පුල්මුඩේ ඛනිජ වැලි නිධියත් හොර රහසේ ඉන්දියාවට දෙන්න හදනවා – පුබුදු ජයගොඩ

233

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ඉන්දියානු සමාගම්වලින් අත්පත් කර ගනිමින් සිටින බවටත්, එම ව්‍යාපෘතියට උචිත ලෙස රාජ්‍ය නීති පද්ධතිය වෙනස් කරන බවටත්, ඒ සඳහා ඛනිජ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අත්තනෝමතිකව තහවුරු කරමින් සිටින බවටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කළේය. නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේදී ඊයේ (5දා) පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය.

ඔහු මෙසේ ද කීවේය.

රෑඑක වරම පරිසර අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එක ප්‍රශ්නයක් තමයි මේ ආණ්ඩුවට වසර ගණන්, දශක ගණන්, පරම්පරා ගණන් බලපාන ජාතික ප්‍රතිපත්ති සම්මත කරන්න බලයක් හෝ ජන වරමක් තිබේද යන්න. එහෙම බලයක් නෑ. සමාජ අනුමතියකුත් නෑ. මේ පාර්ලිමේන්තුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තුවක්. ආණ්ඩුවේ සිටින පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගත්තොත් ඔවුන් මේ ප්‍රතිපත්තියට එරෙහි ප්‍රතිපත්තියක් පෙන්වලා ජනතාවගේ ඡන්දය ගත්ත අය. ඒ කාටවත් මේ සඳහා අයිතියක්, බලයක් හෝ ජන වරමක් නෑ.

ඊළඟ ප්‍රශ්නය තමයි මේ ඛනිජ පිලිබඳ ජාතික ප්‍රතිපත්තියේ අන්තර්ගතය. එය මෙතෙක් ලංකාවේ පැවතුණු නීතියේ තීරණාත්මක වෙනසක් සිදු කර තිබෙනවා. මේ වනතුරු ලංකාවේ නීතිය තියෙන්නේ ඛනිජ සම්පත් රජයට අයිතියි කියලා. ඒ නිසා තමයි ඛනිජ කැනීම් බලපත්‍රයක් නැතිව තමන්ට අයිති ඉඩමක පවා ඛනිජ කැනීමට නීතියෙන් ඉඩක් නැත්තේ. ඒ නිසා තමයි ඛනිජ සඳහා රාජ්‍ය භාගයක් අය කරන්නේ. මේ අලුරෑත් ප්‍රතිපත්තියේ කරලා තියෙන්නේ යම් භූමියක අඩංගු ඛනිජ පිලිබඳ තීරණ ගැනීමේදී එම ඉඩමේ අයිතිකරුට ඇති බලය වැඩි කරලා. මේ අලුරෑත් ජාතික ප්‍රතිපත්තියේ 7 වන මූලධර්මයට අනුව ඉඩමේ අයිතිකරුට ඛනිජ කැනීමේ බලයක් හිමි වෙනවා විතරක් නෙවෙයි, කැනීම් බලපත්‍රය වෙනත් කෙනෙකුට ලබා දෙන්නත් පුළුවන්. මීට පෙර මුලින්ම 2023 මැයි 24 වැනිදා මෙවැනි ඉඩක් ලබාදෙන රෙගුලාසියක් නිකුත් කළා. ඊට පස්සේ 2024 ජනවාරි 4 වැනිදා ඉඩම් හිමියන්ට විශේෂ අයිතියක් හිමිවන ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒකට අනුව මන්නාරමේ සහ ත්‍රිකුණාමලයේ ඛනිජ සම්පත් විවිධ ඉන්දියානු සමාගම් විසින් අත්පත් කර ගත්තා. මේ තියෙන්නේ ඒ විවිධ සමාගම් කැනීම් බලපත්‍ර අරන් තිබෙන ප්‍රදේශ වල සිතියම්, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වෙබ් අඩවියේ තිබුණු ඒවා. ඊට අමතරව රජයේ ඉඩම් අක්කර 100කුත් බදු ගත්තා. එය කලේ විවිධ නම් වලින් පෙනී සිටින ඉන්දියානු සමාගම්. දැන් මේ සමාගම් හරහා ඉන්දියාව ලංකාවේ ඉතාම වටිනා ඛනිජ සම්පත් අත්පත් කර ගනිමින් ඉන්නවා. අවසානයේදී මේ මංකොල්ලය සඳහා ජාතික ප්‍රතිපත්තියකුත් හදලා.

දැන් රනිල් – රාජපක්ෂ හවුල උත්සාහ කරන්නේ දැනට රජය සතු ඛනිජ සම්පත් ඉඩම් හිමියා සතුයි කියලා නීතියක් හදලා, ඉඩම් හිමියා ඒ ඉඩම ඉන්දියානු සමාගමට විකුනලා හෝ බදු දීලා, වටිනා ඛනිජ සම්පත් ඉන්දියාව සතු කරන එක. මොනොසයිට් වගේ ඛනිජ වල විකිරණශීලී මූලද්‍රව්‍ය තිබෙනවා. ඉන්දියාව න්‍යෂ්ටික බලවතෙකු වීමට උත්සාහ කරන නිසා විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු වටිනා ඛනිජ අත්පත් කර ගන්න හදනවා වෙන්න පුළුවන්. ඒ වගේම ත්‍රිකුණාමලය – සාම්පූර් වගේ යුද උපායමාර්ගිකව වැදගත් පුල්මුඩේ වෙරල තීරය සිය හිමිකාරීත්වයට ගන්න අරමුණ තිබෙන්න පුළුවන්. ඒ මොකක් වුණත් ලංකාව භූ දේශපාලන මිලිටරි උගුලක පැටලෙනවා.

මේ විනාශයට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි. භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම, පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වල සිටින හෘදය සාක්ෂියක් ඇති රජයේ නිලධාරීන්ටත්, ඛනිජ පිලිබඳ විශේෂඥයන්ටත්, පොදු ජනතාවටත් අපි ආරාධනා කරනවා එක්සත් වී පුළුල් ව්‍යාපාරයක් ගොඩ නගන්න කියලා.”

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment