පෙර පාසල් මිතුදම වැවක් තුළදී අවසන් කළ මිතුරන් තිදෙනා..මොණරාගලම මොහොතකට හැඬවූ පාසල් සිසුන් තිදෙනාගේ ඛේදවාචකය

1250

නිමාෂ්, රන්දිල් සහ ධනංජය පිළිවෙලින් මොණරාගල, රත්තනපිටිය, සිරිගල සහ දෙබද්දාව යන ප‍්‍රදේශවල පදිංචි පාසල් සිසුන් තිදෙනෙකි. මොහුන් තිදෙනාම මොනරාගල මහානාම ජාතික විදුහලේ උසස් පෙළ හදාරමින් සිටියහ. මොවුන් පෙර පාසල් සමයේ සිටම මිතුරන්ය.

කුඩා කල සිටම දැන හැඳිනගත් නිසා මොවුන්ගේ මිතුදම ඉතා දැඩි එකක් විය. පාසලේ අය පමණක් නොව එම ප‍්‍රදේශයේ ජනතාව ද ඒ බව දැන සිටියහ. එම මිත‍්‍රත්වය මතම මෙම සිසුන් තිදෙනාගේ දෙමවුපියන් ද කලක සිට එකිනෙකා දැන හැඳනගෙන ඉතාමත් කුළුපගව ඇසුරු කළහ.

මෙම සිසුන් තිදෙනාගේම දෙමව්පියන් සමාජයේ යමක් කමක් ඇති අය වූහ. එම නිසා කුඩා කල සිටම මොවුන් තිදෙනාට කිසිදු අඩුවක් නොකර උස්මහත් කිරීමට එම දෙමව්පියෝ වගබලා ගත්හ.

සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ පසු රන්දිල්ට සහ ධනංජයට ඔවුන්ගේ දෙමව්පියන් මිල අධික යතුරුපැදි දෙකක් පවා තෑගි ලෙස දුන්නේ පෙර වූ පොරොන්දුව ඉෂ්ට කිරීමක් වශයෙනි.

දෙමවුපියන්ට කීකරුව හැදී වැඩුණු මොවුන් තිදෙනා පාසල තුළ ද චරිතවත් ලෙස හැසුරුණහ. එම නිසා ගුරුවරුන්ගේ ආදරය ද නිබඳව මොහුන්ට ලැබුණි.

අධ්‍යාපන කටයුතුවලට අමතරව පාසලේ විෂය බාහිර ක‍්‍රියාවලද මොවුන් නිරත විය. එම නිසා පාසලේ අනිත් සිසුන් අතර ද මොවුන් තිදෙනා ජනප‍්‍රිය විය.

කොවිඞ් වසංගතය හමුවේ පාසල් වසා දමා ඇති නිසා මොවුන් තිදෙනාද නිවසට වී ඔන්ලයින් ක‍්‍රමය යටතේ අධ්‍යාපනය හැදෑරුහ.

විවේකයක් ලද සෑම මොහොතකම මොවුන් තිදෙනා නිරතුරුවම මුණගැසුනහ. වෙනත් මිතුරන්ගේ ගෙවල්වල ගියහ, විනෝද ගමන් ගියහ.

පසුගිය සතියේ දිනක තිදෙනා මුණගැසීමේ මෙලෙස කතාබස් කළහ.

‘‘මචං අපි ළඟදි කොහෙවත් ගියෙ නැහැ නේද?”

‘‘ඒක තමයි කොහෙවත් යන්න බැරි වුණානේ.”

‘‘කොවිඞ් එක්ක කොහෙවත් ඇවිදින්න යන්න බැහැනේ.”

‘‘ඒකනෙ බලපන්කෝ කොවිඞ් අපිට කරපු දෙයක්.”

‘‘ඒක නොවෙයි මට ආවා මරු අදහසක්. මොකද උඹලා දෙන්නා කියන්නේ.”

‘‘හරි ඉස්සෙල්ලා කියපං මොකක්ද ඔය උඹගෙ මරු අදහස.”

‘‘කාලෙකින් නාන්න යන්න බැරිවුණා නේ. අපි කොහේ හරි නාන්න යමු.”

‘‘ඒක හොඳයි. කම්මැලිකමත් යන්න එක්ක.”

‘‘එතකොට කොහෙද අපි නාන්න යන්නෙ.”

‘‘බුත්තල පැත්තේ හොඳ වැවක් තියෙන්නේ.”

‘‘මොකක්ද අර කටුගහල ගල්ගෙ වැවද?.”

පෙර පාසල් මිතුදම වැවක් තුළදී අවසන් කළ මිතුරන් තිදෙනා..මොණරාගලම මොහොතකට හැඬවූ පාසල් සිසුන් තිදෙනාගේ ඛේදවාචකය

‘‘ඔව් ඒක තමයි. වතුරත් තියෙනවනේ මේ දවස්වල.”

‘‘එහෙනම් කවදද අපි යන්නේ.”

‘‘ඇයි කල් දාන්නේ.”

‘‘අපි හෙටම යමු. මොකද උඹලා කියන්නේ.”

‘‘හරි අවුලක් නැහැ. හැබැයි එකක්.”

‘‘ඒ මොකක්ද බං.”

‘‘මේ ගැන ගෙවල්වලට කියන්න ඕනෙ නෑ.”

‘‘ඔව් ඒක ඇත්ත. කිව්වොත් ඒගොල්ලො බය වෙනවා.”

‘‘හරි බං මොනවා හරි බොරුවක් කියලා අපි සද්ද නැතුව ගෙවල්වලින් පැනගමු.”

මිතුරන් තිදෙනා එලෙස කතා කරගෙන නිවස් වෙත පැමිණියහ. පසුදින උදා විය. තිදෙනා බුත්තල කටුගහලගල්ගේ වැවේ දිය නෑමට යෑම සඳහා සූදානම් වූහ.

ධනංජය තම පියාට මෙලෙස පැවසුවේය.

‘‘තාත්තේ මං පොඞ්ඩක් ළඟට ගිහිල්ලා එන්නම්. පොඩි වැඩ වගයක් තියෙනවා කරගන්න.”

රන්දිල් තම පියාගෙන් රුපියල් දෙසියයක් ඉල්ලාගෙන ටවුන් එකට ගිහින් එන්නම් කියා පැවසුවේය.

‘‘අම්මෙ වැඩ වගයක් තියෙනවා කරගන්න. මම රන්දිල්ලාගේ ගෙදර යනවා. එනකොට දවල් වෙයි. බයවෙන්න එපා.” නිමේෂ් තම මවට එලෙස පැවසුවේය.

අවසානයේ තිදෙනා නිවැසියන්ට එලෙස පවසා තම යතුරුපැදිවලින් බුත්තල බලා පිටත් වූහ. දහවල් එකොළහ පමණ වන විට ඔවුන් තිදෙනා පෙරදින කතාකරගත් එම වැව අසලට පැමිණියහ. කිසිවකු නොමැති හරියෙ යතුරුපැදි දෙක නවතා ඔවුන් තිදෙනා දිය නෑමට පටන් ගත්හ.

දිය නාන අතර ඔවුහු මෙලෙස කතා බස් කළහ.

‘‘නියම වතුර ටික.”

‘‘ඒක තමයි බං හැමදාම එන්න හිතෙනවා.”

‘‘ගොඩක් ගැඹුරු ද දන්නෙ නෑ.”

‘‘අනේ මන්දා ඒක කියන්න බැහැ.”

‘‘ටිකක් එහාට වෙන්න පීනලා බලමුද.”

‘‘බලමු බලමු නැත්තං වැඩක් නැහැ”

ඒ අනුව තිදෙනා ඉවුරේ සිට වැව මැදට පිහිනීමට පටන් ගත්හ.

වැව මැද මරුවා ඔවුන් පැමිණෙන තුරු සැඟවී සිටි බව සිහිනෙකින්වත් නොසිතන්නට ඇත. යම්තම් හෝ ඒ බව දැන සිටියා නම් ඔවුන් එම වැව දෙසවත් නොබලනු ඇත. එහෙත් මරුවා ඔවුන්ට නොදන්නා වැව මැද සැඟවී සිටියේය. මේ කිසිවක් නොදත් එම පාසල් සිසුන් තිදෙනා තරගයට මෙන් මරුවා සිටි දෙසට පීනූහ.

නිසි අවස්ථාව පැමිණි පසු මරුවා පාසල් සිසුන් තිදෙනාම තම තුරුලට ගත්තේය. කිසිවකුටත් ඔවුන් තිදෙනාව බේරා ගැනීමට නොහැකි වූහ. අවසානයේ ඉතා අවාසනාවන්ත ලෙස එම පාසල් සිසුන් තිදෙනා වැවේ ගිලී මියගියහ.

නියමිත වේලාවට පුතුන් නොපැමිණි නිසා දෙමව්පියෝ ඔවුන් පිළිබඳව සොයා බැලූහ. වෙනදා යන එන තැන්වලින් විමසූහ. එහෙත් ඔහුන් ගැන කිසිදු තොරතුරක් නොමැත. ඒ අනුව ඔහුන්ගේ සිතේ ද යම් බියක් ඇති විය.

පැය ගණනක් උන්මත්තකයන් මෙන් එම දෙමව්පියෝ තම පුතුන් තිදෙනා ගැන සොයා බැලූහ. ඔවුන් යන එන සෑම තැනක්ම විපරම් කළහ. එහෙත් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූහ. අවසානයේ රාත‍්‍රි 12.00 ට පමණ මොනරාගල පොලිසියට ගොස් ඔවුහු මේ පිළිබඳව පැමිණිලි කළහ.

එදින ඔවුන්ට නිදි නොමැති රැයක් විය. දස අතේ කල්පනා කළේ තම පුතුන් කොහේ ගියාද කියාය. යටි සිතින් සෑමවිටම ඔවුන් ප‍්‍රාර්ථනා කළේ කිසිදු කරදරයක් ඔවුන්ට නොවේවා කියාය. එලෙස ඉතා දුක්බරව ඔවුන් එදින රාත‍්‍රිය ගෙවා දැමුවාය.

පසුදින උදෑසන සිටම යළිත් තම පුතුන් තිදෙනා සෙවීමට ඔහුන් කටයුතු කළේය. ඒ අතර බුත්තල ප‍්‍රදේශයේ වැවක් අසල තම පුතුන්ගේ යතුරුපැදි තිබෙන බව එම දෙමව්පියන්ට දැනගන්නට ලැබුණි. ඒ අනුව වහාම ඔහුන් එම ස්ථානයට ගියහ. එලෙස යන විට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය.

වැව් කණ්ඩිය මත තිබෙන පුතුන් තිදෙනාගේ නිසල දේහයන් දුටු එම දෙමව්පියන්ගේ හදවත් පුපුරා එතනම මියනොගියේ පෙරකළ පිනකටයි. තවමත් ඔවුන් තම පුතුන් ගැන සිතා මැරි මැරී උපදී. එහෙත් එලෙස දුක් වීමෙන් දැන් ඵලක් නොමැත. ලෝක ස්වභාවය එයයි. අපි ආදරය කරන, අපිට වටින මේ සියල්ලම නොසිතූ මොහොතක අප හැරදා යා යුතුව ඇත. බුද්ධ වචනය එයයි. තම පුතුන් තිදෙනා අහිමිවූ දෙමාපියන් දැන් සිදු කළ යුත්තේ බුද්ධ වචනයට අනුව සත්‍ය තේරුම් ගැනීම පමණි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment