පුරාවිද්‍යාවට වැදගත් නැති වෙහෙරපිටියේ වෙහෙර

162

ලංකා ඉතිහාසයේ අප නොදත් තොරතුරු බොහොමයක් පවතී. වෙසෙසින්ම පූර්ව බෞද්ධ යුගයේ මෙරට තත්ත්වය පිළිබඳ කරුණු හෙළිව පවතින්නේ ඉතාමත් ස්වල්පයකි. බුදුන් වහන්සේ තෙවරක්ම ලංකාවට වැඩම කර තිබේ. එය මහාවංශටීකාවද සනාථ කරතිබේ. ඒ යුගයේ මෙරට දිවි ගෙවූ යක්ෂ ගෝත්‍රිකයන් ගෙන් පිරිසක් දමනය කරලීමට ද උන් වහන්සේට සිදු විය. යක්ෂයන් පමණක් නොව නාගයන් සහ රාක්ෂයන්ද මෙරට වාසීන් බව ජනප්‍රවාදයේ පවතී. නමුත් සිද්ධාර්ථ කුමරු උප්පත්තිය ලැබූ අවදියේ දඹදිවත් ලංකාවත් අතර පැවති සම්බන්ධය පිළිබඳ පවතින තොරතුරු මෙතෙක් ගැඹුරෙන් සාකච්ඡාවට ලක් වී නොමැති යැයි කල්පනා කළ හැකිය.

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ පවතින කතා වස්තූන් අතර මෙවැනි තොරතුරු අඩංගු ජාතක කතා හිඟ නොවේ. බුද්ධත්වයට පත් වීමට පෙර භවයන්හිදී බෝසතුන් මෙරටට වැඩම කළ බව දැක්වෙන ජාතකයකි අක්කිති ජාතකය නොහොත් අකීර්ති ජාතකය. පෙර බ්‍රහ්මදත්ත රජ සමයේ දී ප්‍රසිද්ධ බමුණු කුලයක අකීර්ති නමින් උපන් බෝසාණෝ පිරවර සම්පත්තියෙහිද ලාභ සත්කාරයන්හිද කළකිරී නිවසින් පිටත් වී දකුණු දඹදිව කාවේරි ගඟ අසල තපස් සුවෙන් සිට පඤ්චාභිඥා අෂ්ට සමාපත්තිය වැඩූහ. මේ බෝසතාණෝ ගේ ශීලය දුටු ජනතාව එතුමා දකින්නට නිතොර පැමිණෙන්ට වන. සපිරිවරත් ලාභ සත්කාරත් නොමදව ලබමින් සිටි නමුත් ඉන්ද වෙහෙසට පත් අකීර්ති තාපස තෙමේ හුදකලාව විසීම වටනේ යැයි සිතා ආකාශ තරණය කරමින් නාගද්වීපය අසල කාර දිවයිනට බැස එම දිවයිනේ කරගසක් ඇසුරු කොට පන්සලක් තනාගෙන වාසය කළ බව ජාතක කතාවේ දැක්වෙයි. එකල කාර දිවයින අභිදීප නම් වී යැයි දක්වා ඇත.

බෝසතුන් වත්මන් කාරදිවයිනට නොහොත් යාපන අර්ධද්වීපය අසලම තිබෙන දූපතකට වැඩියේ කුමන කලකදැයි පැහැදිලි නැත. එහෙත් දඹදිව රජුන් ගේ ඥාතීන්ට සම්බන්ධ බොහෝ පිරිසක් ලක්දිව වාසය කළ කාලයක් යැයි සැක හැර කිව හැකිය. සිද්ධාර්ථ කුමරු උපන් ශාක්‍ය වංශයට දිගු ඉතිහාසයක් ඇත. ඒ සම්බන්ධව මහා භාරත කතාවේ දක්වන ප්‍රවෘත්තීන්ට අමතරව අපට විවිධ මූලාශ්‍රයන් සපයන තොරතුරුද භාවිත කළ හැකිය. දඹදිව රජුන් ගැන සඳහන් කරකණ්ඩු රජු ගේ මූලාශ්‍රය මීට උදාහරණයකි. කරකණ්ඩු රජු කාලිංග පෙළපතට අයත්ය. ලංකාවේ සෙල් ලිපි වල නිබඳව සඳහන් වන ඔකාවස් රජ පරපුරෙන් බට් යන යෙදුම යෙදිය හැකි එක් පෙළපතක් වන්නේ කාලිංග රජ පරපුරයි.පසුකාලයක වාම දන්ත ධාතූන් වහන්සේ සමග ලංකාවට සැපත් හේමමාලා කුමරිය කාලිංග පෙළපතට අයත්ය. කරකණ්ඩු රජු ගේ එක් බිසවක් වූයේ රිතිවේගා කුමරියයි. මූලාශ්‍රයන්ට අනුව මේ බිසව ලංකාවේ රජ පෙළපතකට අයත්ය. බුද්ධ කාලයට පසුව ක්‍රි.පූ. දෙවන සියවසේදී රාජ්‍යය පාලනය කළ ඛාරවේල රජු දකුණු ඉන්දීය දෙමළ බලය සුන් කර ඇත. එසේම යාපන අර්ධද්වීපයේ සිය චන්ද්‍රවංශ පෙළපතට වාසභූමියක් ලෙස සකස් කරන්නට උත්සාහ ගෙන ඇත. කාලිංග පෙළපත විශේෂයෙන්ම හඳුන්වා දෙන නාමයක් වන්නේ මහාමේඝවන්න නාමයයි. දන්ත හේමමාලා යුවළ ලංකාවට සැපත්වන අවදියේ මෙරට රජ කලේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාය. මේඝවණ්න නාමයෙන් මේ සම්බන්ධය ඉතා පැහැදිලි වේ.

පුරාවිද්‍යාවට වැදගත් නැති වෙහෙරපිටියේ වෙහෙර

වර්තමාන කාරදිවයිනේ උතුරු අන්තය කෙළවර ඉතා වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් පිහිටා තිබේ. එය හඳුන්වන්නේ වෙහෙරපිට්ටි යනුවෙනි. අක්කර පහක පමණ භූමි භාගයක පැතිර පවතින නටබුන් සහිත ප්‍රදේශය මේ වන විට විවිධ පුද්ගලයන් විසින් අත්පත් කරගෙන තිබේ. වෙහෙරපිට්ටි යනු වෙහෙර නොහොත් ස්තූප කීපයක් තිබෙන පූජා භූමියකි. යාපනයේ වලිකාමම් හි පවතින කදුරුගොඩ චෛත්‍ය සංකීර්ණයේද මෙලෙස කුඩා කුඩා ස්තූප ගණනාවක් පවතී. ජාවා බොරෝ බුදූර් ආභාෂයෙන් තැනූ මේ ස්ථූපයන් මෙරට ඉතිහාසයේ වැදගත්ම බෞද්ධ ස්මාරකයන් ලෙසට හඳුන්වාලිය හැකිය.

බෝසතුන් වහන්සේ කාරදිවයිනට වැඩම කර වාසය කළ ස්ථානය වෙහෙර පිටිය දැයි අප සොයා බැලිය යුතුය. ජාතක පොතේ සඳහන් ඒ සිද්ධිය ඇසුරු කොට වෙහෙරපිටිය බෞද්ධ සිද්ධස්ථානය ගොඩ නංවනන්ට ඇතැයි වෛද්‍ය අර්ජුන වීරසිංහ මහතා දක්වා ඇත. පන්සිය පනස් ජාතක පොතේ 472 කතා වස්තුවේ පුස්කොළ ලියවිල්ලක් එතුමාට එංගලන්තයේ රාජකීය ආසායාතික සමිතියේ පුස්තකාලයේ තිබී දකින්නට ලැබී තිබේ. මෙරට ජාතක කතා මාලාවේ යටකී ජාතකයේ දක්වා නොමැති වාක්‍ය කීපයක් එම පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් යැයි එතුමා පවසයි.

2016 වර්ෂයේ දී පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් සමග එම ස්ථානයට පැමිණි වෛද්‍ය අර්ජුන වීරසිංහ මහතා එම ප්‍රදේශයේ පූර්ණ ගවේෂණයක් සිදු කර ඇත. ඊට පෙර 1987 දී මහාචාර්ය පෙන්නම්බලම් රඝුපති මහතාගේ ගවේෂණයේ දී වෙහෙරපිටිය පුරාවිද්‍යා ස්ථානය ගැන වෙසෙසින්ම සඳහන් කර තිබේ. ලන්දේසීන් විසින් හැමන් හිල් බලකොටුව සකස් කරන කල්හි මෙම වෙහෙරපිටිය විහාරස්ථානයේ තිබූ හුණු ගල් ගලවා ගෙන ගිය බව එහිදී දක්වා තිබේ. කෙසේ වෙතත් අද වන විට මෙම වෙහෙරපිටිය විහාස්ථානයට හිමිව පවතින්නේ ඉතා කුඩා භූමි භාගයකි. එහි තිබෙන ස්තූපයේ එක් කොටසක් හාරා විනාශ කර තිබේ. ඒ අසලින් ගෙවල් තනා ඇති අතර ස්තූප තුළින් හමු වූ හිරිගල් කරඬුවක් එම නිවසක තිබී පසුව දැනට යාපනයේ පුරාවිද්‍යා කෞතුකාගාරයට ලබාගෙන තිබේ. විශාල පාදම් ගල් අනුරාධපුර යුගයට අයත් උලුකැට මෙහි බහුලය. හිරිගිලින් තැනූ ගොඩනැගිලි අවශේෂ විශේෂයෙන්ම අත්තිවාරම් විශාල ප්‍රදේශයක් පැතිර පවතී. රෝම කාසි සහ අරාබි කාසි රතු කලු මැටි බඳුන් කැබලි ආදීන්ගෙන් සනාථ වන්නේ විහාරස්ථානයත් සමග පැවති ජනාවාසයක ස්වභාවයයි.

වෛද්‍ය අර්ජුන වීරසිංහ මහතා විසින් 2016 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත කරන ලද ඉල්ලීමට අනුව මෙම ස්ථානයේ ගවේෂණ රැසක් කර ඇත. නමුත් මෙම ඉඩම් අල්ලා ගෙන සිටි ජනතාව ස්ථානය මැනීමට කීප වරක්ම ඉඩ නොදීම නිසා පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාදයට පත් වී තිබේ. විධුර වික්‍රමනායක ජාතික උරුම අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා එම ස්ථානයට ගිය අවස්ථාවේ දීද ආක්‍රමණික පිරිස කරන ලද බාධා කිරීම් නිසා නිලධාරීන් යළිත් පසුබට වී ඇතැයි

දැනගන්නට තිබේ. ඒහෙත් යාපනය භාර සහකාර අධ්‍යක්ෂවරයා විසින් කොළඹට එවන ලද පුරාවිද්‍යා වාර්තාවට අනුව මේ වන විට මෙම ස්ථානය බෞද්ධ ස්මාරකයක් ලෙසට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යාංශයට යොමු කර තිබේ. පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයේ යවනලද මෙම ස්මාරක ලැයිස්තුව එතුමා ධුරයෙන් ඉවත්වන තෙක්ම අත්සන් කර නොමැති බව දැන ගන්නට ඇත. පසුව වර්තමාන අමාත්‍යවරයා යටතේ නැවත ගැසට් කිරීම සඳහා යොමු කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේශන අංශ භාර නිළධාරීන් දන්වා ඇත.

බෝසතුන් වහන්සේ වැඩ විසූ තැනක් වශයෙන් අනුමාන කළ හැකි ඉතා වටිනා බෞද්ධ පූජා භූමියක ඉඩම් නීත්‍යනුකුල කර කැණීම් සංරක්ෂණ කටයුතු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ වගකීමයි. අසල්වැසි ඉන්දියාවේ දේශපාලන ග්‍රහණය නිසා හෝ වෙනයම් හේතුවක් මත හෝ මෙවැනි තැන් විනාශ වී යෑමට ඉඩ දී බලා සිටීම බලවත් අපරාධයකි. වෛද්‍ය අර්ජුන වීරසිංහ මහතා වැනි පුරාවිද්‍යා සංරක්ෂණයට ලැදි පිරිස අනන්ත අපමණ පිරිසක් විදේශවල ජීවත් වේ. ඔවුන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට කටයුතු කිරීම අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ යුතුකම යැයි සිතමි. එසේත් නොමැතිව ඊනියා දෙමළ ඩයස්පෝරාවෙන් හෝ ‘යාපන අර්ධද්වීපය’ ගොදුරු කර ගැනීමට බලා සිටින ඉන්දීය ව්‍යාප්ත වාදීන් ගෙන් උදව් ගැනීමට සිතන්නේ නම් එය මෙරට ඓතිහාසික උරුමය පාවාදීමක් ලෙසට සැලකිය හැකිය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment