පේටන්ට් බලපත්‍ර නැති, රාජ්‍ය සම්මාන නැති, ජනතාවාදී ගායකයා

1581

(නිහාල් නෙල්සන්)

සම්භාව්‍ය ජල තටාකයට ඇද වැටී නැති නමුත් රැඩිකල් විදිහට හිතන අලුත් විදිහට ලියන මේ රටේ නව පරපුර කියන පරිදි නිහාල් නෙල්සන්ගේ ගීත කතාව අලුත් ශානරයකි. මෙය ශාස්ත්‍රීය නොවන සරල සංගීතයට කිට්ටු වෙනස් ගීත සම්ප්‍රදායකි. ශ්‍රී ලංකාවේ පහල වූ විශිෂ්ටතම සංගීත ශිල්පියකු වන ආර්. ඒ. චන්ද්‍රසේනගේ ගෝලයකු වන නිහාල් නෙල්සන් අවසන් පලයේදී ගත්කල සිය ගුරුවරයාගේ සම්ප්‍රදාය පවා අත්හැර පෙර කී අලුත් සංගීත ශානරය හෙවත් අලුත් සංගීත වර්ගය නිර්මාණය කර ගත්තේය. පනස් අවුරුද්දක් ගීත ගායනයේ යෙදීමෙන් පසු ඔහු මියයන්නේ 76 වැනි විය පසුකරමින් සිටියදීය. ගෙදරම සිටීමට කැමති ප්‍රසිද්ධ ජීවිතයට අකැමැති මස් මාළු නොකන අරක්කු නොබොන මේ අපූරු මිනිසා පිළිබඳ කතාව මෙබඳු කෙටි කතු වැකියකින් විග්‍රහ කළ නොහැකි අමුතුම මොඩලයක කතාවකි.

නිහාල් නෙල්සන් ගැයූ ගීත වැඩි හරියක් ලියන ලද්දේ ඔහු විසිනි. ඒවාට සංගීතය සපයන ලද්දේද ඔහු විසින්මය. කවදාවත් අනුන්ගේ ගීත නොකියූ නිහාල් සිය සංගීත සම්ප්‍රදාය තුළ දීර්ඝ වශයෙන් ජීවත් විය. ගංජා ගසමින් හැලි අරක්කු බොමින් නාන්නේ නැතිව සහ කොණ්ඩය පීරන්නේ නැතිව ජීවත්වූ ජිමෙයිකානු ගායක බොප් මාලි මේ රටේ ප්‍රබුද්ධ කලාකරුවන් විසින් හඳුන්වනු ලබන්නේ ජෙමැයිකානු අනන්‍යතාව සහිත, ස්වකීය ගෝත්‍රයේ සිරිත් විරිත්වලින් පිට නොගිය විශිෂ්ට කලාකරුවකු ලෙසය. එසේම සමලිංගිකයකු වූද ඒඩ්ස් රෝගය වැළඳී මරණයට පත්වූද ෆ්‍රෙඩී මර්කරි නමැති ගායකයා පිළිබඳ මේ රටේ ඉංග්‍රීසි ගීත අසන ප්‍රබුද්ධ කලාලෝලීන් තුළ විශාල ගෞරවයක් තිබේ. එහෙත් ජීවතුන් අතර සිටි කාලයේදී නිහාල් නෙල්සන් විශිෂ්ට ගායකයකු ලෙස පිළිගැනීමටත් නව සංගීත රටාවක් සහ නව පදමාලා ක්‍රමයක් හඳුන්වාදුන් අයකු ලෙසත් පිළිගැනීමට මේ රටේ ඇතැම් විශිෂ්ට සංගීතඥයෝද ගොබ්බ විචාරකයෝද සූදානම් නොවූහ. ඒ නිසා හෝ වෙනත් කිසියම් හෙළි නොවුණු කුහක කාරණයක් හේතුවෙන් නිහාල් නෙල්සන්ට රාජ්‍ය මට්ටමෙන් කිසිදු ඇගයීමක් ලැබී නැත. කිසිදු ආණ්ඩුවක් ඔහුට කලාභූෂණ හෝ කලාකීර්ති සම්මානයක් දී නැත. එහෙත් නිහාල් නෙල්සන්ගේ ගම වූ මොරටුවේ ජනයාත් මොරටුවේ නගර සභාවත් තමන්ට හැකි පමණින් ඔහුට සම්මාන ප්‍රදාන කළහ. එක අතකට ආණ්ඩුවලින් දෙන මල ඉලව් සම්මානවලින් සත පහක වැඩක් නොවේ. වැඩක් ඇත්තේ ජනතාව දෙන ජනතා සම්මානවලිනි. හැම මිනිහෙකුගේම හදවතේ ඇති ලේ බිඳුවක් ජනතා සම්මානයෙහි තැන්පත්ව ඇත. ජිප්සීස් සුනිල්ටද සිදුවුණේ මෙයමය. එහිදී කිසියම් නිදහසට කාරණයක් තිබේ. ජිප්සීස් සුනිල්ගේ ඇතැම් මුල්කාලීන ගීත එතරම් සභ්‍ය වුණේ නැත.

නිහාල් නෙල්සන් ලියූ ගීත කිසිවක කුණුහරුප නැත. ඔහු එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී මේ රටේ සංගීත ලෝලීන් පිනවීම සඳහා වේදිකාවට නැගගත් පසු ආපසු බසින්නේ මහත් අමාරුවෙනි. එයට හේතුව වේදිකාවේ පඩිපෙළ කැඩීයෑම නොව දිගින් දිගටම සිංදු කියන ලෙස ජනතාව ඔහුගෙන් ඉල්ලා සිටීමය. නිහාල් ගැයූ ‘ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ’ යන ගීතයෙහි පදමාලාව සම්භාව්‍ය නොවන දෙවන පන්තියේ සිංහල භාෂාවෙන් ලියන ලද ගීතයකි. ඉංග්‍රීසියෙන් මෙකී දෙවන පන්තියේ භාෂාව හඳුන්වනු ලබන්නේ Slang Language යනුවෙන්ය.

‘සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගේ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගෙ කාමරේ..’

ඉහත සඳහන් ගීතය ලියවී ඇත්තේ ගංජා කාමරයක් ගැනය. ගංජා කාමරය තුළ මස්කට්, පැණි බූන්දි, කිරි තේ යනාදිය තිබේ. එයට හේතුව ගංජා ගැසීමෙන් පසු බහුල වශයෙන් පැණි රස කෑමේ අවශ්‍යතාව ගංජාකාරයාට ඇතිවීමය. මෙය සමාජයේ එක් ස්ථරයක් පිළිබඳ කරන ලද විවරණයකි. ඒ ස්ථරය ගැන කවුරුත් ගීත ලියා තිබුණේ නැත. ගුවන් විදුලියේ කිසි කලෙකත් ප්‍රචාරය නොවූ මේ ගීතය එවකට තිබූ සංගීත කැසට් ඔස්සේ සතියක් තුළ මුළු ලංකාවේම ප්‍රසිද්ධයට පත්විය. හැබැයි මේ සින්දුවේ එකම කුණුහරපයක්වත් නැත. මේ සින්දුවේ ගංජා යන වචනයද නැත. යම් විදියකින් මෙහි ගංජා වැනි වචනය තිබුණේ නම් මේ රටේ ප්‍රබුද්ධයන් නිහාල් නෙල්සන් අල්ලා හමගසනවා නියතය. හැබැයි බොබ්මාලි ගංජා කාරයකු වීම අපේ ප්‍රබුද්ධයන් දුටුවේ ගෝත්‍රීය අනන්‍යතාව තහවුරු කිරීමක් ලෙසය. ෆ්‍රෙඩී මර්කරිගේ සමලිංගිකත්වය අපේ විචාරකයන් දුටුවේ මානුෂික අවශ්‍යතාවක් ලෙසිනි. මෙහි ඇති ලොකුම ප්‍රශ්නය නම් මේ රටේ ගායකයකු හෝ කලාකරුවකු එවැනි තත්ත්වයක සිටිත්නම් අප්‍රමාණ ගැරහීමකට ලක්වීමය. නිහාල් නෙල්සන් තම ගීතවල තනුව කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. ඔහු ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළේ තමන් ගයන ගීතයේ පදමාලාවෙහි ඇති ප්‍රකාශන ස්වභාවය සහ එම ගීතය ඉදිරිපත් කිරීමේ ප්‍රාසාංගික ප්‍රවේශයය. මයිකල් ජැක්සන් ගීත ගයන විට Moon Walk නමැති අර්ධ නර්තන සම්ප්‍රදායක් ඉදිරිපත් කළේය. එම සම්ප්‍රදායට පේටන්ට් බලපත්‍රයක් පවා ඇති අතර ලොව පුරා සිටින සංගීත ලෝලීන් එම අර්ධ නර්තන සම්ප්‍රදාය දකින්නේ විශ්වකර්ම කෙළියක් හැටියටය. නිහාල් නෙල්සන් වේදිකාවට නැග සින්දු කියන විට එම ගීතයෙහි පදමාලාව අභිනයෙන් දැක්වීය. එසේම තත්පරයක කාලයක් තුළදී මයික්‍රපෝනය විවිධ ඉරියව් ඔස්සේ අතින් අතට මාරු කළේය. මේ සෙල්ලම කරන වෙනත් කිසිදු ප්‍රාසාංගික ගායකයෙක් මේ රටේ නැත. එසේම මයික් එක මාරු කිරීමේ ක්‍රියාවලියට නිහාල් නෙල්සන් පේටන්ට් බලපත්‍රයක් ලබාගෙනද නැත.

නිහාල් නෙල්සන් ගව ඝාතනයට මහත් සේ විරුද්ධ වූවෙකි. ඔහු ලියූ මේ ගීතයෙන් එය මැනවින් පිළිබිඹු වේ.

‘කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ…’

මේ ගීතය අසා මස් කෑම නතර කළ දහස් ගණනක් මේ රටේ සිටිති. නිහාල් නෙල්සන් එම ගීතය ගායනා කරන විට සාමාන්‍ය ජනයාගේ හදවත කඩා වැටිණ. නිහාල් නෙල්සන් සිය ගීත මගින් කළ සමාජ බලපෑම ඉතා ඉහළය. මෙවැනි මිනිසෙක් යළි පහළ වෙන්නේම නැත.

advertistmentadvertistment
advertistmentadvertistment