පුර පොහෝදා වෙසගේ සදහම් සිසිල පැතිරේ

117

ආගමෙන් හා දර්ශනයෙන් පොදුවේ බලාපොරොත්තු වන අධ්‍යාත්මික දියුණුවට මාර්ගය දර්ශනයෙහි ඇතුළත් බව ඒ දෙක සසඳා බැලීමෙන් නිගමනය කළ හැක.

එහෙත් ඒ දෙකෙන්ම දැක්වෙන්නේ ලෝකය හා සත්ත්වයා පිළිබඳ විවරණයයි. බුදුසමය ආගමක් හෝ දර්ශනයක් නොව ක්‍රියාමාර්ගයක් යැයි කියන්නෝ ද වෙති. මෙහිදී කිව යුත්තේ බුදුසමය ආගමක් යැයි ද දර්ශනයක් යැයි ද මාර්ගයක් යැයි ද යන නිගමන සියල්ලම සත්‍ය බවයි.

සංසාර විමුක්තිය බලාපොරොත්තුවන්නා විසින් ගමන් කළ යුතු නියම මාර්ගය බුදුරජාණන් වහන්සේ සොයා ගත්හ. උන්වහන්සේ එයට පා තබා සෙස්සන්ටත් එය අනුගමනය කිරීමට ඉගැන්වූ සේක.

“තුම්මේහි කිච්චං ආතප්පං
අක්ඛාතාරෝ තථාගතා”

සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ දඹදිව දර්ශනවාද, මතවාද, පරිණතව පැවැති අවස්ථාවකය. ශරීරයට නානා ප්‍රකාර වධ හිංසා දීමෙන් සංසාර විමුක්තිය ලැබිය හැකි යැයි එකල දඹදිව පහළව සිටි ඇතැම් ආගමික ශාස්තෘවරු දෙසූහ. එය අත්ථකිලමතානුයෝගය නම් විය.

එහෙත් ඇතැම්හු ඒ අදහසට විරුද්ධව සංසාර විමුක්තිය ලබා ගැනීමට නම් කළ යුත්තේ ශරීරයට හැකිතාක් සැප දීම නොවේ දැයි තර්ක කළහ. එය කාමසුඛල්ලිකානුයෝගය නම් විය. යමක් කළ පසු එය දිරා පොළොවට පස් වෙනවා මිස එය නැවත නූපදින්නාක් මෙන් මරණින් පසු පුලුස්සා දමනු ලබන ශරීරය නැවත නූපදී යැයි තවත් කෙනෙක් පැවසූහ.

මෙසේ එකල දඹදිව පැවැති සකල දාර්ශනික මතවලටම වෙනස්වූ මතයක් බුදුරජාණන් වහන්සේ ලොවට ප්‍රකාශ කළ සේක. යමක් සදහටම එකසේ නොපවතී ද? වෙනස් වෙයි ද එය අනිත්‍ය ය. අනිත්‍ය වූ විට එය දුකකි. ලොව වෙනස්වන සුලුය. එම ලෝකයේ වසන ලෝකයාටම අයත් සත්ත්වයා ද වෙනස් වෙයි. පංචස්කන්ධය ලෝකයකි. එය දැරීම දුකකි. එම නිසා සැම ලබීමට නම් පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ පැවැත්ම නැති කළ යුතුය. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ පැවැත්මට තෘෂ්ණාව හේතු වන බව ද, ස්කන්ධ පරම්පරාව හෙවත් සංසාරය නැති කිරීමට නම් තෘෂ්ණාව විනාශ කළ යුතු බව ද බුදුරජාණන් වහන්සේ ඉගැන්වූහ.

ලෝකය හා සත්ත්වයා පිළිබඳව පරම සත්‍ය අවබෝධ කරගන්නා ලද්දේ බුදුරජාණන් වහන්සේ විසින්ය. සෙසු ශාස්තෘවරුන්ගේ මනසට එය ගෝචර නොවීය. බුද්ධ ධර්මයෙහි ශ්‍රේෂ්ඨත්වය රඳා පවතින්නේ එහි ඇති ලෝකෝත්තර තත්ත්වය නිසා යැයි සර් රාධාක්‍රිෂ්ණා තුමා පැවසීය.

දුක සහිත සසරින් මිදී නිවන් පසක් කරගනු කැමැත්තහු විසින් හීන වූ නොසරුප් වූ, කාමසුඛල්ලිකානු යෝගයෙනුත්, හීන වූ, දීන වූ, ළාමක වූ අත්ථකිලමථානුයෝගයෙනුත් ඈත්ව මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත අර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ගමන් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවෙහි දීම දේශනා කළ සේක.

  1. සම්මා දිට්ඨි
  2. සම්මා සංකප්ප
  3. සම්මා වාචා
  4. සම්මා ආජීව
  5. සම්මා වායාම
  6. සම්මා කම්මන්ත
  7. සම්මා සති
  8. සම්මා සමාධි

යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

දඩල්ල, වාලුකාරාම වෙහෙර වැසි
ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment