පෙම්වතුන්ට සතුරු රතිකාමිණි යක්ෂණියගේ පුරාවෘතය

2

රතිකාමිණි, මිනිස් ලොව වෙසෙන පෙම්වතුන් හා පෙම්වතියන්ගෙන් පළිගැනීමට උපන් යක්ෂණියකි. මෙම යක්ෂණිය ඉතා පහත් නොසංඩාල, කාමුක ක්‍රියාවන්වල යෙදෙන මහා බලසම්පන්න යක්ෂණියකි. පෙර මිනිස් ආත්මයක ඉපදී අයුතු පෙම් පලහිලව්වක් නිසා අකාලයේ මැරුම් කා පෙම්වතුන් පෙම්වතියන් කෙරෙහි දැඩි කෝපයෙන්, වෛරයෙන් යක්ෂ ලෝකයේ උපත ලැබූ යක්ෂණියක් වන අතර පෙර ආත්මයේ වැන්දඹුවකි. ඇය යක්ෂණියක්ව ඉපදුණේ ඊර්ෂ්‍යා පරවශ වූ සහජ ස්ත්‍රී ගතියක ප්‍රතිඵලයක් වශයෙන්ය.

එක් ආත්මයකදී රතිකාමිණියගේ පුරුෂයා දරුණු රෝගයකින් පෙළී ඇගේ තුරුලෙහිදීම මියගියේය. එයින් වැන්දඹු වූ ඇය වෙනත් පුරුෂයකුගේ සරණ පැතුවාය. එහෙත් එම පුරුෂයා වෙනත් ස්ත්‍රියක් පාවා ගත්තේය. එයින් කෝපයට පත් මෙම තරුණ වැන්දඹුව ඒ අඹු – සැමි දෙදෙනා කෙරෙහි වෛර බැඳ කාම උමතුවෙන් ඔවුන් සංසර්ගයේ යෙදෙන ආකාරය ආදී ඇවතුම් පැවතුම් සියල්ල හොර රහසින් බලාසිටින්නට පුරුදු වූවාය. එයින් ඇගේ වෛරය දිනෙන් දින වැඩි වන්නට විය.

අන්තිමේ වැන්දඹු වූ ඇගේ කාමෝත්මාදය උග්‍ර වී කාම ආශාව වැඩිවී කෝපයෙන් අර අඹු – සැමි දෙදෙනා භේද කිරීම සඳහා ඒ අහිංසක ස්ත්‍රිය අන්‍ය පුරුෂයන් ඇසුරු කරමින් ගණිකාවක් වගේ හැසිරෙන බව ගම පුරා ප්‍රචාරය කළේය. මෙය රජුට ආරංචි වී කිසි වගවිභාගයක් නොකර එම අහිංසකාවිය වධකයන් ලවා මරා ශරීරය දෙපළු කර කපා කොට සොහොන් පිටියක එල්ලා තැබුවේය.

මේ සිදුවීමෙන් ශෝකයට පත් ඇගේ ස්වාමිපුරුෂයා රජුට ඇත්ත හෙළි කළේය. ඔහුගේ කීම ඇසූ රජු ශෝකයට පත්ව එදා බොරු කීම වැන්දඹු ස්ත්‍රිය ද මරවා සිරුර දෙපළු කර සිරුරු කැබලි දෙක එම සොහොන් පිටියේම එල්ලා තැබුවේය. එකෙනෙහිම කලින් මරා දැමූ ස්ත්‍රියගේ දෙපළු කළ සිරුරු කැබලි දෙකම එකට එක්වී යළිත් ඇය පෙර සිටිය ආකාරයටම උපන්නාය. ඉන්පසු ඊර්ෂ්‍යාකාර ස්ත්‍රිය ඇගේ කුස තුළ පිළිසිඳගෙන එදා සිට අර අහිංසක ස්ත්‍රියට අනේක වදවේදනා උපද්‍රව කරමින් ඒ ඊර්ෂ්‍යාකාරිය දසඑකඩ මස් ඇවෑමෙන් යක්ෂ පැටික්කියක්ව මවු කුසින් බිහි වී පළමුව මව මරා දෙවනුව ඇගේ ස්වාමි පුරුෂයා ද මරා දමා යක්ෂ ලෝකයේ සම්ප්‍රදාය අනුව යකුන්ට අධිපති වෙසමුණි වෙත ගොස් වරම් ලබා අද වනතුරු මිනිස් ලොවේ සමහර ස්ත්‍රී – පුරුෂයන්ට ලිංග අප්‍රාණිකත්වය, ස්ත්‍රීන්ගේ කාම නිල අක්‍රිය කිරීම, ශරීරය විරූපි කිරීම, ස්ත්‍රී – පුරුෂ විවාහ ප්‍රමාද කිරීම් හා විවාහ වීමට ඉඩ නොදීම, සිහිනෙන් ස්ත්‍රීන් පුරුෂයන් සමග ද පුරුෂයන් ස්ත්‍රීන් සමග ද සංසර්ගයේ යෙදීම් හා එයින් දින ගණනකදී රෝගී වීම, කාමුක ආශාවන් නැති කිරීම ආදී ලෙඩ රෝග සාදමින් සැරිසරයිලු.

රතිකාමිණිය අරුම පුදුම කාමුක හා පිළිකුල් සහගත ගති පැවතුම් ඇත්තියකි. පුරුෂයන් හමුවේ ස්ත්‍රීන් ලෙසත් ස්ත්‍රීන් හමුවේ පුරුෂයතු ලෙසත් පෙනී සිටිමින් රාත්‍රියේ සිහිනෙන් ළඟට තුරුලු වී ලිංගිකව හැසිරෙයි. විශේෂයෙන්ම අන්‍ය ස්ත්‍රීන් පුරුෂයන් කම්සැප විඳුනු බලා එයින් සැනසෙන්නියකි. එය කාමිණිට ඉවසීමට බැරි වූ විට එම පෙම්වතුන් හා පෙම්වතියන් බිලිගනී.

ඇය විවාහක කාන්තාවන්ගේ යහනෙහි වැතිරී ස්වාමි පුරුෂයාගේ ඉරියව් හැසිරීම් මවාපා ඇය කාමයෙන් උමතු කරයි. එම උමතුව අනුව ඇය හැසිරෙන ආකාරය බලාසිටින රතිකාමිණිය ඊළඟට එම ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයාගේ යහනට ගොස් එකී ඉරියව් මවා පා ඔහු කාමයෙන් උමතු කරවා තම වසඟයට පත් කරගනී.

එසේම අඹු – සැමි දෙදෙනා දෙපළක සිටියදී එකිනෙකාගේ වෙස්ගෙන දෙදෙනාම මුළා කර අනියත කාම උමතුවකට පත්කරයි. ඉන්පසු ඔවුන්ට විවිධ ලෙඩ රෝග පීඩා ඇති වේ. මෙම රතිකාමිණි යක්ෂණිය කාමෝත්මාදයෙන් පළිගැනීම සඳහා අවිවාහක විවාහක තරුණ තරුණියන්ට ඇල්ම බැල්ම හෙළන්නේ පාළු ගෙවල්, කරුවල කාමර, දියකඩ, ළිඳ, නාන කාමර, රුප්පා ආදී ස්ථානවල සැඟවී සිටයි.

මෙම යක්ෂණියගේ බැල්මට අසු වූ තරුණ තරුණියන්ට මෙන්ම වයසට පත් ස්ත්‍රී – පුරුෂයන්ට ද විවාහක කාටත් අනේක වධ වේදනා දෙන උපද්‍රවන් ඇති කරයි. ගිනිකාරකම, හිසරුදා, ක්ලාන්ත, අතුල් පතුල් දැවිලි, දෙතොලේ දිය බිබිළි, පපු කිනිති දැවිලි, උදර ඇවිළිලි, දහදිය ගැලීම, අනුරාග ලෙසින් සිහින දැකීම, ධාතු පිටවීම, හිත උමතුව, අයථා කාමුක හැඟීම් හා විකෘති කාමාශාවන්වල පෙළීම ආදී මානසික රෝග ඇති වේ.

මෙම රතිකාමිණියගේ අඟපසඟ පැරණි බලි ඇදුරකු විසින් මෙසේ කාව්‍යයකින් රචනා කර ඇත.

ළමැදේ මල්පෙති ගෝමර බැබලු
රන්කුඹු සේ එන සොව තන කැකුලු
නිල් සළු තුනු ඉඟ ඇඳලා රුවලු
මල් මොළකැටි ළය කර ගනු තුරුලු

දුනු මිට සේ තුනු ඉඟ බබළන්නේ
මල් මද හාසෙන් මුව සැරැසෙන්නේ
මල්පෙති අතුරා යහන සදන්නේ
රන් ලිය සේ එම යහන ලගින්නේ

පාළු ගෙයක ඔත් යහනේ ඉන්නේ
රුප්පා සෙවණකදී හමුවන්නේ
කොතන ගියත් අනුරාග වඩන්නේ
යහන කරා රත ලිය සැතපෙන්නේ

මෙවන් ලලනා විලාසයකින් යුත් කන්‍යාවක් ළඟට නොයන පිරිමියකේ දෑස පියාගෙන සිටී ද ඇය ළඟට නොයයි ද?

මෙම යක්ෂණියගේ ඇල්ම බැල්ම ඇති අයගේ සියලු රෝග, බය, තැතිවී ආරක්ෂාව සඳහා මෙම යන්ත්‍රය තඹ පතක ලියා බෝ පිළිලක් කතා නොකර ගලවා පහත මන්ත්‍රයෙන් 108 වර ජප කර ඉණ බඳින්න. සුවවේ.

මන්ත්‍ර බන්ධනය

ඕං නමෝ දේස හතකට මැද්දේ රත් කමලා ඇල්ලේ මැණික් කරඬු හත පළාගෙන උපන් මදන කාම යක්ෂණියෝ හත්දෙනා රන් පූනා හතක් කෙළගෙන මෙම රට ගොඩබසින්ට එන වේලාවට ශ්‍රී රාම මුණිවරයෝ. ජෝති රංග පර්වත හත පළාගෙන රතිකාම ඇල්ලට ගොඩලා සර්වකාමි, රතිකාමි, මතිකාමි, මදනකාමි, අවරකාමි, ක්‍රෙමකාමි යන මේ නම් ඇති මදන යක්ෂණියෝ සත්දෙනා අල්ලා අවරගිරි පර්වතේ රත්ගහේ බැන්ද ආඥාවෙන් ආනුභාවෙන් සර්වකාමි කට්ටු රති මදන කට්ටු අවර කාම බන්ධ විභූසන විෂ්ණු අණින් රතිකාමිණි යක්ෂණී බන්ධ නානේශ්වර ඉර හඳ දෙදෙනා අණින් භූ මදන කාම බන්ධ – සිඬ විද්‍යාධර දෙවි බඹුන් අණින් මල් මදන කාමි බන්ධ ගිනි මදන දේවතාවී බන්ද සුර අසුර දෙවියන් අණින් එර්දි වූ කල්ලු මදනකාමි බන්ධ ආදේස් වීරභද්‍ර මදන කාමි අවහිරකාමි රතිකාමිණි යක්ෂණී මෝහනී පෝආඩා පොඃ නමඃ එං එං රාම අවතාරයෙන් බන්ධ ගිනි ගිනි භූම පත්ම වාහනේ නැඟී මා අතහැරු මා නොබලා ඉගිළ ඉගළ පලයං තෝසවා හඃ

ජ්‍යොතිෂ්‍ය විද්‍යාජෝති, ගුප්ත විද්‍යාකීර්ති
වාස්තු විද්‍යා උපදේශක,
සාමවිනිසුරු, දේශබන්දු
රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල – 0770730062

advertistmentadvertistment
advertistmentadvertistment