පොදු ජනතාවගේ නායකයා – රණසිංහ පේ‍්‍රමදාස

251

අදට යෙදෙන රණසිංහ පේ‍්‍රමදාස 97 වැනි ජන්ම දිනය නිමිත්තෙනි



  ශ‍්‍රී ලංකාවේ දේශපාලන ශබ්ද කෝෂයට ‘‘දිළිඳුකම පිටුදැකීම, නැති බැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් කිරීම’’ වැනි ධනාත්මක පද හඳුන්වා දුන්නේ රණසිංහ පේ‍්‍රමදාසයන්ය. එම පදාර්ථ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ශීඝ‍්‍රගාමී ගමනක් ආරම්භ කළ නායකයා ඔහු විය.
 
 අප සමාජයේ නැතිබැරි මිනිසුන් වෙනුවෙන් ඔහුට සිහිනයක් තිබිණ. දැක්මක් තිබිණ. ඒ ගමනේදී හමුවන තහංචි, බාධා අභියෝග පරදවා ඉදිරියට යන්නට ඔහුට එඩිතරකම තිබිණ. ඔහු බලය හඹා ගිය බව සත්‍යයකි. ඔහු බලය හඹා ගියේ ඒ පොදුජන දැක්ම ඉටුකර ගැන්ම උදෙසාය. පේ‍්‍රමදාසයන්ගේ මේ දැක්ම අවබෝධ කරගත හැකි කවියක් ඔහුගේ ‘රස කවි සිතුවිලි’ කවි පොතෙන් උපුටා දක්වනු කැමැත්තෙමි.
 
 මිනිසුන් තරම් මගෙ මේ මව් පොළව මත
 වටිනා වස්තුවක් වෙන මා දුටුවෙ නැත
 එම වස්තුවම රැුක ගන්නට යෙදවු සිත
 රන් මිනි මුතුද ඔවුනගෙ දහදියෙහි ඇත
 
 ආර්. පේ‍්‍රමදාසයන් තුළ ශ‍්‍රී ලාංකික සමාජයේ අනාගතය උදෙසා තිබූ සිහිනය සිහිපත් කරන විට මගේ සිහියට නැගෙනුයේ ඇමෙරිකානු සමාජය තුළ නිදහස, සමානාත්මතාව සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිං ගේ ‘‘මට සිහිනයක් ඇත.’’(ෂ ්‍ය්ඩැ ් ාරු්ප* යන සුප‍්‍රසිද්ධ දේශනයයි. 1963 දී වොෂිංටනයේ ලින්කන් ස්මාරකය ඉදිරිපිට දෙලක්‍ෂ පනස් දහසකට අධික, නිදහස සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැගීසිටි ක‍්‍රියාකාරිකයන් අමතා ඔහු කළ දේශනයේ කොටසක් ගැන මගේ මතකය අවදි වේ.
 
 මම සිහින දකිනවා, අසාධාරණයේත්, මර්දනයේත් උණුසුමෙන් පීඩා විඳින මිසිසිපි ප‍්‍රාන්තය, නිදහසේත්, සාධාරණත්වයේත් ක්‍ෂේම භූමියක් වන දවස ගැන.
 
 මම සිහින දකිනවා. අප සමාජයේ උස් තැන් පහත් කරන්නටත් පහත් තැන් උස් කරන්නටත් පුළුවන් වන දිනය ගැන මම සිහින දකිනවා ජෝර්ජියාවේ වහලූන්ගේ දරුවන් සහ වහල් හිමියන්ගේ දරුවන් සහෝදරත්වයේ මේසය වටේ එක්ව හිඳ ගනිමින් සමානයන් ලෙසින් කථාබහ කරන දිනය ගැන. මම සිහින දකිනවා, මගේ පුංචි දරුවන් හතර දෙනා සම්බන්ධව, ඔවුන්ගේ හැසිරීම් මත තීන්දු ගන්නාවූ සමාජයක පැවැත්ම පවතින දිනය ගැන. සැබැවින්ම මාටින් ලූතර් කිංගේ සිහිනයේත්, ආර්. පේ‍්‍රමදාසයන්ගේ සිහිනයේත් පදනම මෙන්ම මූලධර්මයන් දෙකක් නොව එකක්මය. එතුමන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සියලූ රැුස්වීම්වලදී මාටින් ලූතර් කිංගේ සිහිනය මම උපුටා දැක්වූයෙමි. පේ‍්‍රමදාසයන් ජනාධිපතිධුරයට පත් කර ගැන්ම තුළින් අපේ සමාජය පිළිබඳව අපට තිබූ එබඳුම සිහිනයන් සැබෑ කර ගැන්ම අපේ අරමුණ විය.
 මේ ගමනේ දී මතුවූ නින්දා, අපහාස, අවලාද මෙන්ම ඒ පිටුපස තිබූ මුදල් බලය, කුමන්ත‍්‍රණ සියල්ලට ඉවසිල්ලෙන් යුතුව මුහුණ දෙමින්, ඒ සියල්ල ඔහු විඳ දරා ගත්තේය. සතුරු බලවේග ක‍්‍රමයෙන් මිත‍්‍ර බලවේග බවට පත් කරගන්නට ඔහු පොහොසත් විය. දුර දැක්මෙන් සහ කල්පනාකාරීව, යහපත් අරමුණින් ඔහු පැමිණි ගමන, තමන්ගෙන් පසු එම ස්ථානයට පැමිණීමට අප සමාජයේ පුංචි මිනිසුන්ට දොර විවෘත කර දුන් ගමනක්ම විය.

 ජනාධිපතිධුරයට පත් වූ වහාම හදිසි නීතිය අවලංගු කර, සැකකරුවන් ලෙස සිටි ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන් 1800 ක් පමණ නිදහස් කර යැවූ අයුරු මගේ මතකයට නැගේ. ඒ නිදහස් කිරීමෙන් එතුමන් උත්සාහ කළේ ජීවිත හානියකින් තොරව රටට සාමය උදාකරගන්නට දොරටු විවෘත කිරීමක් කර ගැනීමටයි.
 
 1971 කැරැුල්ල සම්බන්ධ නඩු විභාගයේ සෑම දිනකම අධිකරණය වෙත යමින් කැපවීමෙන් යුතුව නඩු විභාගයට සම්පූර්ණයෙන් ඇහුම්කන් දෙමින් එහි පසුබිම අවබෝධ කර ගන්නට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔහු උනන්දු විය.
 
 ‘‘මම භාරගෙන ඇත්තේ දෙකොන ඇවිලෙන විලක්කුවක් බඳු රටක්’’ යැයි පේ‍්‍රමදාස ජනාධිපතිතුමන් කියා සිටියේ, උතුරේ සහ දකුණේ ගිනිදැල් මධ්‍යයේ ජනාධිපතිධුරයේ කටයුතු භාරගන්නට සිදුවූ අවස්ථාවේ දීය. තුන්ඩු කෑල්ලකින් පාසල් වසා දැමිණ. රජයේ කාර්යාල වසා දැමිණ. දේශපාලන ක‍්‍රියාකාරිකයන් තනතුරුවලින් ඉවත් නොවුනහොත් ඔවුන් ඝාතනය විණ. රජයේ සේවයට වාර්තා කරන රජයේ සේවකයින් ඝාතනය විණ. ආරක්‍ෂක හමුදා පවුල්ද ජීවිත තර්ජනයට මුහුණ දුන්හ. සවස හයෙන් පසු විදුලිය තහනම් විණ. වටිනා රජයේ ගොඩනැගිලි, බස් රථ ඇතුළු දේපොල ගිනිබත් කෙරිණි. ඡුන්දය පාවිච්චි කරන්නට ගිය පිරිස් ඝාතනයට ලක්විණ. අත් කැපිණ, හිස් මුඩු කෙරිණ. ඝාතනයට ලක්වූ අයගේ මෘත දේහයන් දණ හිසට ඉහළින් ඔසවාගෙන යෑම තහනම් කෙරිණ. මේ පසුබිම තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම ගැන බලාපොරොත්තු සිඳීගොස් තිබිණ. පේ‍්‍රමදාස මැතිතුමන් රට භාර ගත්තේ මේ අයුරින් උතුර මෙන්ම දකුණේද ගිනි ඇවිලෙමින් තිබූ පසුබිමකය.
 
 ජිවිතවලට හානි කරන්න එපා. මම කැමතියි ඔබලා සමග සාකච්ඡුා කරන්න. ඒ සඳහා අවශ්‍ය නම් ඇස් බැඳගෙන ඔබ කියන ඕනෑම කැලෑවකට වුවද එන්නට මම සූදානම්.
 
 මේ පේ‍්‍රමදාස ජනාධිපතිතුමන්ගේ බැගෑපත් ඉල්ලීම විය. එය හෘදයාංගම එකක් විය. ජීවිත හානි සිදුවීම නතර කරන්නට ඔහු බැගෑපත් විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම ජනතාවට
 රැුකදෙන්නට ඔහු බැගෑපත් විය. එහෙත් ඒ ආයාචනාවලට ප‍්‍රතිචාර නොලැබිණ. ජනාධිපතිධුරයට පත් පළමු මාස පහ පුරාම සාකච්ඡුාවෙන් සම්මුතියෙන් සාමය උදාකරගන්නට ඔහු කිහිප අයුරකින්ම උත්සාහ දැරීය. අවසානයේදී ආරක්‍ෂක හමුදාවන් විසින් ප‍්‍රචණ්ඩත්වය මැ`ඩලනු ලැබිණ. දකුණේ මෙන්ම උතුරේද ප‍්‍රශ්නවලට කිසිදු වෙනසකින් තොරව ජීවිත හානිවලින් තොරව සාකච්ඡුාවෙන් විසඳුමක් උදාකරගන්නට අවසන් මොහොත දක්වා ඔහු ගත් උත්සාහයන් නිෂ්ඵලවීම ඔහුගේ වේදනාවට හේතු විය.
 
 පේ‍්‍රමදාස ජනාධිපතිතුමන් තම ප‍්‍රථම අමාත්‍ය මණ්ඩල පත්කිරීම් වලදී, එතුමන් භාරයේ කලින් පැවති නිවාස අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා තෝරාගෙන තිබිණ. එම තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව, ජනාධිපති මන්දිරයේ එතුමන්ගේ කාර්යාලයට මා කැඳවූ පේ‍්‍රමදාස ජනාධිපතිතුමන්, මා වෙත කළ ප‍්‍රකාශය මට කිසි දිනෙක අමතක නොවේ.
 ‘‘දන්නවද ලැබී තිබෙන අමාත්‍යාංශය’’ එතුමන් මගෙන් විමසා සිටියේය. මම ‘‘ඔව්’’ යයි පිළිතුරු දුනිමි.
 
 ‘‘මගේ අමාත්‍යාංශය දීලා තියෙන්නේ’’ ඔහු සිනාසෙමින් පවසා සිටී. නිවාස අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා සිරිසේන කුරේ මහතායි, මා රාජ්‍ය අමාත්‍යවරයා විය.
 මුලින්ම එන්නේ මහියංගන ගම් උදාව, මැති ඇමැතිවරු පයගහලා නැති ගම්මාන එහෙ තියෙනවා. ඉම්තියාස් මට කැපවීම ඕනේ. ඒ මිනිසුන්ගේ කඳුළු නිවන්න උපරිමය කරන්න හිතට ගන්න.
 ඔහු තුළ මා ගැන ඇති විශ්වාසය මට දැනිණ. ඊටත් වඩා ඒ වචන එන්නේ ඔහුගේ හදවතින්ම බව මට දැනිණ. පේ‍්‍රමදාසයන් ගැන සිහිපත්වන ඇතැම් විටෙක මේ වචන මගේ දෙසවන්වල දෝංකාර දෙනු මට ඇසේ. පුංචි මිනිසුන් සවිමත් කරන්නටත්, ශ‍්‍රී ලංකාව සංවර්ධිත දේශයක් කරන්නටත් දැඩි අධිෂ්ඨානයක් සහ පුදුම කැපවීමක් තිබූ අව්‍යාජ නායකයෙකු ලෙස මම එතුමන් දකින්නෙමි.
 
 පොල්අතු පැලක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්කු නිවසක වැස්සට නිසි ආවරණයක් අහිමිව, හරි හැටි නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි ලෙස සංවේදීවූ නායකයා ඔහු විය. පුංචි නවාතැනක ඉඩකඩ නොමැතිවූ නිසා මව්පියන්, දරුවන් සහ පවුල් කිහිපයක් මාරුවෙන් මාරුවට නිදාගන්නාවූ පවුල්වල දුක්බර ජීවිත ගැන ප‍්‍රමුඛ අවධානය යොමු කළ නායකයා ඔහු විය. පූට්ටු ගෙවල්, අත්තම් නිවාස, නිවාස ලක්‍ෂය, නිවාස දස ලක්‍ෂය, නිවාස පහළොස් ලක්‍ෂය සහ ජාත්‍යන්තර නිවාස වර්ෂය ඔහු හඳුන්වා දුන්නේ ඒ කඳුළු නිවන්නටය.
 
 ජනසවිය මේ පොළවේ ජනිතවූ සංකල්පයකි. පක්‍ෂ භේදවලින් තොරව විනිවිද පෙනෙන ක‍්‍රමවේදයක් තුළින් දුප්පතුන් නිවැරදිව හඳුනා ගනිමින්, එය ක‍්‍රියාවට නැගුණේ තුන්වේල කෑමට අවකාශ නැති අප සමාජයේ දරු පවුල් වෙනුවෙනි. ඇගලූම් කම්හල් දෙසීයේ වැඩපිළිවෙළ ඇරඹුණේ ඈත දුෂ්කර ගම්මානවල ජනතාවට අභිමානයෙන් යුතු ජීවනෝපායන් ලබාදීමටය. සෙවන මා පිය කැපකරු ක‍්‍රමය ක‍්‍රියාවට නැගුණේ මව්පියන් අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස් කරන්නටය. පාසල් දිවා ආහාර වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැගුණේ හරි කෑම වේලක් නොමැතිව පාසලට පියමන් කරන දරුවන් වෙනුවෙනි. පාසල් නිල ඇඳුම් වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැගුණේ දහස් ගණනින් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අතරමග පාසල් අධ්‍යාපනය හැරදමන දරුවන්ට පිහිට වීමටය. මාවතේ අපි වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැගුණේ මහමග සි`ගමන් යදින පවුල්වල ජීවිතවලට අභිමානයක් ලබා දෙමින් ඔවුන් නගාසිටුවන්නටය. උණ බම්බු ගේට්ටු වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැගුණේ දුම්රිය හරස් මාර්ගයන්හි දී දිනපතා නිරපරාදේ රටපුරා අවදානමට ලක්වන මිනිස් ජීවිතවලට රැුකවරණය දෙන්නටය.
 ජනපති ජංගම සේවා තම අමාත්‍ය මණ්ඩලයම සහභාගී කරගෙන රට පුරා ගෙන ගියේ දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබාගත නොහැකි ජනතාව වෙනුවෙන්ම එම දේශපාලන නායකයන් ජනතාවගේ දෙපා ළ`ගට ගෙනයෑම පිණිසය. කැපකරු ගම්මාන වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරුණේ රජයේ ප‍්‍රතිපාදනවලට අමතරව දානපතීන්ගේ සහායද දිළිඳු ජනතාව නගාසිටුවීමේ වැඩපිළිවෙළට ලබා
 ගැනීම සඳහාය. සෙවණ අරමුදල ඇරඹුණේ ජනතා සේවාවන්ට අනුග‍්‍රහය ලබාදිය හැකි තවත් මූලාශ‍්‍රයක් නිර්මාණය කරමිනි ග‍්‍රාමෝදය වැඩපිළිවෙළ ඇරඹුණේ ගම් නගා සිටුවීමේ වැඩපිළිවෙළ සඳහා පටු පක්‍ෂ පන්ති භේද ආදියෙන් තොරව ගමේ එකමුතුව අරමුණු කරගනිමිනි. දිසාපති ක‍්‍රමය වෙනුවට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිර්මාණය කෙරුණේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ වේගයෙන් ග‍්‍රාමීය දිළිඳු ජනතාව වෙත ගෙනයාම උදෙසා සාම්ප‍්‍රදායික පැරැුණි පරිපාලන ක‍්‍රමවේදය විප්ලවීය වෙනසකට ගෙන යමිනි.
 
 පළාත් පාලන ඡුන්දවලදී 40% ක තරුණ නියෝජනත්වය අනිවාර්යය කිරීම සිදු කෙරුණේ තරුණ ජනගහනය පාලනයට සහභාගී කර ගැන්ම සහ ඔවුන්ට නිසි පිළිගැන්ම ලබාදීමේ අරමුණෙනි.
 සමාජ සාධාරණත්වය මුල්කරගත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පැවැත්ම ආරක්‍ෂා කර ගන්නාවූ ගමනක් තුළින් ශ‍්‍රී ලංකාව සංවර්ධිත දේශයක් බවට පරිවර්තනය කර ගැන්ම එතුමන්ගේ වේගවත් ගමනේ ඉලක්කය විය. ඒ උතුම් අරමණ වෙනුවෙන් එතුමන් ඉටුකළ අමිල මෙහෙවර කෘතගුණ පූර්වකව සිහිපත් කරමු.
 
 ඉම්තියාස් බාකීර් මාකාර්
 
 හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර
 සමගි ජන බල වේගය

advertistmentadvertistment
advertistmentadvertistment