පුරාතන ශ‍්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආර්ථික සබඳතාවන්හී ස්වරූපය

768

ඉන්දීය උපමහද්වීපය සමුද්‍රයෙන් තුන් පෙදෙසකින් වට වී ඇති අර්ධද්වීපයක් වන බැවින් සාමුද්‍රික වෙළෙඳාම සඳහා වූ මූලික පසුබිම නිර්මාණය වී පැවතිණි. එහෙත් සුප‍්‍රකට ඉන්දීය ඉතිහාසඥයකු වූ නීලකණ්ඨ ශාස්ත‍්‍රී මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ වර්ග සැතපුම් 3000 ක පමණ විශාල මුහුදු තීරයක් පැවතිය ද වාණිජ කටයුතු සඳහා උචිත වරායන් පිහිටා ඇත්තේ ස්වල්ප වශයෙන් බවය. ඒ අනුව ඉන්දීය උපමහද්වීපයේ පිහිටි වරායන් අතුරෙන් දක්ෂිණ භාරතීය වරායන් වන කාවේරිපට්ටනම්, නාගපට්ටනම්, කල්‍යාණී, අරිකමේදු වැනි වරායන් සඳහා වැඩි වැදගත්කමක් හිමි වේ. ඒ අනුව දකුණු ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර පැවති වාණිජ සබඳතා පිළිබඳව විමසීමේ දී මෙම වරායන්ගේ පිහිටීම හා සාමුද්‍රික කලාපයේ වැදගත්කම මනාව පිළිබිඹු වේ. එහිදී ක‍්‍රි.පු. යුගයේ සිටම දක්ෂිණ භාරතය හා ශ‍්‍රී ලංකාව අතර පැවති වාණිජ සබඳතා පිළිබඳව තොරතුරු අනාවරණය කරගත හැකිය.

ඒ අනුව ශ‍්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ නාවික මාර්ග ආසන්නයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටා තිබීම නිසාත්, ස්වභාවික වරායන් කිහිපයක්ම තිබූ නිසාත් ඈත අතීතයේ සිටම සාමුද්‍රික වෙළෙඳාමෙහි භාණ්ඩ ආනයනය, අපනයනය කරනු ලබන වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. ඒ අනුව ඉතා ඈත අතීතයේ සිට දක්ෂිණ භාරතය හා ශ‍්‍රී ලංකාව අතර වූ ආර්ථික හා සංස්කෘතික සබඳතාවයන් පිළිබඳව තොරතුරු හෙළි වේ. දිවයිනේ ශිෂ්ටාචාරයේ ප‍්‍රාරම්භක අවධියේ පටන් ශ‍්‍රී ලංකාව ජනාවාස කිරීමෙහිලා ඉන්දියානු වෙළෙන්දන් විසින් විශාල කාර්යභාරයක් ඉටුකොට ඇති බව ඇතැම් සාහිත්‍ය ග‍්‍රන්ථවලට අනුව පැහැදිලි වේ. (දිව්‍යාවදානය වැනි) ඒසේම විජයාගමනයෙන් පසුව ඔහුගේ බිසෝවරු කණ්ඩායම දකුණු ඉන්දියාවේ සිට මහාතිත්ථයට ගොඩබට බවට ද තොරතුරු සඳහන් වේ. එසේම ක‍්‍රි.පූ. 03 සියවසේ දී සිදු වූ මහින්දාගමනය හා සම්බන්ධ දූත පිරිස දක්ෂිණ භාරතයේ කාවේරිපට්ටනම් වරායෙන් නැව් නැගි බව හියුං-සියෑංගේ බ‍්‍රමණ වෘත්තාන්තය වැනි ග‍්‍රන්ථයන්හී සඳහන් වේ. ඒ අනුව බොහෝ විද්වතුන්ගේ මතය වනුයේ දෙරට අතර ඇති වූ සංස්කෘතික සබඳතා සඳහා නිසැක වශයෙන්ම වාණිජ සබඳතා හේතු සාධක වන්නට ඇති බවය.

පුරාතන ශ‍්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආර්ථික සබඳතාවන්හී ස්වරූපය

දක්ෂිණ භාරතය හා අන්‍ය රටවල් සමග වාණිජ සබඳතා පැවැත්වීම පහසු කරලීම සඳහා ශ‍්‍රී ලංකාව සතු නොගැඹුරු මුහුදු තීරය, කඩතොළු සහිත වෙරළ තීරය හා වරාය පද්ධතිය බෙහෙවින් ඉවහල් වූ බව පෙනීයයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පැවති ප‍්‍රධාන වරායන් ලෙස මහාතිත්ථ, දඹකොළපටුන, ගෝකණ්ණ, මාගම වැනි වරායන් පෙන්වාදිය හැකිය. ඒ අනුව ක‍්‍රි.ව. 1 වන ශතවර්ෂයේ දී හිප්පලූස් විසින් මෝසම් සුළං සොයා ගැනීමත් සමග ලෝකයේ රට රටවල් අතර වෙළෙඳාම ශීඝ‍්‍රයෙන් වර්ධනය වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස දක්ෂිණ භාරතය ද බටහිර ලෝකය හා පෙරදිග අන්‍ය රටවල් කෙරෙහි වඩාත් විවෘත විය. එමනිසා දක්ෂිණ භාරතය ආශ‍්‍රිතව සිදු වූ ශීඝ‍්‍ර වාණිජමය දියුණුව හේතුවෙන් ක‍්‍රි.ව. 1 වන සියවසේ පමණ සිට ක‍්‍රි. ව. 04 පමණ දක්වා කාලය තුළ දී ඉන්දියාවේ පොන්ඩිචෙරි අසල රෝම වාණිජ මධ්‍යස්ථානයක් පැවති බවට පුරාවිද්‍යාත්මකව ද ගම්‍ය වී ඇත. එහිදී රෝම අධිරාජ්‍යයේ ප‍්‍රභූවරුන් ඇතුන්, මුතු මැණික්, සේද රෙදි, මැටි භාණ්ඩ හා කුළුබඩුවලට සුවිශේෂී උනන්දුවක් දක්වා ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදන දකුණු ඉන්දියාව හරහා රෝම අධිරාජ්‍යයට අපනයනය කළ බවට සාධක හමු වේ. ඒ අනුව දකුණු ඉන්දියානු අතරමැදි වෙළෙඳුන් මාර්ගයෙන් රෝම කාසි හා අනෙකුත් ද්‍රව්‍ය ලංකාවට ගෙන එන ලද බවට ද තොරතුරු හමු වේ.

මෙලෙස ඉන්දියානු වෙළෙන්දන් මෙන්ම ශ‍්‍රී ලාංකේය වෙළෙන්දන් ද දිවයිනෙන් බාහිර එනම් විදේශීය වෙළෙඳාමට යොමු වූ බවට ඉතා වැදගත් සාධකයන් දක්ෂිණ භාරතය තුළින්ම හමුවීම සුවිශේෂී කරුණකි. ඒ අනූව දකුණු ඉන්දියාවේ ‘‘අසිතපත්ති’’ නම් ස්ථානයේ පදිංචි වී සිටි ශ‍්‍රී ලාංකේය වෙළෙන්දන් ඉන්දියානු සාගරයෙහි නාවික කටයුතුවල නිරත වූ බව ප්ලීනි වැනි රෝම ලේඛකයන් සඳහන් කොට ඇත. මෙලෙස සාධක හමු වුවද ශ‍්‍රී ලංකාවත් රෝමයත් අතර ඍජු වාණිජ සබඳතා ඇති වූ බවක් දක්නට නොලැබෙනුයේ දකුණු ඉන්දීය වෙළෙඳ පිරිස් එබන්දක් ඇති වීම වැළැක්වීමට කටයුතු කරන ලද බවට අනුමාන කළ හැකි සාධක ලැබීමය. ඒ බව ග‍්‍රීක රචකයන් කිහිප දෙනකුම සිය කෘතිවල දී දක්වා ඇති කරුණු අනුව පැහැදිලි වේ. එනම් ශ‍්‍රී ලංකාව අවට මුහුදු කලාපය අවදානම් සහිත බවත්, ශ‍්‍රී ලංකාව යක්ෂයන් හා රාක්ෂයන් ගැවසීගත් දිවයිනක් ලෙසත් කරුණු සඳහන් කොට තිබීමය. ඒවා ඉන්දියානු වෙළෙන්දන් ගොතන ලද ප‍්‍රභන්ද කථා බවට බොහෝ ඉතිහාසඥයන්ගේ මතය වී ඇත. නමුත් ඉන්දියාව හරහා රෝමය සමග කළ ගනුදෙනු ක‍්‍රි.ව. 04 වන ශතවර්ෂයෙන් පමණ පසු අඩපණ වී ගොස් ඇති බව පෙනීයයි. ඊට හේතු වී ඇතතේ ක‍්‍රි.ව. 04 වන සියවසින් පමණ පසු රෝම අධිරාජ්‍යය බිඳ වැටීමට ලක් වීමයි. ඉන් පසුව බටහිර වෙළෙඳපොළට ක‍්‍රි.ව. 04 වන සියවස – ක‍්‍රි.ව. 07 වන සියවස පමණ දක්වා වාණිජ ද්‍රව්‍ය ගෙනයාමේ දී අතරමැදියන් ලෙස කටයුතු කොට ඇත්තේ පර්සියන්වරුන් හා ඉතියෝපියානුවන් බව සඳහන් වේ. මෙම කාලය තුළ මධ්‍ය ආසියාවේ පැවති ගැටුම්කාරී දේශපාලන වාතාවරණය හේතුවෙන් පර්සියානුවන්ට ගොඩබිම් සේද මාර්ගය ඔස්සේ වෙළෙඳාම් කිරීම අපහසු වූ බැවින් මුහුදු මාර්ගයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලැබීය. මෙම පසුබිම මත ක‍්‍රි.ව. 05 – 07 වැනි සියවස්වල සමස්ත ඉන්දියානු ප‍්‍රදේශයෙහිම සාගරික වෙළෙඳාමෙහි ශීඝ‍්‍ර වර්ධනයක් ඇති විය.

ඒ හේතුවෙන් එම කාල පරිච්ෙඡ්දයේ දී එනම් ක‍්‍රි.ව. 04 වන ශතවර්ෂයෙන් පමණ පසු දකුණු ඉන්දියානු හා ශ‍්‍රී ලාංකේය වරායන් පෙර කලට වඩා සාමුද්‍රික වෙළෙඳාමෙහි නියලූණු බවට අනුමාන කළ හැකිය. මෙකළ ශ‍්‍රී ලංකාවට පර්සියානු, ඉතියෝපියානු, චීන හා ඉන්දියානු යන රටවල වෙළෙන්දන් වැඩි වශයෙන් පැමිණෙන්නට ඇති බවට ද විශ්වාස කළ හැකිය. එයිනුත් ශ‍්‍රී ලාංකාවට ආසන්නයෙන්ම පිහිටි දකුණු ඉන්දියාව සමග වඩාත්ම වණිජ සබඳතා ගෙනයන්නට ඇති බවට විශ්වාස කිරීම වඩාත් සාධාරණය. ඒ අනුව ඊජිප්තියානු පූජකයකු වූ කොස්මස් ක‍්‍රි.ව. 06 වන ශතවර්ෂයේ දී ලියන ලද ‘‘ටොපොග‍්‍රෆියා ක‍්‍රිස්ටියානා’’ නම් කෘතියෙහි ශ‍්‍රී ලංකාවේ වරායන්ට පර්සියාව, ඉතියෝපියාව, ඉන්දියාව වැනි රටවලින් නිතර නිතර නෞකා පැමිණි බව සඳහන් කරයි. එසේම මෙකළ ඉන්දියානු සාගරීය වෙළෙඳාමෙහි ඉතාමත්ම වැදගත් ස්ථානයක් ශ‍්‍රී ලංකාව හිමි කරගෙන සිටි බව ද ඔහු සඳහන් කර ඇත. ඒ අනුව අන්තර්ජාතික වෙළෙඳාමේ දී සංචරණය වූයේ ප‍්‍රභූ පැලැන්තියට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ වන අතර බොහෝ විට මේවා ශ‍්‍රී ලංකාව ඍජුව මෙන්ම දකුණු ඉන්දීය අතරමැදි වෙළෙඳුන් හරහා ද අපනයනය කරන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. ඒවා අතර ඇත් දත්, අලි ඇතුන්, මුතු මැණික් හා කැස්බෑ කටුවලට වඩා වැදගත් කමක් හිමි වී ඇත.

පුරාතන ශ‍්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආර්ථික සබඳතාවන්හී ස්වරූපය

මෙසේ ආනයන හා අපනයන ක‍්‍රියාවලිය සිදුකිරීම පිළිබඳව තොරතුරු විමසීමේ දී ශ‍්‍රී ලංකාව තුළ මෙන්ම දක්ෂිණ භාරතය තුළ ද වෙළෙඳ ද්‍රව්‍ය වරාය නගර කරා රැුගෙන ඒම හා එම නගරවල භාණ්ඩ රට තුළට රැගෙන ඒමට දියුණු අභ්‍යන්තර වෙළෙඳාමක් මෙන්ම ප‍්‍රවාහන ජාලයක් ද පැවති බවට සාහිත්‍යමය හා පුරාවිද්‍යා මූලාශ‍්‍ර මගින් තොරතුරු හෙළි වේ. එසේම දකුණු ඉන්දීය දෙමළ සෙල්ලිපිවල නිතර යෙදෙන ‘‘ කඩිගයි – තවළම් ’’ යන වදනින් සංචාරක වෙළෙඳ හෝ වෙළෙඳපොළවල් හැ`ගවෙන බවට අදහස් කරනු ලබයි. මෙලෙස විදේශීය වෙළෙඳාම දියුණු වීමත් සමග අගනුවර හා වරාය නගරවලට අමතරව ජනාකීර්ණ ප‍්‍රදේශවල ද වෙළෙඳ නගර බිහි වූ බවට සාධක පවතී. එමනිසා වෙළෙඳ ශ්‍රේණි පිළිබඳ තොරතුරු රාශියක් ශ‍්‍රී ලංකාව හා දකුණු ඉන්දියානු ආර්ථික ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී හඳුනාගැනීමට හැකිය.

ඒ අනුව ශ‍්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති වාණිජ සබඳතා පිළිබඳව විමසීමේ දී බොහෝ වෙළෙඳ නගර අතුරින් ශ‍්‍රී ලංකාවේ උතුරු මැද තැනිතලාවේ නැගෙනහිර කොටසේ පිහිටි පදවිය හා වාහල්කඩ යන වෙළෙ‘ද නගර දෙක පිළිබඳව සුවිශේෂී තොරතුරු ලැබී ඇත. මෙම නගර 11, 12 හෝ 13 වැනි සියවස්වල දී වත් දියුණු වෙළෙඳ නගර ලෙස පවතින්නට ඇති බවට විශ්වාස කරනු ලබයි. මෙහිදී වැදගත් වනුයේ පදවිය නගරය ආශ‍්‍රිතව විශාල ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතින බෞද්ධ හා හින්දු ආගමික ආයතනවල පුරාවිද්‍යා නශ්ටාවශේෂයන්ය. එමගින් මෙම නගර ආශ‍්‍රිතව සිංහල හා හින්දු ජන සම්මිශ‍්‍රණයකින් ජනයා වාසය කළ බවක් දැකිය හැකිය. එබැවින් මෙම ප‍්‍රදේශ ආශ‍්‍රිතව දකුණු ඉන්දියානු මෙන්ම ශ‍්‍රී ලංකේය වෙළෙඳුන් ඉතා ප‍්‍රබල වෙළෙඳාමක් සිදුකරන්නට ඇති බවට විශ්වාස කළ හැකිය.

මෙය වඩාත් තහවුරු වනුයේ චෙට්ටීන්, නානාදේශීන් හා අයින්නුර්වර් වැනි දකුණු ඉන්දීය වාණිජ ප‍්‍රජාවන් ගැන සඳහන් කරන පදවිය දෙමළ ශිලාලේඛනය ඇසුරෙන් ලැබෙන තොරතුරු මගිනි. එමගින් පෙනීයන්නේ වෙළෙඳ පොළවල් හා වෙළෙඳසල්වලින් සැදුම් ලත් පදවිය නගරයේ (නරකම්) වෙළෙඳාමෙහි දී මෙම වාණිජ ප‍්‍රජාවන් වැදගත් කාර්යභාරයක් ඉටුකළ ඇති බවය. ඊට අමතරව චෝළ යුගයේ දී මුළු ලක්දිව පුරාම වාණිජ ද්‍රව්‍ය වෙළෙඳාම සිදු වූ බව හා වාණිජ ප‍්‍රජාවන් වෙළෙඳාමේ නිරත වූ බව ඇතැම් ඉතිහාසඥයන් පෙන්වා දෙන අතර මාතලේ ප‍්‍රදේශයට පවා මෙම වාණිජ කටයුතු ඉතා තදින් පැතිර ගිය බවට ‘‘ වලංජියාර් ’’ නම් වෙළෙඳ ශ්‍රේණිය පිළිබඳව සඳහන් තොරතුරු තුළින් පිළිබිඹු වේ. එසේම හොරොව්පතානට නුදුරු වාහල්කඩ නම් වාණිජ නගරය ආශ‍්‍රිතව ද 11 සහ 12 වැනි සියවස්වල දී ඉන්දීය වාණිජ ප‍්‍රජාවන් ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කළ බවට සාධක හමුවේ. එහිදී නානාදේශීන් හා වලංජියාර්වරුන් පිළිබඳව එම ප‍්‍රදේශයෙන් ලැබුණු දෙමළ සෙල්ලිපිවල සඳහන් වන අතරම මේවායින් එකම නගරයේ කණ්ඩායම් ගණනාවක එකතුවක් ගැන සඳහන් වේ. මෙලෙස දකුණු ඉන්දීය වෙළෙඳ ප‍්‍රජාවන් ශ‍්‍රී ලංකාව තුළ වෙළෙඳ ශ්‍රේණි වශයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රාශියක් හමු වී ඇත.

එමෙන්ම චෝළ ආක‍්‍රමණයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ අගනගරය වූයේ පොළොන්නරු නගරයයි. එය 12 වන සියවසේ අගවන විට වඩාත් දියුණු තත්ත්වයේ පැවති අතර ස්වභාවිකවම වාණිජ ක‍්‍රියාකාරීත්වයේ කේන්ද්‍රය බවට පත් විය. එබැවින් විදේශීය සුඛෝපභෝගී ද්‍රව්‍ය හා විදේශීය වෙළඳ පිරිස් ආකාර්ෂණය කරගත් වාණිජ මධ්‍යස්ථානයක් ලෙස පොළොන්නරුව වැදගත් විය. ඒ අනුව වෙළඳාමේ ඇති වටිනාකම එනම් වාණිජ වශයෙන් ලාභ ලැබීම පිළිබඳව අවධානය යොමු කළ පළමු වන පරාක‍්‍රමබාහු රජු දක්ෂිණ භාරතය සමග ගැටීම් ඇති වීමට හේතු වූයේ ආර්ථික වශයෙන් දෙරට අතර ඇති වූ ඝට්ටනයන් බව පෙනීයයි. එසේම චෝළ සමුද්‍රීක අධිරාජ්‍ය නිර්මාණය සඳහා ප‍්‍රධාන අරමුණ වී ඇත්තේ ද ප‍්‍රාදේශීය ආධිපත්‍ය තුළින් ඉන්දියානු සාගරයේ වෙළෙඳ ඒකාධීකාරිය ලබා ගැනීම බව පැහැදිලිය. මොවුන් ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය සඳහා හේතු වී ඇත්තේ ද ආර්ථික ලාභ ලබා ගැනීම බව පෙනීයයි. ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය පිළිබඳව අදහසක් මහාවංශයේ සඳහන් පහත පාඨය තුළින් ලබාගත හැකිය.

”(ඒ සොළිහු) තුන් නිකාහි දාගැබ් ද මුළු ලක්දිව් තෙලෙහි මාහැඟි නොයෙක් ස්වර්ණා දී පිළිබිඹු ද එසේම ඒ ඒ වෙහෙර සියල්ල ද ලාහෙළා බිඳගෙන ඕජස් උරණ යකුන් සෙයින් ලක්දිව්හි සාරය ගත්හ. ඒ සොළිහු පොළොන්නරුව ඇසුරු කෙළෝ රක්පාන්කට නම් තැන හිමි කොට රජ අනුභව කළහ.’’ (මහාවංශය සිංහල, 55 පරි, ගාථා 20-22)

යනුවෙනි. ඒ අනුව පැහැදිලි වන්නේ චෝළයන්ගේ මූලික අරමුණ වී ඇත්තේ ධනය ඉපැයීම බවයි. එබැවින් ඔහුගේ වෙළෙඳ ඒකාධිකාරිය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් භූමි භාගයක් වූ ශ‍්‍රී ලංකාව කෙසේ හෝ තම ආධිපත්‍ය යටතේ පවත්වා ගැනීමට චෝළයන් උත්සහ දැරූ බවක් දැකිය හැකිය.

එහෙත් උක්ත සඳහන් මහාවංස පාඨය තුළින් චෝළයන් වෙහෙර විහාර දාගැබ් කඩා බිඳ දමා වස්තුව කොල්ල කෑ බව ප‍්‍රනාශ කළ ද එය තරමක් අතිශයෝක්තියට නැඹුරු කරුණක් බව පෙනීයනුයේ පළමු වන රාජේන්ද්‍ර රජුගේ රාජ්‍ය සමයට අයත් ශිලා ලිපියකින් සිංහලයන් වෙල්ගම් වෙහෙර නමින් හැ`දින් වූ බෞද්ධ විහාරයකට ද්‍රවිඩයන් විසින් දුන් දීමනාවක් පිළිබඳව සඳහන්ව තිබීම හේතුවෙනි. මෙම විහාරය පළමු වන රාජරාජ රජුගේ නමින් රාජ රාජප්පෙරුම් පල්ලි යනුවෙන් නම් කළ බව ද සඳහන්වේ. එමගින් පෙනෙනුයේ චෝළයන් බෞද්ධාගමට ද අනුග‍්‍රහය දැක්වූ බවය. එසේම චෝළයන් ශ‍්‍රී ලංකාව යටත්

කොටගැනීම කොතරම් වැදගත් කොට සැලකුවේ ද යත් එම ජයග‍්‍රහණය නිමිත්තෙන් බෘහදීෂ්වර නමින් කෝවිලක් පවා ඉදිකොට ඇත. එහි ඇති පළමු වන රාජේන්ද්‍රගේ සුවිශාල ශිලා ලේඛනයකින් ඒ බව තහවුරු වේ. ඒ අනුව චෝළයන්ට ශ‍්‍රී ලංකාව කොතරම් වැදගත් වුවා ද යන්න ඉතා හො`දින් පැහැදිලි වේ.

සංගම් සාහිත්‍යට අනුව චෝළ රාජ්‍යය සශ‍්‍රීක කුඹුරුවලින් ගැවසී ගත් අතර සිනි කම්හල්වලින් ද යුතුවිය. මුහුදුබඩින් ලූණු ලැබුණු උෙරෙයුර් නම් ප‍්‍රදේශයේ ඉතා අනර්ග රෙදි වියන ලද බවට ද සඳහන් ය. මිසරය, ග‍්‍රීසිය, රෝමය වැනි අපරදිග රටවල් සමග චීනය, ජාවා වැනි පෙරදිග රටවල් සමග ඉතා දියුණු වෙළෙඳාමක් ගෙනගිය බවට ද සාධක ලැබේ. එසේම චේර රාජ්‍යයේ

ගම්බිරිස් ද, පාණ්ඩ්‍යය රාජ්‍යයේ මුතු හා මැණික් ද, චෝළ රාජ්‍යයේ රෙදි වර්ග ද අපනයනය කරන ලද බව සඳහන් ය. එසේම අශ්වයන් සහ විවිධ ආහාර ද්‍රව්‍ය ආනයනය කොට ඇති අතර එහිදී වැදගත් වනුයේ ශ‍්‍රී ලංකාවෙන් ද ආහාර ද්‍රව්‍ය ආනයනය කළ බව බව පට්ටිනප්පාලෙ කාව්‍යයෙහි 119 වන පෙළෙහි සඳහන් වීමය.

මෙම පසුබිම පිළිබඳව සාකච්ඡුා කරන විට මහා පරාක‍්‍රමබාහු රජු හා චෝළයන් අතර පාණ්ඩ්‍ය දේශය සඳහා වූ අරගලයට ද මූලිකම හේතුව වූයේ වාණිජමය වශයෙන් ඉන්දියානු සාගරයේ වෙළෙඳ ඒකාධිකාරිය සඳහා වූ අරගලය බව පෙනීයයි. ඒ අනුව පාණ්ඩ්‍ය දේශය වැදගත් වූයේ පර්සියානු අශ්වයන් ගෙන එන ලද මධ්‍යස්ථානය වශයෙන් වන බැවින් එහි අධිකාරිය පවත්වාගෙන යනු ලැබුයේ පරාක‍්‍රමබාහු රජුය. එහිදී එම අශ්වයන් චීනය හා ශ‍්‍රී විජය වැනි ඈත රාජ්‍යයන් වෙත ගෙනගොස් ඇත්තේ පරාක‍්‍රමබාහු රජුට අයත් යාත‍්‍රාවලින් බව පෙනීයයි. මෙම වෙළෙඳ ඒකාධිකාරිය ලබා ගැනීමට චෝළයන් ද උත්සක වී ඇති බැවින් මහා පරාක‍්‍රමබාහු රජු හා චෝළයන් අතර ගැටීමක් ඇති විය.

එසේම පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ ද්‍රවිඩ වෙළෙඳුන් වෙළෙඳාමේ නියලී ඇති බවට යාපන ප‍්‍රදේශයේ නයිනතිව් ප‍්‍රදේශයෙන් සෙයා ගත් ලිපියක තොරතුරු සඳහන්ය. එහිදී වඩාත් වැදගත් වන්නේ මෙම ශිලා ලේඛනය ද දමිළ බසින් රචනා කොට තිබීමය. එයින් මෙම ප‍්‍රදේශය තුළ බහුල වශයෙන් ද්‍රවිඩ පිරිස් විසු බව නිගමනය කළ හැකි අතර එනම් දකුණු ඉන්දීය පිරිස් සක‍්‍රීයව මෙම ප‍්‍රදේශයේ වෙළෙඳ කටයුතු සිදු කළ බවට ද විශ්වාස කළ හැකිය. එහෙත් මෙම රජුගෙන් පසු ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් දකුණු ඉන්දියාව සමග පැවැත් වූ වාණිජ සබඳතා බොහෝ දුරට අඩපන වූ බව පෙනීයයි. ඉන්පසුව ඒ වන විට නැ`ගී එමින් පැවති මුස්ලිම් බලය හේතුවෙන් ඉන්දියන් සාගරයේ වෙළෙඳාම සම්පූර්ණයෙන්ම පාහේ මුස්ලිම්වරුන් සතු විය.

ප‍්‍රභාත් වික‍්‍රමරත්න
ඉතිහාසය අධ්‍යයන අංශය,
ශාස්ත‍්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment