පුරාවිද්‍යාව සහ පාන්

978

පාන්වලටත් වඩා පැරණි මේ රටේ පාන් ආඥා පනත ඉවත්කොට පාරිභෝගික අධිකාරී පනත යටතේ අලුත් වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ලංකාව යනු ඉතාම පැරණි සහ දිරාගිය යටත්විජිතවාදී අණපනත්වලින් පාලනය කෙරෙන රටකි. අපේ අණපනත්වල පරණකම කොතරම්ද යත් සිංහල රජ කාලේදී පනවන ලද දෙතිස් වධය හැරුණු විට සෙසු පෞරාණික නීති රීතිවලින් වැඩිහරියක් අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. දෙතිස් වධය නෑ කිව්වාට 88, 89 භීෂණ කාලයේදී එය ක්‍රියාත්මක විය. එසේම ඇතා ලවා පෑගවීම, පුවක් ගස් දෙකක ගැට ගසා ශරීරය දෙපළු කිරීම වැනි වධ කිහිපයක් හැරුණු විට දෙතිස් වධයට අයත් වධ බන්ධනවලින් සෑහෙන කොටසක් අදටත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් පොලිසිවලදී ක්‍රියාත්මක කරනු ලැබේ. අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය සියවස් ගණනාවක් පැරණිය. රථවාහන සම්බන්ධයෙන් ඇති මෝටර් රථ ආඥා පනත ද පුරා වස්තුවකි. මේ අණපනත්වලින් පාලනය කළ හැක්කේ එක්දහස් හත්සිය ගණන්වල සමාජ දේශපාලන සහ ආර්ථික තත්ත්වයක් තිබෙන රටක් පමණි. ශ්‍රී ලංකාවට පාන් එන්නේ 1505 දීය. පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් පාන් සහ වයින් 1505 දී නිල වශයෙන් මෙරට මුහුදුකරයට හඳුන්වාදෙන ලදි. එහෙත් වයින් හොර බඩුවක් ලෙස ඊට පෙර සිටම මේ රටේ රජවරුන් අත තිබිණ. ඒ මෙසේය; යුරෝපයේ සාදන ලද වයින් ගොඩබිම ඔස්සේ රෝමන් වෙළෙඳුන් විසින් ඉන්දියාවේ ගෝව නමැති ප්‍රාන්තයට ගෙනෙන ලදි. එතැනින් ඒවා ලංකාවේ මුහුදුකරයට ගෙනවුත් කන්ද උඩරට රාජධානියට යවන ලදි. අනුරාධපුර යුගයේදී ද රෝමන් වෙළෙඳුන් ලංකාවට ආගිය නමුත් මෙරටට වයින් ගෙනා බවට ආරංචියක් නැත.

ලංකාවේ පාන් නිෂ්පාදනයට අදාළ ආණ්ඩුවේ ආඥා පනතක් මුලින්ම බලගන්වනු ලබන්නේ 1864 දීය. මේ කාලයේදී Terance O’Brien නමැති ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ලංකාවේ බ්‍රිතාන්‍ය පාලකයා ලෙස කටයුතු කළේය. එකල බ්‍රිතාන්‍ය මහ රැජින වූයේ වික්ටෝරියා නමැති මහේශිකාවකි. පාන් සම්බන්ධයෙන් ආඥා පනතක් ඇති කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටුයුතු කළේ එය සුද්දන්ගේ ප්‍රධාන ආහාරය වීම නිසා විය යුතුය. හැබැයි, ඔවුන් සහල් සම්බන්ධයෙන් හෝ සහල්වල තත්ත්ව පාලනය සම්බන්ධයෙන් කිසිකලෙකත් ආඥාවක් නිකුත් කළේ නැත. ස්වදේශිකයන් තණකොළ කෑවාත් මොකද යනාදී වශයෙන් අර්ථ නිරූපනයක් එහි අඩංගු වන්නට ඇත. සමහරවිට Terance O’Brien ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා පරණ පාන් ගිල දමා බඩේ අමාරුවක් හදාගත්තා වන්නට ඇති. පරණ පාන් අනුභව කර වතුර වීදුරුවක් පානය කළ විට බඩ ගෙඩිය කළගෙඩියක් මෙන් පිම්බෙන්නට පටන් ගනී. ලංකාවේ පාන් ආඥා පනතේ ප්‍රධාන කරුණු දෙකක් පමණක් තිබේ. ඉන් පළමුවැන්න නම් පාන් නියම බරට තිබිය යුතු බවය. එනම් පාන් රාත්තල් කාල, පාන් රාත්තල් භාගය, පාන් රාත්තල, පාන් රාත්තල් දෙක සහ පාන් රාත්තල් හතර යනාදී වශයෙන් නියම බරට පාන් විකිණිය යුතු බව ආඥා පනතේ ඇත. ඊට අමතරව පාන්වලට වෙනත් ජරාව එකතු කිරීම තහනම් බව ද මේ ආඥා පනතෙන් ප්‍රකාශ විය. ඉහත සඳහන් වැරදි කර අසුවන අයට දඩ ගැසීම නියම විය. දඩය ගෙවීමට අකැමැති කෙනෙක් වෙතොත් මාසයක් දෙකක් හිරේ ගොස් පැමිණීමට ඔහුට අවකාශ ලැබේ.

ලංකාවේ පාන් පිළිබඳ ඉතිහාසය ඉතා අපකීර්තිමත් ය. බ්‍රිතාන්‍ය පාලකයා මේ රටට පාන් හඳුන්වාදෙන ලද්දේ එමගින් බ්‍රිතාන්‍ය තිරිඟු පිටි වෙළෙඳපොළට වෙළෙඳාමක් ඇතිකරදීම සහ පාන් කා වැඩ නොකරන අප්‍රාණික ජාතියක් බිහි කිරීමට ය. බ්‍රිතාන්‍ය පාලකයන් ලංකාව අත්පත් කරගන්නා කාලයේදී මේ රටේ ප්‍රධාන ආහාරය වූයේ බත්ය. බත් සහ එක එළවළුවක් ද සියඹලා වතුර අමු මිරිස් සහ කරපිංචා යෙදූ ආනම් හොද්දක් ද එකල සාමාන්‍ය ජනයාගේ ආහාරය විය. රදළයන්, වලව්කාරයන් සහ වෙනත් වංශාධිපතීන්ගේ ගෙවල්වල හැමදාම දඩ මස් තිබුණි. මේ කියන කාලයේදී මේ රටේ ජනතාවට පරිප්පු කෑමට ලැබුණේ නැත. රතු පරිප්පු සහ කහ පරිප්පු යන දෙකම ගෙන්වන ලද්දේ ඉන්දියාවෙනි. අර්තාපල්, කැරට්, බෝංචි, ලීක්ස්, බීට්, රාබු වැනි ඉංග්‍රීසි එළවළු එකල මේ රටේ වගාකර තිබුණේ නැත. එසේම පොල් අඹරා ව්‍යංජනයකට යෙදුවොත් මිස ගාන ලද පොල්වලින් යොදාගත් කිරි යොදා හොදි හැදීමක් එකල නොවීය. ආහාර විවිධාංගීකරණය නැති රටක් වුවද එකල මේ රටේ ජනතාව ආහාරය සඳහා ගත් සීමිත ද්‍රව්‍යය කිහිපය පෝෂ්‍ය පදාර්ථවලින් අනූන විය. උදාහරණයක් වශයෙන් මේ රටේ ජනයා බත් උයන ලද්දේ යබොර නමැති සහල් වර්ගයකිනි. අමු යකඩ උණු කරන විට මතුවන බොර පාටින් සමන්විත වූ යබොර සහල ඉතා පෝෂ්‍යදායක ය. මේ බත් පිඟානක් කා වරුවකින් ඉඩම් අක්කර භාගයක් කෙටීමට එකල ජනයාට හැකි විය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදියා එම ශරීර ශක්තිය කඩා දමා මේ රටේ ජනයා කම්මැලි, කේඬෑරීන් බවට පත්කිරීමේ උපක්‍රමයක් වශයෙන් පාන් හඳුන්වා දුන්නේය. ලංකාවේ පාන් පිළිබඳ වඩාත්ම අමිහිරි අත්දැකීම 1970 දී බලයට පත් සමගි පෙරමුණු රජය යටතේ අපි භුක්ති වින්දෙමු. එකල පාන් නිකුත් කරන ලද්දේ සලාකයට ය. ඇතැම් විටක ඒ පාන් අනුභවයට නුසුදුසු තරම් කර්කශ විය. ඇතැම් බේකරිකාරයන් පාන් පිටිවලට මඤ්ඤොක්කා පිටි ද යොදා පාන් පිළිස්සූ බැවින් පාන් ගෙඩිය හරියට පිපුණේ නැත. ඒ අතර හැම පාන් ගෙඩියකම ගුල්ලෝ තිහ හතළිහක් මිය ගොස් සිටියහ. අද පාන් යනු ඉතා මිහිරි ආහාරයකි. එහෙත් ඒ පිළිබඳ කතාව අමිහිරිය. රුපියල් 150 න් පටන්ගත් විට රුපියල් 600 ට 700 ට යනතුරු පාන් රාත්තල විකුණන තැන් මේ රටේ තිබේ. ඒ අතර පරළු පාන්, කුරක්කන් පාන්, සුදුලූනු පාන් යනාදී විවිධ නම්වලින් හැඳින්වෙන පාන් අද විවිධ මිලට අලෙවි කරනු ලැබේ. බීම බෝතලයකට පාලන මිලක් තිබේ. එහෙත් මේ බීම බෝතලයේ මූඩිය ගලවා වීදුරුවක් සමග බන්දේසියක තබා පාරිභෝගිකයාට පිරිනමන කල්හි එම පාලන මිල අවලංගු වී හිතූ මිලකට එම බීම බෝතලය පාරිභෝගිකයාට විකිණීමේ අවසරය හෝටල්කාරයාට ලැබෙයි. මේ අනුව පාන් ග්‍රෑම් 450 ක් පෙති ගසා බෑග් එකකට දැමූ විට එය රුපියල් 500 කට පමණ විකිණීමේ අයිතිය වෙළෙන්දන්ට ලැබෙයි. පාන් ආඥා පනත සංශෝධනය කිරීමේදී අපේ රටේ ආණ්ඩුව ඉහත සඳහන් කරුණු සියල්ල සැලකිල්ලට ගතයුතු බව අපට පෙනේ. කව්රු මොනවා කිව්වත් අද පාන් යනු මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරයකි. එය පුරාවිද්‍යාත්මක පනත්වලට යටත්කොට නොතබා වඩා ප්‍රායෝගික පනත් යටතට පත්කර අලෙවි කරන්නේ නම් මැනවි.

advertistmentadvertistment
advertistmentadvertistment