පෙට්‍රල් ඉල්ලූ දෙදරු පියා පොලිසියේ අමානුෂික පහර දීමෙන් රෝහලේ

361

සිය ත්‍රිරෝද රථයට ඉන්ධන ඉල්ලා පොලිසිය සමග ඇතිවූ කතාබහකින් පසු පොලිසියේ අමානුෂික පහරදීමක් හේතුවෙන් ශරීරයේ ස්ථාන 15 කට පමණ තුවාල සිදුව දෙදරු පියකු පානදුර මූලික රෝහලට පෙරේදා (25දා) පස්වරුවේ ඇතුළත් වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ මග්ගොන, වවුලුගල ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ කුලී රියැදුරකු ලෙසින් කටයුතු කරන සමන්ත රාජපක්ෂ නමැති (49) දෙදරු පියෙකි.

තුවාල 15 ක ට ආසන්න ප්‍රමාණයක් සහිතව පානදුර මූලික රෝහලේ වාට්ටු අංක 1 හි ඇඳ ඉහපත් අංක 17 හි ප්‍රතිකාර ලබන ඔහු තුනටිය, තට්ටම, පාද, උරහිස, වැලිමිට, තොල සහ කන අසල ඇතුළු ප්‍රදේශවල තැලීම් සීරිම් සහ ඉදිමීම් තුවාල දැකගත හැකිවිය.

සමන්ත රාජපක්ෂ මහතා අසල ඔහුගේ 14 හැවිරිදි වියේ පසුවන පුංචි පුතු පියාට රැගෙන ආ බත් පාර්සලය ඇතැතිව සිය පියාට සිදුවූ ප්‍රහාරය දරාගත නොහැකිව කඳුළු පිරි දෙනෙතින් ඉකිගසන අයුරු ද දැකගත හැකිවිය.

සමන්ත රාජපක්ෂ මහතා : ඉකුත් 20 දා සිට මග්ගොන
සිපෙට්කෝ පිරවුම්හලේ පෝලිමේ සිටියා, පිරවුම්හලේ පෙට්‍රල් තිබුණේ නෑ. ඒත් 24 රාත්‍රි පොලිස් ජීප් රථයක් පොම්පය ආවරණය වන පරිදි නවතා කෑන්වලට සහ තවත් යතුරුපැදිවලට පෙට්‍රල් ලබාගත්තා. මමත් තෙල් ලීටර් 2 ක් හෝ ඉල්ලුවා. පසුව පොලිසිය මට පහරදී ජීප් රථයට නංවාගෙන පයාගල පොලිසියට රැගෙන විත් අමානුෂික ලෙස පහර දුන්නා.

පසුව රාත්‍රි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාව සිරමැදිරියෙන් ඉවතට ගෙන දෑත්වලට මාංචු දමා ලීයකින් සහ අතින් පයින් පහර දුන්නා. මගේ ශරීරයේ තුවාල 20 ක් විතර තියෙනවා. මට පහරදී ක්ලාන්ත වනවිට රෝහල්ගත කරන ලෙස රාත්‍රි රාජකාරි කාර්යභාර නිලධාරියාට දැනුම් දුන්නත් සැලකුවේ නෑ.

සිරමැදිරියේ රඳවා අයුතු ජනරාශි යන චෝදනාව යටතේ පෙරේදා (25 දා) සවස කළුතර මහෙස්ත්‍රාත්තුමිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මට ඇප ලබාදුන්නා.

මේ සම්බන්ධයෙන් ඔහු පානදුර මානව හිමිකම් කාර්යාලයට ද පැමිණිලි කරා. පානදුර රෝහල් පොලිසිය ප්‍රකාශ ලබාගත්තා.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment