පුහුණුවෙන් හා කප්පාදුවෙන් පසු… වැලපිරෙන්න වැල්දොඩම්

764

වැල්දොඩම් පත‍්‍ර පෝෂණීය එළවළුවක්…
හෙක්ටයාරයකින් වසරකට මෙටි‍්‍රක් ටොන් 50 ක් බරට ගෙඩි…
වසර පුරාම අස්වැන්න….

දකුණු ඇමරිකානු සම්භවයක් ඇති මෙම අගනා පලතුර අපේම දෙයක් හැටියට මේ වනවිට සමාජගතවී තිබේ. බිබිලේ පැණි දොඩම් අහිමි වූ අප බීමට පමණක් නොව මදුළු ගලවාගෙන කෑමට පවා ගහෙන් කැඩූ පසු මාස ගණනින් කල්පිරුණු දොඩම් තොග පිටරටවලින් ගෙන්වා ගන්නෙමු. 2019 වසරේදී ජමනාරං සහ දොඩම් මෙටි‍්‍රක් ටොන් 19497 ක් ආනයනය කර ඇත්තේ රුපියල් කෝටි 150 කට වඩා වියදම් කරමින්ය. අවුරුද්ද පුරා වාරයක් අවාරයක් නැතිව ගෙඩි හැදෙන වැල්දොඩම් ගෙඩි 2019 දී මෙරට නිපදවා ඇත්තේ ලක්ෂ 75 ක් පමණි. ගෙඩියක් ග‍්‍රෑම් 100 ක් වශයෙන් සැලකුවත් මෙටි‍්‍රක් ටොන් 754 කි. දොඩම් වලට කදිම නැවුම් ආදේශකයක් වූ පැෂන්ෆෘට් නිෂ්පාදනය පසෙකින් තබා, විදේශීය පරණ පලතුරු ගිනි ගණන් ගෙවා පරිභෝජනය කරනවාට අමතරව, ඩයි වර්ග හා සීනි දියකර සෑදූ ‘අයිස් පැකට්’ හරහා ලපැටියන්ගේ පවස නිවන්නටද නොපැකිලව ඉදිරිපත්වීම කෙතරම් අවාසනාවක්ද?

පිලිපීනයේ ඇතැම් පාසල් අවට ගැවසෙන වෙළෙඳුන් විසින් දරුවන්ට වැල්දොඩම් අලෙවි කරනු දකින්නට ඇත්තේ ඇතුළත දියරය හා බීජ උරාබීමට ප‍්‍රයෝජනවත් ‘බටයක්’ ද සමගයි. කාම්බෝජයේ ජනතාව මෙහි යුෂයෙන් වයින් හා මත්පැන් නිපදවා ගනී. බොහොමයක් ලාංකික ගෙවතුවල මෙය වගාකරනු දක්නට ලැබෙන්නේ විද්‍යාත්මක වගා කළමනාකරණයක් නොමැතිවය. ඒ නිසා අතරින් පතර ගෙඩියක් දෙකක් හටගන්නවාට අමතරව සැලකිය යුතු පලදාවක් වගා හිමියාට ලබා නොදේ. එසේ නමුත් සිටුවූ අවස්ථාවේ සිට වැල් පුහුණුකිරීම හා කප්පාදුවත්, මල් පිපෙන අවධියේදී කෘතිම පාරගනයත් සිදුකරන්නේ නම්, මෙය ඉතා පහසුවෙන් ආර්ථිකව වාසිදායක වගාවක් වන බවට පත්කරගැනීමේ හැකියාව තිබේ. ලපටි වැල්දොඩම් පත‍්‍රවල ඇති ඉහළ පෝෂණ ගුණය හේතුවෙන් ලාංකික කෑම මේසයේදී එළවළුවක් වශයෙන් වුවත් එයට ලැබෙනු ඇත්තේ ඉහළ පිළිගැනීමක් බවද අමතක නොකළ යුතුය.

පුහුණුවෙන් හා කප්පාදුවෙන් පසු... වැලපිරෙන්න වැල්දොඩම්
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) අයි. කළුබෝවිල මහත්මිය

පැළයක් සිටුවීම සඳහා අඩි එකහමාරක පමණ දිග පළල තිබෙන වළක් ප‍්‍රමාණවත් වේ. වළ කැපීමේදී ඉවත්කරගන්නා මතුපිට පස්වලට හොඳින් දිරූ ගොම හෝ කොම්පෝස්ට් කිලෝග‍්‍රෑම් 10 ක් මිශ‍්‍රකර ඒ මගින් වළ පුරවාගත යුතුයි. මෙයට පසු සති දෙකකින් පැළය සිටුවීමට හැකිවේ. වළවල් කීපයක් ඇතිවිට ඒවා එක පෙළකට තිබිය යුතු අතර, පෙළ සකස්විය යුත්තේ භූමියේ උතුරු දකුණු රේඛාවට සමාන්තරවය. එවිට ඉර නැගීම හා බැසීම වැල්දොඩම් ශාක පේලියට ලම්බකව සිදුවේ. මෙය වැල් පුහුණු කිරීමට සහායකි. වළවල් කැපිය යුත්තේ මීටර් හතර හමාරක පරතරයකිනි. පන්දලම සෑදීම සඳහා වළවල් දෙකක් මැදින් කණුවක් බැගින් සිටුවිය යුතු අතර සිටවූ පසු කණුවේ උස මීටර් දෙකක් පමණ වීම සෑහේ. තරමක් විශාල වගාවක් නම්, එනම් කණු පේලි කීපයක් තිබේනම්, පේලි අතර පරතරයද මීටර් දෙකක් විය යුතුය. කණුවල මුදුනින් ගේජ් 16 ගැල්වනස් කම්බියක් ඇද හොඳින් තද කරන්න.

සිටවූ පැළයට හොඳින් ජලය දැමිය යුතු අතර නැගෙනහිර – බටහිර දිශා දෙකට මුහුණලා පොල්අතු දෙකක් සිටුවා දවස පුරාවටම ලපටි පැළයට හිරුරැුසින් ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කළ යුතු වේ. පොල්අතු යුගලය සති දෙකකින් පමණ ඉවත් කළ හැකිය. පැළය අසලින් කෝටුවක් සිටුවා එහි ඉහළ කෙලවර කම්බිය හා ගැටගැසිය යුතුවන්නේ ලපටි වැල කම්බිය දක්වා රැුගෙන යෑමට ආධාරකයක් වශයෙනි. එය තහවුරු කිරීමට ලපටි වැල්දොඩම් වැලද කෝටුවට හේත්තුකර මෘදු ලෙස ගැටගසන්න. දැන් වගා ස්ථාපන කටයුතු අවසන්ය.

පුහුණුවෙන් හා කප්පාදුවෙන් පසු... වැලපිරෙන්න වැල්දොඩම්

”පැලය ක‍්‍රමයෙන් වර්ධනය වෙනකොට හටගන්නා පහුරුවලින් කෝටුව හොඳට අල්ලා ගන්නවා. අපිට පුළුවන් වැල කෝටුව වටා ඔතන්නත්. ලපටි වැල කම්බිය පහුකරලා මඳක් ඉහළට වැඩුනහම, කම්බියෙන් ඉහළට කොළ 2-3 ක් ඉතිරි කරලා අග‍්‍රස්ථය කපා දමන්න අවශ්‍යයි. දැන් පාර්ශ්වික අංකුර උත්තේජනය වෙලා ඒවාහි වර්ධනය පටන් ගන්නවා. කම්බියට ඉහළින් හෝ පහළින් කම්බියට ආසන්නයෙන්ම හැදෙන ශක්තිමත් පාර්ශ්වික අංකුර එකක් හෝ දෙකක් කම්බිය දිගේ දෙපැත්තට වැඞීම සඳහා ඉතුරුකරලා, ඊට පහළින් ලියලන අනෙක් අංකුර ඉවත් කරන්න ඕනෑ.”

මෙසේ පවසන්නේ හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) අයි. කළුබෝවිල මහත්මියයි. වර්ධනය වෙන වැල්දොඩම් වැල් හිරු එළියට ඉතා සංවේදී බැවින් නිතරම හිරු එළිය වැටෙන දිශාවට හැරී වර්ධනය වීමට වෑයම් කරන බවද ඇය පෙන්වාදෙයි. පන්දලම් සකස් කිරීමේදී උතුර – දකුණ දිශාවට පේලි සැකසීමේ අවශ්‍යතාව ඇත්තේ මේ නිසාය. මෙම සැලසුම නිසා මේ වනවිට කම්බිය දිගේ එකක් උතුරටත් අනෙක් වැල දකුණටත් වනසේ අප විසින් වර්ධනයට යොමුකර තිබෙන ”ප‍්‍රාථමික අතු” දෙකටම දවස පුරාවට මනාව හිරු එළිය ලැබෙන නිසා, ඒවා ඒ මේ අත හැරෙමින් වැඩෙන්නට උත්සාහ කරන්නේ නැත. එමෙන්ම මෙලෙස ඒකාකාරව ලැබෙන හිරුඑළිය නිසා අතු හට ගැනීම සහ මල් හට ගැනීමද උත්තේජනය වේ.

පුහුණුවෙන් හා කප්පාදුවෙන් පසු... වැලපිරෙන්න වැල්දොඩම්

මෙම පැළවලට පොහොර දැමීමේදී සැලකිලිමත් විය යුත්තේ නයිට‍්‍රජන් පදාර්ථය වැඩිපුර නොයොදා සිටීමටයි. එසේ වුවහොත් පැළයේ වර්ධන අවධිය දිගුවී ප‍්‍රජනක පරිනතිය ලැබීම පමාවිය හැකිය. කම්බිය දිගේ ප‍්‍රධාන අතු මීටරයක් පමණ දුරට වැඩෙත්දී වැල කම්බියේ එතීම කළ යුතුය. දෙපැත්තේ සිටුවා තිබෙන කණු දෙක කරා වැල ළඟාවෙත්දී එහි අග‍්‍රස්ථ අංකුරය කපා දමන්න.

‘‘එතකොට වැල දිගටම තිබෙන පාර්ශ්වික අංකුර ක‍්‍රියාත්මක වෙනවා. ඒ මගින් හටගන්නා අතුවැල්වලට කියන්නේ ද්විතියික අතු කියලයි. මේවා පහළ එල්ලෙමින් තිබේවි. මේවායේ පත‍්‍ර නටු අසල තිබෙන පුෂ්ප අංකුර ක‍්‍රියාත්මක වෙලා මල් හැදෙනවා. මල් පිපෙන්නේ අත්තේ ඉහළ සිට පහළට. එය අවසන් වෙනවා සති දෙකකින් පමණ. නියමාකාරයෙන් පරාගනයත් සිදු වුණොත්, අත්තක ගෙඩි 5-8 ක් හැදෙනවා.”

කළුබෝවිල මහත්මිය පෙන්වා දෙයි. පොළොවට ආසන්න වන තුරුම මල් හටනොගෙන වේගයෙන් වර්ධනය වන අතු, මල් කිහිපයක් හට ගෙන තවදුරටත් වර්ධනය නොවන අතු, රෝගී අතු හා කෘමි හානිවලට හසුවූ අතු යනාදිය කපා ඉවත් කළ යුතු බව ඇයගේ අදහසයි. පසුව ගෙඩි හටගෙන අවසන් වූ අතුද කපා ඉවත් කළ යුතුය. වැල්දොඩම් වගාවේ කප්පාදුව යනුවෙන් හඳුන්වන්නේ දිගුකාලීන වගා නඩත්තුව උදෙසා අත්‍යවශ්‍ය වන මෙම ක‍්‍රියාදාමයයි. මෙහිදී කම්බියේ සිට පහළට එල්ලා වැටෙන අත්තේ පත‍්‍ර 3-4 ක් ඉතිරිකර අත්ත කපාදැමිය යුතුය. වැල පල දරත්දීම මෙම පැරණි අතු ඉවත්කිරීම නිසා බිහිවෙන අලූත් අතු පුෂ්ප අංකුර දරමින්ම හටගන්නා නිසා වගාවෙන් අඛණ්ඩව පලදාවක් ලබාගැනීමට වගාකරුවන්ට අවස්ථාව සැලසෙනු ඇත.

කණු දෙකක් අතර පරතරය තුළ ගෙඩි තිබෙන ද්විතියික අතු 40 ක් පමණ පවත්වාගත හැකි වේ. වරකට අත්තකින් ගෙඩි 5 ක් වත් ලබාගන්නේ නම්ද, වසරක් තුළදී දෙතුන් වතාවක් කප්පාදු කරන්නේ නම්ද, වසරක කාලයක් තුළ අත්තක අස්වනු විභවය ගෙඩි 10-15 ක් පමණය. එවිට වැලකට ගෙඩි 400-600 කි. එනම් කිලෝග‍්‍රෑම් 50 ක පමණ සාමාන්‍ය අස්වැන්නකි. මෙහි අවසන් ගණනය කිරීම වන්නේ හෙක්ටයාරයකට වසරකට මෙටි‍්‍රක් ටොන් 50 ක් පමණ අස්වැන්නක් සහ රුපියල් මිලියන දෙකක් පමණ ආදායමක් බව දැන් පැහැදිලිය.

සනත් එම්. බණ්ඩාර
[email protected]

පුහුණුවෙන් හා කප්පාදුවෙන් පසු... වැලපිරෙන්න වැල්දොඩම්
advertistmentadvertistment
advertistmentadvertistment