පෙට්රල් ඩීසල් රු. 250 ට දෙන්න පුළුවන්!

382

මහජන උපයෝගිතා සභාපති කෝප් කමිටුවේදී කියයි

දත්ත පරිශීලනය කිරීමේ දී පෙට්‍රල් සහ ඩීසල් ආසන්න වශයෙන් රුපියල් 250 ක මිලකට ශ්‍රී ලංකාවේ අලෙවි කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2018, 2019 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

මේ පිළිබඳ වැඩිදුරටත් රත්නායක මහතා සඳහන් කළේ ඛනිජ තෙල් මිලදී ගැනීමේදී ඒවා ආනයනය කරන මිල ගණන් සහ රජය අයකරන බදු මුදල් පිළිබඳ සංඛ්‍යා ලේඛන නිවැරදිව පරීක්ෂා කිරීමේදී මේ බව හෙළි වන බවයි. ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් දැන් ලබාදෙන මිලට වඩා රුපියල් 200 ක් අඩුවෙන් මෙරට තුළ අලෙවි කළ හැකි බව ඒ මහතා පැවසීය. මේ අනුව ආසන්න වශයෙන් රුපියල් 250 ක් වැනි මිලකට පෙට්‍රල් සහ ඩීසල් මෙරට තුළ අලෙවි කළ හැකි බව සඳහන් කළ ඒ මහතා පසුගිය ජූලි 1 වැනිදා ගෙන්වන ලද ඩීසල් එක් ලීටරයක් සඳහා රුපියල් 280 ක බදු මුදලක් රජය අය කොටගෙන ඇති බව ද පැවසීය.

මෙය තමන්ගේ පෞද්ගලික ප්‍රකාශයක් බවත්, දත්ත පරිශීලනය කිරීමෙන් පසුව එම ප්‍රකාශය සිදු කරන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. මේ අනුව මේ පිළිබඳ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ දැනුවත් බව පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරුන් විමසූ අතර ඒ පිළිබඳව මෙම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් නැති බව අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ. එසේම මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය විධිමත්ව දැනුවත් කිරීමක් සිදු කොට නැති බව ද මෙහිදී සඳහන් විය.

මෙහිදී මෙම කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් වීම සඳහා තමන්ට පවතින සුදුසුකම් පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරු රත්නායක මහතාගෙන් විමසූහ. ඒ අනුව තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලන විශේෂ උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇති බව හෙතෙම කීවේය. තවද හාවඩ් විශ්වවිද්‍යාලයේ ද අධ්‍යාපනය ලබාගෙන ඇති බව ද ඒ මහතා පැවසීය. එසේම තමන්ගේ දේශපාලන සුදුසුකම් ලෙස 2005 වසරේ සිට රජයන් ගොඩනැගීම සඳහා රාජපක්ෂවරුන්ට විශාල ලෙස සහයෝගය ලබා දී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ තෙල් මිල සම්බන්ධයෙන් මෙම සභාපතිවරයා සිදු කරන ප්‍රකාශය වඩාත් බරපතළ බවත් මේ පිළිබඳ රටේම අවධානය යොමු වන බවත්ය. එබැවින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන්වා ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.

එසේම ශ්‍රී ලංකාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2021 දෙසැම්බර් 07 දින සිට වර්ෂයක කාලයක් සඳහා කිසිදු ගිවිසුමකට ඇතුළත් වීමකින් තොරව 2005 වර්ෂයේ නිෂ්පාදිත බෙන්ස් වර්ගයේ රථයක් General Business (Private) Ltd නම් ආයතනයකින් ඉන්ධන හෝ රියැදුරු නොමැතිව මාසික කුලී පදනම මත ලබා ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මෙම රථය සඳහා වාර්ෂික කුලිය රුපියල් 4,500,000 වූ අතර 2022 මැයි 31 දිනට ඉන් රුපියල් 2,187,500 ක් අදාළ ආයතනයට ගෙවා තිබුණි. නමුත් මෙම වාහනය ලබාගැනීම පිළිබඳ ලිපිගොනු විගණනයට ඉදිරිපත් නොවී තිබීම, වසර 15ක් පැරණි වාහනයක් ලබාගැනීමට නිර්දේශ ලබාදී තිබීම, එසේම මෙම වාහනය ලබාගැනීම සඳහා ලංසු කැඳවීමේ අක්‍රමිකතා, මෙම වාහනය වෙනුවෙන් කුලී මුදල් ගෙවීමේදී විනිවිදභාවය පිළිබඳ ගැටලු පැවතීම යන කරුණු පිළිබඳ මෙහිදී කෝප් කමිටුව ප්‍රශ්න කළේය. විශේෂයෙන්ම මෙම ආයතනය සඳහා මුදල් ලබාදීමට අනුමතිය සහතික කරමින් අත්සන් තැබූ නිලධාරියාට ද වගකීම් සහගතව කටයුතු කරන ලෙස කෝප් කමිටුව විසින් උපදෙස් ලබාදෙන ලදී.

මේ අනුව මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකොට සම්පූර්ණ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති නිර්දේශ කළේය.

මෙහිදී කෝප් කමිටුව ඇසූ ප්‍රශ්නවලට ලැබුණු පිළිතුරු මෙසේය.

ලීටරය 250 ට දෙන ක්‍රමවේදය කියන්න

ඇමැති මහින්ද අමරවීර-

ඔබතුමා තෙල් ලීටරය 250 ට දෙන්න පුළුවන් කිව්වා. එහි ක්‍රමවේදය පැහැදිලි කරන්න.

සභාපති ජනක රත්නායක-

මට සම්පූර්ණ දත්ත ලැබුණා. පසුගිය මාස කිහිපය තුළ ආනයනය කරලා තියෙන නැව්වල තොරතුරු රුපියල් 150 ක 200 ක විතර පරතරයක් තියෙනවා. ඩීසල් ලීටරයක සම්පූර්ණ ආනයන වියදම දාලා තියෙන්නේ. ඩොලර් 174 ක් වගේ. නමුත් ආනයනය කරලා තියෙන නැව්වල එකක්වත් 174 ක් වන්නේ නැහැ. තියෙන්නේ ඩොලර් 100 ත් 110 ත් අතර.

කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත්-

ඔය ගානට ගෙන්වලා රපියල් 250 ට දෙන්න පුළුවන්ද?

ආනයන වියදම අනුව ඩීසල් ලීටරයක්
රු.350 ක් වන්නේ නැහැ

ජනක රත්නායක-

මම කිව්වේ දෙන ගානට වඩා රුපියල් 200 ක් අඩුවෙන් දෙන්න පුළුවන් කියලා. ඇත්තටම තෙල් ආනයන වියදම රුපියල් 350 ට වැඩි වෙන්නේ නැහැ. ටැක්ස් සමග.

මන්ත්‍රී ජයන්ත සමරවීර-

ඔබතුමා ඕක අමාත්‍යාංශයට කිව්වේ නැද්ද?

කොමිසමේ සාමාජික මොහාන් සමරනායක- මේ කරුණු මා සිටින තැනක සාකච්ඡා වූයේ නැහැ.

ඇමැති අමරවීර-

අධ්‍යක්‍ෂ මණ්ඩලයට කියලා තියෙනවාද ඒ කිසිවක් නැතිව කැමරා ඉස්සරහා කියන එක නොවෙයි වැඩේ. අපි ඔක්කමත් එක්ක වගකියන්න වෙන්නේ.

සභාපති චරිත හේරත්-

විශාල සමාජ කැළඹීමක් වෙන කරුණක් මේක. ඇත්ත නැත්ත හරියට හොයා ගත්තේ නැත්තං මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඔබ දන්නවාද මේ ෆෝමැට් එක.

මුදල් අමාත්‍යාංශ ලේකම්-

නෑ අපි දැනුවත් නැහැ

මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත-

මොකද්ද ඔබට තියෙන සුදුසුකම මෙවැනි පත්වීමක් ලබන්න. පසුගිය ජනාධිපතිවරණයේදී ජනපතිවරයාට ට්‍රිලියම් එකේ ඔෆිස් දෙකක් දීම තමයි සුදුසුකම වෙලා තියෙන්නේ.

ජනක රත්නායක-

මම 2005 සිට රජයන් හදන්න රාජපක්‍ෂ රෙජීමයට විශාල වැඩකොටසක් කර තියෙනවා. ගෝඨාභය මහතාට ඔෆිස් එකක් දීම වෙනම කතාවක්.

චරිත හේරත් මහතා-

කොමිෂන් එකේ ප්‍රකාශයක් ලෙස මෙය පිළිගන්නවාද?

ප්‍රකාශයක් කරන විට වගකීමක් තිබිය යුතුයි

අධ්‍යක්‍ෂවරු-

අපි මේ ගැන දැනගෙන තිබුණේ නැහැ. ප්‍රකාශයක් කරන විට වගකීමක් තිබිය යුතුයි.

සභාපති චරිත හේරත් මහතා- ඔබ කැමති දේවල් වෙන වෙන තැන්වල කියන්න පුළුවන්. නමුත් සභාපති ලෙස රටම පිළිගන්න නිසා ප්‍රකාශයක් කරන විට වගකීමක් තිබිය යුතුයි.

ජනක රත්නායක-

එය මගේ පුද්ගලික ප්‍රකාශයක්. නමුත් දත්ත පරිශීලනය කරලා ඇත්ත කියලා තියෙන්නේ.

අධ්‍යක්‍ෂ ජනරාල්-

මේ තියෙන දත්ත ටික හරි.

සභාපති චරිත හේරත්-

ලංවිම රුපියල් මිලියන 81 යි අටලක්‍ෂ 51 දාහක් එලියෝන් තිරප්පනේ ප්ලාන්ට් රුපියල් 28,600 ක් ලැබෙන්න තියෙනවා.

ජනක රත්නායක-

ඒක ලැබුණේ නැහැ.

සභාපති චරිත හේරත්-

අපි නිර්දේශ කරනවා කපා හැරීම් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය අවසාන අනුමැතියට යටත්ව කළ යුතුයි. සේවකයන් 57 දෙනෙකු ඉන්න ආයතනයක දීමනා වර්ග 11 ක් යටතේ අවුරුද්දකට මිලියන 45 ක් වැය වෙනවා. කළමනාකරණ චක්‍ර ලේඛයක් යටතේ නොවෙයි මෙය සංග්‍රහ වෙන්නේ.

ජනක රත්නායක-

අපි සැලසුම් කරලා තියෙන්නේ විiාත්මක පදනමක් අනුව කරන්න.

මහාචාර්ය චරිත හේරත්-

විද්‍යාත්මක පදනමක් යටතේ තමයි මම කියන්නේ උපරිමය මිලියන 5 ක් හා ආපසු ගෙවීමේ කාලය වර්ෂ 5 කට යටත්ව වාහන ණය යෝජනා ක්‍රමයක් තමන්ට අවාසියක් වන විට රජයේ චක්‍රලේඛ යොදාගන්නවා. දිරි දීමනා ගන්නා විට එය වෙනම එකක් කියනවා.

තනුජ දනුෂ්ක කියන කෙනාට මිලියන 8 ක් එයා හරහා ගිහින් තියෙනවා.

නිලධාරියෙක්-

ඒක වැඩසටහනකට.

වැඩසටහනකට කියලා එක් පුද්ගලයකුට
චෙක් ලියන්නේ කොහොමද?

සභාපති-

එක්ස්ටි්‍රප් මීඩියා ආයතනයකට මිලියන 6 ක් ගෙවලා එය දේශපාලනඥයකුගේ ආයතනයක්ද දන්නේ නැහැ.

2021 දෙසැම්බර් 7 වැනි දින සිට කිසිදු ගිවිසුමකට ඇතුළත් වීමකින් තොරව 2005 වර්ෂයේ නිෂ්පාදනය කළ බෙන්ස් වාහනයක් ඉන්ධන හෝ රියැදුරෙකු නොමැතිව කුලී පදනම මත වාර්ෂික කුලිය මිලියන 4.5 කට ලබා ගැනීම ප්‍රසම්පාදනයට කිසිම ආකෘතියක් නැහැ.

අධ්‍යක්‍ෂ ජනරාල්-

ෂොපින් ක්‍රමයට තමයි ඕක ගත්තේ. ටෙන්ඩර් තුන හතරක් අරගෙන.

විගණකාධිපති-

එය රජය පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට හරිද?

අධ්‍යක්‍ෂ ජනරාල්-

ඒ වෙලාවේ අපිට වාහනයක් අවශ්‍ය වූ නිසා තමයි ෂොපිං ක්‍රමයට අර ගත්තේ පොඩි දවසකට.

මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත-

මේ වාහනය ගත්තේ කාටද?

නිලධාරියා-

සභාපතිතුමාට.

විගණකාධිපති-

බැලූ විට වංචාවක් මෙතන පේනවා නේ.

මහාචාර්ය චරිත හේරත්-

මුදල් ගෙවන්න අනුමත කරපු අය වගකියන්න ඕන.

ජනක රත්නායක-

මේ ගැන පරීක්‍ෂණයක් කරමු.

මහාචාර්ය චරිත හේරත් –

ඕගොල්ලෝ ගැන ඕගොල්ලෝම පරීක්‍ෂණ තියන්න කියනවා.

මෙම කාරක සභාව සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ලෙස ඇමැති මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ඉන්දික අනුරුද්ධ, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ මධුර විතානගේ යන මහත්වරු සහභාගි වූහ. එසේම කමිටුවේ සාමාජිකයන් නොවන මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත මීට සහභාගි වූහ.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment