පෙට්‍රල් නැතත් දහස් ගණනක් පෝළිම්වල

88

රටපුරා ඉන්ධන හල්වල පෙට්‍රල් සම්පූර්ණයෙන්ම පාහේ ඊයේ (18 දා) අවසන් වී තිබුණත් පෙට්‍රල් හා ඩීසල් ලබාගැනීම සඳහා දසදහස් ගණන් වාහන පෝළිම්වලට වී බලා සිටින අයුරු දක්නට ලැබිණ.

මේ අතර ඉන්ධන අවසන්වීම හේතුවෙන් යතුරුපැදි හා වාහන අතරමඟ නතරව තිබූ අතර ඒනිසා වාහන හිමිකරුවන් දැඩි අසීරුතාවට පත්ව සිටියහ. මෙරට ඉන්ධන හල් 1100ක් පමණ තිබෙන අතර කොළඹ මෙන්ම තදාසන්න නගරවල මෙන්ම පිට පළාත්වල ඉන්ධනහල්වලින් සියයට අසූවක් පමණ සම්පූර්ණයෙන්ම ලණු ඇද වසා දමා තිබිණි. පෙට්‍රල් අවසන් වීම නිසා දරුවන්ගේ පාසල් ගමනාගමන කටයුතු හා ජනතාවගේ රාජකාරී කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබූ අතර කොයි මොහොතක හෝ පෙට්‍රල් ලැබෙනු ඇතැයි සිතමින් ඉන්ධනහල් අසල පෝළිම්වලට වී ජනතාව බලා සිටින්නට වූහ. මේ අතර භූමිතෙල් හිඟය ද උග්‍ර අතට පත්ව තිබූ අතර බෝතල්, කෑන් හා බූලි අතැතිව භූමිතෙල් මිලදී ගැනීම සඳහා ද ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබිණ.

ඉන්දීය ණය පහසුකම යටතේ මෙරටට ගෙන ඒමට නියමිත පෙට්‍රල් නෞකාව හෝ දැනට වරායේ තිබෙන පෙට්‍රල් නෞකාව ගොඩබා ගත්තත් සෙනසුරාදා (21 දා) වනතෙක් පෙට්‍රල් නොමැති වනු ඇතැයි තෙල් සංස්ථාව කියා සිටී. ඒනිසා පෙට්‍රල් ලබාගැනීම සඳහා ඉන්ධනහල්වලට ඒමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටී. දැනට රට තුළ තිබෙන පෙට්‍රල් හිඟයට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද හෙතෙම කියා සිටී.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment