පූර්ණත්වය කියන්නේ ළඟාකර ගතයුතු දෙයක්… ‘මම තවම’ ගමනක – ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ

574

මෙරට සාහිත්‍ය වංශයෙහි ”අබය මුද්‍රාව” ලෙස අභිනන්දනය වන ඔහු, දශක හයකට ආසන්න කාලයක් තිස්සේ කවිය, ගීතය, පරිවර්තනය මතු නොව සමාජ, දේශපාලන හා සාහිත්‍යය විචාරාදියෙහි නිරත ප‍්‍රවීණ ලේඛකයෙක්ය. ලේඛනයෙහි ඔහු විසින් දක්වන ප‍්‍රතිභාව ඉමහත්ය. සම්භාව්‍ය විශ්ව සාහිත්‍ය මෙන්ම අද්‍යතන සාහිත්‍ය පිළිබඳ ප‍්‍රාමාණිකයකු මෙන්ම ඒ ඇසුරෙහි සමීපව කටයුතු කරන්නකු වන ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන් ඔහුගේම නිර්මාණ ඇසුරෙන් හඳුන්වා දීම පිණිස ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ගයන ”අඩවන් වූ දෙනෙතින් ගලනා” ගීතය සහ විශාරද නන්දා මාලනිය ගයන ”මිහිමඬලේ අඳුරු කුසේ” යන ගීත දෙක පමණක් වුවද ප‍්‍රමාණවත්ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල (2020) ජීවිතයේ එක් වරක් පමණක් පිදුම් ලබන ”සාහිත්‍ය රත්න” සම්මානයෙන් පිදුම් ලබන ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන් එහිදී වසරේ විශිෂ්ඨතම පරිවර්තනයට හිමි රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලබන්නේය. මෙවර අකුරු දිගේ සාහිත්‍යය සංවාදය විවර වන්නේ එම නිර්මාණ අඩවියට පිවිසීම පිණිසය.

පූර්ණත්වය කියන්නේ ළඟාකර ගතයුතු දෙයක්... 'මම තවම' ගමනක - ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ

ප‍්‍රශ්නය – මෙරට සාහිත්‍ය ප‍්‍රබෝධය පිණිස දශක හයකට ආසන්න කාලයක් ඔබ විසින් දක්වන ලද දායකත්වය පිළිබඳව තෘප්තිමත්ද?

මගේ ලේඛන ජීවිතයේ මුල් කාලයේ සිටම ප‍්‍රකාශයට පත් වූ පොතපත සහ අනෙකුත් ලේඛන පිළබඳව හැකි තාක් දුරට විධිමත් වාර්තාවක් තබා ගැනීම මගේ සිරිතක්ව පැවතුණා. කලක් ගත වන විට එම වාර්තාව එක ආකාරයක ”ප‍්‍රකාශන නාමාවලියක්” බවට පත්ව තිබෙනවා. මේ ප‍්‍රකාශන නාමාවලී කාලක‍්‍රමානුකූල වශයෙන්ද, විෂයානුකූල වශයෙන්ද, පවත්වා ගැනීම නිසා මගේ ලේඛන ජීවිතයේ මුල් වකවානුවට එබී බැලීම, තරමක් පහසු කාර්යයක්. මෙම කරුණු ටික පවසන විට ඔබට හිතෙන්ට පුළුවනි, මා සැලසුමක් ඇතිව ජීවත් වුණු කෙනෙක් බව. ඒක එහෙම නෙවෙයි. මගේ ජීවිතයට කිසිම අවස්ථාවක සැලසුමක් තිබුණේ නෑ. නමුත්, මා ලියූ කියූ දේවල්වල වාර්තා තබා ගැනීම, ටිකෙන් ටික පුරුද්දක් බවට පත් වුණා විතරයි. ඒ අනුව ආපසු හැරී බලද්දී මට පෙනී යන්නේ, මගේ මුල්ම ග‍්‍රන්ථය නිකුත් වුණේ පසුගිය ශත වර්ෂයේ මැද භාගයේදී බව. මගේ මුල්ම පොත සරච්චන්ද්‍රගේ නවකතා නමැති ඉතා කුඩා විචාර ග‍්‍රන්ථයක්. එය පළව ඇත්තේ, 1964 වර්ෂයේ. මේ පොත පළ කළ ගුණරත්න සමාගමේ ඇල්. ගුණරත්න මහතා පොතේ කර්තෘ භාගය හැටියට රුපියල් එකසිය විසිපහක් (රු:125/-) එවා තිබුණු බව මට දැනුත් සිහි කළ හැකියි. දැන් ඉතින් අප ඉන්නේ ඊට අවුරුදු 56 කට මෙහා 2021 අවුරුද්දෙ අග භාගයේ. ඒ කියන්නේ, මගේ ග‍්‍රන්ථකරණයට දශක හයකට හොඳටම කිට්ටු තමයි.

හැබැයි ඉතින් මගේ ඒ මුල් පොත නිකුත් වන්ට, අවුරුදු ගණනකට පෙර රසවාහිනි, නවයුගය, නවලෝකය, ග‍්‍රන්ථ විචාර, උදය ළමා ස`ගරාව සහ තවත් විවිධ වාර ප‍්‍රකාශනවලත්, පුවත්පත්වලත් මගේ ලිපි 59 ක් නිකුත් වෙලා තියෙනවා. ප‍්‍රසිද්ධියට පත් වූ මුල්ම ලිපිය, 1956 වසරේ ජයන්ති නැමැති ස`ගරාවේ 11 වැනි කලාපයේ පළවුණු ”සුඛෝ බුද්ධානං උදපාදෝ” නමැති ලේඛනය. ඇත්තටම ඒක ඒ කාලයේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පැවැත්වුණු තරගයක මුල් තැන හිමි වුණු රචනයක්. මෙම රචනයට හිමි රු: 75 ක ත්‍යාගය එවකට බෞද්ධ මණ්ඩලයේ ලේකම්ව සිටි ආචාර්ය ආනන්ද ගුරුගේ මහතා අතින් ලබා ගත් බව මට තාමත් මතකයි.

ඒ අනුව බලන විට, මගේ ලේඛන ජීවිතය ගණන් හදා බැලූවොත් දශක හයහමාරක් පමණ වෙනවා. කොහොම නමුත්, මගේ මුල්ම නිර්මාණාත්මක කෘතිය 1965 වසරේදී පළවුණු නෙත් දෙකක් නමැති කවි පොතක්.

එතැන් සිට මේ වන තුරු මගේ නමින් මේ වන විට පළ වී ඇති ග‍්‍රන්ථ සංඛ්‍යාව 289 ක්. ඒ පොත් 289, මේ වන විට මුද්‍රණ වාර වශයෙන් 564 ක් වෙනවා. ඒ කියන්නේ, පොතක එක මුද්‍රණයට පිටපත් දාහක්ය කියා සැලකුවත්, මේ වන විට, මගේ නමින් නිකුත්ව ඇති පොත්වල පිටපත් සංඛ්‍යාව පන්ලක්‍ෂ හැටහතර දාහක්වත් විය යුතුයි. මා මේ ගණන් මිමි කියන්නේ, හරියටම නිවැරදිව නෙමේ. මා ආධුනික ලේඛකයකුව සිටි කාලයේදී පවා, එක මුද්‍රණ වාරයකදී පොත් දෙදහස, තුන්දහස වශයෙන් නිකුත් වුණු අවස්ථාත් තියෙනවා.

ඒ අතර විවිධ පුවත්පත් ස`ගරාවලට මා මෙතක් ලියා ඇති ලිපි ලේඛන සංඛ්‍යාව තුන්දහස ඉක්මවන බව මගේ සාමාන්‍ය හැ`ගීමයි. සිංහලෙන් වැඩි වශයෙනුත්, ඉංගිරිසි බසින් සුළු වශයෙනුත් ප‍්‍රකාශයට පත්ව ඇති මේ පොත් සහ ලිපිලේඛන කන්දරාව දෙස බලන කොට මගේ ලේඛන ජීවිතය ගැන තෘප්තිමත් නැතැයි කියා, බොරුවට කියන්නේ මොකටද?

ඇත්ත වශයෙන්ම කිසියම් සතුටක් මා තුළ තියෙනවා. මගේ පාඨකයන්ට මෙන්ම, මා දැන හඳුනන අයටත් ඇතැම් විට මේ සංඛ්‍යා ලේඛන ගැන පුදුම හිතෙන්ට පුළුවන්. ඇත්තටම, ඔවුන්ටත් වඩා ඒ ගැන පුදුමයක් හිතෙන්නේ මට. මේ වැඩ කන්දරාවට මා කළ විවිධ දේශනත් මා නිර්මාණය කළ ගීතත් අමතර දේවල් හැටියට එකතු කළ යුතුව තිබෙනවා.

ඒ කෙසේ වෙතත්, මා ලබන ඒ සතුට පූර්ණ තෘප්තියක් කියන්ට මා කොහෙත්ම කැමති නෑ. නොකළ වැඩත් කළ හැකි වැඩත් අතිවිශාල ප‍්‍රමාණයක් මා ඉදිරියේ තිබෙනවා කියල, දැනුත් මට හිතෙනවා. ඒ නිසා ඔබේ ප‍්‍රශ්නයට ”තෘප්තිමත්ය” කියා මා දෙන පිළිතුර, ඇත්ත වශයෙන්ම සාපේක්ෂ එකක්. අසම්පූර්ණ පිළිතුරක්.

ප‍්‍රශ්නය – ප‍්‍රවීණ සාහිත්‍යධරයකු, විචාරකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු ලෙස පූර්ණත්වයට පත්වීම පිණිස එසේත් නැත්නම් මේ සා සාරගර්භ සාහිත්‍යයික මෙහෙවරක් පිණිස ආරම්භය ලබාගත්තේ මොන ආකාරයෙන්ද?

පූර්ණත්වය කියන කාරණයත් සාපේක්ෂ ප‍්‍රකාශනයක්. ඇත්ත වශයෙන්ම, තවමත් මා ගමන් කරමින් සිටින්නේ, ඔබ කියන ඔය පූර්ණත්වය දෙසට. කොහොම නමුත් ආරම්භය ගැන නම්, මට ඉතාම පහසු පිළිතුරක් දෙන්ට පුළුවනි. මේ සියල්ලේ ආරම්භය අපේ පාසල. අපේ ගුරුවරු. එදවස පැවති පත්තර, ස`ගරා, විශේෂයෙන්ම, උඩකැන්දවෙල සරණංකර හාමුදුරුවන් ගේ නවලෝකය ස`ගරාව. උන්වහන්සේ වගේම, අපේ මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ. මේ සියලූ උල්පත්වලින් තමයි මගේ සාහිත්‍ය ගමනේ ආරම්භය සිදුවන්නේ. මගේ පුංචි පුස්තකාලයේ ඉන්නෙත් සරණංකර හාමුදුරුවෝත්, මාර්ටින වික‍්‍රමසිංහ මහත්තයත් විතරයි. පසු කාලයක කියවන්ට ලැබුණු රුසියානු, සෝවියට් සහ ඉන්දියානු සාහිත්‍ය කෘතීන්ගේ ඇසුරත්, මගේ ලේඛන ජීවිතයේ මුල්ම උල්පත් ලෙස හඳුනාගන්ට පුළුවනි. විශේෂයෙන්ම මුල්කාලයෙදී පටන් මට ලැබුණු ද්විභාෂික අධ්‍යාපනය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ අධ්‍යාපනය කොතරම් අක‍්‍රමවත් වුණත්, ඉංගිරිසි සිංහල දෙබසින්ම විශාල පොත් සංඛ්‍යාවක් ශිෂ්‍ය ජීවිතය තුළත් තරුණ කාලයේදීත් කියවන්ට ලැබීම, මා ලැබූ විශේෂ භාග්‍යයක්. ඉතින් මේ තැන්වල තමයි, මගේ ගමනේ මූලාරම්භය දැකිය හැකි වන්නේ.

ප‍්‍රශ්නය – කවිය, ගීතය, පරිවර්තන සාහිත්‍ය ඇතුළු තවත් සාහිත්‍යය කලාප කීපයක් හරහා දුර ගමනක් පැමිණි ඔබ වඩාත් සාර්ථකත්වයට පත් වන්නේ කුමන නිර්මාණ කලාපය තුළද?

මේ සම්බන්ධයෙන් නිසැක පිළිතුරක් දීම අමාරුයි. එක අවධියක කවිය සහ ගීතය තමයි වඩාත් සාර්ථක කියා මට හිතුණේ. දැන් නම් මට හිතෙන්නේ, සාහිත්‍ය පරිවර්තනය කියල. ඒ කියන්නේ කෙටිකතා, නවකතා, කවි සහ චරිත කතා පරිවර්තනය. සිංහලට වගේම ඉංගිරිසියටත් මම ටිකක් පරිවර්තනය කරල තියෙනවා. මගේ සාහිත්‍ය ජීවිතයේ පරිවර්තන කාර්යය තරමක් ඉස්මතුව පවතිනවා කියා මටත් හිතෙනවා. හැබැයි ඉතින්, තවත් අංශයක් ගැන මෙතැන්දිම කියන්ට සිතෙනවා. පසුගිය අවුරුදු විසිපහක තිහක පමණ කාලය තුළ මා දිනපතා සහ සතිපතා පත්තරවල සාහිත්‍ය සමාජ සහ දේශපාලන ප‍්‍රශ්න අරබයා තීරු ලිපි ලියන්ට පටන් ගත්තා. අද වන විට මේ තීරු ලිපි සංඛ්‍යාව ග‍්‍රන්ථ දහයක් හැටියට ප‍්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඉතින් මගේ ලේඛන කාර්ය තුළ තීරු ලිපි රචනාත් තරමක් ඉස්මතු වන දෙයක්.

ප‍්‍රශ්නය – පරිවර්තන සාහිත්‍යය ගත් කළ ඒ තුළ ඔබ ප‍්‍රවීණයෙක්. ඒ සඳහා වන රාජ්‍ය සම්මානය පවා ඔබ විසින් හිමිකර ගන්නව. දැනට දශක කිහිපයකට එපිට පැවැති පරිවර්තන සාහිත්‍යයේ ගුණාත්මකභාවය අද දවස හා සංසන්දනය කිරීමේදී එහි සාධනීය හා නිශේධනීය ලක්ෂණ පිළිබඳ ඔබේ විග‍්‍රහය මොන වගේද?

පරිවර්තනයේ ප‍්‍රවීණයෙක්ද කියන කාරණය මට හරියටම කියන්න අමාරුයි. නමුත් විවිධාකාර සාහිත්‍ය පරිවර්තන කාර්යයත් මවිසින් කර තියෙනවා. ග‍්‍රන්ථ වශයෙන් ගත්තොත්, මගේ පරිවර්තන කෘති සංඛ්‍යාව 21 ක් හැටියට දක්වන්න පුළුවනි. ඒ අතර නවකතා, කෙටිකතා, කවි සහ චරිත කතා සඳහන් කරන්න පුළුවනි. ඊට අමතරව මහත්මා ගාන්ධි පිළිබඳ විශාල චරිත කතාවකුත් මගේ පරිවර්තන අතර තිබෙනවා. මගේ පරිවර්තන අතර මම අදත් සතුටු වෙන කටයුත්තක් තමයි ධම්ම පදයට, ධම්ම පද ගීතය නමින් මා කළ ගීතාත්මක පරිවර්තනය.

වර්තමාන සාහිත්‍ය පරිවර්තන සංඛ්‍යාවෙන් කොතරම් වැඩි වුණත් ඒ තරමට ගුණාත්මකව සාර්ථක යයි කියන්න අමාරුයි. විශේෂයෙන්ම අප‍්‍රවීණයන් විශාල සංඛ්‍යාවක් විසින් නොසැලකිල්ලෙන් කරන පරිවර්තන නිසා වර්තමාන සිංහල පරිවර්තන සාහිත්‍ය තුළ බරපතළ අර්බුදයක් තිබෙන බව මට හිතෙනවා.

ප‍්‍රශ්නය – ඔබ වඩාත් ඇල්මක් දක්වන සෝවියට් සාහිත්‍යය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියකු වූ ඔබ ඒ හරහා අපේක්ෂා කළ පොදු පරමාර්ථයන් මොනවාද?

හැට ගණන්වලින් පටන් ගත්තු සෝවියට් ආස්වාදය, ඒ වගේම සමාජවාදය, මාක්ස්වාදය සහ වාමාංශික දේශපාලනය හේතුකොටගෙන, මා වඩාත්ම ආකර්ෂණය වූයේ, සෝවියට් යුගයේ සාහිත්‍යයට. ඒ වගේම මේ අවධියේ තිබුණු සමාජවාදී ලෝකයට සම්බන්ධ ලේඛන ව්‍යාපාරවලටත් මා සම්බන්ධව සිටියා. මේ හේතුකොටගෙන සෝවියට් සාහිත්‍ය කෘතීන් කිහිපයක් සිංහලයට නගන්න මා පෙළඹුණා. කෙසේ වෙතත්, පසුකාලයකදී මා වඩාත් නැඹුරු වුණේ, සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයට සහ විශේෂයෙන්ම සෝවියට් සමාජ ක‍්‍රමය විවේචනය කරමින් පසුකාලීන රුසියානු ලේඛකයන් ලියූ කෘතීන්වලට. ඒ හේතුකොටගෙන, ඇතැම් සෝවියට් යුගයේ සාහිත්‍ය කෘතීන්හි පැවති ප‍්‍රචාරාත්මක බවක්, මට පසුකාලයේදී පෙනී ගියා. ඒ නිසා, අද නම් මා නැවතී සිටින්නේ, වඩාත්ම සම්භාව්‍ය යුගයට අයිති රුසියානු ලේඛකයන් ළ`ග. ඇත්ත වශයෙන්ම අද නම් අපේ සාහිත්‍ය දෙවිවරු බවට පත්ව සිටින්නේ ලියෝ තොල්ස්තෝයි, රබීන්ද්‍රනාත් තාගෝර්, දස්තයෙවුස්කි, සොල්සෙනිත්සින් වැනි මහා පුරුෂයෝ.

ප‍්‍රශ්නය – පරිවර්තන කාර්යයේදී නිර්මාණ සාර්ථකත්වය පිණිස ”පෙරහන් භාෂාව” කොතෙක් දුරට වැදගත්ද? පරිවර්තන සාහිත්‍යයේ නිරත වත්මන් පරපුර ඒ සම්බන්ධයෙන් දක්වන අවධානය මොන වගේද?

සාහිත්‍ය පරිවර්තනයේදී ”පෙරහන් බසක්” හැටියට අද අපි හඳුනා ගන්නේ, මුල් කෘතියත් පරිවර්තන කෘතියත් අතර මැදට එන වෙනත් බසකින් කරන ලද පරිවර්තනයක්. ඇත්ත වශයෙන්ම, මේ ෆිල්ටරය බොහෝ විට ඉංගී‍්‍රසි බස බව අපට පෙනී ගොස් තිබෙනවා. ලංකාවේ සිංහල පොත් ගැන විතරක් නොවේ, ලෝකයේ විවිධ භාෂාවන්ගෙන් පළ වන සාහිත්‍ය කෘතීන් ගැන සැලකීමේදීත් පෙරහන් බසක අවශ්‍යතාව තදින්ම දැනෙනවා. අපේ රට ගැන සලකද්දී, වැඩි වශයෙන්ම පෙරහන් බස හැටියට සැලකෙන්නේ, ඉංගිරිසි බස. වර්තමානයේ තිබෙන රුසියානු, සෝවියට්, භාරතීය, අප‍්‍රිකානු සහ ලතින් ඇමරිකානු සාහිත්‍ය ගැන ඉංගිරිසි පරිවර්තන තමයි, බොහෝ පරිවර්තකයන්ට ඇසුරු කරන්න සිද්ධ වන්නේ. මේ නිසා ඉංගිරිසිය අද අපේ බලවත්ම පෙරහන් භාෂාව බවට පත්ව තිබෙනවා. මුල් කෘතියෙන් කෙළින්ම පරිවර්තනය නොකර, එය ඉංගිරිසියට නැඟුණු කෘතිය, සිංහලට නැ`ගීමේදී මුල් කෘතියේ සාරවත්භාවයෙන් කිසියම් කොටසක් මග හැලෙන්න පුළුවන්. හැබැයි ඉතින්, සාර්ථක ඉංගී‍්‍රසි පරිවර්තනයක් සිංහලට න`ගන කොට, ප‍්‍රවීණයකු අතින් එකී හානිය හැකි තාක් අවම කරගන්නට පුළුවන් බවයි, මගේ කල්පනාව. හැබැයි දැන් දැන් මුල් රුසියානු ප‍්‍රංශ, හින්දි, උර්දු, ස්පාඤ්ඤ ආදී භාෂා ඉගෙන ගත්තු තරුණ පිරිසක්, එකී මුල් කෘතීන්ම සිංහලට පරිවර්තනය කළ අවස්ථා සෑහෙන සංඛ්‍යාවක් දැකගන්ට පුළුවන්. මෙය ඇත්ත වශයෙන්ම ප‍්‍රශංසාත්මක කටයුත්තක්. කොහොම නමුත් සාහිත්‍ය පරිවර්තනය වර්තමාන යුගයේ මානව වර්ගයාගේ අතිවිශිෂ්ට බුද්ධි ව්‍යාපාරයක් හැටියට මා දකිනවා. මෙම කටයුත්තේදී ලෝකයේ විවිධ භාෂා පිළිබඳ ප‍්‍රවීණත්වයක් නැති, එහෙත් ඉංගිරිසි ප‍්‍රවීණත්වය ඇති ලේඛකයන් අතින් විශාල සාහිත්‍ය සේවාවක් සිදු වන බව අවංකව පිළිගන්ට සිදුව ඇති කාරණයක්.

මා කළ පරිවර්තන අතර වැඩි සංඛ්‍යාවක් තියෙන්නේ ඉංගිරිසියෙන් සිංහලට නැ`ගුනු පොත්. විශේෂයෙන්ම මුල්ක් රාජ් ආනන්ද, ආර්.කේ. නාරායන්, සහ කමලා දාස් යන භාරතීය ලේඛක ලේඛිකාවනුත් අන්චි මින් නමැති චීන ජාතික ලේඛිකාවත් සිය පොත් ලියා ඇත්තේ ඉංගිරිසි බසින්. ඒ නිසා තේ දල්ලේ කඳුළ, වේලාසන කොක්කු ඇවිත්, අනුරාගයේ මුල් පොත සහ මැඩම් මාවෝ යන පොත් පරිවර්තනයේදී මට මුල් කෘතීන්ම ඇසුරු කරන්නට ලැබුණු බැව් කිව යුතුය. නමුත් මුල් කවය ඇතුළු තව බොහෝ පොත්පත් මා සිංහලට න`ගා ඇත්තේ ඉංගිරිසිය පෙරහන් බසක් හැටියට වහරට ගෙන. මවිසින් පරිවර්තනය කර ඇති තුන්වැනි ලෝකයේ සහ ආසියාවේ කවි සම්බන්ධයෙන්ද ඒ කාරණය පොදුයි. කෙසේ වෙතත් පරිවර්තනයේදී උපරිම මට්ටමෙන් මා ඇසුරු කරන මුල් පොතට හිතෛෂිවන්ත වීමට මා හැම විටම කටයුතු කර තිබෙනවා.

ප‍්‍රශ්නය – වත්මන් පරපුර පැරණි සාහිත්‍ය පත පොත පරිශීලනයෙන් ඈත් වන බවක් දක්නට ලැබෙනව. එය විශ්වවිද්‍යාල පද්ධතිය දක්වා දකින්නට ලැබෙන දෙයක්. එවැනි පසුබිමක් තුළ නිර්මාණ සාහිත්‍යයේ අනාගතය කෙබඳු ස්වරූපයක් ගනීවිද?

විද්‍යුත් මෙවලම්වලට හසුවුණු, අති ධාවනකාරී, ඒ වුණත් නිරර්ථක ගමනක යෙදෙන වර්තමාන තරුණ පරපුර, පැරණි පොතපතින් ඈත්ව සිටීම මා තුළ ඇති කරන්නේ බලවත් කම්පනයක්. ඇත්තටම මේක බරපතළ විපත්තියක්. අසම්පූර්ණ කෘත‍්‍රිම මිනිසුන් බිහි කරන මේ ක‍්‍රමය වෙනස් කරන්ට නම්, ඉතා ගැඹුරු අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අදුරදර්ශී දේශපාලන ග‍්‍රහණයකට හසුව තිබෙන වර්තමාන අධ්‍යාපනය නිසා අප ගේ තරුණ පරපුර වළපල්ලට යනවා දකින විට මට නම් ඇති වන්නේ මහා දුකක්. මේ පරපුර ගොඩදාන්ට, අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වුණත්, කිසියම් නිනව්වක් තිබෙන බව මට පෙනෙන්නෙ නැහැ.

ප‍්‍රශ්නය – මේ තත්ත්වයෙන් මිදීම පිණිස ගත යුතු කි‍්‍රයාමාර්ග මොනවාද? ප‍්‍රවීණයන් විසින් ඒ සඳහා දක්වන දායකත්වයේ අඩුවක් පවතිනවාද?

එකම කි‍්‍රයාමාර්ගය තමයි, ආපසු අපගේ තරුණ පරම්පරාව අපේ උරුමය මත පිහිටුවීම. ඒ කාර්යෙහිදී ප‍්‍රවීණයන්ට පැවරෙන වගකීම අතිවිශාලයි. නමුත් ප‍්‍රවීණයන් ඒ පිළිබඳව සවිඥානකව කටයුතු කරනවාද යන්න, ඇත්ත වශයෙන්ම ප‍්‍රශ්නයක්. මෙතනත් රෝග නිධානය තියෙන්නේ, අප ගේ ආදිකල්පිත සාම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමය තුළමයි.

ප‍්‍රශ්නය – රට තුළ දැනට සාර්ථක විචාර කලාවක් පවතිනවාද? ඒ සඳහා පවතින ඉඩකඩ ප‍්‍රමාණවත්ද?

මගේ අදහස නම්, එවැන්නක් නැති බව. අද බොහෝ සාහිත්‍ය විචාර පුද්ගලබද්ධයි. ඒ වගේම විශ්වවිද්‍යාලවලින් කෙරෙන බොහෝ විචාර අනුකාරකයි. ඒ වගේම, ඇතැම් විචාර කෘත‍්‍රිමයි. සාහිත්‍ය නිර්මාණය තුළ ඇති හරය ඉස්මතු කරන විචාර කලාවක අවශ්‍යතාව තව තවත් දැනෙන යුගයකයි, අප ජීවත් වන්නේ.

ප‍්‍රශ්නය – රටක හරවත් සාරවත් විචාර කලාවක් නොපැවතීම එරට පාඨකයන් හට උසස් නිර්මාණ රස විඳීම පිණිස වන ප‍්‍රවේශ මාර්ගය අහුරා දැමීමක් නොවේද?

ඒ කාරණය ඇත්තක්. ඉතින් ජනමාධ්‍යයටත් ඒ කටයුත්තේ විශාල පංගුවක් පැවරෙනවා. ඔබේ වැනි සාහිත්‍ය පිටුවලටත් ඒ සම්බන්ධයෙන් සාධනීය කි‍්‍රයාමාර්ග ගත හැකි බැව් මගෙ අදහසයි.

ප‍්‍රශ්නය – ප‍්‍රවීණ සාහිත්‍ය විචාරකයෙක් ලෙස ක්‍ෂේත‍්‍රය තුළ ඔබ තවමත් සකී‍්‍රයද? එසේ නම් මෑතකදී ඔබ විසින් විචාරයට ලක් කරන ලද කෘතීන් සම්බන්ධව පොදු මතක කුමක්ද?

මම තවමත් ඒ කාරියෙහි යෙදී ඉන්නවා. මගේ මෑත කාලයේ නිකුත් වුණු සාහිත්‍ය ලිපි පද්ධතියම කැප කර ඇත්තේ සාහිත්‍ය විමර්ශනයට. හැබැයි, මම විශ්වවිද්‍යාල අච්චුවේ ගහපු සාහිත්‍ය විචාරකයෙක් නෙමෙයි. මම හැමවිටම කටයුතු කර ඇත්තේ, උසස් සාහිත්‍යයේ හරය හොයන්ට පාඨකයා දැනුවත් කරන පරමාර්ථයෙන්. ඔවුන්ගේ ඥාන පරිමණ්ඩලය පුළුල් කරන අදහසින්.

 ***

ඉකුත් දීර්ඝ කාලය තුළ මගේ අවධානය යොමු වුණු තවත් අංශයක් තමයි සාහිත්‍ය සංස්කරණය. මාර්ටින් වික‍්‍රමසිංහගේ ශාස්ත‍්‍රීය පොත්පත් විෂයානුකූලව සංස්කරණය කර පොත් 25ක් පමණ මවිසින් සකස් කර තිබෙනවා. මේවායින් පොත් 12 ක් පමණ මේ වන විට මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. මා සකස් කළ තවත් විශාල පොත් සංඛ්‍යාවක් මුද්‍රණය වන්නට තිබෙනවා. ඊට අමතරව පසුකාලයේදී කාණ්ඩ දෙකක් හැටියට පී.බී. අල්විස් පෙරේරාගේ පසළොස් දහසක් පමණ වන කවි, මවිසින් පිටු 200 ක පමණ හැඳින්වීමක්ද සහිතව, කාණ්ඩ දෙකක් හැටියට ප‍්‍රකාශයට පත් කළා. මේ දිනවල මා ඇස්. මහින්ද හාමුදුරුවන්ගේ ළමා කාව්‍ය කෘතීන් සහ සෙසු කාව්‍ය කෘතීන් 29ක් නව සංස්කරණ සම්පාදනය කරනවා. ඒවායින් මේ වන විට පොත් 17ක් නිකුත්ව තිබෙනවා. ඉතිරි කොටස නිකුත් වීමට නියමිතයි. ඒ අතර ජාත්‍යන්තර පාසල්වල සිංහල ඉගැන්වීම සඳහා මවිසින් සම්පාදනය කළ සිංහල ෆෝ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් යන පොත් හයකුත් මගේ ග‍්‍රන්ථ නාමාවලියට අයත් වෙනවා. මේ සියල්ලටම අමතරව කාණ්ඩ තුනකින් යුතුව මා ලියූ මාර්ටින් වික‍්‍රමසිංහ මහගත්කරුවත උදෙසා, මා අවුරුදු පහක් පර්යේෂණ කටයුතුවල යෙදී සිටියා. පිටු 1425 ක් වන මෙම විශාල කෘතිය ගැන අපේ සාහිත්‍ය සමාජය කතා නොකළ තරම්. එවැනි පොතක් තිබෙනවාද කියාවත් ඇතැම් විශ්වවිද්‍යාල උගතුන් දන්නේ නෑ. ඊටද අමතරව, සිංහල ඉංගිරිසි දෙබසින්ම මවිසින් ලියන ලද ළමා සාහිත්‍ය කෘති සංඛ්‍යාව 120 ක් වෙනවා. ප‍්‍රකාශයට පත් වන්නටත් තව පොත් රැුසක්ම තිබෙනවා.

ඔබ සඳහන් කරන දශක හයක කාලය තුළ සාහිත්‍ය නිර්මාණය, සාහිත්‍ය විචාරය, සාහිත්‍ය සංවේදනය, සාහිත්‍ය අධ්‍යාපනය සහ අවශේෂ ක‍්‍රමවලින් පොදුවේ අප ජනතාවගේ බුද්ධ ප‍්‍රබෝධනයට, මම මගේ නැණ පමණින් කටයුතු කර ඇති බැව් මට නිහතමානීව කියන්නට පුළුවනි. ඒ වුණත්, කළ යුතු සහ කළ හැකි බොහෝ කටයුතු මා ඉදිරියේ තිබෙනවා. මෙය කිසියම් ආලෝකයක් ලෙස බලාගෙන යන නොනවතින ගමනක්. අපි කවුරුත් එකතු වී ඒ ආලෝකය දෙසට ගමන් කරමු. ඒ එළිය නිවන්ට කිසිවකුට ඉඩ නොදෙමු.

 සංවාද සටහන රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment