කරුණාරත්න අබේසේකර

(අප්‍රේල් මස 21 වැනි දිනට මෙම කෘතහස්ත ගුවන් විදුලි මාධ්‍යවේදී, ගීත රචකයා දැයෙන් සමුගෙන 41ක් වසරකි. මෙම සටහන ඔහුට උපහාර පිණිසය)

වර්තමානයත්, 50 දශකයත් එක්තරා කරුණකින් සමපාත වෙයි. එනම් අරුත්බර, රසපූර්ණ, ගීත රචකයන්ගේ ඌනතාවයෙනි. සිංහල සිනමා කර්මාන්තයේ ළදරු විය ගෙවුණු ඒ යුගයේදී, ස්වාධීන තනු නිර්මාණකරුවන් ද බිහිවී නොතිබුණි. එහි ප්‍රතිඵලය වූයේ එදවස ද පරිණත වෙමින් පැවති අසල්වැසි භාරත සංගීතඥයන්, ඔවුන්ගේ සිනමා කර්මාන්තය උදෙසා නිර්මාණය කරන ලද්දාවූ මධුර ගී තනු, සිංහල සිනමා කර්මාන්තයට වැද්ද ගැනීමයි. ඒවායේ තනුවට ගැළපෙන ලෙස අර්ථසම්පන්න ගී පද රචනා සපයන්නන්ගේ හිඟය මගින් අර්ථවිරහිත සක්ක පද සහිත රචනාවන් ගෙන් මෙම සිනමා ළදරුවා ආසාදනය වීමයි.

පරිණතව ප්‍රවීණත්වය ලද ගේය වාග්කරුවකු වූ ආනන්ද සමරකෝන් සූරීන් පමණක් මෙම තත්ත්වය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට සමත්විය. ඔහුගේ නිර්මාණ ඔස්සේ සිංහල සංගීතය නව දිශානතියකට පිවිසෙමින් පැවති යුගයයි ඒ.

ඒ ගමනේ යෙදී, අදී සිංහල සංදේශ කාව්‍ය සාහිත්‍යයේ කැඩපතක් බඳුව, සුරස, කාව්‍යමය, සාහිත්‍යමය, ගී පද රචනාවන් මගින් සිංහල ගීත සාහිත්‍යය මහත්සේ සරු කළ දෙවැන්නා කරුණාරත්න අබේසේකරය. ලංකා ගුවන් විදුලි සේවයට බැඳුණු මුල් යුගයේ ඔහු හිරිමල් යෞවනයකුව, ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ලබන්නට ද පෙරාතුව අසාමන්‍ය පරිණතභාවයක් පෙන්නුම් කරමින්, ගීත රචකයකු ලෙස ශීඝ්‍රයෙන් එහි හිනිපෙත්තට ළඟා වන්නට සමත් විය.

ඔහු එහි පෑ පෙළහර නිසි පරිදි කියා, ලියා නිමකරනට ඇතැම්විට පිටු පන්සියයක් ද ඉක්මවන දැවැන්ත පුස්තකයක් ඇවැසි වනු ඇත. තමන්ගේ ඈවෑමෙන් අතිදක්ෂ ගීත නිබන්ධක පරපුරකට ගුරු හරුකම් ලබා දුන්, සෙවණ සපයා දෙමින් මහත් සේ සිනමා – වෙළෙඳ ගී තැටි – ගුවන් විදුලි ගී ක්‍ෂේත්‍රයන්හි අතු පතර විහිදා ගිය එකී වනස්පතිය පිළිබඳව සටහන් කළ යුතු දෑ එතරම්ම මහත්ය.

1950 සිට දශක හතරක කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පබැඳුම් අතර, නොසලකා හැරිය හැකි, දුර්වල නිර්මාණ නැති තරම්ය. ඒවා අතරින් ඔහු සමුගන්නට පෙර 80 දශකයේ ලියූ රචනාවන්ගේ මධුර මනෝහර බවින් 50 දශකයේ සංකල්පනාවන් හා සමානවේ. සිංහල ගීත රචනා කලාවේ යුග මෙහෙවරක නිරත වූ මේ දැවැන්තයා ගේ දැවැන්ත නිර්මාණ පෙළ වර්ගීකරණයකට ලක්කළ පසු එයින් අංශූ මාත්‍රයක අසිරිය ගෙනහැර පෑම මෙම සටහනේ අරමුණයි.

ඔහුව ගුවන් විදුලි ආයතනයට බඳවා ගන්නට මුල් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය නියෝජනය කළ ප්‍රාඥයන් වූ පණ්ඩිත ගුණපාල මලලසේකර විද්වතා ඇතුළු කණ්ඩායම, සරසවි වරම් ලද ඔහුට එයින් සරුඵල නෙළාගන්නා ලෙස අවවාද කරන ලද බවද, පාසල් වියේ සිටින සිය කනිටු සහෝදරයන් නිසා, තමන්හට රැකියාවේ නිරතවන්නට අවස්ථාව සලසා දෙන මෙන්ද ඉල්ලා සිටි බව කියැවේ.

1964 දී තිරගත වූ සිංහල දෙබස් සහිත හින්දි සිනමා පටය‘අංගුලිමාල’ වෙනුවෙන් පබැඳි, සර්වකාලීන නිර්මාණය ඔබේ රාගී මන කැළැඹේදෝ (බුද්ධං සරණං ගච්ඡාමී), පූර්ව නිර්මිත තනුවක් අරුත්බර කිරීමෙහි නිපුණතාවයකින් හෙබි අබේසේකරයන්ගේ ඊට ගෙනහැර පෑ හැකි හොඳම නිදසුනකි.

පූරක භූමිකාවක රස පබැඳුම්
කරුණාරත්න අබේසේකරයන් ගුවන් විදුලියේදී ළමුන් පිරිසක් සමග

මිනිසා අපමණ සිත්වේදනා, දුක් ගැහැට කම්කටොලු විඳගන්නා අතරතුරේ දී ඉඳහිට ආත්ම තෘප්තිය, සැපත, සතුට ද විඳගනියි. එහෙත් ඊට ද මුවා වී එන සන්තාපය දැක දැන හඳුනාගන්නට ඔහු එකිනෙහිම සමත් වන්නේ නොවේ. බුදු දහම පසක් කොට දී ඇති අයුරින්, ඉමක් කොනක් නැති සසර චාරිකාවක එසේ නිරතවන මිනිසා නමැති සත්වයාගේ ජීවිත යථාර්ථය මේ කවියා සිය ගී පද අතරේ සටහන් තැබූ අවස්ථා එමටය. සසර පුරුද්දෙන් ඔහුට උරුමව තිබූ අපූර්ව පරිකල්පන ශක්තිය පසුව භාෂා ඥානය නම් වූ උරගලින් තියුණු දියුණු කරගත් ඔහු එයින් අරුත්බර, රසපූර්ණ ගී පද සංකල්පනා මවා දුන්නේය. ඒවා ක්‍රමයෙන් කලඑළි බසින්නේ 50 දශකයේදීමය. 1959 දී තිරයේ ඇඳුනු ‘දස්කම’ සිනමාපටයේ දී අකාලයේ සමුගෙන ගිය‘එඩ්වින් සමරදිවාකාර’ සංගීතඥයා ගේ තනුවකට පණ්ඩිත් අමරදේව විසින් ගැයු ඔහුගේ ගී පද රචනයකි මේ.

ගීයකින් සිදුකළ දම්දෙසුමක් බඳු මේ පදපෙළ ඔස්සේ නුවණ මෙහෙයවන්නේ, කවරකු ද ඔහු හෝ ඇයට ඒ බව මනාව පසක් කරගත හැකිය.

ඉපිද මැරේ යළි ඉපිදේ …..
නොතිර සසර සාගරේ …….
අතරතුරේ නොමැරි මැරේ දසදහස් වරේ…….
කුමන නැටුම් කෙළි කවට සිනා දා ….
මරුහට නැත කිසි තැනකදී බාධා…..
ඔබට නොදන්වා මරුමෙහි ආදා ….
යන්නට සිදුවන්නේ …
ඉන්නට බැරිවන්නේ ….

1971 තිරයට මුදාහළ ‘ඉහත ආත්මය’ සිනමා කෘතියේ ඇතුළත් සුසාන භූමියක ජවනිකා පෙළක් වෙනුවෙන් පණ්ඩිත් අමරදේවගේ හට, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මියැසිය හමුවේ, ඔහු මෙලෙස සිය පෑන්තුඩ මෙහෙය වීය.

අනන්ත මහ සසර කතරේ…නිරන්තරේ ගමන් කරන…
පොදි බැඳගෙන වරින් වරේ….
සියල් සතුන් ගිමන් නිවන පාළු භූමියයි…
කැඳවීමක් නොලබා එන පාළු භූමියයි….

පාලි, සංස්කෘත, සිංහල එකිනෙකා හා සමීපව බැඳි ත්‍රිත්වය, හොඳින් හදාරා එයින් සරුඵල නෙළා ගත් අබේසේකරයන්, මුලින් කී භාෂා ද්විත්වයේ තත්සම වදන් පමණ දැන නිසි පදමට සිය නිර්මාණයන් උදෙසා භාවිත කරන්නට වගබලා ගත්තේය. එයින් ඒවායේ සරල, සුගම බව රැකගත්තේය. ඒ නිසාවෙන්, සාමාන්‍ය භාෂා ඥානයකින් හෙබි බාල – මහලු සැමහට ඔහුගේ පබැඳුම් රසවිඳීමේ බාධාවක් තිබුණේ නැත.

මංමුළා වෙලා අඳුරේ මේ යන්නේ කොහේ දැන් අප සැමා …………..
ඒ සිතේ ශෝකෙන් මේ ආලෙන් මේ බිමෙන් විනාසේ වැටී වැනසෙනවා සැමා ………..
රූපෙට රැවටිලා ඇති සිත රාගෙන් …. නාස්ති කළේ ඇයිද වැරදි තාලෙන්…..
ජීවිතේ මේකද නෑ තව තේරී…. මේ ලොව සිහිනෙකි මායාකාරී…..
මිහිරි රස මිහිරි උරා බී වින්දේ ඇයිද විස ලෝකයා…?

(ධර්මදාස වල්පොළ, දීපශීඛා – 1964)

ගීයක මුඛ්‍ය පරමාර්ථය ශ්‍රාවක සමූහයා පිනවීම විය හැකි වුවද, එයින් මදකුදු ඔබ්බට ගොස් ඒ සමගම ඔවුනගේ නැණ නුවණ පාදා දීම සඳහා ඔහු තමාට අවස්ථාව ලද හැම විටක දීම උත්සහ දැරීය.

දෙවියන් වන්නේ තිරිසන් වන්නේ ….මිනිසාමයි ලෝකේ …
කණාමැදිරි දස දහසක් දෙනවද .. සඳ දෙන ආලෝකේ …..

(ධර්මදාස වල්පොළ, ඔක්කොම හරි-1967)

නමුත් මේ කලා මාධ්‍යය ඔස්සේ මිනිස් දිවියේ අසිරිය, සුන්දරතාවය මතුකර දක්වන්නට තැත්දැරූ බහුතර ගීත රචකයන් අනුව යමින් ඔහු ද එවන් නිර්මාණ අතිවිශාල සංඛ්‍යාවක් බිහිකරන්නට දායක වුවද, මතු කී ලෙසම, ඉඳහිට අසන්නා සිහින විමන් වෙතින් මදකට මෑත් කරවා, ඔහුට සිතන්නට යමක් ඉතිරි කරන්නට ඉඩකඩ තැබීය.

ලෝකයේ තැන තැන – ප්‍රීතිය ලුහුබැඳ…
සැරිසරති මගියෝ ……
මිනිසුන් ධනපති සිහිනෙන් දැකනැති සැප දනිති දුගියෝ…
පැල්පත තුළ ඇත මන්දිර තුළ නැති සම්පත සුව සහනේ…
සිව්දිග කොයිබද බැන්දේ ජය දද …. කෑදර ධනකාමී…
දිළිඳුන් අතරේමයි විමානේ දෙවියන්ගේ ….

(ධර්මදාස වල්පොළ – කේසර සිංහයෝ -1972, ගී තනු – ප්‍රේමදාස අතුකෝරාළ)

ද්‍රරිතාවයේ පතුලට ගිය හැම තැන්හී වඩ වඩාත් දක්නට ලැබුණු ඒ අවධියේ රැකියා සිහිනය බොඳකර ගන්නට සිදුවී, සිය අසරණ දෙමව්පියන්හට තවදුරටත් බරක් ව සිටි පාසල් විය නිමකළ මානවක මානවිකාවන් ද බොහෝ විය. සිනමා සහ වේදිකා නාට්‍ය මාධ්‍යයන් ප්‍රමුඛව මේ තත්ත්වය සාකච්ඡාවට බඳුන් කරන්නට ඇතැම් කලාකාරුවෝ උත්සුක වූහ. අප ගීත නිබන්ධකයා ද එයින් මිදෙන්නට පැකිළුනු බව හෙළිදරවු වන මෙබඳු සංකල්පනාවන් ද වෙයි.

දෙවියනි අසරණ අයගේ වේදනා ….
ඔබහට සතුට ගෙනේදෝ ?
ලොව දිළිඳුන්ගේ කඳුළු පිරිලා …
විමාන නොගලනවාදෝ …
නැතිවදෝ… ඒ මහ බලේ ඔබගේ…
අප සිතනාවූ විලසේ… නැතිනම් බලේ වැඩිවන්නේ…
කාගේදෝ ලොවේ…?
ඔබ කළ පාපේ දිළිඳුකමයි… ඒ අද ඔබගේ දෑස තෙමයි…

(මොහිදීන් බෙග්,‘ගැහැනියක් – 1979, පී. එල්. ඒ. සෝමපාල)

එවන් ගී පද සංකල්පනා ඔස්සේ සිතුවිලි රැහැන් මෙහෙයවා, තමා ගතකරන දිවියේ වළගොඩැලි, බාධක, හිරිහැර කටු කොහොල් මඟහරවා ගත්තෝ ද එමට සිටින්නට ඇත. අබේසේකරයන්, අල්හාජ් මොහිදීන් බෙග් වෙත පුදකළ මහඟු ගී දායාද අතර, 1975 වසරේ ප්‍රදර්ශිත ‘දමයන්ති’ වෙනුවෙන් පී. එල්. ඒ. සෝමපාලගේ සංගීත රටාවන් අනුව ලියැවුණු පහත පබැඳුම ද වේ.

එකට එක්වී එකට කාබී එකට සැතපීලා…
උගුල අටවයි විපත පටලයි මුරුග ගති පාලා..,
ලෝකයේ මරවිසක් නැත වෙන මිනිස් විස වාගේ…
සිනාවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා…
සිතේ ඇතී දේ කවුද දන්නේ කියන්නට විමසා…?

මොහිදීන් බෙග් සහ ඔහු එක්වී බොදු දනන්හට පුදකරදුන් මහඟු දායාදය ‘බුද්ධං සරණං ගච්ඡාමී…..’ ජනාදරයට පාත්‍රවෙද්දී, ඔහු සිනමා ගීත රචනා කලාවේ දසවස් සම්පූර්ණ කරන්නට නියමිතව තිබිණි. ඔහුගේ පළමු සිනමා ගී නිබන්ධන එකතුව දොරට වැඩියේ 1955 වසරේ ‘අසෝකා’ සිනමා කෘතියෙනි. එහි බෙග් මාස්ටර් විසින් හඬ අවදිකරවා, ඔහු සිය මුල් ගී පද රචනා මාලාවෙන් ශ්‍රාවකයන්හට මෙනෙහි කරන්නට යමක් ඉතිරි කොට තැබුවේ පැනපොඩියක් විමසමිනි.

තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝළම් නටන්නේ ..?
දිළින්දා රජින්දා උපන් සේ නැසෙන්නේ .. ඔවුන්ගේ නමයි මේ ලොවෙහි
රැකෙන්නේ…
උසස්කම් පහත්කම් සොයලා බැලීමෙන්… වැඩක් නෑ පලක් නෑ ඊර්ෂ්‍යා කිරීමෙන්….
රාග ද්වේෂ මොහේ මානේ වෙලිලා බැඳිලා සාපයක් ම වාගේ වෙවී පාපේ ගැලීලා …
මළදා නිදන්නේ එකටයි ද කනත්තේ.. කුලමල ජාති බේදේ එදා නෑ නැඟෙන්නේ…
කුමට ද කා බී නිති සැරසෙන්නේ කොතනද මේ කය අරගෙන යන්නේ ..?

(සංගීතය පී. එල්. ඒ. සෝමපාල)

වත්මන් යුගයේ තරමටම, සාමාජය සංකීර්ණත්වයට පත් නොවූ, අල්පේච්ඡ සද්ජනයා මෙතරම් දුලබ නොවූ යුගයක, ඔහු ලියූ දෑ රසවිඳ එයින් නොනැවතී එහි අරුත් දැන හැඳින අවබෝධ කරගෙන ජිවීතාර්ථය දැන කියා අවබෝධ කරගත්තෝ එමට සිටින්නට ඇත. එදවස දිවමන්ව සිටි සුපේකෂකාමී, ශීලගුණෝපිත මහ තෙරවරු ලෞකික සමෘද්ධියේ සීමා මායිම් දම් දෙසුමෙන් ඔවුනට පහදා වටහා දීමෙහි යෙදී සිටිය දී, කරුණාරත්න අබේසේකරයෝ ඒ කාර්යය ගීත මාධ්‍යයෙන් ඊට දායක වුව මැනවයි සිතන්නට ඇත. මන්ද යත්, ඔහුද නිරන්තරයෙන් ඒ මහතෙරවරුන්ගේ ඇසුර, අවවාද අනුශාසනා ලබමින්, ඔවුන් ඇසුරේ සිය භාෂා නිපුණත්වය, පාණ්ඩිත්‍යය වැඩි දියුණු කරගත් හෙයිනි.

වරෙක ඔහු සිය ශ්‍රාවක රසිකයන්ගෙන් මෙලෙස විමසා සිටියේය.

පූරක භූමිකාවක රස පබැඳුම්

මොකටද කාසි බාගේ හොයාතියා…? යනකොට ගෙනියනවද අනේ ඕයා..?
වෙනසක් අපේ නැතේ එයා කියා මෙයා කියා……….
මසුරා නොකා නොබි නිදා නාකී වී මැරී යනවා ….
අපි මේ කකා බිබී නටා දැන් මළත් සිනා වෙනවා….

(මොහිදීන් බෙග් ඇතුඵ පිරිස, දෙයියන්ගේ රටේ – 1958)

එදවස රංගශිල්පියකු ව සිට සිනමාවේදයේ ප්‍රවීණත්වයට පත් කිංස්ලි රාජපක්ෂ විසින් නිපැයූ‘කලණ මිතුරෝ’ තිරගත කරන ලද බවට වාර්තා වන්නේ 1971 වසරේ මාර්තු 03 වැනිදාකය.

ඊට ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න යෙදූ රසාලිප්ත තනු නිර්මාණයන්ගෙන් හැඩගැන්වූ ගී පද අතර අබේසේකරයන්ගේ නිර්මාණය මෙපරිදි විය. මෙහි දී ඔහුී‘බෞද්ධ දර්ශනය’ එනම් ලෝ දහමේ තතු හකුළා දැක්වූවා වැන්න. එහිදි ඔහු ඔබට මට කදිම ධර්මෝපදේශයකින් සංග්‍රහ කරයි. ඔබ අත්නොහැර ළඟින්ම සිටින අතිජාත මිතුරා‘දුක’ නොවේද? එසේ සලකන්නට හේතු පාදක වූ කරුණු ද කිම ද? වින්දනය ලද සැපය අබිබවා අපමණ වාර ගණනක් ඔබීදුකින් තැවෙන්නට ඇත. එදත් අදත් මතුත් එය එසේම වනු ඇත. ‘සැපය’ට මුවා වී හැංගි හොරා ඒ පසුපස ඇදෙන්නේ දුකමය. සැපය කුමන මොහොතක හෝ සිය වෙස්මුහුණ ගලවා දමයි. එවිටය ඔබ අප එය‘ දුක’ යැයි වටහගන්නේ. එනම් ලොව සැබැවින්ම රඳා පවතින්නේීදුක මත්තේය යන සදාතනික දහමයි.

මිතුරකු ලෙස දන්න… දුක ළං කරගන්න…
එවිට අහස පොළොව දෙපලු වුණත් හැකිවෙයි ඉවසන්න….
සැපත ලෙස දැනෙන්නේ …..
දුකක මුල පිරෙන්නේ …
ඉතිං වෙස් බැඳගෙන එන සැපතට මොටද මුලා වෙන්නේ..?
උපන් කාට උනත් මේ චංචල ලෝකේ…
දුකයි සැපයි පමණි තනියට ළඟ ඉන්නේ …
එයින් සැපත වහා ඔබ අතහැර යන්නේ …
නමුත් දුක පැල්බැඳ සදහට නවතින්නේ…

(වික්ටර් රත්නායක – කලණ මිතුරෝ – 1971, මවුත්ඕගන වාදන – කුමාර් මොල්ලිගොඩ)

1951 පමණ වෙද්දී ලංකා ගුවන් විදුලි සේවය වෙත පිවිස සිය මධුර හඬින් සහශ්‍ර සංඛ්‍යාත ශ්‍රාවකයන් වශීකෘත කළ ඔහු නිසිකල් පිරෙන්නට ද පළමුව එහි ස්ථිර සේවයෙන් ඉවත්වෙද්දී 1967 වසර ගතවෙමින් පැවතණි.

එතැන්හි සිට ඔහු ඊට බරපැන උපයා සපයා දෙන්නට සිය දහදිය ශ්‍රමය වැයකළේ අනුග්‍රාහක වැඩසටහන් පූරක භූමිකාවේ නිරතවෙමිනි. ඒවා සංකරත්වයෙන්, පරබසින් කෙළෙසා දමන්නට ඉඩකඩ නොතැබූ හෙතෙම, ඒවාය රමණීය හෙළඅරුත් සපයා, ඉන් නොනැවතී, ගී පදවැල් බඳු ශීර්ෂ පාඨයන් මගින් සාරවත් කළේය. ඒ වැඩසටහන්, ඔහුගේම වදන් කෝෂයෙන් හෙළ බසට එක්වූ ගුවන් ගැනීම සිදුවූ සති අන්තය වනතුරු, එකී මිහිරි හඬ සවන වැකෙනා තුරා නොඉවසිලිමත් වූ ශ්‍රාවක පිරිසක් ද එදා සිටියහ.

සිය ශ්‍රාවක දනන් ශික්ෂා මාවතකට පිවිස, ඇතිතතු අවබෝධ කරගන්නට, අන් කවර ගීත ප්‍රබන්ධකයකුට වඩා, සිය නිර්මාණ කෞෂල්‍යය මෙහෙය වූ අබේසේකරයන් හට සිය මෙහෙවර නිසි පරිදි ඉටු කරන්නට ඉරණම විසින් ඉඩ තැබුවේ නැත. සිය දිවිමගේ තෙපනස් විය පසුකර නොගිය ඔහු, පාසල් වියේ සිය ආදරණිය පුතු‘ දිලීප ද අපමණ දුක් සංකා විඳ, දිනූ ආදරණී බිරිඳ ඉරානි ද, තනිකර දමා, 1983 බක්මස විසිඑක් වැනි දාතමෙන් මෙලොවින් සමුගෙන ගියේය.

● ප්‍රභාත් රාජසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment