*  පෙරඹර – සැබෑ නිදහස් රටක් වෙනුවෙන් අපේ වගකීම

158

ශ‍්‍රී ලංකාව සිය 74 වන නිදහස සැමරුමට සූදානම් වෙමින් සිටියි. නමුත් රටක් ලෙස අප දේශපාලනික, ආර්ථික සහ සාමාජීය සැබෑ නිදහසක් ලබා ඇත්දැයි ගැඹුරින් විග‍්‍රහ කළ යුතුව ඇත. එසේ කරනු ලබන විග‍්‍රහයකින් 75 වන නිදහස් සමරුව රටේ සැබෑ නිදහසක් සහිත සැමරීමක් කළ හැකි වනු ඇත.

 නිදහස යන්නෙහි සරල නිර්වචනය වෙනත් කෙනෙකුගේ පාලනයකින් තොරව ජීවත් වීමට ඇති හැකියාවයි. එනම් වහල්භාවයකින් තොරව කටයුතු කිරීමට ඇති හැකියාවයි. රටක නිදහස අර්ථකථනය කිරීමේදී රටක් ලෙස ඇති නිදහසත්, එම රටේ ජනතාවට ඇති නිදහසත් වෙන වෙනම සලකා බැලිය යුතුය.

 රටක් ලෙස අප 1948 පෙබරවාරි 04 වැනිදා, ඉංග‍්‍රීසි පාලනයෙන් නිදහස ලබා, 1972 දී ජනරජයක් ලෙසට පත්වීමෙන් පූර්ණ නිදහස් තත්ත්වය ලැබුණි. එනම් රට පාලනය කිරීමේ පූර්ණ නිදහස ශ‍්‍රී ලාංකිකයන්ට ලැබුණි. එසේ නිදහස ලැබී වසර 74 ක් ගෙවී යන මොහොත විග‍්‍රහ කළ විට ශ‍්‍රී ලාංකිකයන් ලෙස අප නියම දේශපාලන නිදහස භුක්ති විඳින්නේද යන්න සලකා බැලිය යුතුව ඇත. එනම්, සිය පාලකයන් තෝරා ගැනීමේදී, දේශපාලන පක්ෂ වලට වහල්භාවයෙන් තොරව කටයුතු කරන්නේද යන්න හා පාලකයන් තෝරා ගත් පසු එම පාලන ක‍්‍රියාවලියට කොතරම් හවුල් වන්නේද යන්න අවිනිශ්චිතය එම නිසා මැතිවරණ කාල සීමාවන් තුළ විවිධ ජනප‍්‍රිය ප‍්‍රතිපත්ති හා සංකල්ප විකුණමින් පාලන බලය ලබා ගන්නා පිරිස් ඉන් පසුව එම ප‍්‍රතිපත්ති හා සංකල්ප වලට පයින් ගසා තමන්ට රිසි පරිදි කටයුතු කරනු දක්නට ලැබේ. එවැනි අවස්ථා වලදී රටේ ජනතාව එම වැරදි දේශපාලන තීරණ වලට එරෙහිව පෙනී සිටි අවස්ථා ඉතා අල්පය. ජනතාවගේ මෙම හැසිරීම පාලකයන් තමන්ගේ පැවැත්ම සඳහා භාවිත කරනු දක්නට ඇත. ඊට විරුද්ධ මත දරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස පාලකයන් විසින් හංවඩු ගසනු ඇත.

 1948 නිදහස ලබන විට ශ‍්‍රී ලංකාව කිසිදු රටකට ණය වූ බවක් අප අසා නැත. නමුත් පසුගිය වසර 74 තුළ අපගේ පාලකයන් අප රට වෙනත් රටවල් මත යැපෙන ආර්ථික වහල්භාවයට පත් කර ඇත. එම ක‍්‍රියාවලින් තුළ ශ‍්‍රී ලංකාව ලෝකයේ සියලූම රටවල් වලට සංවර්ධනයේ නාමයෙන් ණය කර ඇත. එය අද වන විට චීනයෙන් සහල් හිඟාකෑම, ඉන්දියාවෙන් තෙල් සඳහා ණය ගැනීමත් දක්වා ව්‍යාප්ත කර ඇත. මෙම ණය බරින් මිරිකුණු තත්ත්වයන් තුළ එම රටවල් විවිධ ගිවිසුම් හරහා අපේ රට යටත් කර ගනිමින් සිටී. ඉතිහාසය පුරාවට විවිධ රටවල් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමේදි ගෝලීයකරණය හා අන්තර්ජාතික වෙළෙඳාම යන වචන වලට මුවා වී රට පාවාදීම හැර ලබා ගත් කිසිදු වාසිදායක ගිවිසුමක් පෙන්වීමට පාලකයන් අපොහොසත් වී ඇත.

 රට විදෙස් සබඳතා පවත්වාගෙන යෑමේදී නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමෙන් රටට අවශ්‍ය කරන හා වාසි ලැබෙන ආකාරයේ වෙළඳ ගිවිසුම් එලඹීමත් සිදු කළ හැකි අතර ඉන් රටට වාසි ලැබෙන බව අදාළ විශේෂඥයන් තහවුරු කළ යුතුය. රටට අවාසිදායක ගිවිසුම් සකස් කොට රටේ නිදහස සීමා කරමින් වහල්භාවයට ඇද දමන ගිවිසුම් නිර්දේශ කළ පුද්ගලයන්ට අදාළව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය. එමෙන්ම රට නවෝත්පාදන හරහා ආර්ථිකය ශක්තිමත් කිරීමට දේශීය යාන්ත‍්‍රණයක් හරහා ක‍්‍රියාමාර්ග ගත යුතුය. එහිදී රටේ සම්පත් විදේශිකයන්ට අමු අමුවේ විකුණා දමනවා වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීම සම්බන්ධව අවධානය යොමු කළ යුතුව ඇත. එමගින් ආර්ථික නිවහල්භාවයක් ඇති කර ගත හැක.

 එවන් පසුබිමක් තුළ රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි ක්ෂේත‍්‍ර බරපතළ ලෙස තර්ජනයකට ලක්ව පවති. ශ‍්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව හා අධ්‍යාපනය ලෝකය පුරා පැසසුමට ලක් වූ ක්ෂේත‍්‍ර 2 කි. අද වන විටත් ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමය රැඳී පවතින්නේ මෙම ක්ෂේත‍්‍ර හරහා සංවර්ධිත රටවල් මට්ටමේ දර්ශනයක් පවත්වාගෙන යෑමෙනි. නමුත් මේ වන විට රටක් ලෙස සෞඛ්‍ය සේවයේ වියදමින් 50% ක් පමණ ජනතාවට අතින් ගෙවීමට  සිදු වී තිබීම අනතුරුදායක තත්ත්වයකි. මෙය තවදුරටත් මේ ආකාරයෙන්ම පැවතිය හොත් සෞඛ්‍ය දර්ශක බිඳ වැටීම හා ජනතාව දරිද්‍රතාවට පත්වීම වළක්වාලිය නොහැකි වනු ඇත. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට පාලකයන් අපොහොසත් වී ඇත. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළද අනාගත දැක්මක් සහිත ජාතික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක නොවීම නිසා මානව සම්පත රටට අවශ්‍ය පරිදි කළමනාකරණය කිරීමට නොහැකි වී ඇත. රටේ අනාගත පරම්පරාවේ වටිනාම කාලයෙන් වසර 05 ක් 07 ක් අධික ප‍්‍රමාණයක් අධ්‍යාපන ක‍්‍රමවේදයේ ප‍්‍රමාදයන් නිසා විනාශකර දමමින් සිටී. වසර 21 දී උපාධි ලබාදීම සඳහා අප ඉදිරිපත් කළ සැලැස්ම හරහා මෙය මඟහරවා ගත හැකිය. අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ රටේ ස්වාධීනත්වය, කථා කිරීමේ නිදහස, සිතීමේ නිදහස, සදාචාරය, සංස්කෘතිය යන කරුණු අන්තර්ගත කිරීම තුළ සැබැවින්ම ‘‘නිදහස් මනසින් යුතු ශ‍්‍රී ලාංකිකයන්” බිහි කර ගත යුතුය. එසේ නොවුනහොත් නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය යන්න නාම මාත‍්‍රික ක‍්‍රියාදාමයක් පමණක් වනු ඇත.

 මේ වන විට රටේ බෝ නොවන රෝග මෙන්ම බෝ වෙන රෝග (වසංගත) වැඩි වීමක් දක්නට ඇත. මේ නිසා මෙම ද්විත්ව යුද්ධයෙන් ජය ගැනීමට සැලසුම් ක‍්‍රියාත්මක කළ යුතුය. එනම්, නිවාරණ සෞඛ්‍ය දෙසට වැඩි අවදානයක් යොමු කරමින් ඒ සඳහා විශේෂඥ උපදෙස් මත උපක‍්‍රමශීලී කටයුතු කිරීම අවශ්‍ය වනු ඇත. (නිවැරදි ආහාර ගැනීම නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම, දුම්වැටි මත්පැන් වලින් ඉවත් වීම ආදිය) එසේ කිරීමෙන් ‘‘රෝග වලින් නිදහස්” ජනතාවක් බිහිකර ගත හැක.

 මෑත දිනකදී විද්වතෙක් යැයි කියා ගන්නා රටේ අධිකරණ ඇමැතිවරයා වෘත්තිය සංගම්වල ක‍්‍රියාකාරකම් තහනම් කළ යුතු බවත්, ඒ හරහා ආර්ථිකය ශක්තිමත් කර ගත හැකි බවත් ප‍්‍රකාශ කර තිබුණි. රටක් නිදහස් වීම හා සංවර්ධනය වීම ආර්ථික නිවහල්භාවය හෝ ආර්ථික සංවර්ධනය පමණක් නොවන බව තකතීරු පාලකයන් නොදන්නා බව පෙනී යයි. ශ‍්‍රී ලංකාවට විරුද්ධව අන්තර් ජාතික වශයෙන් මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති මෙවන් අවධියක රටේ කතා කිරීමේ, සිතීමේ හා කම්කරු අරගල කිරීමේ නිදහස සීම කිරීමට රටේ අධිකරණ ඇමැතිවරයා සූදානම් වීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. මෙය රට හා රජය අන්තර්ජාතිකව අපහසුතාවට පත් කිරීමට හේතු වනු ඇත. එබැවින් රටක කැබිනට් ඇමැතිවරුන් ප‍්‍රකාශ නිකුත් කිරීමේදී යම් විනයකට අනුගත කළ යුතු බව ජනතාවගේ අදහස වී ඇත. එසේ නොවුණහොත් රට අන්තර්ජාතික වශයෙන් හෑල්ලූවට පත් වනු ඇත. මෙම ක‍්‍රියාවලිය අපගේ දැඩි අවධානයට හා විවේචනයට ලක්ව ඇත. මෙය සමස්තයක් ලෙස සදාචාර සම්පන්න සමාජයකින් ග්‍රෝතික සමාජයක් දක්වා ආපස්සට ඇද දැමීමක් යන්න අපගේ විග‍්‍රහයයි.

 පසුගිය වසර 74 ක් පුරාවට විවිධ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් අප මාතෘ භූමිය දේශපාලනික ආර්ථික හා සාමාජීය වශයෙන් වහල්භාවයට පත් කර ඇත. ඒ නිසා සියලූම වගකිව යුතු පුරවැසියන් පක්ෂ පාට වලට වහල් නොවී නිදහස් මනසින් රටට සැබෑ නිදහස ගෙන දෙන වැඩපිළිවෙළකට අවතීර්ණ විය යුතුව ඇත. එය 75 වන නිදහස් සැමරුම සැබෑ නිදහස් සැමරුමක් කරනු ඇත.

 සැබෑ නිදහසක් සඳහා පෙළ ගැසෙමු.

*  පෙරඹර - සැබෑ නිදහස් රටක් වෙනුවෙන් අපේ වගකීම

වෛද්‍ය නවීන් ද සොයිසා
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment