“පොතක අගේ හැම දා එකසේම ය….” – මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

424

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයාය (විශ‍්‍රාමික). සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳව වූ පර්යේෂණ නිබන්ධයක් සඳහා ආචාර්ය උපාධියක් දිනාගත් එතුමා සාහිත්‍ය මානව විද්‍යාව, ජනශ‍්‍රැති විද්‍යාව, සිනමාව, නාට්‍ය සහ රූපවාහිනිය ආදී විෂයයන් පිළිබඳ පතපොත හා විචාර ලිපි රචකයෙකි.

එතුමා විසින් ලියන ලද ‘සංස්කෘතියේ සමාජ මුහුණුවර’ නමැති කෘතිය සඳහා 1984 වර්ෂයේ දී ද, ‘යථාර්ථය සහ නිර්මාණය’ නමැති කෘතිය සඳහා 1994 වර්ෂයේදී ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා ඇත. එතුමා 1995 වසරේ පරිවර්තනය කරන ලද ‘සිනමා සිද්ධාන්ත සහ විචාර’ නමැති කෘතිය සිනමා ක්ෂේත‍්‍රයේ පුරෝගාමී පරිවර්තන කෘතියක් ලෙස හැඳින්විය හැක. මේ වන විට එතුමා විසින් නිර්මාණ කෘතීන් 54 ක් පමණ රචනා කොට ඇත.

පහත පළවන්නේ එතුමාගේ දේශනයක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි .

ජාතියක් වශයෙන් අප පොත්පත් කියවන්නට පටන් ගත්තේ මුද්‍රණද්වාරයෙන් පොතපත නිකුත්වීම සිදුවීමත්, පාසල් අධ්‍යාපනය ව්‍යාප්ත වීමත් හේතුවෙන්. තවත් විදියකට කියනවා නම් මෙයට සියවස් දෙකකට පමණ පෙර අපට සිටියේ ශ‍්‍රාවක සමාජයක් ලෙසටයි. පොත් කියවනු අසා සිටින සමාජයක් ලෙසටයි. සාක්ෂරතාව තිබුණේ සමාජයේ ඇති හැකි භික්ෂූන් වහන්සේලාට, වෛද්‍යවරුන්ට සහ ගුරුවරුන් වැනි අයටයි. නමුත් දැනුම ලබා ගන්ට පතපොත කියැවීමේ වැදගත්්කම පුරාණයේ සිට ම අපේ අය දැන සිටියා. මහනුවර යුගයේ ඒ පිළිබඳව තිබූ උද්යෝගය වදන් කවි පොත වැනි කෘතියකින් පැහැදිලි වෙනවා.

අප පොත්වලට ගරු කළ වැඳුම්පිදුම් කළ ජාතියක්. ධර්මමය කරුණු අඩංගුව තිබුණේ පොත්වල. ධර්මය අන්තර්ගතව තිබූ ඒ පොත්වලටයි අප වැන්දේ. අකුරු කියැවීම දරුවකුගේ ජීවිතයේ වැදගත් වත්පිළිවෙතක් වූ චාරිත‍්‍රයක්. විශේෂයෙන් වයසක උදවියට එම අවස්ථාවේ ගරු ගාම්භීරකම අමතක වෙලා නැතුව ඇත කියා මා සිතනවා. තවමත් එම චාරිත‍්‍රය පෙර පරිදිම නොවූවත් දරුවකු ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් ලෙස එය සැලකෙනවා. වර්තමානයේ විවාහ උත්සවයක දී දෙපාර්ශවය වෙනුවෙන් අත්සන් කරන්නේ දේශපාලන වශයෙන් එහෙමත් නැතිනම් සමාජයේ වැදගත්ය කියන අය වුනත්, මා දන්නා තරමට තවමත් දරුවන්ට අකුරු කියවන්නේ සමාජයේ වැදගත්ය කියන අය නොවෙයි. අකුරු දන්න කියන ඇසූ පිරූ තැන් ඇති වැඩිහිටියෙක්. ගමේ සිටින උගතෙක්. චීනයේ යුන්නාන් පළාතේ ජනයා අතර පවතින කීමක් මගේ මතකයට නැගෙනවා. කිසියම් දරුවෙක් ඉගෙන ගැනීමට උනන්දුවක් නැතිනම් ඒ දරුවාගේ දෙමාපියන් කියන්නේ . ඉගෙන ගන්නේ නැති වුනොත් උඹට වෙන්නේ දේශපානඥයෙක් වෙන්න තමා කියායි. ඒ කියමනේ ඇත්තකුත් තියෙනවා. ඒ වගේ ම චීනයේ පුරාණයේ සිට ම පැවැත එන පිළිගැනීමක් වන්නේ, සාර්ථක මනුෂ්‍යයකු වන්නට නම් යුතුකම් තුනක් ඉටු කළ යුතු බවයි. පළමු යුතුකම වන්නේ ගසක් සිටුවීමයි. මෙ මගින් අදහස් වන්නේ තමා ජීවිත්වන පෘථිවිය හා පරිසරය රැුක ගැනීමට දායක වීමයි. දෙවැන්න වන්නේ පුතෙකු හෝ දරුවකු උත්පාදනය කිරීමයි. මෙ මගින් අදහස් වන්නේ යහපත් සමාජයක් ගොඩනැගීමට දායක වීමයි, තෙවැනි යුතුකම වන්නේ පොතක් ලිවීමයි. මෙමගින් අදහස් කෙරෙන්නේ දැනුම පැතිරවීමට දක්වන දායකත්වයයි.

පැරණි යුගයේ අපේ බොහොමයක් පොත්පත් ලියැවුනේ ධර්මමය කාරණා අඩංගු කර ගෙනයි. බෝධිසත්වයන් වහන්සේ ගේ අතීත භවයන් පිලිබඳ විස්තර අඩංගු වුනේ පන්සියපනස් ජාතක පොතේ. අප එය හැඳින්වූයේ ජාතක පොත්වහන්සේ කියායි. පිරිත් අඩංගු පොත හැඳින්වූයේ පිරිත් පොත් වහන්සේ කියායි. අප කුඩා කාලයේ පොත්පත් පාඩම් කරන්නට පටන් ගන්නේ ඒවාට වැඳලායි. පොත්පත්වලට ගරුසරු ඇතිවයි අප සැලකුවේ.

දැනට ඉතිරිව තිබෙන පැරණි සම්භාව්‍ය ග‍්‍රන්ථවල කතුවරුන් එම කෘති රචනා කරන්නට අරමුණු කර ගත්තේ සැදැහැවත් ජනයාට මොක් මගට වඩා සග මග පැහැදිලි කිරීමටයි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන් පැහැදිලි කළ ආකාරයට පැරණි සිංහලයාගේ ආගම සකස්ව තිබුණේ සග මග අරමුණු කර ගෙනයි. සගමග යනුවෙන් අදහස් කෙරෙන්නේ දෙව්ලොව යන්නට මග පෙන්වීීමයිි. තවත් විදියකට කියනවා නම් පින් රැුස් කර ගැනීමේ අගය කියන්නටයි. ඒ නිසයි මහාචාර්ය රාහුල හිමියන් අපේ පැරැුන්නන්ගේ ආගම පින්කම අරමුණු කොට ගත්තක් වූ බව පැවසුවේ. මේ බව දැනට අපට ඉතිරිව තිබෙන සම්භාව්‍ය ගද්‍ය පද්‍ය කෘති විමසීමේ දී ද පෙනී යනවා. ඒ බව ජාතක පොතේ කතුවරුන් සඳහන් කරන්නේ,

‘එළුවෙන් ලියූ ජාතක කතාව සත්පුරුෂයන් වූ මනුෂ්‍යයන් විසින් කන් යොමු සිත් එළා ඇසිය යුතු’ බවයි.

සද්ධර්මරත්නාවලී කතුවරයා ඒ බව ප‍්‍රකාශ කරන්නේ, ‘ එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලී නම් වූ ප‍්‍රබන්ධයක් කරම්හ’ ආදී වශයෙනුයි.

අනාගතවංශ කතුවරයා ඒ බව ප‍්‍රකාශ කරන්නේ, ‘කැමැති සියලූ සත්වයන් විසින් සාවධානව අසා ලෞකික ලෝකෝත්තර සම්පත් සිද්ධ කටයුතු’ ආදී වශයෙනුයි.

සිංහල ප‍්‍රබන්ධ කතාවේ පුරෝගාමියකු ලෙස සැලකන පියදාස සිරිසේන මහතා සඳහන් කළ ආකාරයට, ‘ අපේ සිංහල ජනයා

යථා මාර්ගයෙහි යොදවනු සඳහා අප විසින් ලියන ලද පොත් බොහෝ වෙති. ‘ නව ප‍්‍රබන්ධය’ යන නම මේ කාලයේ ව්‍යවහාර කරතත්, අපේ පොත්වල ධර්ම ශාස්ත‍්‍රීය කරුණුවලින් පිටස්තර කිසිවක් නැත.’ පැරණි සම්භාව්‍ය සාහිත්‍යකරුවන්ගේ අරමුණ ද වූයේ මෙය ම යි.

පොදු ජන රුචිය කෙබඳු වුව ද , තමාගේ රුචියට හා සම්ප‍්‍රදායට අනුගතවෙමින් ජනයා ඒ කෙරෙහි නැඹුරු කරවීමට ගත් තැත එම කෘතිවලින් පිළිබිඹු වෙනවා. අපේ බොහොමයක් සාහිත්‍ය විචාරකයන් සඳහන් කරන්නේ සාම්ප‍්‍රදායික සාහිත්‍යය පොදුජන රුචිය කෙරෙහි නැඹුරු වෙමින් සම්භාව්‍ය කතුවරුන් ග‍්‍රන්ථ සම්පාදනය කළ බවයි. එහෙත් අවාසනාවකට මෙන් ඒ එක ද විචාරකයකු හෝ ‘ පොදුජන රුචිය යනු කුමක් ද? ’, එහි පදනම හා අරමුණ කුමක් ද? ’ යන ප‍්‍රශ්න කෙරෙහි අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නෑ. ඔවුන් බොහෝ දෙනෙකු පොදුජන රුචිය යන්න සාහිත්‍යය මැනීමේ මිම්මක් ලෙසටත්, එම මිම්ම භාෂාව ලෙසටත්, ගද්‍යය හා පද්‍යය එදිනෙදා ජීවිතයේ කටයුතු හා සම්බන්ධයෙන් යොදා ගැනීම පොදුජන රුචිය වර්ධනය වීමේ හේතුවක් හැටියටත්, ගිහි උගතුන් බිහිවීම නිසා මෙම තත්ත්වය ඇති වූ බවත් පැහැදිලි කරනවා. එහෙත් මේ එක ද හේතුවක් හෝ පොදුජන රුචියේ ස්වභාවය මිස එහි අරමුණු කවරේ ද යන්න ගැන අදහස් ඉදිරිපත් කිරීමක් ලෙසට අපට පිළිගත නොහැකි යි. ඒවායෙන් අපට පැහැදිලි වන්නේ පොදුජන රුචිය කුමක් වුව ද තමාගේ රුචිය කෙරෙහි ජනයා නැඹුරු කරවීමට ගත් තැත බව ය. අපට මෙය සැලකිය හැකි වන්නේ සංස්කෘතිය හා සම්ප‍්‍රදාය මගින් මෙහෙය වන බලවේග ලේඛකයාට නොසලකා හැරිය නොහැකි බවයි. එවැනි බලවේග නොසලකා හැරීමකින් සිදුවන්නේ ලේඛකයා, ශ‍්‍රාවකයා හා පාඨකයා අතර පරතරයක් ඇතිවීමේ හේතුවෙන් සමාජ අසංස්ථානයකට මගපෑදීම යි.

ඉහත සඳහන් කළ කරුණු සිහිතබා ගනිමින් මෙහි දී අප ගේ වෑයම වන්නේ, පොදු ජන සංස්කෘතිය යනු කුමක් ද? මෙන්ම එහි යථා ස්වභාවය වර්තමානයේ පොතපත සහ පාඨකයා කෙරෙහි බලපාන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ලූහුඬින් සලකා බැලීම යි.

ඕනෑම සංස්කෘතියක ඉතා කඩිනමින් වෙනස් වන්නේ, එම සංස්කෘතියේ ව්‍යවහාරික අංගයන්. වෙනත් සංස්කෘතියක් හා ගැටීමෙන් ද කිසියම් සංස්කෘතියක් වෙනස් වන්නේ බැහැරින් එන වෙනත් සංස්කෘතික ලක්ෂණ උරා ගෙන දිරවා ගැනීමට ඇති ප‍්‍රතිශක්තිය සහ හැකියාව මත යි. කතාබහ,ඇඳුම් පැළඳුම්, කෑමබීම ආදී බාහිර අංග යුරෝපීය, ඉන්දීය හෝ අමෙරිකානු බලපෑම් අපේ පාරම්පරික සිරිත් විරිත්, සම්ප‍්‍රදා ආදියට පදනම වන අපේ සංස්කෘතියට පිවිසෙන්නේ යම් යම් බලපෑම්වල ප‍්‍රතිපල වශයෙනුයි.

යටත් විජිත පාලනයට පෙර පැරණි ලංකාවේ පොතපතින් ලබා ගත් දැනුම සහ උගත්කම සීමා වූයේ පූජ්‍ය පක්ෂයට සහ සීමිත ගිහි පිරිසකට යි. එයට හේතු වූයේ එකල පැවැති යම් යම් සීමා සහ පිළිගැනීම් නිසා යි. නිදසුන් වශයෙන් සලකා බැලූව හොත් එකල කාන්තවන්ට අධ්‍යාපනය ලබන්නට තිබූ ඉඩ කඩ සීමා සහිත වූයේ ය. පිරිවෙන් අධ්‍යාපනය ලබන්නට කාන්තාවන්ට අවස්ථාවක් නොවී ය. ජනප‍්‍රවාදවලට අනුව මාතර යුගයේ විසූ ගජමන් නෝනා අධ්‍යාපනය ලබන්නට පිරිවෙනට ගියේ පිරිමියකු සේ වෙස්වළා ගෙන ය. එවැනි අඩුපාඩුකම් තිබුණ ද යම් යම් අවස්ථාවල දී පුරුෂ පක්ෂයට මෙන් ම දැනුම ලබා ගන්නට කාන්තා පක්ෂයට ද තිබූ නිදහසට නිදසුන් සීගිරි කැටපත් පවුරේ එන කාන්තා පක්ෂය ලියූ පද්‍යවලින් පැහැදිලි වෙනවා. යටත් විජිත පාලනය තුළ අපේ පැරණි පිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමය පිරිහුණු අතර එකල පාලනාධිකාරයේ හා මිෂනාරී ප‍්‍රචාරක කටයුතු හේතුවෙන් නගරාශි‍්‍රත ප‍්‍රදේශවල අධ්‍යාපනය පැතිර යෑම, මුද්‍රණ යන්ත‍්‍රය ලංකාවට සම්ප‍්‍රාප්ත වීම, හේතු කොට ගෙන පොත්පත් භාවිතය හා උගත්කම ඉහත කී පූජ්‍ය පක්ෂයේ හා සීමිත ගිහි පක්ෂයේ බලපරාක‍්‍රමයෙන් ගිළිහී ගියා. වැලිවිට සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව විසින් කරන ලද සේවය පදනම් කොට ගෙන දහඅටවන සියවසේ අග භාගයේ දී දකුණු පළාතේ නව බෞද්ධ ප‍්‍රබෝධයක් ඇති වීමට මග පෑදුණා. පහතරට අලූතෙන් බිහිවූ පිරිවෙන් සීඝ‍්‍රාකාරයෙන් වර්ධනය වූනා . මේ තරගය වඩාත් තියුණු වූයේ දහනව වන සියවස ආරම්භයෙහි පහතරට ප‍්‍රදේශවල නව නිකාය භේදයක් ඇති වීමේ හේතුවෙන්. මේ නිකාය භේදය ආගමික එක්සත් භාවයට එක් අතකින් බාධාවක් වූ නමුදු තවත් අතකින් ධර්ම ශාස්ත‍්‍රීය කටයුතු කෙරෙහි රුකුලක් ද වූයේ ය. නව නිකාය බිහිවීම බොහෝ විට ගිහි සමාජයේ පැළපදියම් ව තිබුණු කුල ක‍්‍රමයේ බලපෑම සංඝ සමාජයට පිවිස තිබීමට එරෙහිව ඇතිවූ ප‍්‍රතික‍්‍රියාවක් ලෙස සැලකිය හැක්කක්. මහනුවර මධ්‍යස්ථානය කොට ගෙන බිහිවූ සියම් නිකායට අමතරව 1803 දී පහතරට අමරපුර නිකාය බිහිවූයේ ය. පසුව අමරපුර නිකාය කොටස් රාශියකට බෙදී ගිය අතර සියම්නිකායික භික්ෂු පරම්පරා අතර හටගත් මතභේද හා ආගමික ප‍්‍රශ්න පිළිබඳව පැන නැගුුණු වාද විවාද හේතුකොට ගෙන ධර්ම ශාස්ත‍්‍ර විෂයෙහි නව උද්යෝගයක් ඇති වූයේ ය. මේ වාද විවාද වඩාත් උග‍්‍ර වූයේ 1884දී රාමඤ්ඤ නිකාය ආරම්භ වීමත් සමගයි. මේ වාද විවාද හා තරග හේතුවෙන් භික්ෂූන් අතර පමණක් නොව ගිහි සමාජය තුළත්

බෞද්ධාගමික කටයුතු සම්බන්ධයෙන් නව උද්යෝගයක් ඇති වූ අතර මෙම උද්යෝගය 19වන සියවසේ බෞද්ධ පුනරුදයේ වැදගත් අංගයක් බවට ද පත් වුනා. මෙම කාර්යයේ බර දැරුවෝ අතීතයේ මෙන් ම භික්ෂූන් වහන්සේලාමයි. වාද විවාද සිදු කරන ලද්දේ භික්ෂූන් වහන්සේලා ම වූ අතර එම කටයුතුවල දී ගිහියන්ගේ දායකත්වය ඒ සඳහා ලැබුණේ, එම වාද විවාද මුද්‍රණය කොට බෙදා හැරීම් ආදී කටයුතුවල දී යි. මෙම වකවානුව තුළ බෞද්ධාගමික ක්ෂේත‍්‍රයෙහි ඇතිවූ වෙනස්කම්වලට සමගාමීව ක‍්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරයෙහි ද කි‍්‍රයාකාරී උද්යෝගයක් දක්නට ලැබුණා.

කි‍්‍රස්තියානි ආගම වැළඳ ගැනීමේ අනුසස් සහ බුදුදහම සදොස් ලබ්ධියක් බව තහවුරු කිරීමටත්, කි‍්‍රස්තියානු ශුද්ධ ලියකියවිලිවල මූලික ප‍්‍රතිපත්ති හඳුන්වාදීමේ අධ්‍යාශයෙනුත් සරල බසින් රචිත ග‍්‍රන්ථ කිහිපයක් ‘ලංකා බයිබල් සමාගම’ මගින් මුද්‍රණය කොට බෙදා හැරුණේ මේ කාල පරිච්ෙඡ්දය තුළ දීයි. කුඩා කතාන්තර පොත් වූ මේවා දසදහස් ගණනින් ජනයා අතර බෙදා හරින ලද්දේය.

වර්ෂ 1860න් පසුව කි‍්‍රස්තියානි පූජකයන්ගේ අසත්‍ය ප‍්‍රචාර හා චෝදනා ආදියට පිළිතුරු දීමේ අභිලාෂයෙන් බෞද්ධ පොතපත මුද්‍රණය කොට බෙදා හැරීමත් ,වාදවිවාද පැවැත්වීමත් විධිමත් ආකාරයට ආරම්භ වූයේය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා , සිංහල වෙදවරුන්, ගුරුවරුන් , ලේඛකයන්, කලාකරුවන් හා ජාතිමාමක දැන උගත් සිංහල අය සමාජීය හා සංස්කෘතික පෙරමුණක් වශයෙන් යටත් විජිත පාලනයට එරෙහිව දියත් කැරුණු මෙය ලාංකේය ජාතික ව්‍යාපාරයන්හි තෙවැනි අදියර මෙන් ම එය හැඳින්විය යුත්තේ ජාතික අරගලයකට වඩා දැනුම, සම්ප‍්‍රදාය හා උරුමය රැක ගැනීමට කළ අරගලයක් ලෙසට යි,

බෞද්ධාගමිකයන් කිතු දහමට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් රචිත ප‍්‍රචාරක අන්‍ය ආගමික කතා සිංහල බෞද්ධයන් විසින් කියවීමේ අතුරු ඵලයක් වූයේ මෙතෙක් ජාතක කතා ඇතුළු බෞද්ධ හින්දු කතා භක්ත්‍යාදරයෙන් කියවූ පිරිස වෙනුවට ප‍්‍රබන්ධ කතා කියැවීමට මෙන් ම ලිවීමට ද නැඹුරු වූ පිරිසක් බිහිවීමයි. මෙම පිරිස අපේ බුද්ධිමය ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන්නට සමත් පිරිසක් බවට පත් වන්නේ, දැනුම නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම ඔවුන්ගේ ආධිපත්‍යය යටතේ පැවැතීම නිසා යි. මෙය ඔවුන් සතු වූ ප‍්‍රබල ම වරප‍්‍රසාදයකි. එය හොඳින් ප‍්‍රතිපලදායක ලෙස භාවිත කරන්නට තරම් හොඳ අධ්‍යාපනයක් ඉංගී‍්‍රසි සිංහල ද්විභාෂා නිපුනත්වයක් ඔවුන් සතුව තිබුණා.

බහුතරයක් වශයෙන් ශ‍්‍රාවක සමාජයක් වූ සිංහලයන් පාඨක සමාජයක් බවට පත්වන්නට අධ්‍යාපනයේ ව්‍යාප්තිය වැදගත් වූ බව අපි දුටුවෙමු. අධ්‍යාපනය මෙන් ම දැනුම ව්‍යාප්ත කිරීමේ මූලික ම පදනම වන්නේ පොත්පත බව අමුතුවෙන් කිව යුතු නැත. කටපාඩමෙන් රැුක ගෙන ආ තෙවලා දහම වළගම්බා රජ දවස ග‍්‍රන්ථාගත වුව ද, හුදී ජන පහන් සංවේගයට එය ආලොකයක් නොවූයේ, එය කියවා තේරුම් ගැනීම පූජ්‍ය පක්ෂයට ම බෙහෙවින් සීමා වීමේ හේතුවෙනි ග‍්‍රන්ථාගතවූ ධර්ම ග‍්‍රන්ථයන් ද සීමා සහිත වූයේ ඒවායෙන් පිටපත් ගණනක් ලිවීම දුෂ්කර කාර්යයක් වූ බැවිනි. ඒවාට බොදුනුවන්ගෙන් විශාල ගෞරවයක් ලැබුණේ ඒවායේ දුලබ බව නිසාත් භික්ෂුන් සහ අතලොස්සක් ගිහියන්ගේ ප‍්‍රයෝජනය සඳහා ඒවා පන්සලේ පොත්ගුල්වල තැන්පත් කොට තිබූ නිසාත් ය. අප කලින් සඳහන් කළ පරිදි සම්භාව්‍ය බෞද්ධ ග‍්‍රන්ථ මුද්‍රණය වීම නිසා වැඩි පිරිසකට ඒවා කියැවිය හැකි වූ නමුත් පෙර පරිදි එම පොත්වලට තිබූ පූජනීය බවත් ගෞරවයත් හීනවී යන්නට කෙමෙන් මග පෑදුනේ ය.

සිංහලයන් පොත් කියවන්නට පුරුදු වූයේ අධ්‍යාපනය පෘථුල ලෙස පැතිරී යෑම හේතුවෙන් දැනුම ඒවායෙහි අඩංගුව තිබූ නිසා යි. දැනුම සමග වෙන් කළ නොහැකි සේ එකට බැඳී පවතින පොත හා සංස්කෘතිය අතර පවත්නා සම්බන්ධය ඉතා ගැඹුුරින් සාකච්ඡුා කළ යුතු වුව ද එය මෙයට අවස්ථාව නොවේ. පොතකින් සිදු වන්නේ ලේඛකයා අදහස් කරන දේ අක්ෂර හෝ සංකේත මගින් පාඨකයා වෙත ළඟා වීම යි. පාඨකයා එම අකුරු හෝ සංකේත නොදන්නේ නම් එය අවබෝධ කර ගැනීමේ අපහසුතාවක් ඇති වෙයි. අකුරු දැන සිටීම මෙහි දී වැදගත් වෙයි. සාක්ෂරතාව ලෙස හැඳින්වෙන්නේ එයයි. භාෂාව දැන සිටීම හා අවබෝධකොට ගැනීමට හැකි වීම මෙහි දී වැදගත් වෙනවා.

වර්තමාන යුගයේ තාක්ෂණික අභිවර්ධනය හේතුවෙන් ලිවීම සරල කාර්යයක් බවට පත්ව ඇත්තේ භාෂාව කාර්මීකරණය වී ඇති නිසා ය. හෝඩිය දන්නා ඕනෑම කෙනෙකුට පරිගණක භාවිතයෙන් ලිවිය හැකි වන්නේ, ලිවීමේ දී භාෂාවේ සිදුවන වැරදි පාඩු බොහොමයක් පරිගණකය මගින් ඉබේම නිවැරදි කොට ගත හැකි නිසා යි. පොත කියවනු අසන ශ‍්‍රාවකයා වෙනුවට පොත කියවන පාඨකයා බිහිවූයේ ය. අද වන විට පොත කියවන පාඨකයා වෙනුවට පොත් බලන පේ‍්‍රක්ෂකයන් බිහිවී ඇත්තේ ය. බටහිර ලෝකයේ සිදුවෙමින් පවතින මෙම විපර්යාසය මෙරටට ද කාන්දුවෙමින් පවතින්නේ ඊ පොත් (ඊ බුක්ස් ) සමග යි. කෙසේ වුව ද රූපවාහිනිය, සංගත තැටි ආදියේ හේතුවෙන් පොත් කියැවීමේ ප‍්‍රතිශතයෙහි අඩුවක් සිදුව ඇති බව විද්වතුන්ගේ පිළිගැනීම යි.

ලංකාවේ සිංහලයා දෙස බලන විට අවම වශයෙන් ඔවුන් එක්තරා ආකාරයකට හෝ විධිමත්ව සිංහල භාෂාව අධ්‍යයනය කරන්නේ. අ.පො.ස (සා පෙළ) විභාගය දක්වා පමණ යි. වෙන කරන්නට දෙයක් නැතිව කලා විෂයයන් හදාරණ විද්‍යාර්ථීන් හැරුණුවිට සෙසු ශිෂ්‍යයන් සිංහල හදාරන්නේ නැති තරම්. එහෙත් වෙනත් විෂයයන් හදාරන්නේ ද සිංහල මාධ්‍යයෙන්. සිිංහලය හැදෑරිය යුතු විෂයයක් ලෙස ඔවුන් නොසලකන්නේ සිංහල මවකට හා පියෙකුට දාව සිංහල ජාතියේ උපන් නිසා උපතින් ම සිංහල දන්නේය යන කල්පනාව නිසා යි . අනෙක් අතට දැන් අපට ජාතියක් තිබේ ද? යන්න ද ප‍්‍රශ්නයකි. අපි ලාංකිකයෝ වෙමු. ලාංකිකයන්ට භාෂාවක් නැති නිසා සිංහල ඉගෙන ගන්නේ මොන කෙහෙල්මලකටදැයි කෙනෙකු අසන්නට ද බැරි නැත. දැනුම ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස භාෂාවේ වැදගත්කම කිසිවෙකුටත් අවතක්සේරු කළ නොහැකි ය. භාෂාවක් නොමැතිව පොතකට බිහිවිය නොහැකි ය.

වර්තමාන බටහිර ලෝකයේ සොයා ගැනීම්වල ප‍්‍රතිපල වශයෙන් දැනුම ලබා ගන්නට වැදගත් වන්නේ දැකීම ය. දුරස්ථ අධ්‍යාපන කාර්යයවලදී ශිෂ්‍යයා යොමු කරවන්නේ කියැවීමට වඩා දැකීමට ය. සමාජයකට සියලූ පහසුකම් ලබා දිය හැකි විටෙක එවැනි ක‍්‍රමයක් අතිශය වැදගත් වන්නේ ය. නැතිනම් ඒවා සීමා වන්නේ ඇති හැකි අයට පමණ ය. එක්තරා කාලයක බහුතරයක් සිංහලයන්් තොරතුරු ලබා ගත්තේ පුවත්පත් කියැවීමෙනි. බොහෝ විට ඒවායෙහි සිටි සංස්කාරකවරුන් ඇසුපිරූ තැන් ඇත්තන් වූයේ ය. මේ වන විට තොරතුරු දැනගැනීම සඳහා පුවත්පත් කියැවීම සිංහලයන් අතින් දුරස්ව ඇත්තා සේ ය. අනෙක් අතට පුවත්පත් බොහොමයක දක්නට ලැබෙන්නේ ‘නිව්ස්’ (news) නොව ‘විව්ස්’(views) නැතහොත් එක්එක් කෙනාගේ් පක්ෂග‍්‍රාහී අදහස් උදහස් ය. බහුතරයක් ජනයාට ඒවා දැනගැනීමෙන් ප‍්‍රයෝජනයක් නැත. ජනමතයක් ගොඩනැගීම සඳහා පුවත්පතට තිබූ බලය නැතිව ගොස් ඇත්තා සේ යි. දැන් මිනිසුන්ට පුවත්පත් මිලදී ගෙන කියවීමට අවශ්‍යතාවක් නැත්තේ ගුවන් විදුලියෙන් හා රූපවාහිනියෙන් පේ‍්‍රක්ෂකයා සඳහා පුවත්පත් කියවන බැවිනි. උදෑසන ම රූපවාහිනියෙන් පුවත්පත කියවන අයට සවන්් දෙන්නට වැඩිහිටියන්ට හා ළමුන්ට අවස්ථාවක් ලැබේ ද? යන්න මට ඇති ප‍්‍රශ්නයකි. මා සිතන ආකාරයට ලංකාවේ මිනිසුන්ට උදේ පහේ පමණ සිට උදේ නවය පමණ වන කාලය අතිශය කාර්යබහුල කාලයකි. ළමුන් පාසල් යන්නට සූදානම් විය යුතු ය. වැඩිහිටියන් රැුකියා ආදී කටයුතු සඳහා ගෙදරින් පිටත් වන්නට සූදානම් විය යුතු ය. මේ අතර තුර පුවත්පත් කියවනු අසා සිටින්නට රූපවාහිනියට සවන් දෙන්නට ඔවුනට වේලාවක් ඇත්දැයි මට සැකයක් උපදී.

ඓතිහාසික වශයෙන් පොත විකාසනය වූ ආකාරය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනීයන කරුණක් වන්නේ, පොත සමාජ සංවර්ධනයට පමණක් නොව සමාජීය පැවැත්මට ද අවියෝජනීය සාධකයක් බවට පත්ව තිබූ ආකාරයයි. සමාජය තුළ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමටත් දැනුම ලබා ගැනීමට හා බෙදා හැරීමටත් ආගමික හා සංස්කාතික කටයුතු සංවර්ධනය කිරීමටත් පොත මගින් සිදු වූ සේවය ගැන කිසිදු විවාදයක් නැත.

මේ වන විට ද පොත අධ්‍යාපනයේ ප‍්‍රබල ම උපකරණය බවට පත්ව ඇත්තේ ය. මෙහි දී අධ්‍යාපනය යන්නෙන් මා අදහස් කරන්නේ පාසල් අධ්‍යාපනය යන පටු අරුතින් නොවේ. මානව වර්ගයාගේ අධ්‍යාපනය යන පුළුල් අරුතිනි. මෙහි දී රූපවාහිනිය,ගුවන් විදුලිය හා පරිගණක වැනි විවිධ මාධ්‍ය කොතරම් දියුණු වුවත්, කොතරම් ප‍්‍රයෝජනවත් වුවත් මුද්රිත මාධ්‍යයක් වශයෙන් පොතෙහි ඇති අවශ්‍යතාව මෙන් ම වැදගත්කම කිසිසේත් අඩුවී නැත්තේ ය.

පෞද්ගලික අධ්‍යයනයට මෙන් ම හුදකලා විනෝදයට වෙනත් කිසිම මාධ්‍යයකට වඩා වැදගත් වන්නේ පොත යි. මේහේතුව නිසා සමාජ චින්තනය විශාල ලෙස පුළුල්ව ඇත්තේ ය. රූපවාහිනියට හෝ පරිගණකයට වඩා විවේකී සිතකින් පොත කියැවිය හැකි ය. එබැවින් සමාජයටත් පුද්ගලයන්ටත් වෙන් වෙන් වශයෙන් ප‍්‍රයෝජනයට ගත හැකි බුද්ධවර්ධක මාධ්‍යයක් වශයෙන් පොත හඳුන්වා දිය හැකි යි. කාර්මික විප්ලවයේ දී පොත ප‍්‍රබල කාර්ය භාරයක් ඉටු නොකළේය යන්න පිළිගත හැකි වුව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජවාදී චින්තනය ප‍්‍රචලිත වීමට පොත වැදගත් වූ ආකාරය අවතක්සේරු කළ නොහැකි යි.

ගුවන් විදුලිය, රූපවාහිනිය සහ පරිගණකයේ ආගමනයේ හේතුවෙන් එය පොත්වලට විශාල අභියෝගයක් වූ බව බහුතරයකගේ මතයයි. මතුපිටින් එය සත්‍යයක් සේ පෙනුන ද එම මාධ්‍ය අතර සමානකම් මෙන් ම අසමානකම් ද පවතියි.

වෙනත් මාධ්‍ය සමග සැසඳීමේ දී පොත නිදහස් මාධ්‍යයක්. පාඨකයන්ට අවශ්‍ය හා කැමැති පරිදි පොතක් තෝරා ගන්නට හැකියාවක් තිබෙනවා.සීඞී,ඞීවීඞී, වැනි දේ තමන්ට අවශ්‍ය හා කැමැති පරිදි තෝරා ගත හැකියි. එහෙත් එවැන්නක් කළ හැකි වන්නේ ඇති හැකි අයට පමණයි. පොත එහෙම නොවෙයි. පොත සම්බන්ධයෙන් මෙහිදී පාඨකයාට ඇති හැකියාව වෙනත් මාධ්‍යයක නැති තරම්.මෙහි දී ගුවන් විදුලිය, රූපවාහිනිය හා චිත‍්‍රපට යන මාධ්‍ය සමග සැසඳීමේදී පොත්වල ඇති මෙම නිදහස ඉතා ඉහල මට්ටමක පවතින්නක්. ඒ හැරුණු විට පොත තාක්ෂණික මෙවලමක් නොවෙයි. අකුරු කියවන්නට හැකි ඕනෑම කෙනෙකුට කිසිදු තාක්ෂණික මෙහෙයුමකින් තොරව පොතක් පරිශිලනය කළ හැකියි. ඒ නිසා පොතක් කියැවීමේ දී තාක්ෂණික මෙවලමක් හෝ වෙනත් ආකාරයක බලයක් යොදා ගැනීමේ අවශ්‍යතාවක් නෑ. පොත්වල ඇති වැදගත්ම අගය පවතින්නේ තුන්වැනි ලෝකයේ ඇති ඉතා නොදියුණු සමාජවලට ය. පරිගණක තාක්ෂණය හෝ වෙනත් එවැනි පහසුකම් නැති සමාජවලට අඩු වියදමකින් පොතපත ලබා ගත හැකියි. පොතක් අබලන් වූ විට තාක්ෂණික මෙවලමක් අලූත්වැඩියා කර ගන්නවාට වඩා අඩු වියදමකින් එය පිළිසර කර ගැනීමට හෝ අලූතෙන් පොතක් මිල දී ගැනීමට හෝ හැකි වෙයි

පරිගණකයක හෝ එවැනි මෙවලමක පාවිච්චි කිරීමේ ආයු කාලය සීමා වන්නේ වසර කිහිපයකට පමණයි. ඉනික්්බිතිව එය අලූත්වැඩියා කර ගත යුතු වන්නේ ය. නැතහොත් ඉවත දැමිය යුතු වන්නේ ය. පොත් එහෙම නොවෙයි. පරණ ශාස්තී‍්‍රය පොතකට කල් යෑමේ දී ලැබෙන කෞතුක වටිනාකම පරණ පරිගණකයකට ලැබෙන්නේ නෑ. පොත් ගැන කතාකිරීමෙ දී වඩාත් ම වැදගත් කාරණය වන්නේ එය නිහඬ මාධ්‍යයක් වීමයි. මෙයින් කියැවෙන්නේ පොත්පත් කියැවීම නිහඬව තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන පරිදි කළ හැකි වීමයි.මේ තත්ත්වය වඩාත් ඉස්මතුව පෙනෙන්නේ ගුවන් විදුලිය හා රූපවාහිනිය වැනි විද්යුත් මාධ්‍ය සමග සැසඳීමේ දී යි. පොතක ඇති අනෙක් වැදගත් ම ලක්ෂණය වන්නේ එය තමන් කැමැති පරිදි ඕනෑම තැනකට ගෙන යන්නටත් කැමැති තැනක සිට කියවන්නට හැකි වීමයි. මෙම හැකියාව වෙනත් මාධ්‍යයක නැති තරම්.

මෙතෙක් වේලා අප කතා කළේ පොතක ඇත විශේෂ ගුණ ගැනයි. දැන් මම අවධානය යොමු කරන්නට කැමැතියි පොත් කියැවීම ගැන තවත් වචනයක් දෙකක් කියන්නට. බි‍්‍රතාන්‍ය පඬිවරියක් ඉදිරිපත් කළ වැදගත් අප්තෝපදේශයක් තිබෙනවා. එය මෙහෙමයි. ‘Today a reader tomorrow a Leader’ කියාලා. එයින් කියැවෙන්නේ නායකයකු වීමට පොත් කියැවීම හා ලිවීම කොපමණ වැදගත් වෙනවා ද කියන එකයි. රාජ්‍ය පාලන කටයුතුවල දී නීතිය පිළිබඳ දැනුම අත්‍යාවශ්‍ය වන්නක් බව ඔබ කවුරුත් දන්නා කරුණක්. අපේ රජවරුන් බොහොමයක් එම දැනුම ලබාගත්තේ ගුරු ඇසුරෙන් මෙන්ම පත පොත ඇසුරෙන්. මහාවංශයේ එක්තරා අවස්ථාවක වළගම්බා රජු හඳුන්වා ඇත්තේ ‘නීතිමා’ යන විශේෂණ පදයකින්. එයින් අදහස් වෙන්නේ එතුමා රාජනීතියෙහි නිපුණකු වූ බවයි . මෙම කරුණ මහාවංශ ටීකාවෙන් ද පැහැදිලි වෙනවා. අනාගතයේ රටේ සාමය ආරක්ෂා කරනු සඳහා දෙවැනි දප්පුල රජතුමා මනා කොට නිශ්චය කළ යුක්තිය පොත්වල ලියවා තැබුවා. එමෙන් ම කළ්‍යාණවතී රැුජිනගේ පාලන කාලය තුළ ආයස්මන්ත නම් සෙනෙවියා ‘ ධර්මාධිකරණ’ නම් නීති ශාස්ත‍්‍ර ග‍්‍රන්ථයක් කරවූ බව සඳහන් වෙනවා. අපේ රජවරුන් බොහොමයකට භාෂා කිහිපයක දැනුම තිබූ බව පෙනෙනවා. විදේශ රටවල් සමග සම්බන්ධතා වැඩිවත් ම පළමුවැනි පරාක‍්‍රමබාහු රජතුමා ප‍්‍රථම කොට කුලවතුන්ගේ දරුවන් එක් රැුස් කොට ඔවුන්ට විදේශ භාෂාවන් ඉගෙනීමේ අවස්ථාව සලසා දුන්නේ එවැනි දැනුමක් ලැබීමෙන් දක්ෂ ලෙස රාජකාරි කටයුතු කිරීමට අවස්ථාවක් සැලසෙන නිසා. මෙහි කියැවෙන විදේශ භාෂා ගණයට සංස්කෘත, පාලි දෙමළ යන භාෂා අයත් නොවූ බව පෙනෙනවා. මා එසේ කියන්නේ සුභාෂිතයෙහි කියැවෙන පරිදි එම භාෂා මුල් කාලයේ සිට ම මෙරට භාවිත වූ නිසා බව පෙනෙන නිසා. එම භාෂා නොදත් අය නූගතුන් ලෙස සැලකුණු බව සුභාෂිතයෙහි සඳහන් වන්නේ ‘දෙමළ සකු මගධ නොහසල සතට දද’ වශයෙනුයි.

අපේ පැරණි පාලකයන් පොත්වලට කොතරම් ගෞරවාදරය දැක්වූයේ ද යන්න සැලකිල්ලට ගත යුත්තක්. මහා පරාක‍්‍රමබාහු රජතුමා කරවූ පුස්තකාල ප‍්‍රමාණය එකසිය විසි අටක්. කාලිංග මාඝගේ සමයේ පොත්පත් විනාශ කිරීමෙන් සිදුවූ පාඩුව දුරුකරලීම සඳහා තුන්වැනි විජයබාහු රජතුමා බහුශ‍්‍රත වූ ශ‍්‍රද්ධාසම්පන්න වූ කුසීත නොවූ සීඝ‍්‍රයෙන් ලිවීමේ දක්ෂ වූ උවසුවන් සහ බොහෝ ලේඛකයන් කැඳවා වනසට පත්වූ බොහොමයක් පොතපත ලියැවූ බව සඳහන් වෙනවා. සීතාවක රාජසිංහ ද සිංහල පොතපතට සතුරුකම් කළ අයෙක්. ශිවාගම වැළඳගත් ඔහු බොහෝ පොතපත විනාශ කළා. උඩරට සමග කළ යුද්ධයක දී නුවරට පැමිණි ඕලන්දයන් ද අපේ පතපොත බොහොමයක් විනාශ කොට දැමුවා. පොතපත හා විහාරාරාම විනාශයට පත් කිරීමෙන් ඔවුන් සිදු කළ පාඩුව කෙතෙක් ද යන්න පසු කාලයේ ඇතිවූ ධර්ම ශාස්ත‍්‍ර පරිහානියෙන් පැහැදිලි වෙනවා.

වර්තමානයේ පොතපත් කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබෙන්නේ, මූලික වශයෙන් ම එහි ඇති වානිජමය පක්ෂය කෙරෙහි අවධානයෙනුයි. අතීතයේ ශාස්තී‍්‍රය සහ විනෝදාස්වාද මධ්‍යයක් වූ පොත වර්තමානයේ කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. සමාජය දියුණුවන විට මෙවැනි තත්ත්වයක් ඇතිවිය යුතුමයි. නමුත් සත්‍ය වශයෙන් ම පොත් කර්මාන්තයේ දියුණුව අපේ අභිප‍්‍රායයන්ට ගැලපෙනසේ සකස්ව ඇත් ද? යන්න තමා අප අවධානය යොමු කළ යුතු ප‍්‍රශ්නය වන්නේ. කලකට පෙර පොතක් පළකරවා ගැනීමට ප‍්‍රකාශකයකු අවශ්‍ය වුනා. මුද්‍රණ කාර්යයේ ඇතිව තිබෙන දියුණුව නිසා වර්තමානයේ ප‍්‍රකාශකයකු නැතිවත් පොතක් ප‍්‍රකාශ කළ හැකියි. බොහෝ විට ප‍්‍රකාශන සමාගම් පොතක් ප‍්‍රකාශයට පත් කරන්නට පෙර එම පොත එසේ කිරීමට සුදුසු ද නැද්ද ? කියා තීරණයක් ගන්නට මණ්ඩලයක් හෝ පුද්ගලයකු පත් කොට සිටියා. පුද්ගලික ප‍්‍රකාශකයන් අතින් එවැනි සෙවිල්ලක් බැලිල්ලක් සිද්ධ වෙන්නෙ නෑ. මෙය තරමක අවාසනාවන්ත තත්ත්වයක්. මෙවැනි තත්ත්වය බෙහෙවින් ම දක්නට ලැබෙන්නේ නිර්මාණ සාහිත්‍ය කෘතිවල. නාට්‍ය ,රූපවාහිනී හෝ චිත‍්‍රපටයක් වුවත් මහජන ප‍්‍රදර්ශනයට මුදා හරින්නේ ඒවා සඳහා පත් කළ මණ්ඩලවල අනුමැතිය මතයි. ඒවාට පත් කොට සිටින අය රජයට පක්ෂපාතී අය වුවත් ඔවුන්ටත් පක්ෂය ඉක්මවා ගිය සමාජමය වගකීමක් තිබෙනවා. ලංකාවේ සාහිත්‍ය නිර්මාණ වාරණය කිරීම හෝ තහනම් කිරීම පිළිබඳ නීතිරීති නැතුවා නොවෙයි. නමුත් ඒවා හරියට කි‍්‍රයාත්මක වෙනවා ද කියන එක ප‍්‍රශ්නයක්. මා මේ පිළිබඳව වැඩිදුර කරුණු දැක්වීමක් අපේක්ෂා නොකළත් පොත් ගැන ආදරයක් ගෞරවයක් දක්වන අය ලෙස අප ඒවා ගැන අවධානය යොමු කළ යුත්තේ පොත තවමත් අපේ රටවල ප‍්‍රධානතම අධ්‍යයන මාධ්‍ය වන නිසා. පාසල් අධ්‍යාපනය සඳහා යොදා ගන්නා පාඨ්‍ය ග‍්‍රන්ථ සකස් කෙරෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතන මගින්. එසේ තෝරා ගන්නා පාඩම් වැනි දේ ඉතා සංවේදීයි. පෞද්ගලික මතිමතාන්තර ඒවාට බලපෑ යුතු නෑ. නමුත් එවැනි සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වුනා.මං හිතන හැටියට පොත්වලටත් දේශපාලනය කාන්දු වීම නිසයි එවැනි දේ සිද්ධ වුනේ. අප පුරුදුව සිටියේ පොත්වල ඇති දේ සත්‍යයම කියායි. නමුත් ඒ පිළිබඳවත් සමාජය තුළ දැන් දැන් සැක ඇතිවෙමින්් පවතිනවා.

සාහිත්‍යයෙහි ඇත්තේ සත්‍යයත් අසත්‍යයත් අතර ඇති සත්‍යයක්. සම්පූර්ණ සත්‍යය නොවෙයි. එහි ඇත්තේ නිර්මාණය කරන ලද සත්‍යයක්. නමුත් සමහරුන් සිතන්නේ එය සත්‍යයම බවයි. නිර්මාණාත්මක සාහිත්‍ය කෘතියක මෙම තත්ත්වය දකින්නට ලැබුණත් ශාස්තී‍්‍රය කෘතියක තත්ත්වය මෙයට වඩා වෙනස් එහි අන්තර්ගතව තිබෙන්නේ පර්යේෂණාත්මකව විමර්ශණාත්මකව සත්‍යෙක්ෂණය කළ හැකි අපක්ෂාපාතී ලෙස පිළිගත හැකි කරුණු. මේ නිසා කිසියම් ශාස්තී‍්‍රය කෘතියක අගය හැමදාමත් දැනුමට සේවය කරනවා. නමුත් අවාසනාවකට වගේ ශාස්තී‍්‍රය පතපොත අද බිහිවන්නේ නැති තරම්. මෙය අපගේ විශේෂ අවධානයකට යොමුවිය යුත්තක්. මේ සඳහා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයෙන් යම් කිසි දායකත්වයක් ලැබුණත් එය ප‍්‍රමාණවත් බවක් පෙනෙන්නේ නෑ. මා මෙහි දී ඉදිරිපත් කරනු ලැබුවේ ඔබ දන්නා කරුණුම නැවත ඔබේ අවධාරණයට ලක් කිරීමක්. කොතරම් තාක්ෂණික මෙවලම් පැමිණියත් පොතක අගය තවමත් අඩුවී නෑ. අප පුළුවන් තරම් අපේ දරුවන් පොතපතට ළං කරවිය යුතු කාලය නැවත පැමිණි ඇති බව අමතක කරන්න එපා.

"පොතක අගේ හැම දා එකසේම ය...." - මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
advertistmentadvertistment
advertistmentadvertistment