සිය රටවල පවතින එක් පාපන්දු ක්‍රීඩාංගණයක් අභාවප්‍රාප්ත ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයා වූ බ්‍රසීල ජාතික පේලේ නමින් නම් කරන ලෙස සෑම රටකින්ම ඉල්ලා සිටීමට සිය සම්මේලනය තීරණය කර ඇති බව ලෝක පාපන්දු සම්මේලනයේ (ෆීෆා) සභාපති ජියන්නි ඉන්ෆන්ටිනෝ පවසයි. ඊයේ (03) සිය උපන් නගරය වන බ්‍රසීලයේ සැන්ටොස් නගරයේදී අවසන් ගමන් ගිය පේලේ වෙනුවෙන් පැවති අනුස්මරණ උත්සවයකට සහභාගී වෙමින් ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා මේ බව පවසා තිබේ.
ඊයේ ග්‍රිනිච් මධ්‍යහ්න වේලාවෙන් දහවල් 12ට පමණ බ්‍රසීලයේ සැන්ටොස් නගරයේ පිහිටි ලොව උසම සුසාන භූමියේදී මිහිදන් කෙරුණු පේලේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දේහය තැන්පත් කර තිබූ සැන්ටොස් නගරයේ පිහිටි විලා බෙල්මයිරෝ
ක්‍රීඩාංගණය වෙත බ්‍රසීලයේ සෑම ප්රදේශයකින්ම පාහේ විශාල ජනකායක් පෙරේදා (02දා) දිනයේ සිට ඊයේ (03දා) උදෑසන දක්වා පැමිණ තිබු බව වාර්තා විය. විශාල පිරිසක් එකවර පේලේ හට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණීම හේතුවෙන් ක්‍රීඩාංගණය අවට දිගු පෝලිම් නිර්මාණය වී තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. පේලේ හට අවසන් ගෞරව දැක්වූවන් අතර අලුතින් බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වූ ලුස් ඉනයිකෝ ලුලා ද සිල්වා ද විය.
ඒමන්ති මාරඹේ