ගම්පොල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව පාරදෙක ප්‍රදේශයේදී වාහනයකට යටකර ගෙන ගිය කාන්තා මළ සිරුරක් මාර්ගයේ වැටී තිබියදී ඊයේ (18) අලුයම 3ට පමණ සොයාගත් බව පුස්සැල්ලාව පොලිසිය පවසයි.
වයස්ගත පෙනුමක් ඇති මෙම කාන්තාව ප්‍රධාන මාර්ගයේ වංගුවක් සමඟ ඇති ස්ථානයකින් පාර මාරුවීමට ගිය අවස්ථාවේ රාත්‍රි කාලයේ දී මෙසේ වාහනයකට යට වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අනතුර සිදුකර ඇති වාහනය පලාගොස් ඇති අතර නුවරඑළිය දෙස සිට පැමිණ ඇති වාහනයකට මෙම කාන්තාව යටවී ඇති බව මාර්ගයේ ඇති ලේ සහිත ටයර් සලකුණුවලින් හෙළි වන බව ද පොලිසිය පවසයි.
වාහනයට යටවීමෙන් කාන්තාවගේ දෙපා ප්‍රදේශය විනාශ වී ඇති අතර ඇය එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසේ.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ යන නිලධාරින්ගේ උපදෙස් මත පුස්සැල්ලාව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නන්දන කුමාර, පොලිස් සැරයන්වරුන් වන 12534 බණ්ඩාර, 36748 සිංහතිලක යන නිලධාරින් ඇතුළු රථවාහන අංශ හා ගම්පොල සොකෝ අංශය පරීක්ෂණ පවත්වති.
මෙම කාන්තාව කාගේ කවුද යන්න සොයා බැලීමට පුස්සැල්ලාව පොලිසිය කටයුතු යොදා තිබේ.
ගම්පොළ – සුරංග දිල්හාන්