පේද්‍රික් මුලාදෑනිගේ පාරු ලයිසම හොයාගෙන දේවමුල්ලට ගිය ගමන

426

දැනට ඉතිරි වෙලා තියෙන එකම පාරු ලයිසන් එක….

1900 බෝට්ටු ආඥා පනත යටතේ බ්‍රිතාන්‍ය රජයෙන් නිකුත් කළ පාරු බලපත්‍රයක්
කෞතුකාගාරයෙත් නැති පාරු ලයිසම තියෙන්නේ දේවමුල්ලේ
ලොරි හතරක බර එක පාරුවකින් අදින්න පුළුවන්
පාරුව ගොඩට ගත්තෙත් වතුරට දැම්මෙත් කාලගුණය බලලා
ඔරුපාරු ක්‍රමවේදය දියුණු කළොත් ආර්ථිකය වගේම සංචාරක කර්මාන්තයත් ගොඩ


මාස ගණනාවක් තිස්සේ පවතින ඉන්ධන ප්‍රශ්නයට හරියාකාර විසඳුමක් ලැබිලා තියෙනවා කියලා තවමත් හිතන්න බැහැ. QR කේත ක්‍රමය හඳුන්වාදීමත් සමඟ යම් තරමකට ඉන්ධන සඳහා වන පෝලිම්වල අඩුවක් වූ බව ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන පිරිස පෙන්වලා දෙනවා. ඒත් තවමත් පොදු ප්‍රවාහනයේ වගේම පුද්ගලික ප්‍රවාහනයේ තියෙන්නේ ඇල්මැරුණු ස්වභාවයක්. රටේ උද්ගත වුණු ආර්ථික අර්බුදය නිසා සියලුම ක්ෂේත්‍ර අඩපණවෙද්දී අපි නැවතත් ගල් යුගයට යනවා කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. කතාවට එහෙම කිව්වට ගල් යුගයේ මිනිස්සු සීමිත උවමනා එපාකම් එක්ක මීට වඩා සතුටින් ජීවත් වෙලා තියනවා කියලා අද අපිටම හිතෙනවා. ඒක වෙනමම කතාවක්.

අද මම මේ කියන්න යන්නේ හැමදේටම වඩා වෙනස් කතාවක්. හැබැයි වර්තමානයේ රටේ තත්ත්වයත් එක්ක මේ කියන්න යන කතාව අදටත් හොඳටම ගැලපෙනවා. රටේ ගමනාගමනය සහ ප්‍රවාහනය අඩපණ වෙලා තියෙන කාල වකවානුවක, මීට අවුරුදු ගණනාවකට පෙර ලංකාවේ ගමනාගමනය හා ප්‍රවාහනය වෙනුවෙන් යොදාගත්ත ඔරු පාරු ගැන තමයි මම අද කතා කරන්නේ.

පේද්‍රික් මුලාදෑනිගේ පාරු ලයිසම හොයාගෙන දේවමුල්ලට ගිය ගමන
වර්තමාන බෝට්ටුවක්

QR කේත ක්‍රමය හඳුන්වා දීමත් එක්ක වාහනවල බලපත්‍ර, ඒවායේ අයිතිය පිළිබඳ නීත්‍යානුකූල ලියකියවිලි වගේ දේවල් සම්බන්ධයෙන් ගැටලු සහගත තැන් ඇති වුණා. අද සියලුම වාහනවලට බලපත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ ගැන ලොකු කුඩා කවුරුත් දන්නවා. ඒත් අතීතයේ ඔරු පාරුවලටත් බලපත්‍ර තිබිලා තියෙනවා කියලා කවුරු හරි කෙනෙක් කිව්වොත්, ඒ කතාව දිහා අපි බලන්නේ ටිකක් අවිශ්වාසයෙන්.

කොහොම වුණත් පාරුවලටත් බලපත්‍ර තිබුණා කියලා සාක්ෂි සහිතව ඔප්පු කරන, ඒ වගේම ලංකාවේ ගමනාගමන හා ප්‍රවාහන අර්බුදයට විකල්පයක් ලෙස නැවතත් ඔරු පාරු සංස්කෘතිය ඇති කළ යුතුයි කියලා පුන පුනා කියන අපූරු මිනිසෙක් අපට හමුවුණා. ඔහු නමින් කරුණාතිලක.

පේද්‍රික් මුලාදෑනිගේ පාරු ලයිසම හොයාගෙන දේවමුල්ලට ගිය ගමන

මේ ඔරු පාරු ගැන කතාව අහන්න පහුගිය දවසක දිවයින කණ්ඩායමක් කරුණාතිලකව හොයාගෙන බුලත්සිංහල දේවමුල්ල ගම්මානයට ගියා. බැලූ බැල්මට වලව්වක් වගේ පේන ඒත් මෑතකදී පිළිසකර කළ බවට සලකුණු තියෙන කරුණාතිලකගේ නිවස පිහිටලා තිබුණේ කළු ගඟ මායිමේ.

කාලයකට කලින් කළු ගඟ දිගේ ගිය පරිසර හිතකාමී බෝට්ටුව මතක නම්, ඔබට කරුණාතිලකව අමතක වෙන්න විදිහක් නෑ. ඒ පරිසර හිතකාමී බෝට්ටුවේ නිර්මාතෘවරයා තමයි අද අපේ කතා නායකයා. කරුණාතිලක ගැන කියන්න තවත් සුවිශේෂී කාරණාවක් තියෙනවා.

ඔහු ලංකාවේ පැරණිතම පාරුවලින් එක් පාරුවක හිමිකරුවෙක්ගේ මුණුබුරෙක්. තවත් විදිහකට කියනවා නම් කරුණාතිලක කියන්නේ මම මුලින් සඳහන් කළ පාරු බලපත්‍රයේ හිමිකරුවාගේ මුණුබුරා. හිත පිරෙන ආගන්තුක සත්කාරවලින් පසුව කරුණාතිලක පැරණි ලියකියවිලි කිහිපයක් අපේ අතට දුන්නා. ඒ ලියකියවිලි අතර අර මුලින් කිව්ව පාරු බලපත්‍රයත් තිබුණා. ඒ බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ 1915 අවුරුද්දේ කියලා තමයි සටහන් වෙලා තිබුණේ. මේ බලපත්‍රය කරුණාතිලකට හම්බ වෙලා තියෙන්නෙත් අහම්බෙන්.

“ගෙදර තිබුණු පරණ ලියකියවිලි වගයක් බලද්දි තමයි මට මේ ලියවිල්ල හම්බ වුණේ. හොඳින් කියවද්දී එය පාරුවකට දුන්න ලයිසන් එකක් කියලා මට තේරුණා. මම මේ ලයිසන් එක ගැන වැඩිදුරටත් හොයලා බැලුවා. 1900 බෝට්ටු ආඥා පනත කියලා නම් කළ පනතක් යටතේ තමයි මේ ලයිසන් එක නිකුත් කරලා තියෙන්නේ. ඒ පනත අදටත් වලංගුයි. මඟීන් පනහක් සහ බඩුබාහිරාදිය ටොන් හතළිහකට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි ආකාරයට ලයිසන් එක නිකුත් කරලා තියෙනවා. බ්‍රිතාන්‍ය රජය යටතේ තමයි මේ ලයිසන් එක නිකුත් කරලා තියෙන්නේ.”

එක්දාස් නවසියය කාල වකවානුවේ බ්‍රිතාන්‍ය රජයේ යටතේ මේ විදියට නිකුත් කරලා තියෙන පාරු බලපත්‍ර අතරින් දැනට අපි දැනුවත්ව ඉතිරි වෙලා තියෙන්නේ කරුණාතිලකගේ සීයගේ පාරුවේ බලපත්‍රය විතරයි. සමහරු මේ බලපත්‍රය ලංකාවේ පරණම පාරු බලපත්‍රය කියලත් කියනවා.

“මේ ලයිසන් එක ලංකාවේ පරණම පාරු ලයිසන් එක කියලා කියන්න බැහැ. ඔය කාල වකවානුවේ තවත් පාරු ලයිසන් අනිවාර්යෙන්ම නිකුත් කරලා ඇති. මොකද පාරු තිබිලා තියෙන්නේ මගේ සීයට විතරක් නෙමේ. ඒත් ඒ ගැන දන්න කියන කවුරුවත් මට මුණගැහිලා නෑ. එහෙම නිකුත් කළ ලයිසන් කාටවත් නොදැනීම විනාශ වෙලා ඇති. මගේ සීයගේ පාරුවේ ලයිසන් එක නම් පාරම්පරික උරුමයක් හැටියට අපි ආරක්ෂා කරනවා. මගේ දැනීමේ හැටියට මේ වගේ ලයිසන් එකක් කෞතුකාගාරයේවත් නෑ.”

පාරම්පරික උරුමය පණ වගේ ආරක්ෂා කරන කරුණාතිලක අපිත් එක්ක ඔරු පාරු රස්සාවේ වතගොත දිග හරින්න පටන් ගත්තා.

“එක්දාස් නවසිය තිස් ගණන්වලට කලින් ලංකාවේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යය වෙලා තියෙන්නේ ගංගාව. ඒ දවස්වල යාන වාහන බොහොමයක් තිබිලා නෑ. කොළඹ සිට බොහෝ නගරවලට ජල මාර්ග පද්ධතියක් පවා සකස් වෙලා තියෙනවා. ඒ දවස්වල භාණ්ඩ ප්‍රවාහනයට වගේම මගීන් ප්‍රවාහනයට පාරු යොදාගෙන තියෙනවා. මම ඔය කියන කාල වකවානුවේ හලාවත ඉඳලා රත්නපුරේට ගංගා සහ ඇළ මාර්ග හරහා ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒකේ අයිතිකාරයා අපේ අම්මගේ තාත්තා. ඒ කියන්නේ මගේ සීයා.”

කරුණාතිලක ඉපදිලා අවුරුද්දක වගේ කාලයක් යද්දි ඔහුගේ සීයා මියගිහින්.

ඒ නිසා ලංකාවේ පැරණිතම පාරු සේවාවන්ගෙන් එකක් මෙහෙයවූයේ තමන්ගේ සීයා කියලා කරුණාතිලක දැනගෙන තියෙන්නෙත් ඔහුගේ මවගෙන් සහ අසල්වාසීන් කියන අතීත තොරතුරුවලින්. නමින් දොන් පේද්‍රික් ගුණතිලක වූ කරුණාතිලකගේ සීයා පාරු තුන හතරකම අයිතිකාරයෙක්. දොන් පේද්‍රික් පාරු කර්මාන්තය පටන් අරන් තියෙන්නේ 1903 අවුරුද්දේ. පාරු කර්මාන්තය රැකියාව කරගත් ඔහුට 1920 නොවැම්බර් 25 වෙනිදා ගරු තනතුරක් විදිහට ගම් මුලාදෑනි තනතුරත් ලැබිලා තියෙනවා. හදිස්සියේ ගංවතුරක්, නියඟයක් ඇති වුණොත් ගමම බලාගන්න පුළුවන් කෙනෙක්ට තමයි ඉස්සර ඒ තනතුර පිරිනමන්නේ. පාරු රස්සාව කරලා ගමටම කන්න දෙන්න හම්බ කරගන්න පුළුවන්ද? කෙනෙක්ට එහෙම හිතෙන්නත් පුළුවන්. අන්න ඒ ප්‍රශ්නයට කරුණාතිලක මේ විදියට උත්තර දුන්නා.

පේද්‍රික් මුලාදෑනිගේ පාරු ලයිසම හොයාගෙන දේවමුල්ලට ගිය ගමන

“බද්දට ගත්ත පාරු කීපයකුත් අපේ සීයට තිබිලා තියෙනවා. 1907 අවුරුද්දට කලින් අපේ පැත්තේ පාරවල් තිබිලා නෑ. ඒ නිසා මිනිස්සු එහා මෙහා ගියේ ඔරු පාරුවලින්ම තමයි. මගීන්ට අමතරව පුවක්, කෝපි, ගම්මිරිස්, මිනිරන් වගේ දේවලුත් ප්‍රවාහනය කරනවා. ඒ කාලේ හැටියට පාරු රස්සාවෙන් සීයාට හොඳ ආදායමක් ලැබෙන්න ඇති.

පේද්‍රික් ගුණතිලක පාරු රස්සාව පටන් අරගෙන තියෙන්නේ කරන්නාගොඩ කන්නන්ගර කියන පුද්ගලයත් එක්ක. පහු වෙද්දි කන්නන්ගරගේ කොටස ගෙවලා පාරුව තමන්ගෙ තනි අයිතියට ගන්න පේද්‍රික් කටයුතු කරලා තියෙනවා. පාරුවල අයිතිකාරයා විදිහට සමහර දවස්වල ඔහුත් පාරු ගමන්වලට එකතු වෙලා තියෙනවා කියලා අපිත් එක්ක කිව්වේ කතාවට එකතු වුණු කරුණාතිලකගේ අසල්වාසියෙක්.

ඔරු පාරු කියද්දී අපේ හිතේ මැවෙන්නේ කුඩා ජල යාත්‍රාවක්. ඒත් ඒ දවස්වල පාරුවක සම්මත දිග අඩි හතළිස් නමය හමාරක්. පළල අඩි 12ක්. ගම්මුන් කියන විදියට ලොරි හතරකට පටවන බඩු එක පාරුවකට පටවන්න පුළුවන්. ඒ වගේම උයා පිහා ගන්න මුළුතැන් ගෙයක්, ගබඩා කාමරයක්, නිදන කාමරයක් පවා පාරුවේ තිබිලා තියෙනවා. කරුණාතිලක කියන විදිහට අවුරුදු තිහක් හතළිහක් වුණත් පාරුවක් පාවිච්චි කරන්න පුළුවන්.

මේ තරම් විශාලෙට වගේම සවි ශක්තියට පාරුවක් හදන එක ලේසි පහසු කටයුත්තක් වෙන්න බැහැ. කොස් සහ මිල්ල දැව යොදාගෙන තමයි පාරු හදලා තියෙන්නේ. ඒ කාලේ පාරු හදන්න කිසිම ලෝහ වර්ගයක් පාවිච්චියට අරගෙන නෑ. මේ විදිහට විශාලෙට හදන පාරුවේ ප්‍රධානියා එහෙමත් නැත්නම් නියමුවා හඳුන්වන්නේ තණ්ඩලේ කියලා. තණ්ඩලේ එක්ක තවත් හය දෙනෙක් පාරුව පදින්න එකතු වෙනවා. පාරුව ගමන් කරන්නේ මිනිස් ශ්‍රමයෙන්. සමහර වෙලාවට සුළඟේ ආධාරයත් ලබා ගන්නවා. හාල් සේරුවක බත් කන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නව නම් ඔහු පාරු රස්සාවට සුදුසුයි කියලා තමයි ඉස්සර මිනිස්සු කියන්නේ. මිනිස් බලය පාරු රස්සාවට ඒ තරම්ම වැදගත් වෙලා තිබුණා.

“පාරුව පදින්න නතර ඔරුවකුත් ඕනේ. ඒ නතර ඔරුවේ දෙන්නෙක් ගමන් කරනවා. ඒ වගේම ලොකු කඹයකුත් අරගෙන යනවා.

පාරුවට ඉදිරියෙන් ඔරුව පැදගෙන ගිහින් ගඟ අයිනේ තියෙන ගහකට ලොකු කඹේ දානවා. පාරුවේ ඉන්න අය ලොකු කඹය අදිනවා. තවත් පිරිසක් ලීවලින් පාරුව පදිනවා. මේකට අවර අල්ලනවා කියලත් කියනවා. මම දැනගත්තු තොරතුරුවලට අනුව කළු ගඟේ කොටපොත ඇල්ල නාරගල ඇල්ල, ඉංගිරිය ඇල්ල වගේ තැන්වල පාරුව එගොඩ මෙගොඩ කරන්න තරමක් අමාරුයි. ඒ වගේ තැන්වල පාරුව අදින්න විස්සක විසි පහක පිරිසක් ඉන්නවා. පාරු ඇදීමත් පාරු කර්මාන්තයට අදාළ රස්සාවක්. ඒ වගේම පාරුවෙන් ගෙනියන බඩු බාහිරාදිය බාන්නත් අදාළ තැන්වලට ගෙනියන්නත් වෙනම මිනිස්සු ඉඳලා තියෙනවා.”

ඇත්තටම බැලුවොත් ඔරු පාරු රස්සාව කියන්නේ වෙනමම සංස්කෘතියක්. පාරු පැදීමට අමතරව තවත් රැකියා ගණනාවක් පාරු රස්සාවට සම්බන්ධ වෙනවා.

පාරු රස්සාවත් එක්ක බැඳුණු සංස්කෘතිය වගේම ඊටම ආවේණික අපූරු වචන ටිකකුත් කරුණාතිලක අපේ කතාවට එකතු කළා. පරම්පරාවෙන් ලැබුණ දැනුම අපතේ යන්න නොදී ආරක්ෂා කරගන්න කරුණාතිලක අදටත් උත්සාහ ගන්නවා.

සීයාගේ බස්තම, පැරණි පාරු බලපත්‍රය සීයගේ පාරුවේ ගමන් ලෑල්ල කරුණාතිලක ළඟ අදටත් පරිස්සමට තියෙනවා.

අද බස් වර්ජන කරනවා වගේ එදා පාරු වර්ජන නම් තිබිලා නෑ. එදිනෙදා වැඩවලට එගොඩ මෙගොඩ යන මිනිස්සුන්ගේ අඩුවක් තිබිලත් නැහැ. ඒ හින්දා කිසිම දවසක පාරුව එගොඩ මෙගොඩ නොකර ඉන්නට පාර පදින්නන්ට හැකියාවක් නැහැ. කරුණාතිලක කියන විදිහට පාරුවක් ගඟට දාන්නෙත් පිළිසකර කරන්න ගොඩට ගන්නෙත් ගංවතුර කාලයට විතරයි. ඒ වගේ දවස්වලට ප්‍රවාහනය අඩපණ වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒත් පාරුව ගොඩට ගන්න ගංවතුරක් එනකම්ම බලාගෙන ඉන්නත් විශේෂ හේතුවක් තියෙනවා. මම මුලින් කීව විදිහට මේ පාරු ප්‍රමාණයෙන් විශාලයි. ඒ නිසා මිනිස් බලයෙන් පමණක්ම ඒවා ගොඩට ඇදලා ගන්න බැහැ ඒ විදිහට ගොඩට ගද්දි පාරුව විනාශ වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ගංවතුරක් ආවොත් වතුරේ ආධාරයෙන්ම පාරුව පහසුවෙන් ගොඩට ගන්න පුළුවන්. ඒ විදිහට ගොඩට ගන්න පාරුව ඊළඟ ගංවතුරට කලින් පිළිසකර කරලා අර මුලින් කිව්ව විදිහට ගංවතුරේ ආධාරයෙන්ම ගඟට දානවා. කරුණාතිලක හැදුව පරිසර හිතකාමී බෝට්ටුවත් ගංවතුරේ ආධාරයෙන් ගඟට අරගෙන ගිය විදිය ගැන අපිත් එක්ක කිව්වා. කොහොම වුණත් පාරු රස්සාව කරපු පැරැන්නන් පාරුව වතුරට දැමීමත් ගොඩ ගැනීමත් කරලා තියෙන්නේ කාලගුණය ගැන බලලා. ඔවුන් කාලගුණය ගැන කියන අනාවැකි වැරදෙන්නේම නැති තරම්.

පේද්‍රික් මුලාදෑනිගේ පාරු ලයිසම හොයාගෙන දේවමුල්ලට ගිය ගමන

පාරු ගැන කතාව ටිකකට නතර කරලා මේ විදිහට පාරම්පරික උරුමයන් ආරක්ෂා කරන කරුණාතිලක ගැනත් වචනයක් දෙකක් නොකිව්වොත් ඒක ලොකු අඩුවක් කියලා මට හිතුනා. ආයතන ගණනාවක අභ්‍යන්තර විගණන නිලධාරියෙක් හැටියට අවුරුදු ගණනාවක්ම කරුණාතිලක රැකියාව කරලා තිබුණා. රැකියාව කරන අතරතුරේදීත්, රැකියාවට සමු දුන් පසුවත් පරම්පරාවෙන් ලැබුණ වටිනාකම් ආරක්ෂා කරන අතරෙම ඒවා ඉදිරියටත් අරගෙන යන්නත් කරුණාතිලක අමතක කරලා තිබුණෙ නැහැ. සීයගේ අඩිපාරේ යමින් දැනට අවුරුදු දහයකට වගේ කලින් කරුණාතිලකත් මගී බෝට්ටු ප්‍රවාහන සේවයක් පටන් අරගෙන තිබුණා. නමුත් විවිධ හේතු හින්දා ඔහුට එය අතරමඟ නතර කරන්න සිදු වෙලා.

“මගීන් හැටකට වගේ ගමන් කරන්න පුළුවන් බෝට්ටුවක් මම හැදුවා. ඒත් ඒ දවස්වල රටේ ගමනාගමනය හා ප්‍රවාහනය සම්බන්ධයෙන් අද වගේ බරපතළ ප්‍රශ්න තිබුණේ නැහැ. ඒ නිසා මගී බෝට්ටු ප්‍රවාහනය නතර කරන්න වුණා. නමුත් සංචාරක කර්මාන්තයට මම එය භාවිත කළා. බෝට්ටුවේ ආධාරයෙන් ගඟ දිගේ මම සංචාරකයන් අරගෙන ගියා. මගේ මේ යෝජනාවට උපකාර කරන්න කවුරුත් කැමැති වුණේ නැහැ. රජයෙන්වත් බැංකුවකින් වත් සහයෝගයක් ලැබුණෙත් නෑ. අද වගේ තත්ත්වයක් එදා තිබුණා නම් සීයට සීයක් මගේ උත්සාහය සාර්ථක වෙනවා.”

කරුණාතිලක වගේම ඔහුගේ පුතාත් මේ පාරම්පරික උරුමය රැකගන්න මහන්සි වෙනවා. මේ තාත්තයි පුතයි එකතු වෙලා ෆයිබර් ජල යාත්‍රා නිෂ්පාදනයත් ආරම්භ කරලා තියෙනවා. ඒත් රටේ ඇතිවෙලා තියෙන වාතාවරණයත් එක්ක එවැනි නිර්මාණ කිරීමත් යම්තාක් දුරකට නතර වෙලා.

නැවතත් ඔරු පාරුවලට අත වනන්න කාලය උදා වෙලා කියලා තමයි කරුණාතිලක කියන්නේ. අතීතයේ තිබුණු ඇළ මාර්ග යළි පිළිසකර කරමින් බෝට්ටු ප්‍රවාහන සේවය ආරම්භ කළොත් එය රටේ පවතින ගමනාගමන අර්බුදය වගේම සංචාරක කර්මාන්තය නඟා සිටුවන්නත් උපකාරයක් වෙනවා කියලා කරුණාතිලක කිව්වේ මහත් විශ්වාසයකින්. ජල මාර්ගවල ප්‍රවාහනය සේවා පවත්වාගෙන යෑම මගී ප්‍රවාහනයට හොඳම විසඳුම කියලත් ඔහු කියනවා.

“ඔරු පාරු බෝට්ටු තියෙන්නේ ධීවර රැකියාවට විතරයි කියලා පිරිසක් හිතනවා. ඒවා අපේ රටේ මගී ප්‍රවාහනයට යොදාගන්න පුළුවන් කිවාම සමහරු සමච්චලයට හිනා වෙනවා. සමහරු කනකටවත් ගන්නේ නෑ. අද සමහරු විනෝදෙට බෝට්ටුවල යනවා. ඒ යන අතරමගදීවත් මේ ක්‍රමවේදය කොයි තරම් වැදගත්ද කියලා හිතෙන් නැති එක තමයි පුදුමය. ඔරුපාරු යොදාගන්න කීවට අතීතයේ විදිහටම ඒ දේවල් කරන්න ඕනේ නැහැ. වර්තමානයට ගැළපෙන විදිහට අපිට ඒවා හදාගන්න පුළුවන්. මිනිස් බලය වෙනුවට සූර්ය බලය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ අලුත් ක්‍රමවේද ගැන හිතන පිරිසක් නැති එක කනගාටුවක් .

මම හැදුව පරිසර හිතකාමී බෝට්ටුව මගී ප්‍රවාහනයට වගේම සංචාරක කර්මාන්තයටත් හොඳටම ගැළපෙනවා. ඒත් අවාසනාවකට අපේ රටේ ඒ වගේ නිර්මාණවලට පැවැත්මක් නැහැ.”

තෙල් පෝලිම්වල පොර කන මිනිස්සු, බස් එකට කෝච්චියට නැගගන්න නොවිඳිනා දුක් විඳින මිනිස්සු ගැන හිතලවත් මේ වගේ විකල්ප ක්‍රම අත්හදා බැලුවොත් ඒකෙ වාසිය ලැබෙන්නේ අපේ රටටමයි. සමහරු මේ ක්‍රමවේද යල් පැනගිය අදහස් කියලා බැහැර කරනවා. ඒ විදිහට අත හැරලා දැම්ම බයිසිකලය අද මිනිස්සුන්ට කොයිතරම් පිහිට වෙනවාද? ඒ හින්දා අතීතයේ තිබුණ ජල මාර්ග පද්ධතිය පිළිසකර කරලා, ජල යාත්‍රා තුළින් මගී ප්‍රවාහනය වගේම භාණ්ඩ ප්‍රවාහනය කිරීමත් ආරම්භ කළොත් අපි හිතනවාටත් වඩා ප්‍රතිඵල ලබා ගන්න අමාරු වෙන එකක් නෑ. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු වේවා යන්න තමයි කරුණාතිලකගේ වගේම අපේත් ප්‍රාර්ථනය.

කොහොම වුණත් දුෂ්කරත්වයට මැදිවුණු සුන්දරත්වයත් දිස්වෙන කරුණාතිලකගේ ගම ගැන විස්තර ටිකක් අහන්නත් අපි අමතක කළේ නෑ. කරුණාතිලකගේ ගෙදර හොයාගෙන එද්දී මට හිතුණේ දේවමුල්ල ගම තනිවෙලා කියලා. හැබැයි ඒ හුදෙකලාව ඇතුලේ තිබුණෙ පුදුම සැනසීමක්. ඒ වුණත් මේ ගම මේ තරම් නිස්කලංක වෙන්න බලපාන විශේෂ හේතුව කරුණාතිලකගෙන් ඇහුවේ නැත්නම් මේ කතාව සම්පූර්ණ නෑ කියලා මට හිතුණා.

“ඉස්සර මේ ගමේ තුන් හාරසීයක් මිනිස්සු හිටියා. ඒත් දැන් ඉන්නේ පවුල් පහ හයක් විතරයි. අපේ ගමේ පොදු ප්‍රවාහනය වැඩි දියුණු වුණේ නැහැ. පුළු පුළුවන් විදිහට පුද්ගලික තමයි ගමන් බිමන් ගියේ. පොදු ප්‍රවාහන පහසුකම් නැති හින්දා බොහෝ දෙනෙක් ගම අතෑරලා නගරෙට ගිහින්. හැබැයි ඔරු පාරුවලින් ප්‍රවාහනය කරන කාලයේ නම් මේ ගමේ හාරසීයකට කිට්ටුවෙන්න මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. දැන් ගම් බිම් අතහැරලා ගිය එක්කෙනා දෙන්නා නැවතත් ගමට එන්න පටන් අරන්. කොච්චර දුෂ්කර වුණත් ගම තරම් තැනක් වෙන නෑ.”

කුමාරි ඉරුගල්බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment