පුරාවිද්‍යා බලධාරීන් අතහැර දැමූ ජාතික උරුමය කුච්චවේලි

484

නැගෙනහිර පළාතේ ඉතා වැදගත් ඓතිහාසික සිද්ධස්ථානයක් වනුයේ තිරියායේ ගිරිහඬු සෑයයි. තපස්සු භල්ලුකු වෙළෙඳ දෙබෑයන් විසින් රැගෙන පැමිණි කේශ ධාතු තැන්පත් කර සැදූ කුඩා ස්ථූපය ප්‍රතිසංස්කරණයට ලක් වෙමින් අදටත් එහි ජීවමාන වෙයි. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ලංකාව වෙත පැමිණ ගොඩ බට තැන් ගැන පුවත් කීපයක් වෙයි. ඉන් එකක් නම් තිරියයාට නුදුරු කණිකාර වේලි තොටුපළයි. ගැඹුරු මුහුදකින් යුක්ත නමුත් යාත්‍රිකයන්ට සුවසේ වෙරළ වෙත ළඟා විය හැකි මෙම වරාය අද හඳුන්වනුයේ කුච්චවේලි යනුවෙනි. කුච්චවේලියට නුදුරින් පවතිනුයේ සෙම්බිමලේ පුරාවිද්‍යා ස්ථානයයි. එයට කණිකර ගිරි නම් ව්‍යවහාරයකි. කණිකර යන්න ප්‍රදේශයට තවත් නමකි. කණිකර පෙදෙසේ ප්‍රධාන වෙළෙඳ තොට වූ කණිකරවෙල්ලියෙහි ඉතා සුවිශේෂී බෞද්ධ සිද්ධස්ථානයක් වෙයි. එය පිච්චමල් විහාරය ලෙසින් එකල ප්‍රකට විය.

මේ වෙළෙඳ තොට අසල මුහුදු තීරයේ කඳු ගැටයක් වෙයි. එය ගම්මුන් විසින් හඳුන්වනු ලබන්නේ කරඬි මලේ නැතහොත් වලස් කන්ද යනුවෙනි. අතීතයේ රහතුන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ වාසය කළ මෙම ස්ථානය අසල මෙම කඳු ගැටයේ ගල් ලෙන් කීපයක් ඇති අතර පැරණි සථූපයක නටබුන් ද පිහිටා තිබේ. මෙම කඳු ගැටය පාමුල පෙරලී ගිය ගලක කෙටූ අපූරු රූකමක් තිබේ. කුඩා ස්ථූප දාසයකින් යුක්ත කැටයමක් ලෙසට මෙය හඳුනාගෙන තිබේ. ඒ සමගම සංස්කෘත භාෂාවෙන් ලියන ලද ශිලා ලේඛනයක්ද දක්නට ලැබේ. නිධන් හොරුන් විසින් පෙරළන ලද මෙම ගල සහ අගනා රූකම නොපිටට වී දැන් කාලයක් ගතව ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුච්චවේලිය නැතහොත් කණිකාර වේල්ලිය අරභයා පුරාවිද්‍යා ගවේශන ආරම්භ කරනුයේ 1955 වර්ෂයේ දීය. ඉන් පසුව එහි කැණීම් ආරම්භ කර ඇත. එයට හේතුව ලෙසට දක්වා ඇත්තේ එකල රිවිරැස පුවත්පතේ පළවූ ලිපයක් අමාත්‍යවරයාගේ ඇස ගැටීමෙනි. කෙසේ හෝ මෙම කුච්චවේලි ඓතිහාසික ශිලාලේඛනයට ඔබ්බෙන් දැනට පොලිසිය පිහිටා තිබෙන භූමියෙහි තිබී පිළිම ගෙවල් දෙකක නටබුන් සහ ස්ථූපයක නටබුන් හඳුනාගන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමත් වී ඇත. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එම්.එච්. සිරිසෝම මහතා සඳහන් කරන පරිදි නවවන දසවන සියවස්වලට අයත් පැරණි ආරාමයකි මෙය. එහි තිබී හමු වූ බුදු පිළිම හිස් දෙකක් සහ හිස රහිත ශරීර කොටස්වලින් පිළිබිඹු වන බුදු රජුන්ගේ තේජාන්විත භාවයත් මහා කරුණා ගුණයත් අධිෂ්ඨාන පරවශ චේතනාවත් දක්වා ඇත්තේ විස්මජනක ලෙසය. දෙතොලේ මන්දස්මිතය වතෙහි පිරිපුන් බව සහ ලලාටයෙහි පළල් බැවින් සහ ඇහි බැම උඩට නැඹුරු වීමෙන් දැක්වෙන බුද්ධි ප්‍රභාවය යනාදී සියලු ගුණාංග කැටි කොට දක්වා තිබීම කලාකරුවාගේ නෛපුණ්‍ය සහ බුද්ධානුස්සතියෙහි තෙරපත් බව විදහා පායි. (උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය)

මෙම පිළිම ගෙවල් දෙක කැණීමකට ලක් කර නටබුම පාදා ගන්නට යෙදී ඇති අතර මේ ක්‍රියාවලියත් සමග ඇවිස්සුණු දෙමළ ජාතිවාදීන් සහ ඉඩම් කොල්ල කෑමේ නිරත පුද්ගලයන් කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම් ආක්‍රමණය කර ඇත. එහිදී එතැන කෝවිලක් සාදා පුරාවස්තු විනාශයක් ද කර ඇත. එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයාව සිටි ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් කුච්චවේලි විනාශය ගැන දැනුම්වත් කිරීමට ත්‍රිකුණාමල දිසාපතිව සිටි ඩී.ජේ. බණ්ඩාරිගොඩ මහතා කටයුතු කර තිබේ. මේ ඔහු විසින් යවන ලද එක් ලිපියක සාරාංශයයි.

‘කුච්වේලි තානායමත් පොලිසියත් අතර පිහිටි බෞද්ධ නටබුන්වලින් යුත් භූමිභාගයේ වූ ගලින් නෙළා ඇති දාගැබ් පේලියෙහි මුදුන් කොටස යම් පිරිසක් විසින් කඩා දමා හානියට පමුණුවා ඇත. මෙම භූමියෙහි අනවසරයෙන් කෝවිල් ගොඩනැගිල්ලක් තනාගෙන යන ලදුව ඒ පිළිබඳව ඔබ වෙත වාර්තා කිරීමෙන් පසුව කෝවිලේ ඉදිරි වැඩ සම්පූර්ණයෙන්ම තහනම් කර ඔබ දෙපාර්තමේන්තුව මගින් මීට පෙර භාරකරුවකු පත්කර තිබුණු බවද මට දැන ගන්නට ලැබුණි. දැනට මෙම භුමිය රැක බලා ගැනීම සඳහා භාරකරුවකු නොමැති අතර කෝවිල ඉදිකිරීමෙහි කටයුතු ද ක්‍රම ක්‍රමයෙන් සිදු වෙන බව මා වෙත වැඩිදුර වාර්තා වී ඇත. තත්ත්වය එසේ හෙයින් තවදුරටත් මෙකී නටබුන් විනාශයට පත් කිරීම වැළැක්වීම සඳහා ඔබ දෙපාර්තමේන්තුව මගින් භාරකරුවකු පත් කිරීමට නොපමාව පියවර ගන්නේ නම් බෙහෙවින්ම කෘතඥ වෙමි.

පුරාවිද්‍යා බලධාරීන් අතහැර දැමූ ජාතික උරුමය කුච්චවේලි

මෙම ලිපියේ සඳහන් නව විනයාගර් කෝවිල 1970 දී පමණ සෑදීම ආරම්භ කර ඇත. එහි අවට තිබූ ඉඩම් ද අත්පත් කරගෙන ඇත. පසුව දිසාපතිතුමාගේ මූලිකත්වයෙන් ආපසු පවරා ගෙන තිබුණු නමුත් භාරකරුවකු නොමැති කමින් පුරාවස්තු ආරක්ෂා කර

ගැනීමට නොහැකි වූ බව පෙනේ. මෙම ස්ථානයේ තිබූ ඇත්තේ ඓතිහාසික පිච්ච මල් විහාරය යයි වංශකතාවලින් පැහැදිලි ය. රුවන්මැලි සෑය සඳහා අවශ්‍ය පිච්චමල් රැගෙන යෑමට මෙම ප්‍රදේශය යොදා ගෙන ඇත. ක්‍රි. ව. තුන්වන සියවසට අයත් පිළිම ගෙයක් මෙහි තිබූ බව පුරාවිද්‍යා වාර්තාවල සඳහන් වන අතර බුදු පිළිම ගල් කණු විද්‍යමානව තිබී ඇත. දැනට බුදු පිළිමය ත්‍රිකුණාමල කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. පසුකාලයේ දී හයවන සියවසේ දී පමණ මෙම ස්ථානයට පැමිණි මහායානික බෞද්ධ සැදැහැවතකු ගල් පුවරුවක ස්ථූපයන් 16ක කැටයම් කොට ඉන් බුදුබව ප්‍රාර්ථනා කර ඇත. ඒ ගාථාවේ සඳහන් වන සංස්කෘත ලිපියේ සිංහල අරුත මෙසේය. මේ පිනින් උපනූපන් ජාතියෙහි ලෝකයාගේ සියලු දුක් බැහැර කොට පූර්ණ සැප ලබා දෙන්නට මට හැකි වේවා. සියලු කල්හි ඉවසීමෙන් හා කරුණාවෙන් යුක්ත වූයේ වෙම්වා. මේ පිනින් මර සතුරන් පරදවා ශ්‍රේෂ්ඨ වූ බුදු බව ලැබ මම මාගේ මහා කරුණා නමැති හස්තයෙන් දුකට පත් ලෝකයා සංසාර නමැති මඩ වගුරෙන් ගොඩට ගනිම්වා.

මෙවැනි ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක් සනිටුහන් කළ ඓතිහාසික පිච්චමල් විහාරය කාලයත් සමග මිසදිටුවන්ගේ ග්‍රහණයට නතු ව තිබේ. ගෝමරන්කඩවල රංගිරි උල්පත රජ මහා විහාරයේ මෙන්ම කුච්චවේලි පිච්ච මල් විහාරයේ නූතන විහාරාධිපති පූජ්‍ය අහුන්ගල්ලේ සීලවිසුද්ධි මහානායක තෙරුන් වහන්සේ විසින් මෙම කුච්චවේලි භූමියෙහි වර්තමාන භික්ෂූන් වහන්සේලාට වැඩ වාසය කරලීමට ආවාස සංකීර්ණයක් නිමවා ඇත. 1985 ජූනි 01 දින මෙම කුච්චවේලි පිච්චමල් විහාර භූමියෙහි පිහිටා තිබෙන නාවික හමුදා කඳවුරට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා සීලවිසුද්ධි නායක හිමියන් තුවාල ලැබීය. උන්වහන්සේ පසුව ගුවන් මගින් රෝහල වෙත ගෙන ගොස් සුවපත් කරගෙන තිබේ. මෙවැනි කැප කිරීමක් කොට ආරක්ෂා කළ මෙම අසිරිමත් පුදබිමේ කෙටසක් වර්තමානය වන විට මිසදිටුවන් අතට පත් වී තිබේ. මෙයට ප්‍රධාන හේතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ලයි. 1980 වර්ෂය වැනි ඈත කාලයක මෙහි කැණීම් කොට බෞද්ධ පුරාවස්තු රාශියක් මතු කරගෙන තිබුණද බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් තහවුරු කොට සංරක්ෂණය කරලන්නට ඔවුන් සමත් වී නොමැත. කොටි ත්‍රස්ත සමයේ දී මෙම ප්‍රදේශය අනාරක්ෂිත විය. නායක හිමියන්ට වෙඩි වැදීමෙන් පසු උන්වහන්සේට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතු බවට හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයා 1986 දී පමණ යැවූ ලිපියක් දක්නට ඇත.

නමුත් අලුතින් තැනූ විනයාගර් කෝවිල විසින් මෙහි තිබූ චෛත්‍ය ද අනෙකුත් නටබුන් රාශියක්ද විනාශ මුඛයට ඇද දමා ඇත. පසුව මෙම ඉඩම පිළිබඳ පැවති නඩුවකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂවරයා 2018 පෙබරවාරි මස 08 වැනි දින පොලිසියට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කළ බී වාර්තාවේ දක්වා ඇත්තේ මෙහි වැදගත් පුරාවිද්‍යා සාධක පවතින බවයි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ එම්. එච්. සිරිසෝම මහතා විසින් සන්සෝනි කොමිසමට දුන් සාක්ෂිවල ද සඳහන් වන්නේ මෙයයි. නමුත් පසුගිය යහපාලන සමයේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන මැදිහත් වීම නිසා උතුර සහ නැගෙනහිර පුරාවස්තු යළි පිළිසකර කිරීම හෝ ආරක්ෂා කිරීම අඩපණ වී තිබුණි. මෙම දේශපාලන තීරණ නිසාම ත්‍රිකුණාමල පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා නැවත 2019 ජූලි 08 වැනි දා පොලිසිය වෙත වාර්තා කරනුයේ සහමුලින්ම වෙනස් කතාවකි. විනයාගර් කෝවිල පිටුපස සී සාන ලද භූමියෙහි පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් සාධක අනාවරණය නොවන බවද කෝවිල් භූමියෙහි හින්දු ආගමට අයත් ගල් කණු කීපයක් තිබෙන බවද ඔහු සාවද්‍ය ලෙසට කරුණු වාර්තා කර තිබේ. මෙයින් සිදු වූයේ පුරාවිද්‍යාවට පක්ෂව තීන්දු ගත යුතු නඩුවක් විසිව යෑමයි. ඒ නිසා වර්තමානය වන විට දසවන සියවසට අයත් කුච්චවේලි ආරාම සංකීර්ණය බෞද්ධ ජනතාවට පමණක් නොව පුරාවිද්‍යාවට ද අහිමි වි තිබේ. පුරාවිද්‍යා සංරක්ෂණය යනු දේශපාලන තීන්දු තීරණ අනුව අතහැර දැමීම කළ යුතු දෙයක් නොවේ. වර්තමානයේ උද්ගතව පවතින කුරුන්දාවශෝක විහාර ගැටලුව ද කාරතිවු වෙහෙරපිටිය පුරාවිද්‍යා රක්ෂිතය පිළිබඳ ගැටලුව ද කිලිනොච්චිය ස්ථූප සංරක්ෂණ ගැටලුව ද අපට පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා තීන්දු තීරණ නැවීමට මේ කැත දේශපාලනය සමත් වී ඇති ආකාරයයි. ඉතාමත්ම අවාසනාවන්ත කාරණය නම් අසල්වැසි ඉන්දියාවේ බලපෑම් ද මේ පුරාවිද්‍යා වැඩ කටයුතුවලට බාධා පැමිණවීමයි. මෙය තවදුරටත් අපට ඉවසා සිටිය නොහැකි කාරණයකි.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment