පුරාවිද්‍යා ඉඩම් ආණ්ඩුවට හිසරදයක් ද

144

යාපනය දිස්ත්‍රික්කයේ උරුමය ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධව ජනපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව නැවතත් සමාජයේ අවධානය යොමු වී තිබේ. මීට ප්‍රථමයෙන් 2023 මැයි මාසයේ දී ජනපති ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් කළමනාකරණ රැස්වීමකදී ද මේ බැව් ප්‍රකාශ වී තිබුණි. එහිදී පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ට යොමු කරන ලද ප්‍රශ්නවලට ඔහුට නිසි පරිදි උත්තර දී ගන්නට බැරි වූ අතර අවසානයේ ඔහු සිය තනතුරෙන්ද ඉල්ලා අස් විය. මේ රැස්වීමට ප්‍රථම ජනපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් 2023 ජනවාරි මස දී නිකුත් කරන ලද පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධ චක්‍ර ලේඛණයක් මගින් ඇති කළ අනීතික පසුබිමට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද විභගයට ගැනේ. එහි දී නීතිපති අංශ විසින් දක්වන දුර්වලතාවයන් නිසා දිනෙන් දිනම නඩු තීන්දු ගැනීම ප්‍රමාදව ඇති බව නිරීක්ෂණය වේ.

යහපාලන රජය පැවති කාලවකවානුවේ වත්මන් ජනපතිවරයා අගමැතිවරයා වශයෙන් කටයුතු කරන ලද්දේය. දහනව වන සංශෝධනය නිසා ජනපතිගේ බලය නීත්‍යානුකූලවත් අනියම් ක්‍රමයන්ගෙනුත් අගමැතිවරයා ලබාගෙන තිබූ බව කවුරුත් දන්නා කරුණකි. යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ රජය කාලයේ උතුර සහ නැගෙනහිර පළාත්වල විශාල වශයෙන් ඓතිහාසික නටබුන් හඳුනාගන්නට යෙදී තිබුණි. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ දායකත්වය නිසා මේ පුරාවිද්‍යා ගවේෂණ ඉතා පහසු විය. ඒ තත්ත්වය තුළ උතුර සහ නැගෙනහිර පමණක් පුරාවිද්‍යා ස්ථාන එක්දහස් හත්සීයක් පමණ හඳුනාගෙන තිබුණි. මේවා නීත්‍යානුකූලව ස්මාරක වශයෙන්ද පුරාවිද්‍යා රක්ෂිත වශයෙන්ද ගැසට් කිරීම ආරම්භ කර තිබුණි. පෙර දක්වා ඇති පරිදි මේ ගැසට් කිරීම නොකරන ලෙසට අගමැති ලේකම්වරයාගෙන් එකල සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අණ ලැබුණි. සැබවින්ම මෙයට හේතුව කුමක්ද.

ලංකාව විවිධ යුගවලදී වැඩියෙන්ම රාජ්‍ය අනුග්‍රහ ලබා දී තිබෙන්නේ බුද්ධ ශාසනයේ දියුණුවටයි. එකල සිටි රහතුන් වහන්සේලා වෙනුවෙන් ගිරිගුහා ආරණ්‍ය සේනාසන, වන පත්ථ ආරණ්‍ය සේනාසන, වෘක්ෂ මූල ආරණ්‍ය සේනාසන, සූසාන ආරණ්‍ය සේනාසන, ගාන්ධාර ආරණ්‍ය සේනාසන, පලාල පුඤ්ඤර ආරණ්‍ය සේනාසන සහ ශූන්‍යානගාර සංඛ්‍යාත පබ්බත ආරණ්‍ය සේනාසන මේ කාලයේ ඉදිකරන්නට යෙදුණි. එමෙන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ යුගවලදී සාදන ලද රාජ මහා විහාර සහ ආරාම දිවයින පුරාම දක්නට තිබී ඇත. අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල යුගයන්හි ඇති වූ සතුරු ආක්‍රමණ හමුවේ සිංහල රාජධානිය දකුණට තල්ලු වී කෝට්ටේ පුරයේ සහ මහනුවර නතර වද්දී රජරට සහ රුහුණ වල් බිහි වූහ. කෝට්ටේ යුගයේ දී ඇති වූ පරංගි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ වඩාත් දරුණු වූයෙන් නැවත මේ ඓතිහාසික ආරණ්‍ය සහ ආරාම ගොඩනැන්වීමක් නොවීය. උපසම්පදා කර්මය පවා නොමැති ව ගිය යුගයක එවැනි දෙයක් බලාපොරොත්තු වන්නට ද නොහැකිය. බි්‍රතාන්‍යයන් විසින් සමස්ත ලංකාවම ගිවිසුමකින් පවරා ගත් පසුව රට පුරා සිදු කළ මැනුම් කටයුතුවලදී සහ වාරිමාර්ග ක්‍රම සංවර්ධනය කිරීමේ දී රජරට පෙදෙස්වලින් විශාල වශයෙන් නටබුන් වූ සිද්ධස්ථාන හමු විය. කුතුහලයෙන් පිරී ගිය බි්‍රතාන්‍ය නිලධාරීන් මේ මහා ශිෂ්ඨාචාරය නැවත මතු කර ගැනීමේ කාර්යයෙහි නියුක්ත විය. විශේෂයෙන්ම අනුරාධපුර නගරය, පොලොන්නරුව වැනි ස්ථානයන්හි නටබුන් ගවේෂණය කොට කැණීම් තහවුරු කිරීම්වල නිරත විය. රජයේ විශේෂ කාර්යාංශයක් ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බිහි වූයේ මේ කටයුතු විධිමත් ලෙසට සිදු කිරීමටයි. 1940 දී පුරාවිද්‍යා ආඥා පනත සම්මත කරන ලද්දේ මෙවැනි ඓතිහාසික නටබුන් සහිත ස්ථාන නීත්‍යානුකූලව ගැසට් කිරීම පිණිසයි.

1940 දශකය වනාහි ලංකාවට නිදහස ලබා ගැනීම පිණිස මෙරට නිදහස් සටන උච්චතම අවස්ථාවට පත් වූ යුගයයි. 1948 දී අග්‍රාමාත්‍ය ධුරයට පත් ඩී. එස්. සේනානායක මහතා මේ කාලයේ දී පූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් ළඟින් ඇසුරු කළහ. උන්වහන්සේ එතුමාගේ දේශපාලන සටනට සහාය පළ කළේය. ඒ කාලයේ උන්වහන්සේ ඩී. එස්. සේනානායක මහතාගෙන් ඉල්ලීමක් සිදු කළහ. එනම් බුද්ධ ශාසනයේ දියුණුවට කටයුතු කරන ලෙසයි. රජය විසින් පුරාවිද්‍යා ආඥා පනත සම්මත කරන ලද්දේ ඒ සඳහා බව ඩී. එස්. සේනානායක මහතාගෙන් ප්‍රකාශ විය. අගමැති ලෙසට මේ රටේ නායකත්වයට පත් වූ පසු උන්වහනසේ එතුමා හමුවීමට ගොස් නැවත ඒ ඉල්ලීම කළහ. ආණ්ඩුව සරණං ගච්ඡාමී කියන්න එපා යැයි එතුමා උන්වහන්සේට ප්‍රකාශ කළ බව ප්‍රකට කරුණකි. කෙසේ වෙතත් බි්‍රතාන්‍ය ආණ්ඩුවේ බලය තිබෙන සමයේ මේ ඓතිහාසික සිද්ධස්ථාන සුරක්ෂිත කිරීමට තිබුණු නීතිමය බලය පුරාවිද්‍යව හරහා සිදු කිරීමේ අරමුණක් තිබූ බව ඉන් ගම්‍ය වේ. මේ නිසා විශාල වශයෙන් පුරාවිද්‍යා රක්ෂිත ගැසට් මගින් පළ කරන ලදී. මේ නිසා විශාල ඉඩම් ප්‍රමාණයක් පුරාවිද්‍යාවට අයත් විය. මේවා සියල්ල පෙර සඳහන් කළ පරිදි අතීත රජ දරුවන් විසින් බුද්ධ ශාසනයට පූජා කරන ලද ස්ථානයන් වේ. කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැතිවරයාව සිටි සිරිල් මැතිව් මහතාගේ කාලයේ දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එම්. එච්. සිරිසෝම මහතාගේ මෙහෙයවීමෙන් උතුර සහ නැගෙනහිර පෙදෙස්හි පුරවිද්‍යා ස්ථාන 276 ක ලැයිස්තුවක් සකස් කර සන්සෝනි කොමිසමට ඉදිරිපත් කරන ලදහ. ඉන් පසු 1700 ක ප්‍රමාණයක් එය හඳුනාගන්නට යෙදුණේ ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමෙන් අනතුරුවයි.

මෙරට භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කරන ලද ඉඩම්වලින් කොටසක් විහාර දේවාලගම් පනතට යටත්ව ක්‍රියාත්මක වේ. ඉතිරි ඉඩම් ප්‍රමාණය පුරාවිද්‍යාවට අයත්ය. වසර සීයකට වඩා පැරණි සියලුම ඓතිහාසික ස්ථාන පුරාවිද්‍යා නීතියට යටත්වේ. මේවායේ ඉඩම් ඉදිරි ගවේෂණ කටයුතු සඳහා සහ ශාස්ත්‍රීය කැණීම් සඳහා වෙන්කර ඇත. දැන් ජනපතිවරයා සහ එතුමාගේ ලේකම්වරයා විසින් වරින් වර පුරාවිද්‍යාවේ මෙම කාර්යය හිසරදයක් ලෙසට සළකන බැව් පෙනේ. කුරුන්දි විහාරය සහ කුරුඳු නගරය යන ඓතිහාසික ස්ථානයට අදාළව හඳුනා ගන්නා ලද අක්කර හාරසීයකට ආසන්න ඉඩම් ප්‍රමාණය ජනතාවට බෙදා දිය යුතු යැයි යම් යම් නියෝග දී ඇත්තේ ජනතාවගේ ඡන්ද පමණක්ම බලාගෙන බව පැහැදිලි වේ. බුද්ධ ශාසනය පිළිබඳ තැකීමක් මේ අයට නැත. දැන් නැවතත් යාපනයේ දී මේ අදහස යළිත් මතුව තිබෙන්නේ ජනපතිවරණය ළඟා වෙමින් පවතින නිසාය. කන්කසන්තුරේ පිහිටි දේවානම් පියතිස්ස රජු විසින් ඉදිකරන ලද තිස්ස විහාරයට 1954 දී වෙන්කරන ලද අක්කර විස්සකට ආසන්න භූමියද මෙලෙස කුමාර් පොන්නම්බලම් ගේ සහචරයන්ට බෙදා දෙන්නට වළිකන්නේ ඡන්දය බලාගෙනය. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන ප්‍රතිපාදනය අනුව අවුරුදු දහස් ගණනාවක් තිස්සේ අඛණ්ඩව අවිච්ඡින්නව පැවති මේ දේපළ අන්සන්තක කිරීම බලු කපුටු වීමට හේතුවන පාපයක් බව මේ දේශපාලකයන්ට මතක් කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment