පෙරහැර බලා ටොන් 340ක් කුණු හලති

76

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය වීදි සංචාරය කළ දින දහයේ දී පෙරහැර ගමන් කළ මාර්ගය තුළ කැළිකසළ ටොන් 340ක් එක් රැස් වූ බව මහනුවර නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක මහතා පවසයි.

එම කැළිකසළ අතර ඉඳුල් ටොන් හැට අටක්, පොලිතින් ටොන් හතළිස් හයක්, අඟුරු ටොන් 18 ක්, කලවම් කුණු ටොන් හතළිස් තුනක් සහ අලි ඇතුන්ගේ කෑම සඳහා රැගෙන විත් භාවිත නොකළ අලි ආහාර ටොන් පනහක් ඇතුළු අලි අපද්‍රව්‍ය ටොන් එකසිය හැටපහක් තිබූ බවට ගණනය කළ බව ද හෙතෙම කියා සිටියේය.

දිරාපත් නොවන අපද්‍රව්‍ය අතර පෙරහැර නරඹන්නන් බිම එළා ගැනීමට රැගෙන විත් තිබූ පොලිතින්, පානීය ජල බෝතල් ඇතුළු පෞද්ගලිකව පරිහරණය කළ දෑ ඇතුළත්ව තිබූ බවද තමන් රැගෙන එන සියලු දෑ නැවත රැගෙන යන ලෙසට කොතෙක් දැනුවත් කළත් ජනතාව සැලකිල්ලට නොගෙන සියල්ල නගරයේ දමා ගොස් තිබූ බව ද හෙතෙම කියා සිටියේය.

මෙම සියලු කැළිකසළ ගොහාගොඩ තේක්කවත්ත අවසන් බැහැරලීමේ අංගනය වෙත රැගෙන ගිය බව ද එම කුණු වෙන් කිරීම නුවර නගර සභාවේ කම්කරුවන් විසින් සිය දෑතින් සිදු කළ බවද එය අමානුෂික ක්‍රියාවක් බව රටේ ජනතාව දැනගත යුතු බවද නාමල් දිසානායක මහතා අවධාරණය කළේය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment