පොතේගුරුවාදයට එරෙහිව… සියවසක සටහන් – 38

119

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ අභ්‍යන්තර අර්බුද මැද මා ඕවාදය වර්ධනය වූ ආකාරය ගැනයි.

 රතු හමුදාව ඇතුළේ ඇතිවෙලා තිබුණු ආරවුල 1929 දෙසැම්බර් 28 සහ 29 දවස් දෙකේ දී පවත්වපු කූ-ථියැන් සම්මේලනයෙන් විසැඳුණා. ඒත් එක්කම මා ඕ ත්ස-තුං නැවතත් රතු හමුදාවේ දේශපාලන නායකත්වයට පත්වුණා. මා ඕ ත්ස-තුං සහ චූ ත අතර ඇතිවෙලා තිබුණු විරසකයත් මුළුමනින්ම සමහන් වුණා. මේ එකතුවේ අනුහස රතු හමුදාවේ පහළ ස්ථරය දක්වාම ගලා

 ගියා. ඉතින් මේ සම්මේලනයට චීන පොදු නිෂ්පාදන පක්‍ෂ ඉතිහාසයේ ඉතාමත් වැදගත් තැනක් හිමිවෙලා තියෙනවා.

 මෙහෙම එකතුවක් ඇතිවුනත් රතු හමුදාවේ පිරිස් අතර වර්ධනය වෙච්ච බලාපොරොත්තු රහිතකම, සුබවාදී විදිහට අනාගතය දිහා බැලීමට නොහැකිකම තවදුරටත් ශේෂවෙලා තිබුණා. හමුදා බලය කුඩා කණ්ඩායම් විදිහට සංවිධානගත කරලා හූ-නන් පළාතේ දකුණු සීමාවේත් චියං-ශි පළාතේ නැගෙනහිර සහ දකුණු සීමාවේත් විසුරුවන්න කියලා මධ්‍යම කාරක සභාව විසින් ලබාදුන්න උපදේශය (පෙබරවාරි උපදේශය) තමයි මේ බිඳවැටීමට හේතුවෙලා තිබුණේ. ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයක් හදනවාට වඩා කුඩා කණ්ඩායම් විදිහට විසිරිලා ගරිල්ලා යුද්ධකිරීම ප‍්‍රමාණවත් කියන පිරිසකුත් මේ හේතුවෙන් ඇති වුණා.

පොතේගුරුවාදයට  එරෙහිව...  සියවසක සටහන් - 38

1930 ජනවාරි 1 වැනිදා ලින් පියා ඕ විසින් මා ඕ ත්ස-තුංට ලියපු ලිපියකිනුත් මේ අදහස ප‍්‍රකාශ කෙරුණා. මා ඕ ත්ස-තුං මේ ලිපියට ප‍්‍රතිචාර දැක්වුවේ ජනවාරි 5 වැනිදා. ”පුංචිම පුංචි ගිනි පුපුරකට පළාතක්ම ගිනි තියන්න පුළුවන්’’ කියන පැරැණි කියමන අවධාරණය කරමින් ලියපු මේ පිළිතුරු ලිපිය ඉතාමත් වැදගත් එකක්. හැම කෙනෙක්ම ඒ ගැන කතාකරන්න පටන්ගත්තා. ඉතින් මේ අදහස ඉතාමත් වේගයෙන් රතු හමුදාවේ හැම කෙනෙක්ටම අහන්න ලැබුණා. මේ ලිපිය හින්දා ඒ අයගේ චිත්ත ධෛර්ය පුදුමාකාර විදිහට වර්ධනය වුණා.

 මේත් එක්කම දැඩි විශ්වාසයකින් යුතුව සටන් කරන්න, මිනිස්සු අතරට ගිහිල්ලා ඒ අයගේ වැඩ කරලා දෙන්න, තමන්ගේ දේශපාලන විඥානය වර්ධනය කරගැනීම වෙනුවෙන් කැපවෙන්න රතු හමුදාවේ හැම කෙනෙක්ම පටන්ගත්තා. ඉතින් මේ හැම වැඩකම ප‍්‍රතිඵලයක් විදිහට රුයි-චින් මූලික කරගත්ත අලූත් හමුදා මූල කඳවුරත් ඒ ආශ‍්‍රිත පාලන ප‍්‍රදේශත් බලවත්කිරීම අමාරු වැඩක් වුණේ නෑ. 1930 අවුරුද්දේ නොවැම්බර් මාසයේ දී තමයි චියං කායි-ෂෙක් විසින් මේ රතු බලයට පහරදෙන්න පටන්ගත්තේ. ඒ වෙද්දි චූ – මා ඕ රතු හමුදාවේ පිරිස් බලය හතළිස් දාහක් දක්වා වර්ධනය වෙලා තිබුණා. අවුරුද්දකට කලින් චිං-කං කන්දෙන් පහළට බැස්සේ 3600 ක පිරිසක් කියලා අපි දන්නවා.

 කොහොම වුණත් මේ වර්ධනය කිසිම බාධාවක් නැතුව ඇතිවෙච්ච එකක් නම් නෙවෙයි. කු ඕ-මින්-තං පාර්ශ්වකාරයන් අතරම ඇතිවුණු ”මැද තැනිතලාවේ යුද්ධය’’ හින්දා (මේ ලිපි මාලාවේ 36 වැනි කොටසින් ඒ ගැන කිව්වා) රතු හමුදාවේ වර්ධනයට චියං කායි-ෂෙක්ගෙන් ලොකු බාධාවක් එල්ලවුණේ නෑ. ඇත්තෙන්ම තවදුරටත් විවිධාකාර ආරවුල් ඉස්මතු වුණේ අභ්‍යන්තරයෙන්මයි.

 සෝවියට් දේශයට ගිහිල්ලා කිසිම අඩුවක් නැතුව අංගසම්පූර්ණව මාක්ස්වාදී සහ ලෙනින්වාදී පොත් කියවපු විප්ලවවාදියෝ පිරිසක් මේ වෙද්දි ආපහු චීනයට එමින් හිටියා. 1925 නොවැම්බර් 7 වැනිදා සෝවියට් දේශයේ මොස්කව් නුවර ආරම්භ කරපු සුන් යත්-සෙන් විශ්වවිද්‍යාලයේ තමයි මේ අය ඉගෙනගෙන තිබුණේ. අවුරුදු හතරක් විතර එක දිගටම සෝවියට් දේශයේ රැඳිලා හිටිය හින්දා මේ අය ලබාගෙන තිබුණු මාක්ස්වාදී දැනුමත්, කොමියුනිස්ට් ජාත්‍යන්තරය සහ සෝවියට් නායකයන් සමඟ ඇති කරගෙන තිබුණු සබඳතාත් සුළුපටු නෑ.

 සුන් යත්-සෙන් විශ්වවිද්‍යාලයේ පිහිටුවපු පක්‍ෂ සංවිධානයේ සාමාජිකයන් බවට පත්වෙච්ච මේ අය ක‍්‍රම ක‍්‍රමයෙන් බලවත් වුණා. එකට එකතුවෙලා චීන විප්ලවයේ අඩුපාඩු ගැන කතා කරන්න අවස්ථාවකුත් ඒ අයට ලැබුණා. ”බොල්ෂේවික්වරු විසි අටක් සහ භාගයක්’’ නමින් හැඳින්වුණු කණ්ඩායම ඇතිවුණෙත් මේ අය අතරින්. මෙතැන් ”භාගයක්’’ කියලා නම් කරලා තියෙන්නේ මේ අය අතර හිටිය ශ්‍යු යී-ශින් කියන පුද්ගලයා. ඔහුගේ මතවාදී අස්ථාවරකම හින්දා තමයි ඒ පිරිස මෙහෙම නම් කෙරිලා තියෙන්නේ. 1929 අවුරුද්දේ ගිම්හාන කාලයේ සුන් යත්-සෙන් විශ්වවිද්‍යාලයේ පවත්වපු දින දහයක සම්මේලනයක දී තමයි මේ අය ස්ථීර විදිහට සංවිධානගත වුණේ.

 සුන් යත්-සෙන් විශ්වවිද්‍යාලයේ ප‍්‍රධානියා විදිහට කටයුතු කරපු මිඛායෙල් ඇලෙක්සැන්ඩ‍්‍රවිච් ෆෝටුස්ගේ අනුග‍්‍රහය යටතේ ශක්තිමත් වෙච්ච මේ අයට ඒ හරහා ජෝෂප් ස්ටාලීන්ගේ සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ආශීර්වාදයක් ලබාගන්න පුළුවන් වුණා. 1929 අවුරුද්දේ අග භාගයේ දී සහ 1930 අවුරුද්දේ මුල් කාලයේ දී මේ අය ආපහු චීනයට ආවා. වං මිං තමයි මේ කණ්ඩායමට නායකත්වය දුන්නේ. සෝවියට් දේශයේ දී ඔහුව හඳුන්වලා තියෙන්නේ ඉවාන් අන්දරීවිච් ගෝලූවිෆ් කියන රුසියානු නමින්. විප්ලවය කරන විදිහ ගැන ”සැබෑ අවබෝධයක්’’ තමන්ට තියෙනවා කියලා වං මිං ප‍්‍රමුඛ මේ බොල්ෂෙවික්වාදීන් පිරිස හිතාගෙන හිටියා.

 ආපහු චීනයට ආපු මේ පිරිස පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට ඇතුළු කරවන්න සුන් යත්-සෙන් විශ්වවිද්‍යාලයේ ප‍්‍රධානියා (මිඛායෙල් ඇලෙක්සැන්ඩ‍්‍රවිච් ෆෝටුස්) කැපවුණා. 1930 දී චීනයට ආපු ඔහු තමන්ගේ ගෝලයොත් එක්ක අවුරුද්දක් ම ෂං-හයි නුවර රැඳිලා හිටියා. ඒ කාලය තුළ නිතර නිතර බලපෑම් කරලා තමන්ගේ අරමුණු යම් ප‍්‍රමාණයකට සාක්‍ෂාත් කරගන්න ඔහුට පුළුවන් වුණා. ඒ වෙනස්කම් ගැන ඉදිරි ලිපියකින් කියන්න පුළුවන්.

 මේ කාලය තුළ ෂං-හයි නුවර ක‍්‍රියාත්මක වෙච්ච පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඇතුළෙත් අර්බුද ගණනාවක් ඇතිවෙලා තිබුණා. ඒ වෙද්දි පක්‍ෂයේ මහ ලේකම් විදිහට වැඩ කළේ ශියං චුං-ෆා කියන කම්කරු නායකයා. (පක්‍ෂයේ මහ ලේකම් තනතුර ඔහුට ලැබුණු විදිහ මේ ලිපි මාලාවේ 31 වැනි කොටසින් කියලා තියෙනවා). ප‍්‍රමාණවත් අධ්‍යාපනයක්වත් නායකත්ව හැකියාවක්වත් නොතිබුණු ඔහු හින්දා පක්‍ෂ අභ්‍යන්තරයේ අර්බුද මහ ගොඩක් ඇතිවුණා. ත්සැයි හ-සන් සහ ඡු්‍යු ýයු-පැයි වගේ නායකයෝ සෑහෙන ප‍්‍රමාණයක් මේ හින්දා පීඩාවට පත්වුණා.

 මාක්ස්වාදී පොත් කියවපු පිරිසක් මධ්‍යම කාරක සභාවේ නියෝජිතයෝ විදිහට රුයි-චින් ප‍්‍රදේශයටත් ආවා. ප‍්‍රදේශයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගන්න රැස්වීම්වලටත් ඒ අය සහභාගි වුණා. මේ අය තිනරම තමන්ගේ අදහස් තහවුරු කරන්න උත්සාහ කළේ මාක්ස්වාදී පොත්වල තියෙන අදහස් ඉස්සරහට දාලා. මා ඕ ත්ස-තුං තීරණ ගත්තේ ඒ විදිහට නෙවෙයි. ඔහුට

 තමන්ගේම කියලා අදහස් තිබුණා. ඒත් ඒ අදහස් සාකච්ඡාවට ලක් කරද්දි ”ඔය අදහස් මොන පොතේ ද තියෙන්නේ?’’ කියලා අහන්න මේ මාක්ස්වාදී දැනමුත්තෝ පෙළැඹුණා.

 1930 මැයි මාසයේ දී මා ඕ ත්ස-තුං විසින් ”පොතේගුරුවාදයට එරෙහිව’’ කියන ලේඛනය ලියලා පළකරන්නේ මේ කරදරයට විසඳුමක් වශයෙන්. මා ඕ ත්ස-තුං විසින් ඉදිරිපත් කරන ලද අදහස් අතර මේ ලේඛනයට හිමිවෙන්නේ ඉතාමත් ප‍්‍රමුඛ තැනක්. සාකච්ඡුාවට අදාළ කරුණු ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බව ඔහු එයින් කියනවා. ”ඇස් වහගෙන කට අරින’’ අය ඔහුගේ දැඩි විවේචනයට ලක්වෙනවා.

 ”ඔබ ප‍්‍රශ්නයක් ගැන විමර්ශනය කරන්නේ නැතිනම් ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කතාකිරීමේ අයිතියක් ඔබට නැත. මේ අදහස දරුණු වැඩි ද? පොඞ්ඩක්වත් නෑ. ඔබ අදාළ ප‍්‍රශ්නය ගැන විමර්ශනය නොකරන විට; ඒකට අදාළ වර්තමාන සහ අතීත කරුණු හොයා නොබලන විට; ඒ හා සම්බන්ධ මූලික කරුණුවත් නොදන්නා විට; ඔබ ඒ සම්බන්ධයෙන් කියන හැම දෙයක් ම නිසැකයෙන්ම විකාර කතා බවට පත්වෙයි. විකාර කතා කියලා ප‍්‍රශ්න විසඳන්න බැරි බව හැම කෙනෙක්ම දන්නවා. එහෙම කරන අයට කතා කිරීමේ ඉඩක් නොදීමේ වැරැද්ද මොකක්ද? අපි අතර ඉන්න සැලකිය යුතු පිරිසක් ඇස් වහගෙන විකාර කතා කියනවා. සමාජයේ වෙනසක් පතන කෙනෙක්ට ඒක නින්දාවක්. සමාජයේ වෙනසක් පතන කෙනෙක් තමන්ගේ ඇස් වහගෙන විකාර කතා කියවන්නේ කොහොම ද’’

 ”පොත්වල ලියලා තියෙන හැම දෙයක්ම හරි කියලා හිතන්න පුළුවන් මූලික අධ්‍යාපනයක් ලබාගෙන නැති පසුගාමී අයට. අපේ පක්‍ෂයේත් එහෙම අය ඉන්නවා දැකීම පුදුමයට කාරණයක්. ඕනෑම සාකච්ඡුාවක් කරද්දි මොන පොතේ ද එහෙම තියෙන්නේ?. කියලා ඒ අය නිතරම අහනවා. ඉහළින් එන යම් උපදේශයක් හෝ ම`ගපෙන්වීමක් නිවැරැදියි කියලා අපි පිළිගන්නේ ඒක ඉහළින් එන හින්දා නෙවෙයි. ඒ අදහස්වල අන්තර්ගතය අපි මුහුණ දෙන තත්ත්වයත් එක්ක ගැළපෙන හින්දා තමයි අපි ඒවා පිළිගන්නේ. අපි වටා තියෙන කරුණුත් එක්ක ඒ අදහස් විමසන්නේ නැතුවම ක‍්‍රියාත්මක කරනවා නම් ඒක ලොකු වැරැද්දක්. ඉහළින් එන නිවැරැදි අදහස් අනුව මහජනතාවත් එක්ක වැඩ කරන විදිහ අපි හොයලා බලන්න ඕන. ඉතා ගැඹුරින් මිනිස්සු අතරට නොගිහින් ඒක කරන්න බෑ.’’

 මේ විදිහට පොතේගුරුවාදීන්ව විවේචනය කිරීමෙන් අනතුරුව මිනිස්සු අතරට ගිහිල්ලා අවශ්‍ය විමර්ශන කරන විදිහ ගැන විස්තරාත්මකව කරුණු කියන්නත් මා ඕ ත්ස-තුං කටයුතු කරනවා. සමාජයේ ඉන්න අත්දැකීම් බහුල වැඩිහිටියන්ට කන්දිය යුතු විදිහ, අලූත් අදහස් තියෙන වේගවත් තරුණ පිරිස්වල කන්දිය යුතු විදිහ ඔහු පෙන්නලා දෙනවා. සමාජ සහ ආර්ථික කරුණු විමර්ශනයේ දී සවන්දිය යුතු පාර්ශ්ව සියල්ලම එකින් එක දක්වන්නත් ඔහු කටයුතු කරනවා.

 1930 මැයි මාසය වෙද්දි, කු ඕ-මින්-තං පාර්ශ්වකරුවන් අතර ”මැද තැනිතලාවේ යුද්ධය’’ ඉතා තදින් ඇවිලෙන්න පටන්ගත්තා. මැයි 11 වැනි දා චියං කායි-ෂෙක් විසින් යන් ශී-ෂන්ගේ සහ ෆං ය්‍යු-ශියංගේ හමුදාවලට එරෙහි ප‍්‍රහාර මාලාවක්ම දියත් කළා. දවස් පහක් ඇතුළත හ-නන් පළාතේ කැයි-ෆං නගරය ආසන්නයටම ගමන් කරන්න මධ්‍යම රජයේ හමුදාවලට පුළුවන් වුණා. ඒත් මැයි මාසය අන්තිම වෙද්දි ඒ ගමන නැවතුනා විතරක් නෙවෙයි චියං කායි-ෂෙක් මහ විශාල පරාජයක් අභිමුඛයටත් තල්ලූවුණා. ඒ විදිහට එල්ලවෙච්ච එක ප‍්‍රහාරයකින් පරාජයට පත්වෙලා සතුරු පාර්ශ්වයට හසු නොවී චියං කායි-ෂෙක් බේරුණෙත් හරිම අමාරුවෙන්.

 මධ්‍යම රජයේ හමුදාව දකුණු පෙරමුණේ සටන් කළේ ලී ත්සුන්-රන්ගේ සහ පැයි ඡංං-ශිගේ හමුදාවලට විරුද්ධව. දකුණු පැත්තෙන් එල්ලවෙච්ච ප‍්‍රහාරවලට එරෙහිව සටන් කරලා ඒ සතුරු හමුදා කුවං-ශි පළාතට සීමාකරන්න මධ්‍යම රජයේ හමුදාවලට පුළුවන් වුණා. චියං කායි-ෂෙක්ගේ මධ්‍යම රජයේ හමුදා දකුණු පෙරමුණේ සටන් කරද්දි ෂන්-ශි හමුදාව විසින් ෂන්-තුං පළාතේ චී-නන් නගරය අල්ලගත්තා. ඒත් දකුණේ හතුරා පසුබැස්වීමෙන් පස්සේ තවදුරටත් ශක්තිමත් වුණු මධ්‍යම රජයේ හමුදා විසින් අගෝස්තු 15 වැනිදා චී-නන් නගරය නැවතත් තමන්ගේ පාලනයට නතු කරගත්තා.

 ඊසානදිග පළාත් තුන පාලනය කරපු චං ශුවේ-ලියං මුද ඉඳලාම පැත්තක් ගන්නේ නෑ. ඒ පළාත් තුන හරහා වැටිලා තිබුණු දුම්රිය මාර්ගයක අයිතිය සම්බන්ධයෙන් ඔහු සෝවියට් දේශයත් එක්ක ගැටෙමින් හිටියා. ඉතින් ඒ හින්දා මේ ආරවුලට සම්බන්ධ වෙන්න බැරි බවක් ඔහු කිව්වා. ඒත් තමන් චියං කායි-ෂෙක්ගේ පැත්ත ගන්න බව 1930 සැප්තැම්බර් 18 වැනිදා වෙද්දි ඔහු ප‍්‍රකාශයට පත්කළා. ඉතින් දවස් කීපයක් ඇතුළත ඔහුගේ ඊසානදිග හමුදාවත් යුද්ධයට එකතුවුණා. තවත් දවස් දෙකක් ඇතුළත පෙයි-පිං නගරයේ (පෙයි-චිං නගරයේ) බලය අල්ලාගන්න ඒ අයට පුළුවන් වුණා.

 චියං කායි-ෂෙක් විරෝධී පාර්ශ්වය දුර්වලවෙන්න මේ වෙනස හේතුවුණා. ෂන්-ශි හමුදාව කහ ගඟ පැත්තට පහුබැස්සා. ෆං ය්‍යු-ශියංගේ හමුදා බලයත් විසිරෙන්න පටන්ගත්තා. දකුණේ ලී ත්සුන්-රන්ගේ පාර්ශ්වයත්, උතුරේ යන් ශී-ෂන්ගේ පාර්ශ්වයත්, වයඹදිග ෆං ය්‍යු-ශියංගේ පාර්ශ්වයත් මේ විදිහට දුර්වල වෙද්දි චියං කායි-ෂෙක්ගේ බලය තව තවත් ශක්තිමත් වුණා. තමන් දරන සියලූ තනතුරුවලින් ඉල්ලා අස්වන බව යන් ශී-ෂන් සහ ෆං ය්‍යු-ශියං විසින් නිවේදනය කළේ 1930 නොවැම්බර් 4 වැනි දා. ඉතින් තවදුරටත් චියං කායි-ෂෙක් විරෝධී එකමුතුව පවත්වාගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නෑ. කු ඕ-මින්-තං ආණ්ඩුවේ එකම නායකයා චියං කායි-ෂෙක් බව ස්ථීර වුණා.

 1930 මැයි ඉඳලා නොවැම්බර් දක්වා ගතවෙච්ච මාස හයක කාලය තුළ රට පුරාම විවිධ ප‍්‍රදේශවල රතු හමුදා ඇතිවෙමින් සහ වර්ධනය වෙමින් තිබුණත් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඒ අයගෙන් බලාපොරොත්තු වුනේ වෙනත් දෙයක්. ඒ ගැන අපි ඊළඟ කොටසින් විමසා බලමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment