛනවල සඳහන්, ‘වණිඣ’, ‘වාණිඣන’, ‘වනිච’, ‘වණිච’, ‘වාපර’, ‘වාබර’, ‘පුගි’ හා ‘පුගියන’ යන පදවලින් වෙළෙ`දාමෙහි නිරත වූ පිරිස් හා වෙළෙඳ ශ්‍රේණි පිළිබඳව කරුණු අනාවරණය වන බව ඉතිහාසඥයන්ගේ මතය වී ඇත. ඒ අනුව දේශීයව ඇති වන සමාජ නායකත්වය වාණිජ කටයුතු මෙහෙයවීම් ආදී කාර්යන් සඳහා ජනයා යොමුවීම මත රාජත්වයේ හා රාජ්‍යයේ ආරම්භයට අවශ්‍ය මූලික පසුබිම සකස් වූ ආකාරයක් හඳුනාගත හැකිය.
එසේම පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයේ සහ රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳව කරුණු සාකච්ඡුා කිරීමේ දී සාහිත්‍ය මූලාශ‍්‍රවලට අනුව විජය රාජ්‍ය සමයේ පටන් මෙරට රාජත්වය නිශ්චිත වශයෙන් ආරම්භ වූ බවට කරුණු අඩංගු වේ. එසේම දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දී අශෝක අධිරජු සමඟ පැවැත් වූ සබඳතා මත මෞර්ය අභිෂේකය ලැබීමත් සමඟ පාලන නායකත්වයේ එක් වර්ධනීය අවස්ථාවක් සනිටුවහන් වූ බවක් තහවුරු වේ. මෙලෙස වංශකථා සාහිත්‍ය තුළ රාජ්‍යයේ සහ රාජත්වයේ ආරම්භය ඉන්දියානු ආභාසය මත ඇති වූවක්ය යන්න නිරූපණය කිරීමට උත්සහ ගත්ත ද ලැබී ඇති අභිලේඛන සාධක අනුව ඊට බෙහෙවින් වෙනස් මතවාදයක්
ගොඩනැඟිය හැකිය. ඒ අනුව පූර්ව බ‍්‍රාහ්මීය අභිලේඛනවල පවතින ”පරුමක’’, ”ගමණි/ගමිණි’’ සහ ”අභය’’ හෙවත් ”අපය’’ යන පාඨ තුළින් ශ‍්‍රී ලංකාවේ රාජත්වය දේශීය මූලයකට සම්බන්ධ කිරීමට බොහෝ විද්වතුන් සාක්ෂි ඉදිරිපත් කොට ඇත. එසේම ඉහත කී නාමවලට අමතරව ”ගපති’’, ”බත’’ සහ ”ගමික’’ යන නාමයන් තුළින් ද යම්කිසි නායකත්වයක් අදහස් වන බවට බොහෝ ඉතිහාසඥයන් කරුණු පැහැදිලි කොට ඇත. එසේම තිලක් හෙට්ටිආරච්චි වැනි විද්වතුන්
”ගමණි’’ සහ ”අභය’’ යන නාම තුළින් යුද නායකත්වයක් ඉස්මතු වන බවට පෙන්වා දෙන අතර පුරාතන ලංකාවේ රාජත්වයේ ආරම්භය යුද නායකත්වයක් මුල් වී සිදු වූ බව ඔවුන්ගේ මතය වේ. ඒ අනුව පෙනීයනුයේ දිවයිනේ රාජ්‍යයේ සහ රාජත්වයේ ප‍්‍රභවය සඳහා සමාජ ස්තරගතවීම, දේශීය නායකත්වයේ වර්ධනය සහ යුදමය ක‍්‍රියාදාමය හේතු වී ඇති ආකාරයකි.
ඒ අනුව පුරාතන ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සහ රාජත්වයේ ප‍්‍රභවය පිළිබඳව සාකච්ඡුා කිරීමේ දී දුට්ඨගාමිණී රාජ්‍ය සමය තෙක් එක් පාලකයකු යටතේ පාලනය වූ මධ්‍යගත පාලන ක‍්‍රමයක් ආරම්භයේ සිටම නොපැවති බව ලැබී ඇති අභිලේඛන සාධක අනුව පැහැදිලිව පෙනීයයි. ඒ අනුව සාහිත්‍ය මූලාශ‍්‍රවලින් හෙළිවන කරුණුවලට වඩා අභිලේඛන සාධකවලින් රාජ්‍යයේ හා රාජත්වයේ ප‍්‍රභවය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කරගත හැකිය. මෙලෙස ක‍්‍රි.පූ. දෙවන සියවස දක්වා මෙම පාලන ඒකක විකේනද්‍රීය ස්වභාවයෙන් පැවත ඇති අතර දුට්ඨගාමිණී රජුගේ නායකත්වයෙන් අනුරාධපුරය මුල් කොටගෙන එක්සත් රාජ්‍යය සංවිධානයක් බිහිවීම සිදු වී ඇත. ඒත් සමඟ පැවති පාලන ඒකකවල බලය දුර්වල වී යාම සිදු වූවා මෙන්ම ඇතැම් පාලන ඒකක එක්සත් පාලන සංවිධානයට අනුබද්ධ වන්නට ඇති බවට නිගමනය කළ හැකිය.
ප‍්‍රභාත් වික‍්‍රමරත්න
ඉතිහාසය අධ්‍යයන අංශය,
ශාස්ත‍්‍ර පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය