පුරුෂොත්තමවාදි දේශපාලනයට කාන්තා අභියෝගය!

171

ජනාධිපති රනිල් හා මහින්දගේ පොහොට්ටුවේ සුසංයෝගයෙන් ගොඩනඟාගත් ආණ්ඩුව මුහුණ දී සිටින සමාජ – ආර්ථික – දේශපාලන අර්බුදය දවසින් දවස උත්සන්න වන ආකාරය විනා ඒ කිසිවක් සමනය වන බවක් නම් කිව නොහැක. සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල උඩු දුවමින් තිබෙන ප්‍රශ්නවලට මේ ආණ්ඩුවට විසඳුම් ලබාදිය නොහැකි බවට විපක්‍ෂ සිවිල් සංවිධාන පමණක් නොව සාමාන්‍ය ජනතාව අතර ද අදහස් හා විවේචන ද තිබේ. ඒ සියලු දෙනාම අපේක්‍ෂා කරන්නේ අලුත් සමාජ දේශපාලන වෙනසකි. ඒ අලුත් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය හා එය බලගැන්විය හැක්කේ කවරෙකුටද? කෙබඳු දේශපාලන සංවිධානයකටද? යන උභතෝකෝටිකය එතරම් සරලව විසඳා ගතහැක්කක්ද නොවේ. ආණ්ඩුවත් එහි නායකකාරකාදීනුත් ජනතාව ඉදිරියේ මොන දේ ප්‍රකාශ කළත් ඔවුන්ගේ සැබෑ අපේක්‍ෂාව වන්නේ මේ ක්‍රමය මේ ආකාරයෙන්ම නඩත්තු කර ගැනීම බව නිසැකය. එහෙත් එයට තිබෙන අවකාශය ඉතා අඩු බවද ඔව්හු දනිති.

පුරුෂොත්තමවාදි දේශපාලනයට කාන්තා අභියෝගය!

2024 හිස මතට වැටීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණ නමැති මහ වරුෂාවෙන් මුවාවීමට හැකි යැයි ඔවුන් වැඩි දෙනෙක් අපේක්‍ෂා කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නමැති මහා වෘක්ෂය ද දැන් ඔවුන්ට පිහිට නොවන බව ඒ නායකකාරකාදීහුම දනිති. ඒ මහා වෘක්ෂය මුලින්ම සිඳ දැමිය යුතු යැයි කලක පටන් කෑ මොර දෙන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කරු ජයසූරිය පවා පැහැදිලිව ප්‍රකාශ කළේ ඒ කාර්ය සිදු කළ හැක්කේ මෙම ජනාධිපතිවරණයෙන් පසුව බවය. නීති ක්‍ෂේත්‍රයේ ප්‍රාමණිකයන් විසින් ද දැඩිව අවධාරණය කරන ලද්දේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවය. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මේ සම්බන්ධයෙන් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේත් අනුප්‍රාප්තික ජනාධිතිවරයකුට විශේෂයෙන් ජන වරමක් නොමැති විධායකයකට ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවය.

පසුගිය දිනක මල්වතු පාර්ශ්වයේ තිබ්බටුවාවේ සුමංගල මහනාහිමියන් විසින් ද මෙරටේ සකල විධ දේශපාලනඥයන්ට පොදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරමින්ම සඳහන් කළේ ජනාධිපතිවරණය පෙනෙන මානයේ එබඳු සංශෝධනයක් කිරීම මෝඩකමක් බවය. එසේම මහනාහිමියන්ට අනුව තමන් වහන්සේ මෙම ධුරයට පත්වූ 2004 වසරේ සිට මේ දක්වා තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි නායකකාරකාදීන්ට දෙන ලද අවවාද අනුශාසනා ගස්, ගල්වලට ලබාදුන්නා නම් මීට වඩා ප්‍රයෝජනයක් විය හැකිව තිබුණු බවද මහනාහිමියන් අවධාරණය කරති. මහනාහිමියන් මේ විවේචනාත්මක විග්‍රහය සිදුකර තිබුණේ සත්‍යය, සමගිය ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවේ නියෝජිත පිරිසක් අබියසදීය.

මේ ප්‍රකාශය තුළින් අපේ රටේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේම ව්‍යාජ හා අලජ්ජී ස්වරූපය ද ගම්‍ය වේ. මේ නායකයන් රට වෙනුවෙන්, දිවි දෙන අය නොව ‘දිව දෙන’ හෙවත් කටින් බතල සිටුවන්නන් බව මහනාහිමියෝ හඳුනාගෙන සිටිති. මෙහිදී මහනාහිමියන් මෙරටේ පාලකයන්ට තවත් අධිචෝදනා පත්‍රයක් එල්ල කළේ ද මහජන මුදල් නාස්ති කරමින් කොමිෂන් පත් කිරීම පිළිබඳවය. බලයට පත්වන ආණ්ඩු විසින් පත් කරන ලද කොමිෂන් සභා බහුතරයක්ම මුදල් ගිලින බහිරවයන්ට නොදෙවෙනි බව ඒවා සම්බන්ධයෙන් කෙරෙන විවේචනවලින් ද තහවුරු වී තිබේ.

කෙසේ වුවද අද රටේ බහුතර ජනතාව මෙන්ම විශේෂයෙන් ගම් දනව්වල කාන්තා පක්‍ෂයත් මේ දූෂිත හා අදූරදර්ශී පාලන ක්‍රමය වෙනස් විය යුතුය යන දේශපාලන විඥානයකින් පසුවන බවද පැහැදිලිය. ඇත්ත වශයෙන්ම මෙරටේ දේශපාලන ගමන් මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් කිරීමේ ශක්‍යතාව ඇත්තේ කාන්තාවටය. 2022 ගාලු මුවදොර අරගලයේ පළමු ප්‍රතිචාරය දැක ගත හැකි වූයේ ද කාන්තාවන්ගෙනි. කුස්සියේ හිස් බව, දරුවන්ගේ මන්දපෝෂණය මෙන්ම ඉහළ යන ජීවන වියදම විසින් ද අරගලයට තල්ලු කරන ලද කාන්තාව බලවේගයක් ලෙස දේශපාලන පක්‍ෂ වටා රොක්වන බවද පැහැදිලිය. ස.ජ.බ. හා ජා.ජ.බ කාන්තා බලය කුළුගැන්වෙන ආකාරය මෙන්ම ඒවායේදී ප්‍රකාශයට පත්වන කාන්තාවන්ගේ අදහස්, සංවේදනා, චෝදනා වෙන වෙනම හඳුනාගත හැකිය. මේවා දෙස මතුපිටින් බලා සිදු කෙරෙන විවේචන ද ඇසෙයි. දේශපාලන ව්‍යාපාර සමග ආත්මීය ලෙස බැඳීමටත්, ස්ත්‍රීත්වයේ ගෞරවය හා අභිමානය රැක ගැනීමටත් රටක කාන්තාවන් ඉදිරියට පැමිණීම මොන අතින් බැලුවත් විශාල ඉදිරි පියවරකි. ස.ජ.බ. හෝ ජා.ජ.බ. දේශපාලන හමුවල කැපී පෙනෙන කාන්තා නියෝජනය සාම්ප්‍රදායී දේශපාලනඥයන්ට ඉවසුම් නොදෙන්නකි. පසුගිය දිනක ආණ්ඩුවේ ඇමැතිවරයෙක් සඳහන් කළේ තම ප්‍රදේශයේ පැවති ජා.ජ.බ. කාන්තා හමුවක සිටි විශාල පිරිස අතර තම ප්‍රදේශයේ කාන්තාවන් විසිපහකට වඩා නොසිටි බවය. මෙබඳු මූග්ධ ප්‍රකාශවලින් අද තිබෙන කාන්තා උද්යෝගය දුබල කළ හැකිද? දේශපාලනයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් මෙරටේ තිබෙන පසුගාමීත්වය මෙන්ම අධිපතිවාදී පුරුෂ දේශපාලනඥයන් විසින් ඒ කාන්තා නියෝජිතයන් අවමානයට ලක් කරන ආකාරය ද රහසක් නොවේ.

1948 දී ශ්‍රී ලංකාවට නිදහස හිමි වූයේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින්ම මේ රටට ස්වයංපාලනයක් ගෙන යා හැකි බවට සෑහීමකට පත්වී සිටීම නිසාත් රටට ප්‍රමාණවත් ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් ලබාදී තිබීම නිසා බවත් පවසන දේශපාලන විචාරකයෝ ද සිටිති. පනහ දසකය වනවිටත් ආසියාවේ රටවල් අතර ඉහළ ඒකපුද්ගල ආදායමක් තිබුණු රටක් ලෙස ද ලංකාව සඳහන් විය. එහෙත් මෙරටේ පාලනය අත්පත් කරගත් ප්‍රභූ පන්තියට නිසි දේශපාලන දැක්මක් නොවීම රටේ ඉදිරි ගමනට දැඩි බලපෑමක් කළ බවද කියති. අද මෙරටේ බොහෝ සමාජ ආර්ථික විශේෂඥයන්ගේ ක්‍ෂේත්‍රවල ඇසෙන සිංගප්පූරු ආදර්ශය පිළිබඳ කතාවේදී එදා සිංගප්පූරුව ලංකාවට වඩා පහළින් සිටි රටක් බවද සමහරු අමතක කරති.

සිංගප්පූරුවේ හිටපු අගමැති ලීක්වාන් යූ 1956 දී ලන්ඩනයට යන අතරවාරයේදී ලංකාවට පැමිණ එදා ගෝල්ෆේස් හෝටලයේදී නවාතැන් ගෙන සිට ඇතැයි ද වාර්තා වේ. පසුව සිය ලංකා සංචාරය පිළිබඳව සටහන් කරද්දී කොළඹ නගරය අවට ඇවිදිමින් ගොඩනැඟිලි නරඹමින් ප්‍රීති වූ ආකාරය ගැන ද ලියා ඇත. එහිදී ඔහු ලියා ඇත්තේ ලංකාව සිංගප්පූරුවේ නොමැති සම්පත් හා යටිතල පහසුකම් සපිරි රටක් බවය. ඔහු ඒ ගමන ආස්වාදයකින් සිහිපත් කළ බව ඒ සටහන් දෙස බලන විට ද පෙනී යයි. එහෙත් අද ඒ රට පිළිබඳ සැබෑ චිත්‍රය කුමක් ද? එදා සිවිල් පරිපාලනයක් සහිත සමෘද්ධිමත් රටක් වූ ලංකාවේ ඒ සියලු සාධනීය ලකුණු අද විනාශ වී නොතිබේද?

පුරුෂොත්තමවාදි දේශපාලනයට කාන්තා අභියෝගය!

ජනාධිපති රනිල්ට හෝ පොහොට්ටුවේ නායකයන් හා අන් අයට ජනතාවගේ ප්‍රසාදයක් නැති බව ඔව්හු ද දනිති. ජනාධිපති රනිල්ගේ භූමිකාව සම්බන්ධයෙන් තිබෙන විවේචන සුළුපටු නැත. ඒ ක්‍රියාන්විතය ජයවර්ධන ජනාධිපතිවරයාත් ඉක්මවූ අධිකාරි බලයක් ලෙස විවෘත චෝදනාවක් ද වේ. ගෝඨාභය ජනාධිපතිවරයා පලායෑමෙන් ඇතිවූ හිඩැසට අනුප්‍රාප්තිකයකු ලෙස පත්වූ රනිල්ගේ විධායක මැදිහත්වීම් දැඩි දෝෂ දර්ශනයට ද ලක්ව තිබේ. මේ වනවිට ව්‍යවස්ථා සභාව හා විධායකය අතර සටනකි. එය ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගොස් තිබේ. ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරකම් ද චෝදනාවට ලක්ව තිබේ. ඔන්ලයින් පනත සම්බන්ධයෙන් විපක්‍ෂය නඟන චෝදනා බරපතළය. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයකු වන ඇම්. ඒ. සුමන්තිරන් එම පනතට පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අත්සන් තැබීම ද අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් සිටියි. මේවා සම්බන්ධ නීති තර්ක හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කෙබඳු වුවත් මෙම අර්බුදය ව්‍යවස්ථාදායකය, විධායකය කෙරෙහි ජනතාව තුළ ඇති කළ හැකි ආකල්ප කෙබඳු විය හැකිද? මහජන කැමැත්ත හා පොහොට්ටු පක්‍ෂයට හිමි වූ ජනවරම ගැන සිදුවන විශ්ලේෂණ ප්‍රජාතන්ත්‍රවාදයේ හර පද්ධතිය ද ප්‍රශ්න කරන්නකි. මේ ආණ්ඩුව හා ජනතාව අතර සම්මුතිය බිඳවැටී ඇති බවද කියනු ඇසෙයි. විශේෂයෙන් මේ වනවිට අහෝසි කර තිබෙන පළාත් සභා හා පළාත්පාලන ආයතනවල නියෝජනය සම්බන්ධයෙන් දැඩි චෝදනා පත්‍රයක් මේ ආණ්ඩුවට ඉදිරිපත් වී තිබේ. හැටනව ලක්‍ෂයක ජන වරම ජනතාව විසින් ද ප්‍රතික්‍ෂේප කරන ලද පක්‍ෂයකින් ව්‍යවස්ථානුකූලව තේරුණු එකම මන්ත්‍රීවරයකුට වුවද රිසි ලෙස භාවිත කළ හැකිද? එසේම රාජපක්‍ෂවරුන්ගේ අනුමැතිය ඇතිව පත්වූ ජනාධිපති රනිල්ගේ කටයුතු පිළිබඳ වගකීමෙන් මහින්ද ප්‍රමුඛ මන්ත්‍රීවරුන්ට නිදහස් විය හැකිද?

අද මේ ආණ්ඩුවත් එයට සහාය දක්වන සියලුම දෙනාත් ක්‍රියා කරන ආකාරය අතිශය ආන්දෝලනාත්මකය. ජනාධිපති රනිල් හා පොහොට්ටුවේ නායක මහින්ද යන දෙදෙනාම දේශපාලන සටකපටකම් පිළිබඳ කෙළ පැමිණි අය වෙති. ජනාධිපතිවරණය පැවැත්වීම බොහෝ දෙනකුගේ සැකයට හේතු වී ඇත්තේ ද ඒ නිසාමය. ව්‍යවස්ථාව අනුව නිසි පරිදි ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි ආණ්ඩු පාර්ශ්වයෙන් දෙනු ලබන සහතික, කිසිවෙක් ඒ අයුරින්ම පිළිනොගනිති. නිදහස ජනතා සභාවේ ඩලස් දින කීපයකට පෙර මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලා සිටියේ ද වහාම ජනාධිපතිවරණය හැකි ආසන්න දිනක දීම ප්‍රකාශයට පත් කරන ලෙසය. ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය ගැන දොඩවමින් නිදහසට පවා වැලිගසන ආණ්ඩුවක් ලෙස මෙම පාලනයට චෝදනා නැඟී ඇත.

ජනාධිපති රනිල්ට අනුව නම් ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය ආරම්භ කර තිබෙන්නේ මේ ආණ්ඩුවය. ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ දින කීපයකට පෙර (20දා) පැවති එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිපික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරය අමතමින්ය. රජය හා ඉන්දියාවේ සමාගම් අතර එළැඹීමට නියමිත ගිවිසුම්වල ප්‍රතිලාභ ගැන ද ජනාධිපති රනිල් එහිදී සඳහන් කර තිබිණි. මේ අතර මහනාහිමිවරුන් ජනාධිපතිවරයා අමතා ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ රාජ්‍ය සම්පත් විකිණීමෙන් ජාතික ආරක්ෂාවට ද අනතුරු ඇතිවිය හැකි බවය. මහජන විශ්වාසය නොබිඳෙන ආකාරයට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සිදුවිය යුතු බවද මහනාහිමිවරු අවධාරණය කරති. ආර්ථික මර්මස්ථාන වන රාජ්‍ය බැංකු පද්ධතිය හා ආර්ථික හා ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සුවිසල් දායකත්වයක් සපයන ශ්‍රී ලංකා ටෙලිකොම්, විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ව්‍යාපාරික ලාබ අපේක්ෂාවෙන් පමණක් කටයුතු කරන විදේශීය ආයතනවලට විකුණා දැමීමෙන් අනාගතයේදී දැවැන්ත සමාජ, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වීමට මෙන්ම ජන ජීවිතය අඩාල වීමට ද හේතු විය හැකි බව මහනාහිමිවරු අවධාරණය කරති. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සන් සහිතව එවන ලද මේ ලිපිය නොතකා ක්‍රියාකිරීමට ආණ්ඩුවට හැකිද? ඇත්ත වසයෙන්ම එබඳු ආර්ථික පියවර සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් ඇති විය යුතුය. පාලක අභිමතය පරිදි ගත් බොහෝ ආර්ථික ක්‍රියාකාරකම්වල පීඩාදායී ප්‍රතිඵලවලට වන්දි ගෙවන්නේ ද ජනතාව විනා පාලකයෝ නොවෙති.

ජනතාවගේ සුබසාධනය හෝ රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳව ගැඹුරු හැදෑරීමක් නොමැතිව ජනතා මුදල් අවභාවිත කිරීම නිසා රට විපතකට මෙන්ම ආර්ථික වශයෙන් බිඳවැටීමකට ද හේතු වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලද්දේ රාජපක්‍ෂ තුන් බෑයන් (මහින්ද ගෝඨාභය හා බැසිල්) ඇතුළු ඉහළම රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙක් ද වගකිව යුතු බව සඳහන් කරමින්ය. ඇත්තට ම මෙරටේ දිගින් දිගට ම විවිධ ආණ්ඩුවල ප්‍රබලයන් ක්‍රියාකළ ආකාරය මේ රට මෙම ප්‍රපාතයට ඇද දැමීමට හේතු වූ බව නිසැකය. දූෂණය, හොරකම වංචාව හිරිකිතයකින් තොරව සිදු කරන පාලකයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ද ලැබුණු දඬුවම කුමක් ද? ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් ඇමැතිවරයෙක් අත්අඩංගුවට ගත් බව පවසමින් ඇසෙන ප්‍රීති වාක්‍ය ද බොහෝය. එහෙත් මෙරටේ කීදෙනෙක් එබඳු ජාතික අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු නොවෙත්ද? අදත් ජනතාවගේ බදු මුදලින් යස ඉසුරු වළඳන නිලධාරි පැලැන්තියක් හා දේශපාලන නඩයක් ද සිටිති. එපමණක් නොව ජනතාව දරිද්‍රතා පත්ලට වැටී කඹුරමින් සිටිද්දී සුවිශේෂ වරප්‍රසාද ලබන නිලබල සහිත පිරිස් ද සිටිති.

ශ්‍රී ලංකා මහ බැංකුව හා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, වරාය, ශ්‍රීලංකන් වැනි ආයතනවල ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම්, වැටුප්, පහසුකම් ආදිය සම්බන්ධයෙන් ඇසෙන, කියැවෙන තොරතුරුවලින් තහවුරු වන්නේ ඔවුන්ට සුපිරි ජීවන රටාවක් ගෙවීම සඳහා නිදහසේ මහජන මුදල් යොදා ගැනීමට බාධාවක් නැති බවය. තවමත් ආන්දෝලනයට ලක්ව තිබෙන මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කරනු ලැබිණි. ලක්ෂ හය හතකින් වැටුප් වර්ධකයක් එහි ඉහළ නිලධාරියකු ලබාගන්නේ ඔවුන් සතු ස්වාධීන පාලනය නිසා බවද කියති. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පවසා තිබුණේ මෙය සදාචාරවත් ක්‍රියාවක් නොව හැන්ද අතේ තිබෙන නිසා කළ බෙදා ගැනීමක් බවය. මෑතක දී රජයේ සේවකයන්ට ලැබුණු රු. 10,000 සමග සසඳා බලද්දී මේ ධන වාසනාව විස්මය දනවයි. මහ බැංකු විසින් මහ මෙහෙවරක් කරන බවද කියනු ඇසෙයි. එහෙත් මේ රට ආර්ථික ප්‍රපාතයකට තල්ලු වෙද්දී ලක්‍ෂ ගණනින් වැටුප් ලබන, විශේෂඥයන් විසින් කරන ලද කාර්යභාරය කුමක්ද?

නිසැකයෙන්ම අප තවමත් සිටින්නේ ගැඹුරක් නොපෙනෙන ආර්ථික ප්‍රපාතයක මුව විටේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි ඒ ආර්ථික පීඩනයේ වැඩි බර පටවනු ලැබ ඇත්තේ ද පොදු ජනතාව මතය. මේ වනවිට විදුලි බිල ගෙවා ගත නොහැකිව ඉටිපන්දමකින් හෝ කුප්පි ලාම්පුවකින් අඳුර මකා ගන්නා ජනතාව කොතරම්ද? එහෙත් විදුලි බලයේ මහත්වරු එයට සංවේදී නොවෙති. දින කීපයකට පෙර එබඳු මහත් මුවකින් ප්‍රකාශ වූයේ විදුලිය නැත්නම් කුප්පි ලාම්පුවක් පත්තු කරගන්නා ලෙසය. මොන තරම් දුෂ්ට හා වෘෂභ ප්‍රතිචාරයක්ද? මේ නිලධාරියා ඉල්ලා අස්වී ඇතැයි ද වාර්තාවේ. එහෙත් ප්‍රශ්නය එය නොවේ. මේ නිලධාරි මාෆියාවය. දැන් විදුලි බිල අඩු කිරීම ගැන කතා බහක්ද ඇසෙයි. කුමක් වුවත් දේශපාලනඥයන්ටත් ඉහළම නිලබලවලටත් ගජ වාසි ලැබෙන මේ සමාජ දේශපාලනය තව දුරටත් එලෙසම පවත්වාගෙන යා යුතුද? ඒ දූෂිත, ගර්හිත ක්‍රමය නඩත්තු කරමින් ජනතාවට තව කොපමණ කලක් කඹුරන්නට වේද?

advertistmentadvertistment
advertistmentadvertistment